Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවන් සුව ලබන්න වැඩිය යුතු අරමුණු පහක්

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අපි ඊයේ කතා කරපු දේ තුළ මුණගැහුණු වැදගත් ම පණිවිඩය මොකක් ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසය තැබිය යුතු යි කියන කාරණය. ඒ විශ්වාසය තැබීම මත තමයි, අප තුළ නිර්භය බව උපදින්නේ. ඒ ඉවසීම මත තමයි, අපි සකසා යමක් කරන්නට පෙළඹෙන්නේ. යමක් සකසා කිරීම, යමක් හොඳින් කිරීම මත තමයි යමකින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ.

එතකොට අපි බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් නිදහස්වීම නම්, ඒ සංසාර දුකින් නිදහස් වීම පිණිස අපට මුලින් ම තිබිය යුතු මොන සුදුසුකම ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසය. බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසයක් නැතිව අපට මොන දේ තිබුණත් ඒවා සංසාරෙන් නිදහස්වීම පිණිස උපකාර වන්නේ නෑ. සංසාරෙ ඉන්න, නොයෙකුත් දේ ගොඩගසා ගන්නනම් අපට ඒවා උපකාර වෙයි.

බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසයක් තිබෙනවා නම්, අපට වෙන මොනව නැතත් කමක් නෑ. එපමණින් ම අපට සංසාරෙන් නිදහස්වීම පිණිස දොර ඇරෙනවා. සතර සතිපට්ඨානය පිළිබඳ අපි යම් විශ්වාසයක් ඇති කරගත්තොත් ඒ විශ්වාසය භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි ඇති වන විශ්වාසයක්. එපමණකින් ම එයාට නිවන් මඟට පිවිසීම පිණිස විශාල ඉඩකඩක් විවෘත වනවා.

අපි ඒක සරල කාරණයක් වශයෙන් නො සැලකිය යුතු යි. ජීවිතේ ම මහන්සි වෙලා හරි කමක් නෑ, සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් අප තුළ ඇති කරගන්න පුළුවන් වුණොත් අපි එපමණකින්ම නිවන්මඟ පුරුදු කරන්න කැමැති වනවා. අපට නිර්භය බව උපදිනවා. විශ්වාසය ඇති වනවා. සැක සංකා දුරුකර ගන්න අවස්ථාවක් ඉපදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහාගන්න අපි දක්ෂ වන්න ඕන. සංසාරෙන් නිදහස් වීමට කැමැති අයට ඒ භාග්‍යවතුන් වහන්සේගේ් අවබෝධය අදහා ගන්න පුළුවන් විදියේ කෙටි දේශනාවක් සිහිකර දෙන්න අපි කල්පනා කළා.

අංගුත්තර නිකායේ 3 වන පොත් වහන්සේ ගේ ‘නිබ්බිදා සූත්‍රය’ ඛ්යල සූත්‍රයක් තිබෙනවා. ඒක ඔබ කවුරුත් කියවලා ඇති. මේකේ තියෙනවා ‘පඤ්චිමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා ඒකන්තනිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තන්ති’. බලන්න මේ ධර්ම පහක් භාවිතා කළොත්, පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒක උපකාර වනවා කියලා කියනවා ඒකාන්ත වශයෙන් ම කළකිරීම පිණිස, නියත වශයෙන් ම සංසාරයෙහි කලකිරීම පිණිස ඒ කාරණා පහ පුරුදු කිරීම උපකාර වනවා කියලා කියනවා.

එතකොට, ඇත්තෙන් ම අප තුළ නැත්තේ මොකක් ද? අප තුළ නැත්තේ, සංසාරය කෙරෙහි කලකිරීම, සංසාරය පිළිබඳ කලකිරීමක් තිබුණා නම් එයාට තියෙනව ද දඩබ්බරකමක්? එයා ළඟ තියෙනව ද මුරණ්ඩුකමක්? එයා ළඟ තියෙනව ද මාන්නයක්? නෑ නේ ද? තියෙන්න හේතුවක් නෑ. ඇයි ඒවා සංසාරෙට අයිති දේවල්. එයා කලකිරෙන්නේ ඒවට යි. සංසාරය පිළිබඳ කලකිරෙන කෙනා සංසාරෙ යන්නට උපකාර වන්නා වූ සියලු දේ කෙරෙහි කළකිරෙනවා. යම් දඩබ්බරකමක්, හිතුවක්කාරකමක්, මාන්නයක් යම් අකුසලයක් තියෙනව නම්, ඒ සියල්ල ම සංසාරෙ යන්නට උපකාර වන දේවල්. සංසාරේ කෙරෙහි කලකිරෙන කෙනා ඒ අකුසල බලවත් වන්නට ඉඩ දෙන්නෙ නෑ. ඒවා දැකල ඒවා පාලනය කරනවා, දුරු කරනවා. එයා තුළ ඒවා හටගන්නේ නෑ. ඇයි? එයා තුළ කලකිරීමක් තියෙන්නේ. ඒ කලකිරීම හේතුකරගෙන එයා තුළ සන්සුන්කමක් උපදිනවා. මෙල්ල වීමක් තියෙනවා. සංවරකමක් උපදිනවා. එයා නිහඬ කෙනෙක් බවට පත් වන්න ඒ කලකිරීම උපකාර වනවා.

ඉතින් බලන්න භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා, මේ ධර්මතා පහ පුරුදු කිරීම ඒකාන්ත වශයෙන් ම කලකිරීම ඇති කරනවා කියා. නියත වශයෙන් ම කලකිරීම ඇති කරනවා කියා. කලකිරීම විතරක් නෙමේ එමගින් විරාගාය - විරාගය ද ඇති වනවා. ඇල්මක් ඇති වීම නවතිනවා. ඊළඟට ‘නිරෝධාය’ උපන් ඇල්ම නිරුද්ධ වනවා. ‘උපසමාය’ - සංසිඳීම ඇති කරනවා. ‘අභිඤ්ඤාය’ - විශේෂ ඤාණ උපදවා දෙනවා. ‘සම්බෝධාය’ - ආර්ය සත්‍ය අවබෝධය ඇති කරලා දෙනවා. ‘නිබ්බානාය සංවත්තන්ති’ - නිවන අවබෝධ කිරීම පිණිස උපකාර වනවා.

එතකොට ඒ කාරණා කීයක් පුහුණු කිරීමෙන් ද? කාරණා පහක්. ‘කතමේ පඤ්ච’ මොකක්ද ඒ පහ? ඉධ භික්ඛවේ භික්ඛු අස්සුභානුපස්සී කායේ විහරති - භික්ෂුව කය කෙරෙහි අසුභ වශයෙන් දකින්න පුරුදු කරනවා. අසුභ භාවනාව පුරුදු කරනවා. ආහාරේ පටික්කුල සඤ්ඤා- ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරනවා. ‘සබ්බලෝකේ අනභිරත සඤ්ඤා’ - සබ්බ ලෝකේ අනභිරත සංඥාව පුරුදු කරනවා. ඊළඟට ‘සබ්බ සංඛාරේසු අනිච්චානුසඤ්ඤී’ ඊ ළඟට ‘මරණානුස්සති’ - මරණය පිළිබඳ සතිය.

මොනවද ඒ කාරණා පහ? අසුභ භාවනාව, ආහාරයේ පිළිකුළ පිළිබඳ භාවනාව, සියලු ලෝකයේ නො ඇල්ම පිළිබඳ සංඥාව, ඊට පස්සේ සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව, ඊට පස්සේ මරණ සතිය, මේ කාරණා පහයි. ධර්ම පහයි පුරුදු කරන්නේ. ඒ ධර්ම පහ පුරුදු කිරීම නියත වශයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස උපකාර වනවා.

එසේ වීම රාගය දුරු කරගන්න උපකාර වනවා. අකුසල් නිරුද්ධ කරගන්න උපකාර වෙනවා. එවිට, සංසිදීම ඇතිවනවා, එය විශේෂ ඤාණ ඇතිවීම පිණිසත්, ආර්ය සත්‍ය අවබෝධය පිණිසත් උපකාර වනවා. නිවන අවබෝධ කිරීම පිණිස ඒ කාරණා පහ එලෙස උපකාර වනවා.

එතකොට බලන්න, මේ ධර්මය අපි හොඳින් පිළිගත්තොත්, මේ ධර්මය කෙරෙහි අපට විශ්වාසය ඇතිකරගන්න පුළුවන් වුණොත්, අපට නිවන් මඟ පහසු වෙයිද? අපහසු වෙයිද? පහසු වෙනවා නේද? අප මේ ධර්මය කියවලා තියෙනවා ද නැද්ද? කියවලා තියෙනවා නේ්ද? එහෙත් අප තුළ හට නොගත්තේ මොකක් ද? ඒ ධර්මය කෙරෙහි විශ්වාසය නේද අප තුළ හට නොගත්තේ? ඒ ධර්මය කෙරෙහි විශ්වාසයට ආපු කෙනා තුළ කලකිරීම හට ගන්නවා ද නැද්ද? හට ගන්නවා. එහෙත් විශ්වාසයට ආපු පමණින් ම නොවෙයි.

මේ ධර්මය කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගත්ත කෙනා ගේ ස්වභාවය මොකක් ද? එයා ගේ ස්වභාවය තමයි කලබල වන්නේ නැතිකම. එයාට බලවත් සතුටක් තියෙනවා. ඇයි එයා සොයමින් සිටි දේ මුණ ගැහුණා. අපට ධර්මය මුණ ගැහුණට පස්සේ අපි කොහොම ද මේක පුරුදු කර ගන්නේ? මොන විදියට ද පුරුදු කර ගන්නේ? කියන අදහස කා තුළත් ඇතිවනවා.

අන්න ඒ වගේ ඉන්න කෙනෙක් මේ දේශනාව කියෙව්වා නම්, මේ ධර්මය කෙරෙහි එයා පැහැදීම ඇතිකර ගත්තා නම්, මේ ධර්මය විශ්වාස කළානම්, එයා තුළ මොකක් ද ඇතිවෙන්නේ? එයාට තිබුණු බය නැති වනවා.

අපිට සංසාරෙන් නිදහස් වීම පිළිබඳ විශ්වාසයක් එනතෙක්, ඒකට මඟ පෑදෙනතෙක් බයක් තියෙනවා, ‘මට බැරිවෙයි ද මේක....’ මොකක් ද මම කරන්නේ...?’ කියලා එහෙම එකක් තියෙනවා නේද? ඉතින් යමෙක් ඒ මාර්ගය දැක්කායින් පස්සේ, අඳුන ගත්තයින් පස්සෙ, එයාට ඒ භය දුරු වෙලා යනවා. ඊට පස්සේ එයා තුළ තියෙනව ද අපහසු කමක්. අපහසුකම් තියෙන්න බෑ. ඇයි? භය දුරු වුණ කෙනා ප්‍රමුදිත යි. භය දුරු වෙච්ච කෙනා තුළ ප්‍රමුදිත භාවය තියෙනවා. නිසැක භාවයට පත් වුණු කෙනා තුළ ප්‍රමුදිත භාවය තියෙනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය, මේ දේශනා තුළ තියෙනවා. මේ දේශනා කියවලා, අපි ඒ අවබෝධය කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්තොත්, ඒ අවබෝධය අදහා ගත්තොත්, එපමණකින් ම අප තුළ නිසැක බව ඇතිවෙනවා. එපමණකින් ම අප තුළ නිර්භය බව ඇතිවෙනවා. එපමණකින් ම අප තුළ ප්‍රමුදිත බව ඇතිවෙනවා. අන්න එයා ප්‍රබෝධයෙන් වාසය කරනවා. ඇයි එයාට විශ්වාසයක් තියෙනවා, තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් දැන් සලසා ගන්න පුළුවන් කියලා.

ඒ නිසයි අපි කලිනුත් ඔබට ප්‍රකාශ කළේ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි අපට මහත් වූ යහපත ඇති කරන පළමුවන කාරණය කියා. ඒ නිසා මේ වගේ දේශනා කියවන්න. කියවලා මේ දේශනාවල තියෙන එක එල්ලේ ප්‍රකාශ කරලා තිබෙන පණිවිඩය හොඳින් දරා ගන්න, භය නැතිකර ගන්න, භය නැතිකර ගත්ත කෙනා කලබල වෙන්නේ නෑ. භය තියෙන කෙනා කලබල වනවා. එයා භාවනා කරන්න ගියත් ‘පැල් බැඳගෙන’ භාවනා කරන්න බලනවා. ඇයි? එයා භය යි. මොකක් ද කරන්නේ කියලා දන්නේ නැති නිසා.

එයා මාර්ගය දැක්කා. පිළිවෙළකට මාර්ගයේ යන්න එයා කල්පනා කරනවා. ඒ නිසා මේ දේශනා කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න. විශ්වාසය ඇතිකරගෙන මේ දේශනාවේ තියෙන ඒ කාරණා; ඒ ධර්ම පහ ටික ටික පුරුදු කරන්න කල්පනා කරන්න. ඔබ සියලු දෙනාට ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම පිණිස ශක්තිය, ධෛර්යය හා වාසනාව උදාවේවා කියා අපි ආශිර්වාද කරනවා!

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.