Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර ථූපාරාම චෛත්‍යය

ඓතිහාසික තොරතුරු කෙසේ වුව ද, පුරා විද්‍යාත්මක වශයෙන් තහවුරු කෙරෙන සාක්ෂි සහිත, මහින්දාගමනයෙන් ඉක්බිති සම්බුදු සසුන මෙහි ස්ථාපිත වීමෙන් අනතුරුව ඉදිකරන ලද ප්‍රථම දාගැබ වශයෙන් සැලකෙනුයේ අනුරාධපුර ථූපාරාම දාගැබයි. ක්‍රිස්තු පූර්ව 250 සිට 210 දක්වා රජ කළ දේවානම්පියතිස්ස මහ නිරිඳුන් ඉදිකරවන ලද ස්තූපයකි. අනුරාධපුර පූජනීය පෙදෙස පුරා පිහිටා ඇති දෙස්, විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත අටමස්ථානවලින් එක් සිද්ධස්ථානයක් ලෙස ද ථූපාරාම දාගැබ හැඳින්විය හැකි ය.

අනුබුදු, මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලක වැඩම කොට මෙහි ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටුවීමට පූර්ව කාලයෙහි මෙරට දාගැබ් දෙකක් ඉදිවූ බව අපේ වංශකතාවල සඳහන් වේ. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවියනට වැඳ පුදා ගැනීම පිණිස පිරිනමන ලද කේශ ධාතු නිදන්කොට ඉදිකරන ලද මහියංගන දාගැබ මෙහි ඉදි වූ පළමු දාගැබ ලෙස ඉතිහාසගතය. එමෙන්ම එදා දඹදිව තපස්සු - භල්ලුක වෙළඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ පිරිනමන ලද කේශ ධාතු නිදන්කොට තිරියාය, නමින් ප්‍රකට ප්‍රදේශයේ ඉදිකරන ලද ගිරිහඬු සෑය අනෙක් ස්තූපය ලෙස සැලකේ.

ඓතිහාසික තොරතුරු එසේ වුව ද, පුරා විද්‍යාත්මක වශයෙන් තහවුරු කෙරෙන සාක්ෂි සහිත, මහින්දාගමනයෙන් ඉක්බිති සම්බුදු සසුන මෙහි ස්ථාපිත වීමෙන් අනතුරුව ඉදිකරන ලද ප්‍රථම දාගැබ වශයෙන් සැලකෙනුයේ අනුරාධපුර ථූපාරාම දාගැබයි. ක්‍රිස්තු පූර්ව 250 සිට 210 දක්වා රජ කළ දේවානම්පියතිස්ස මහ නිරිඳුන් ඉදිකරවන ලද ස්තූපයකි. අනුරාධපුර පූජනීය පෙදෙස පුරා පිහිටා ඇති දෙස්, විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත අටමස්ථානවලින් එක් සිද්ධස්ථානයක් ලෙස ද ථූපාරාම දාගැබ හැඳින්විය හැකි ය.

ථූපාරාමය යන නමින්ම පැහැදිලි වන්නේ මෙම දාගැබ ආශි‍්‍රතව ආරාමයක් පැවැති බවය. සැබැවින් ම ස්තූපය ඉදිකොට පසුව ආරාම සංකීර්ණයක් ගොඩනැඟූ බව දාගැබ අවට විසිරී, පැතිරී ඇති නටබුන් වලින් මෙන්ම වංශ කතාවෙන් අනාවරණය වන තොරතුරු ඇසුරින් සනාථ කරගත හැකිය. ථූපාරාම දාගැබ අවට වාස්තු විද්‍යාත්මක නටබුන් රැසක්ම දක්නට පිළිවන. ඒ අතර ඉපැරණි වෙදහල, පාද ලාංඡන දාගැබ, නාගලු ළිඳ හා වජ්‍ර පේකඩ සහිත ගොඩනැගිල්ල ආදි ගොඩනැඟිලිවල නෂ්ඨාවශේෂ විශේෂිතය. මේ ගොඩනැගිලි එකම කාලවකවානුවක නොව කලින් කල ඉදිවූ ගොඩනැඟිලි වශයෙනුයි හඳුනාගෙන තිබෙනුයේ.

ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ දී දේවානම්පියතිස්ස මහ රජතුමා, අනුබුදු, මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් ඇතිව, අනුරාධපුර අභය වැවේ පතුලෙන් ගෙනෙන ලද මැටිවලින් මෙම දාගැබ කරවනලද බවයි, දාගැබෙහි සමාරම්භය පිළිබඳ තොරතුරු සොයන කල්හි අනාවරණය වන්නේ. එසේම මුල් අවස්ථාවේ දී දාගැබ ධන්‍යාකාර හැඩය ගත් බවත් කියැවේ. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ මෙහි තැන්පත් කර ඇති බව ද ඓතිහාසික තොරතුරු අනුව අනාවරණය වේ.

අතීත තොරතුරු එසේ වුව ද ථූපාරාම චෛත්‍යයෙහි වර්තමානයේ දක්නට ලැබෙනුයේ ඝණ්ඨාකාර හැඩයයි. ඒ ස්වරූපය ගත්තේ ක්‍රි.ව. 1862 දී කරන ලද ප්‍රතිසංස්කරණයෙනි. එසේම පොළව මට්ටමේ සිට අඩි 11 ක් උසැති, විශ්කම්භය අඩි 164 කින් යුත් වෘත්තාකාර වේදිකාවක් මත තැනූ මළුවක මෙම දාගැබ ඉදිකර තිබේ. මෙකල උස අඩි 63 කි. විශ්කම්භය අඩි 59 කි. අනුරාධපුර, ථූපාරාම දාගැබ ආශි‍්‍රතව වටා පිටාව නිරීක්‍ෂණය කිරීමේ දී ස්තූපය කේන්ද්‍ර කරගත් ගල් කණු පේළි සතරක් දක්නට පිළිවන.දාගැබට සමීප ඇතුළු කවයේ සිට පිටත කවය දක්වා ක්‍රමක්‍රමයෙන් උසින් අඩු වන ගල් කුලුණු මෙහි වේ. තනි ගලින් නිමවා ඇති මේවායෙහි පහත කොටස සතරැස් ය. කුලුණේ තුනෙන් දෙකක් පමණ වන ඉහළ කොටස අෂ්ටාශ්‍රාකාර හැඩයක් ගනී. එබඳු හැඩයකින්ම යුත් කැටයමින් අලංකෘත කුලුණු හිස් වෙනම තනා කුඩුම්බි, තව් ඇසුරින් කුලුණුවලට සම්බන්ධ කර තිබේ.

චෛත්‍ය ගර්භයට අඩි 03 අඟල් 01 ඈතින් ගර්භය වටා දිවෙන කුලුණු පෙළ අඩි 22 අඟල් 10 ක් උස කුලුණු 52 කින් යුක්තය.මෙම කුලුණු වටයට අඩි 10 අඟල් 03 ක් ඈතින් පිහිටි දෙවන කුලුණු වටයේ අඩි 21 අඟල් 03 බැගින් උස කුලුණු 36 කි. දෙවන කුලුණු වටයට අඩි 09 අඟල් 07 ක් ඈතින් පිහිටි තෙවන වටයේ අඩි 19 අඟල් 09 ක් උස කුලුණු 40 ක් දක්නට ලැබේ.

මෙම කුලුණු වටයට අඩි 14 ක් ඈතින් සිටුවා ඇති සිව්වන නැතිනම් බාහිර කුලුණු වටයේ අඩි 14 ක් උස කුලුණු 48 කි. මේ කුලුණු මත කූටාගාර පියස්සක් දැව උපයෝගි කරගෙන ඉදිකොට තිබෙන්නෙට ඇතැයි විශ්වාස කෙරේ. තෙවන සහ සිව්වන ගල් කණු පේළි අතර වෘත්තාකාර ගඩොලු බිත්තයක් තිබූ බවට නටබුන් දක්නට ලැබේ.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස්, මහාචාර්ය, සෙනරත් පරණවිතාන සූරීන් ‘ලංකාවේ ස්තූප’ නමැති පර්යේෂණ කෘතියෙහි ථූපාරාම දාගැබ සඳහා ඉදිකරන්නට ඇතැයි අනුමාන කෙරෙන චේතියඝරයෙහි සැලැස්ම ඉදිරිපත් කර තිබේ.චෛත්‍ය පිහිටි මළුවට පිවිසීම සඳහා උතුරු හා දකුණු දිශාවලින් , සඳකඩ පහණ, මුරගල් ආදියෙන් සමන්විත සෝපාන පන්ති දෙකක් යොදා තිබේ.

පැරැණි සිංහල රජදරුවන් වරින්වර මෙම දාගැබ ප්‍රතිසංස්කරණය කළ බවට තොරතුරු වංශ කතාවල සඳහන් වේ. සමහර අවස්ථාවල ථූපාරාම දාගැබ සඳහා කංචුක කළ බව සඳහන් වේ.

ඉන් අර්ථවත් වන්නේ දාගැබ විශාල කළ බවය. මේ සඳහා නිදසුන් ලෙස ක්‍රිස්තු පූර්ව 119 සිට 109 දක්වා රජ පැමිණි ලංජිතිස්ස රජතුමා මෙම ස්තූපයට ශෛලමය කංචුකයක් කරවූ පුවත ගෙන හැර දැක්විය හැක. ක්‍රිස්තු වර්ෂ 65 සිට 109 දක්වා රාජ්‍ය විචාළ වසභ රජතුමා ථූපාරාම චෛත්‍ය සඳහා වටදාගෙයක් නිර්මාණය කළ පුවතක් ද වංශකතාවල සඳහන්ය.

ක්‍රිස්තු වර්ෂ 253 සිට 261 දක්වා රජ පැමිණි ගෝඨාභය රජතුමා, ක්‍රි.ව. 365 සිට 410 දක්වා රජ පැමිණි උපතිස්ස රජතුමා, ක්‍රි.ව. 459 සිට 477 දක්වා රජ පැමිණි ධාතුසේන රජතුමා , ක්‍රි.ව. 608 සිට 615 දක්වා රජ පත් දෙවැනි අග්‍රබෝධි රජතුමා, ක්‍රි.ව. 650 සිට 659 දක්වා රජ පැමිණි දෙවැනි කාශ්‍යප රජතුමා, ක්‍රිව. 684 සිට 718 දක්වා රජ පැමිණි මානවම්ම රජතුමා, ක්‍රි.ව. 777 සිට 791 දක්වා රජ පත් දෙවැනි මහින්ද රජතුමා, ක්‍රි.ව. 815 සිට 831 දක්වා රජ පැමිණි දෙවැනි දප්පුල රජතුමා යන නරපතීහු ථූපාරාම දාගැබ පිළිසකර කිරීම සඳහා විවිධ අයුරින් සම්මාදම් වූහ.

අනුරාධපුර, ථූපාරාම දාගැබේ ඉතිහාසය පිළිබඳ තොරතුරු විමසන කල්හි සිහියට නැගෙන තවත් කරුණක් වෙයි. ඒ ථූපාරාම බිමෙහි ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හා සබැඳි පුවතයි.දේවානම්පියතිස්ස රජ දවස ඉදිවූයේ යැයි වංශ කතා අනුව අනාවරණය වන එම බුද්ධ ප්‍රතිමාව අද එහි දක්නට නොලැබේ. කෙසේ වෙතත් මහාවංශයේ සඳහන් වන්නේ එකී බුද්ධ ප්‍රතිමා වහන්සේ පළමුවෙනි ජෙට්ඨතිස්ස රජතුමා පාචීන තිස්ස පබ්බත විහාරයට වැඩම කළ වගයි.

මෙම දාගැබ හා සබැඳි තවත් ඓතිහාසික කතා පුවතක් වෙයි. බෝධි සත්ත්වයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ රාජ්‍යය දිනාගන්නට පිටදී වදාළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙහි වැඩම කරගෙන ඒමට සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ උපකාර කරගත් නෞකාවෙහි ඇතැම් කොටස් ථූපාරාම චෛත්‍යය අසල මෙහෙණවරෙහි ගොඩනැඟිලිවල තැන්පත් කර තිබූ වගක් මහා වංශයෙහි සඳහන් වුව ද ඒ කිසිවක් දැනට විද්‍යාමාන නොවේ.

අනුරාධපුර ශුද්ධ භුමියෙහි ,රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන්ට උතුරු දෙසින්, බසවක්කුලම වැවට ආසන්නව පිහිටි, වට වන්දනාවේ යන සැදැහැවතුනගේ මෙන්ම දෙස්, විදෙස් සංචාරකයන් ගේ සිත් සතන් නිවා සනහාලන, සුදෝ සුදු පැහැයෙන් බබලන, ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන ථූපාරාම චෛත්‍යය අවට සාදු නාදය රැව්, පිළිරැව් දෙන්නේ විශේෂයෙන් පොසොන් පුර පසළොස්වක පොහොයටය.

බෞද්ධ උරුමය සිරිලක ස්ථාපිත කරන්නට මුල්පියවර තබමින් මේ පුණ්‍ය භූමියේ ඉදිවූ පළමුවන චෛත්‍ය වන අනුරාධපුර ථූපාරාම දාගැබ සමීපයටම ගොස් දණ බිම ඇන නමස්කාර කරන්නට බොදු, සැදැහැවත් සැවොම අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු බව කරුණාවෙන් සිහිපත් කරමි.

අපි ථූපාරාම දාගැබ වඳිමු.

“යස්මිං දක්ඛිණ මක්ඛකඤ්ච මුනිනො
පත්තප්ප මාණාතනු
ධාතු වාපි නිධාය ලෝක මහිතො
ජබ්බණ්ණා සොභාකුලා
දේවානම්පියතිස්ස භූපතිවරෝ
කාරෙසි සද්ධාධනො
ථූපාම වරං නමාමි තමහං අජ්ක්ධායිතං
සත්ථුනා “

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.