පාෂාණ පබ්බත රජමහා විහාරයේ කඨින පින්කම
දෙනගම සිරිවර්ධන
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපටුන රජමහා විහාරය ත්‍රස්තවාදීන්
විසින් වනසනු ලැබූ ආකාරය තොප්පිගල ජයෙන් පසුව අපට දක්නට ලැබිණ. වෙහෙර
බිඳ හෙළා ඒ මත කෝවිලක් තනා තිබිණ. ඒ කෝවිල විවෘත කළේ විදේශිකයකු
විසිනි. අපේ රණවිරුවන්ගේ ආධාරය ද සහිතව සේරුවිල සරණ කිත්ති හිමියෝ ඒ රජ
මහ වෙහෙර යළි ගොඩ නැගූහ.
සේරුවිල සරණකිත්ති නා හිමියෝ |
හේනේගම
ධම්මාලෝක හිමියෝ |
දැන් එය රමණීය පූජා භූමියක් බවට පත්ව තිබේ. දළදා වහන්සේ රැගෙන දන්ත,
හේමමාලා කුමර කුමරියෝ ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ මේ වෙහෙර පිහිටි තැනට ය.
ඒ ස්ථානයේ සිට කිලෝමීටර හයක් පමණ දුරෙන් කල්අඩි ගමේ තවත් රජමහා
විහාරයක් පිහිටියේ ය. පහණ පබත වෙහෙර නමින් සෙල්ලිපිවල සඳහන්වන මේ
ස්ථානයට වැඩම කළ මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියෝ ඉතා වැදගත් ගිරිලිපි
හයක් සොයා ගත්හ.
ක්‍රි.ව. 09 සිට 21 දක්වා අනුරාධපුර රජකම් කළ මහා දාඨක මහා නාග
(මහදැළියාමානා) පාෂාන පබ්බත විහාරය කැරැවූ බවත් කිසියම් ඇළක දිය බද්ද
මේ විහාරයේ භික්‍ෂූන්ට සිව්පසය සැපයීම සඳහා යෙදවිය යුතු බවත් රජු ඉඩමක්
මිලට ගෙන මෙම විහාරයට පූජා කළ බවක් එක් ගිරි ලිපියකින් කියැවිණ. රභය
නමැති ඇමති මෙම විහාරයට සිදුකළ ප්‍රදානයන් පිළිබඳව සහ එක්තරා වෙළෙඳ
ආයතනයක මුදලක් තැන්පත් කොට එහි පොලිය මෙම විහාරයට පූජා කිරීමක් පිළිබඳව
තවත් ගිරි ලිපියකින් කියැවේ. අනුරාධපුර සමයේ දියුණු නාගරික බෞද්ධ
සංස්කෘතියක් පැවැති මේ ප්‍රදේශය අද සිංහලයන්ගෙන් බෞද්ධයන්ගෙන් තොර ය.
ගල් පර්වතයක පිහිටි පාෂාණ පබ්බත රජමහා විහාරය නමින් හැඳින්වෙන මෙම
සිද්ධස්ථානයේ වූ චෛත්‍යය කොටි ත්‍රස්තයන් විසින් බිඳ හෙළනු ලැබූහ. ඒ මත
කාල තුවක්කු සහ මෝටාර් විදින සවි කරනු ලැබූහ. චෛත්‍යයට මඳක් ඉහළින් ගල්
පර්වතය මුදුනේ කොටිහඬ ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ කුලුන පිහිටියේ ය.
ගුවන්විදුලි කාර්යාලය වූයේ කන්ටේනරයක් තුළ ය. වෙනත් කිසිදු
ගොඩනැඟිල්ලක් නොවිණ.
ගමේ කෝවිලේ පූසාරි තුමා ද කඨින පෙරහරේ ගමන් කළ අයුරු |
නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල රජමහා
විහාරාධිපති, සේරුවිල සරණකිත්ති නාහිමියෝ මේ ස්ථානයට වැඩම කළහ. පෙර
පැවැති ශ්‍රී විභූතිය යළි මේ පින් බිමට ගෙනෙම් යන අදිටන උන්වහන්සේගේ
සිතෙහි හටගත්හ.
කොටි හඬ ගුවන්විදුලි කාර්යාලය පැවැති කන්ටේනරය සංඝාවාසයක් කොට
උන්වහන්සේ එහි නතර වූහ. පසුව රත්නපුරේ දේවානන්ද හිමියෝ ද උන්වහන්සේට
එක්වූහ. ගිහි කළ වෛද්‍යවරයකු වූ දේවානන්ද හිමියෝ ද්‍රවිඩ බස කතා කිරීමේ
සමකෙකි. මේ විහාරස්ථානය පිහිටි කල්අඩි ගම මුළුමනින්ම දෙමළ ය. සේරුවිල
නා හිමියන්ගේ සහ දේවානන්ද හිමියන්ගේ කරුණාව මේ ගම් වැසියෝ හඳුනා ගත්හ.
දේවානන්ද හිමියෝ ගම් වැසියනට නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර කරන්නට පටන්
ගත්හ. උදෑසන කන්ටේනර සංඝාවාසයේ දොර ඇරෙන්නේ රෝගීන්ගේ කෙඳිරිල්ලෙන්,
කිවිසිල්ලෙනි. වේදනාවෙන් කැරෙන ඉල්ලීමකිනි. උදේ තේ කහට කෝප්පය ද නොවළඳා
උන්වහන්සේ රෝගීන් අතරට වඩිති.
“අපේ ගැලවුම් කාරයා උන්වහන්සේ” අවට ගැමියෝ කියති.
හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා කැස්බෑව අතිරේක දිසා
විනිසුරු සහ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සමඟ මේ ස්ථානයට පැමිණ
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිරාජයාණන්ගේ ශාඛාවන් මේ පර්වත පා මුල රෝපණය
කළේ ය. එදා සේරුවිල නා හිමියෝ අඩි 120 ක් උස කොටි හඬ සම්පේ‍්‍රෂණ කුලුන
මුදුනට වැඩම කොට ඒ මත බුදු පිළිමයක් තැන්පත් කළහ.
තිළිණ ගමගේ මහතා මේ පූජනීය ස්ථානයේ අගය මහරගම ගොඩිගමුව ශ්‍රී
සද්ධරමාරාමාධිපති ශාස්ත්‍රපති හේනේගම ධම්මාලෝක නාහිමියන්ට පෙන්වා දුන්
පසු උන්වහන්සේ සිය දායක සභාවේ නියෝජිත පිරිසක් සමඟ කල්අඩි ගමේ පාෂාණ
පබ්බත රජමහා විහාරයට වැඩම කළහ. එහිදී උන්වහන්සේට සහ දායක පිරිසට මේ
ස්ථානය කොටි ත්‍රස්තයන් විනාශ කොට ඇති ආකාරයත්, එය වහා ගොඩ නැඟිය යුතු
බවත් පෙනිණ.
මහරගම විද්‍යාකර සිසුවියෝ දෙමළ දරු දැරියනට තෑගි බෙදමින් |
‘ස්වාමීන් වහන්ස මේ වර වස් පින්කම මේ ස්ථානයේ අපි පවත්වනවා. ඔබ වහන්සේ
මෙහි වස් වසන්න’ ගොඩිගමුව දායකයෝ සේරුවිල නාහිමියන්ට ආරාධනා කළහ.
උන්වහන්සේ අර කන්ටේනර සංඝාවාසයේ වස් වැසූහ. තලංගම සේනාරත්න ගුරු මාතාව
ගොඩිගමුව සද්ධරමාරාමාධිපති තේනේගම හිමියන් මඟින් මේ ස්ථානයේ ධර්ම
ශාලාවක් සඳහා රුපියල් 50, 000 ක් පරිත්‍යාග කිරීමෙන් පසු ධර්ම ශාලාවක්
ඉදිකිරීම ඇරැඹිණ. කන්ටේනරයට යාබදව ටකරන් මඩුවක් ද තැනිණ.
කල් අඩි දෙමළ ගම් වැසියෝ සිය ගණනක් පැමිණ පන්සල් වත්ත පිරිසුදු කොට
දුන්හ. බුදු දහමේ කරුණාව සේරුවිල නාහිමියන්ගෙන් සහ දේවානන්ද වෙද
හාමුදුරුවන්ගෙන් ඔවුනට පෙනිණ ඔවුන්ට කලෙකට පෙර සිංහලයන් රකුසු පිරිසක්
ලෙස පෙනුණද දැන් ඔවුන්ගේ ආකල්ප වෙනස් ය. කොටි නායකයන්ගෙන් ලැබුණු තර්ජන
වෙනුවට දැන් ඔවුන්ට මේ ස්වාමීන් වහන්සේලාගෙන් දයාව, කරුණාව ලැබේ.
පන්සලට ගමට එළියක් ගෙනෙන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.
පසුගිය මාසයේ 10 වැනි දා සහ 11 වැනිදා මේ ඓතිහාසික පූජා භූමියේ මේ
වර්ෂයේ කඨිණ පින්කම සිදු විය. මහරගම ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම දායක
පිරිස සිය ආරාමයේ වස් පින්කම ඉතා සුළුවෙන් පවත්වා ඒ සඳහා රැස් කොට
තිබුණු සියලු දේ පාෂාණ පබ්බත රජමහා විහාර වස් පින්කම සඳහා කැප කළහ.
ගොඩිගමුවෙන් දෙසිය ගණනක් දායක දායිකාවෝ කල් අඩි ගමට ගියහ. දෙමළ ජනතාවට
පිදීම සඳහා තෑගි බෝග ගෙන ගියහ. කිලෝමීටර දෙකක් පමණ දුර සිට පාෂාණ පබ්බත
විහාරයට ගමන් කළ කඨින පෙරහර නැරැඹීමට අවට ගම්වල දෙමළ ජනතාව ද පැමිණියහ.
එය ඔවුන්ට අපුරු අත් දැකීමක් විය. දෙමළ ළමයි සියයකට වැඩි පිරිසක්
පෙරහරේ නැටුම් ඉදිරිපත් කරමින් ගමන් කළහ. ගමේ කෝවිලේ පූසාරි තුමා ද
පෙරහරේ ගමන් කරනු පෙනිණ.
කල් අඩි ගමේ ජනතාව පිරිත් අසන්නට ද පැමිණියහ. පසු දා දන් බෙදන්නට ද
හවුල් වූහ. මහ සඟ රුවන දානයට වැඩම කරන විට පිරිත් නූල් බැඳි අත් නළල මත
තබා දෙමළ ගම් වැසියෝ සාදුකාර දුන්හ. එදා ගොඩිගමුව දායකයෝ කල්අඩි ගමේ
දෙමළ ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ද රෙදි ද තෑගි දුන්හ.
මහරගම විද්‍යාකර බාලිකා විදුහලේ ගුරු සිසු පිරිස කල්අඩි ශ්‍රී මලෙයි
නිලි අම්මාන් විදුහලේ සිසු දරු දැරියන්ට ද ගුරුවරුන්ට ද තෑගි
පිරිනැමූහ. සිංහල දැරියන්ගේ සුහදතාව එදා දෙමළ දරු දැරියන්ට හොඳින්
දැනිණ.
සිංහල වැඩිහිටියෙන්ගේ සුහදතාව එදා කල්අඩි ගමේ දෙමළ මාපියන්ට හොඳින්
දැනිණ. ගොඩිගමුව දායකයෝ වේල් තුනක් ම කල්අඩි ගමේ ජනතාවට ආහාර පාන සැපයූ
දන්සලක් පැවැත්වූහ. පින්කම අවසානයේ දී සේරුවිල නාහිමියෝ සිංහල දෙමළ
ජනතාව අමතමින් මෙසේ පැවසූහ.
“ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දූර දර්ශී නායකත්වය යටතේ අපේ
රණවිරුවන් කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගත්තා. මේ නිදහස සැබෑ
නිදහසක් වීමට නම්, යළි කවදාවත් යුද්ධයක් මතු නොවීමට නම්, සිංහල දෙමළ
ජාතීන් අතර සැබෑ සහෝදරත්වයක් ගොඩ නැඟෙන්නට ඕනෑ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න
වටහා ගෙන ඔවුන් සමඟ ඉතා හොඳ මිතුරුකමක් පවත්වන්නට ඕනෑ. මෙය මැනවින්
වටහා ගත් මහරගම ගොඩිගමුව සද්ධර්මාරාමාධිපති හේනේගම ධම්මාලෝක හිමි සහ
කැස්බෑව අතිරේක දිසා විනිසුරු, මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගොඩිගමුව
දායක සභාව සමඟ එක්ව ගෙවී ගිය වස් සමය තුළ මේ ඓතිහාසික පුණ්‍ය භූමිය තුළ
ඉතා උසස් අන්දමෙන් පින්කම් පැවැත්වූවා. ගමේ දෙමළ ජනතාව සමඟ සුහදතාව
රැකෙන පරිදි කටයුතු කළා.
මේ කටයුතු නිසා පසුගිය කාලයේ ලැබූ ජය තහවුරු වෙනවා. ලංකාවේ අනෙක්
විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාටත් දායක සභාවලටත් මෙය ආදර්ශයක් වේවා!
නැගෙනහිර පළාතේ මෙබඳු කොටි උවදුරට ලක් වූ තවත් විහාරස්ථාන තිබෙනවා. ඒවා
ආරක්‍ෂා කරමින් ගම් වැසියන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරීමට
උන්වහන්සේලාටත් දායක ඇත්තන්ටත් මම ආරාධනා කරමි.
පින්කම අවසානයේ කල්අඩි ගමේ දරු දැරියෝ සහ වැඩිහිටියෝ ආපසු එන්නට සැරසෙන
ගොඩිගමුව සද්ධර්මාරාම දායකයන් දෙස මඳක් දුක්මුසු වූවද සුහදතාව පිරුණු
මුහුණින් යුතුව බලා සිටියහ.
අප බෙදා වෙන් කිරීමට සැරසෙන කිසිවකු සමඟ අපි යළි එක් නොවෙමු. පින්කම
තුළින් ඔබ අපට දිගු කළ සුහද දෑත අපි අත් නොහරිමු යන හැඟීම ඒ මුහුණුවල
ලියැවී ඇතැයි අපට සිතිණ.
ඡායාරූප – ටී.ඩී. සිරිසේන
(මහරගම සමූහ)
|