Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සංවර්ධනයේ සැබෑ මඟ හෙට පරපුර දහමෙන් පොහොසත් කිරීමයි’

‘සංවර්ධනය’ කියන සංකල්පය පසුපස ලෝකය පුරා විශාල උද්යෝගයක් අපට දැක ගන්නට පුළුවන්. තවදුරටත් සංවර්ධනය වීමේ සිහිනය, අපේ රටේ ජනතාව තුළත් තිබෙන බව, අපි කවුරුත් දන්නවා. නමුත් අප තේරුම් ගත යුතුයි, සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ හුදෙක් ආර්ථික වශයෙන්, භෞතික වශයෙන් ලබන දියුණුවට පමණක්ම නොවන බව. එවැනි දියුණුවකින් පමණක් ලෝකයට පවතින්නට පුළුවන්කමක් නැති බව අප හොඳින් තේරුම් ගත යුතුයි. ලෝකය වඩාත් සාමකාමී සහ සහජීවනයෙන් යුතු තැනක් බවට පත්වන්නට නම්, අධ්‍යාත්මික සංවර්ධනය අද ලෝකයට අනිවාර්යයෙන් අවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. දැන් දැන් ලෝකයේ බලවතුන් පවා අපට පෙනෙනවා අධ්‍යාත්මික සංවර්ධනය, ආකල්ප වර්ධනය පිළිබඳ විශාල උනන්දුවක් දක්වමින් තිබෙන අයුරු. භෞතික සංවර්ධනයේ දියුණුවක් සමග ඇති වූ අර්බුදවලට ලෝක බලවතුන්ට පවා පිළිතුරක් නොමැති නිසා ඔවුන් දැන් ආකල්ප සංවර්ධනය ගැන, අධ්‍යාත්මික සංවර්ධනය ගැන උනන්දුවක් දක්වන අයුරු අපට දකගන්නට පුළුවන්. මෙවැනි අධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකිරීමට නම් සමාජයක් තුළ, ඒ සමාජය පිළිගත් හර පද්ධතියක් තිබීම, අත්‍යවශ්‍ය ය. ඊට හේතුව වන්නේ සමාජය විසින් පිළිගනු ලබන පිළිගනු ලැබූ හර පද්ධතියක් නොමැති විට, මිනිසාට තමන්ගේ ජීවිතයේ සීමා; තමන්ගේ ආශාවන්හි සීමා මොනවාද යන්න සලකුණු කරගන්නට ක්‍රමවේදයක් නැතිව යෑමයි. මේ නිසා ඕනෑම සමාජයකට යම්කිසි සාරධර්ම පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය යි. එම රාමුව තුළින් ජනතාවට තමන්ගේ ජීවිතය කොයි ආකාරයටද පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳ නිගමනයකට පැමිණෙන්නට අවකාශය සැලසෙනවා. නූතන ලංකා සමාජය වේගයෙන් භෞතික දියුණුව කරා යද්දී ඔවුන් අමතක කරමින් ඉන්නවා ආධ්‍යාත්මික හර පද්ධතිය ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව. තරගකාරීත්වය, නාගරීකරණය, සමාජය තුළ වර්ධනය වීමත් සමග එම තරගකාරී ආර්ථිකයට ගැලපෙන දැනුම සහ කුසලතා තිබෙන මිනිසෙක් ගොඩනංවා ගැනීමට විශාල තරගයක නියැළෙමින් සිටිනා බව අපට දැකගන්නට පුළුවන්. නමුත් අප අමතක නො කළ යුතුයි දැනුමට පමණක් මුල්තැන දීලා අපි ‍ෙගාඩනංවන සමාජයක මනුෂ්‍යත්වය ඉතිරි කර ගන්නට කිසි ලෙසකින්වත් අවස්ථාවක් නොලැබෙන බව. භෞතික විෂයයක් පමණක් උගත් අය සිටින රටක, එකිනෙකාට ගරු කරන, එකිනකාගේ අනන්‍යතා පිළිගන්නා පිරිසක් කිසි ලෙසකින්වත් බිහිවන්නේ නැහැ. එනිසා සාරධර්ම අධ්‍යාපනය කුඩා කළ සිටම පවුල තුළදීම ලබා දිය යුතුයි. එසේම එය අධ්‍යාපන ආයතන තුළදී අනිවාර්යයෙන් ලබා දිය යුතු දෙයක් බවට පත් වෙලා තිබෙන බව, අප සමාජයේ උද්ගත වෙලා තිබෙන ගැටලු දෙස බලන විට අවබෝධ කරගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඕනෑම සමාජයක කොතරම් දුරට ඔවුන් ගුණාත්මකව දියුණු ද කියන කරුණ සලකා බැලීමේදී අවධානය යොමු කරන පැතිකඩක් තමයි ඒ සමාජය කාන්තාව කෙරෙහි දක්වන ආකල්පය. ඕනෑම රටක කාන්තාව කෙරෙහි දක්වන ආකල්ප දියුණු නම්, කාන්තාව දෙස බලන විදිහ ගෞරවාන්විත නම්, ඒ සමාජය පිළිබඳ අනාගත බලාපොරොත්තු ධනාත්මකව තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අද දවස වන විට සමාජයේ යම් (සුළුතර) පිරිසක් කාන්තාවකට දැක්විය යුතු ගරුත්වය දක්වන්නේ නැතිව ඔවුන් අපහසුතාවයට පත් කරන අවස්ථා දක්නට ලැබෙනවා. ඒ සුළුතරයක් පමණයි. බහුතර සමාජය ගත්තවිට එය එලෙස නොවෙයි. අදටත් අපේ සමාජයේ, අපේ ජනතාව අතර මවට, දියණියට, ඒ පැවැතිය යුතු මානසිකත්වයෙන් යුතුව ගරු බුහුමන් කරන තත්ත්වය අපට දැකගන්නට පුළුවන්. සන්නිවේදන තාක්ෂණය ඔස්සේ විවිධ දහම් ගුරුවරුන් විසින් පසුගිය දශක දෙක තුළ සිදුකරනු ලැබූ ධර්ම සන්නිවේදනය, මෙසේ වීමට හේතුවක් යැයි අප කල්පනා කරනවා. නමුත් අවාසනාවකට නැණ උගතුන්ගෙන් පිරී ගිය ආයතනවල, එනම් විශ්ව විද්‍යාල වැනි ආයතන තුළ දිනෙන් දිනම එකිනෙකා අතර ගැටුම් වර්ධනය වන ආකාරයක් ද අපට දැකගන්නට පුළුවන්. මේ ගැටුම්වලට දෙන අර්ථකථනය අනුව තමයි, සමාජය ඒ දෙස බලන්නට පටන් ගන්නේ. එනිසා විශේෂයෙන්ම අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කරගත් යම්කිසි විධිමත් සාරධර්ම පද්ධතියක් අපේ රටට අවශ්‍ය යි. එසේ නොමැති වුවහොත් එකිනෙකා කුළල් කා ගන්නා උගතුන් පිරිසක් මේ රට තුළ බිහිවන එක වළක්වන්නට පුළුවන්කමක් කිසිවකුටවත් ලැබෙන්නේ නැහැ. එහෙත් ශිෂ්‍යයන්, තම නිදහස් අධ්‍යාපනය රැක ගැනීම හා අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සිදුකරන විරෝධතා නවතා දැමිය යුතු යැයි එයින් මම අදහස් කරන්නේ නැහැ. නමුත් ඒවාද පක්ෂ දේශපාලන අරමුණු වලින් ඔබ්බට ගොස් ජාතික අරමුණු වෙනුවෙන්, අධ්‍යාපන අයිතින් රැක ගැනීම වෙනුවෙන්, අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් පමණක් සිදු වියයුතු යහපත් මැදිහත්වීම් විය යුතුයි. එසේ කරන කටයුතු සැබවින්ම අපි අගය කළ යුතුයි.

ඒත් පටු අරමුණු කරා ගිය විට ශිෂ්‍යයන් අතර අඬදබර කලකෝලහල ඇතිවන ආකාරය අපට දැකගන්නට පුළුවන්. එය සමාජයේ තවත් පිරිසකට නරක ආදර්ශයක් සපයනවා. ඇතැම් දරුවන්ට විශ්ව විද්‍යාලයට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට තිබෙන උනන්දුව පවා විශ්ව විද්‍යාල තුළ සිදුවන මෙම අරගල නිසා නැති වී යන්නට ඉඩ තිබෙනවා. මෙය නරක තත්ත්වයක්. ඒ ගැන අපි සමාජයක් හැටියට අවධානය යොමු කළ යුතු යි. ඉතින් එසේ සාරධර්ම පිරිහී යෑම නතර කරන්නට, මෙවැනි තත්ත්වය වළක්වන්නට බුදු සමයෙන් ඉදිරිපත් කළ හැකි යෝජනා කවරේද යන්න පෙන්වා දීමයි අපගේ් බලාපොරොත්තුව.

බුදුදහම සාරධර්ම වර්ධනය ගැන පවසන වැදගත් න්‍යායයක් තමයි එය පටන් ගත යුත්තේ ‘ගෙදරින්’ බව.

බාහු සච්චංච සිප්පංච
විනයෝ ච සුසික්ඛිතෝ

‘ අප නිවස තුළින් බිහි කරන මිනිසා තුළ බහුශ්‍රැත බව, නිර්මාණශීලි කුසලතා, හොඳ ආකල්ප හා නිවැරැදි විනය ගොඩනැංවීමට ඇපකැප වීම අත්‍යවශ්‍ය යි. එසේ නොමැතිව දැනුමට පමණක් මූලිකත්වය ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් තුළ හෝ දැනුම අමතක කරලා ආකල්ප සහ කුසලතා වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් තුළ පරිපූර්ණ මිනිසකු බිහි වන්නේ නැහැ. සමාජ සාරධර්ම වලට වඩාත් ගරු කරන මිනිසකු දැනුම, කුසලතා, නිවැරැදි ආකල්ප, බහුශ්‍රැත බව, ශිල්ප ශාස්ත්‍ර සහ විනය යන අංශ සියල්ල එක සමානව ගොඩනැංවීමෙන් බිහිකළ යුතු බවයි, බුදුසමය යෝජනා කරන්නේ. සමාජයට විවිධ දැනුම, ආකල්ප අපි එක් කළ යුතු වන්නේ කෙසේ ද යන වග බුදුදහම මගින් පෙන්වා දෙනවා.

කුඩා කාලයේ පූර්වාචාර්යවරු වශයෙන් පිළිගන්න මවුපියන් විසින් මේ පිළිවෙළට දරුවකු හික්මවීම ආරම්භ කළ යුතුයි. ‘අනුපුබ්බ සික්ඛා’ අනුපූර්ව ලෙසට ශික්ෂණය කිරීම, පළමුවෙන්ම කුඩා දරුවෙක් ආදර්ශයෙන් බුදු දහම අනුමත කරනවා. යම් යම් සාරධර්ම ග්‍රහණය කරගන්නේ ඔහුගේ මව දෙස, පියා දෙස, ආච්චි අම්මා දෙස සීයා දෙස බලමින් ඔවුන් අනුකරණය කරමිනුයි. මේ නිසා පූර්වාචාර්යවරුන් වන මවුපියන් ඉතා ආදර්ශ සම්පන්න හැසිරීමක, මඟ පෙන්වීමක සිටීම, අවශ්‍ය යි.

බුදු දහමට අනුව සලකා බලද්දී සමාජ සාරධර්ම ගොඩනංවන්නට නම්, එසේ කිරීම අත්‍යවශ්‍ය යි. අවවාද දහස් ගණනකට වඩා, එක ආදර්ශය උතුම් බව බුදු සමය පිළිගන්නවා. ඒ නිසා පුබ්බාචරිය හෙවත් පූර්වාචාර්යවරුන් වන මවුපියන් දරුවන් තුළ සාරධර්ම, යහපත් ආකල්ප වර්ධනය කරගන්නට අපේක්ෂා කරනවා නම් ඔවුන්, තමන් පළමුව ඒ සඳහා ආදර්ශ සම්පන්න හැසිරීම් ප්‍රකට කළ යුතු වනවා. දරුවන් වැඩිවෙලාවක් ගතකරන්නේ පවුල් ඒකකය තුළ නිසා එසේ කිරීමට අත්‍යවශ්‍යයි. මේ කාරණය මම ඔබට අවධාරණය කර සිටිනවා. ඒ වාගේම ගුරුවරයා සහ ශිෂ්‍යයා අතරත් පිය - පුතු සබඳතාවක් ගොඩනැංවීමේ අවශ්‍යතාව බුදුරදුන් විසින් අවධාරණය කර තිබෙනවා.

නමස්කාර කළ යුතු දකුණු දිසාව ලෙස සිඟාල ගෘහපති පුත්‍රයාට බුදුරදුන් පෙන්වා දුන්නේ ආචාර්යවරුන්. ආචාර්යවරුන් දරුවාට යහපත් දෙයම පෙන්වා දෙනවානම් ඒ දරුවන් තුළ යහපත්, සුබවාදී ධනාත්මක ආකල්ප ගොඩනැඟීම නතර වන්නේ නැහැ. ඔවුන්, ඒ ඔස්සේ යම්කිසි වර්ධනයක් තමන්ගේ ජීවිත තුළ ලබාගන්නා බව ඒකාන්තයි. එනිසා මවුපියන් , දෙගුරුන් ලෙස යම් කොටසකුත්, ගුරුවරුන්ගේ තවත් කොටසකුත් වශයෙන් දරුවාගේ සාරධර්ම ගොඩනැංවීමේදී එය ප්‍රතිඵලදායක වනු නියතය. අනිත් වැදගත් දේ තමයි බුදු සමයේ මූලික දාර්ශනික හරය වශයෙන් ඉගැන්වෙන කරුණ ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යනු එයයි.

සියලු සංස්කාර අනිත්‍යය යන්නයි එහි තේරුම. සියලු දේවල් වෙනස් වෙනවා කියන එකයි. ස්ථිර සදාකාලික කිසි දෙයක් නැත යන ගැඹුරු දහම, අපගේ දරුවන්ට ඒත්තු ගැන්වීමේ අවශ්‍යතාව තිබෙනවා. ගැඹුරින් එවැනි කරුණු තේරුම් ගත් දරුවෙක් කිසි ලෙසකින්වත් සමාජයට අයහපත් දෙයක් සිදු කරයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. එවැනි දරුවෙක් සමාජයට අයහපත් ලෙස හැසිරෙයි කියලා හිතන්න බෑ. මවුපිියන්ට ගුරුවරුන්ට, කාන්තාවන්ට නොසලකා හරින කෙනෙක් බවට එවැනි කෙනෙක් පත්වෙයි කියා අප විශ්වාස කරන්නේ නෑ. ඉතින් මේ ජීවිත යථාර්ථය දරුවන් තේරුම් ගන්නේ කොහොමද? දහම් පාසල වැනි ආයතන මගින් ධර්ම අධ්‍යාපනය තුළින් ඒවා දරුවන්ට ලබාදීමෙන් තමයි සමාජයක සාරධර්ම ගොඩනැගිය හැකි වන්නේ. ගැඹුරු දහම් දැනුමක් ලබා දීමෙන් දරුවන් තුළ ශික්ෂණයක් ගොඩනංවීමේ හැකියාව තිබෙනවා.

එබැවින් මේ කරුණු දැඩි ලෙස සැලකිල්ලට ගෙන දරුවන් වඩාත් යහපත් හා නිවැරැදි මාවතක ගමන් කරවීම හා ඔවුන්ගේ අධ්‍යාපනය ශක්තිමක් කිරීම උදෙසා සියලු දෙනා ඇපකැප විය යුතු බවයි අප කල්පනා කරන්නේ. සැබවින්ම ලෝකයේ සැබවින් දියුණු වන්නට අවශ්‍ය යම් ජාතියකට, සාරධර්ම අධ්‍යාපනය අත්‍යවශ්‍ය දෙයක් බව මා මෙහිදී සිහිපත් කරන්නට කැමැතියි. නීතිරීති ඇති කිරීමෙන් පමණක් රටක යහපත් මිනිසුන් පුරවැසියන් බිහි වන්නේ නැහැ. ‘නීතිය’ යනු යම්කිසි දඬුවමකට ඇති බිය මගින් මිනිසුන් හික්මවන ක්‍රමයක්. එය අනවශ්‍ය යැයි මම ඛ්යන්නේ නැහැ. නමුත් ඒ තුළින් පමණක් යහපත් සාරධර්මවලින් පිරි සමාජයක් බිහි කිරීමට කවුරුන් හෝ සිතනවානම්, එය කෙසේවත් කළ නොහැකි දෙයක් බවයි අප අවධාරණය කර සිටින්නේ .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.