සිත
කෙලෙසන
සිතිවිලි
බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි
Mahabodhi Centenary Commemorative Volume -
SAMBHASHA සඟරාවේ පළ වූ පූජ්‍ය බලංගොඩ
මෛත්‍රෙය මහ
නා හිමියන්ගේ Defilements of the Mind(Kilesa) ලිපියේ පරිවර්තනයකි
පරිවර්තනය
නාරාවිල පැට්රික්
කෙලෙස් දහම් විෂයයෙහි මනස ප්‍රතිචාර දක්වන පියවර තුනක් ඇත. මෙහිදී
කෙලෙස් දහම් යන්නෙන් අදහස් කැරෙන්නේ මනසෙහි හටගන්නා එයට අහිතකර තත්ත්වය
හෙවත් සිතිවිලි ය. එනම් ලෝභ, දෝස, මෝහාදිය යි.
කෙසේවෙතත් මේ කෙලෙස් දහම්හු අපේ මනස තුළ හැම විට ම අත්දකින්නට
නොලැබෙයි. ඒවායේ පහළවීම එසේ පහළ වන ඒ ඒ කල්හි ම අපට පැහැදිලි නැතත්,
යම් යම් කල්හි අපේ මනස තුළ උපත ලබන ප්‍රවණතාවක් ඇත. තදනුරූපව කෙලෙස්
දහම් මනසේ උපත ලබන උදාසීන පියවර එයයි. අන් හැටියකින් කියතොත්, උදාසීනව
වැතිර ගත් කෙලෙස් දහම්හු අවස්ථාව ලද කල්හි පමණක් ක්‍රියාත්මක වන්නට
පටන් ගනිති. ඒ මූලික පියවර යි.
ඉක්බිති දෙවන පියවර අත්දකින්නට ලැබෙන්නේ මෙසේ ය. කිසියම් පුද්ගලයෙක්
හනික ඔබ ඉදිරියට ආවේ යැ යි සිතන්න. ඔහු ඔබට නොසරුප් බසින් බණින්නට පටන්
ගනී, නොයෙක් නොසරුප් නම් පටබඳිමින් බැණ අඬගසයි. එහිදී ඔබ දැඩි
කම්පනයටත්, කෝපයටත් පත් වන්නට හැකි ය. එහෙත් ඔබ ඔහුට කිසිදු හිරිහැරයක්
නොකරති යි සිතන්න. ඔබ ඔහුට කටුක හෝ අමිහිරි බසකුත් නොදොඩනු විය හැකි ය.
ඔබ ඔබේ මනස පාලනය කර ගන්නට පුහුණුව ලබා ඇති හෙයින් ඔහුගේ නොසරුප් බිණීම
ඉවසා දරා ගෙන නිශ්ශබ්ද වන්නට පුළුවන. එසේ වුවත් ඉඳහිට ඔහු කළ දේ මතක්
වන කල්හි ඔබ තුළ කෝපයක් ඇති වන්නට හැකි ය. එවන් මොහොතක කෝපය හටගෙන
ඇත්තේ ඔබේ මනසෙහි ය. දෙවන පියවර වන්නේ එය යි. එය වනාහි කෝපය ආදී
කෙලෙසුන් හටගැනීමේ තවත් පියවරකි.
දැන් අපි තුන් වැනි පියවර ගැන සිතමු. පුද්ගලයකු ඔබ වෙත පැමිණ ඔබට බණිති
යි සිතන්න. එවිට ඔබ කෝපයට පත් වනු ඇත. ඔබේ කෝපය හනික උත්සන්න වන්නට
පුළුවන. එවිට ඔබ ඔහුගේ කම්මුලට පහරක් ගසයි. මෙවන් මොහොතකදී කෝපය සාහසික
ද වූයේ ය. මේ පියවරේදී මනස එතරම් ප්‍රකම්පනය වූයේ ඔබ ක්ලේශ භරිත වූ
නිසා ය. එයින් මනස එවන් දරුණු ක්‍රියාවක් කරන්නට තරම් ඉදිරියට ගියේ ය.
ඇතැම් පුද්ගලයන් මානව ඝාතනය වැනි දරුණු අපරාධ වලට පෙළඹෙන්නේ මේ තුන්
වැනි පියවරේදී මානසික කෙලෙස් දහම් උත්සන්න වීමෙනි.
බුදුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මාර්ගය පිළිගෙන, එය අනුගමනය
කිරීමෙන් අපේ අරමුණ වන්නේ මේ ක්ලේශධර්ම මැඬලා, පලවා ඛ්ැර අපේ මනසින්
ඒවා ඉවත් කිරීම යි. දැන් අපි ඒ අරමුණ ඉටු කර ගන්නේ කෙසේ දැයි සිතා
බලමු.
මේ ක්ලේශධර්ම උදාසීනව පවත්නා පියවර ඉතා සියුම් ය. මූලික අවස්ථාවේදී ඒවා
හඳුනා ගැනීම අපහසු තරම් ය. කලින් සඳහන් කරන ලද දෙවන පියවර, එනම්
ක්ලේශධර්ම පිළිබඳ බලවත් හැඟීම ඇති වන අවස්ථාව ද පළමු වන පියවරට වඩා
දුරවබෝධ තත්ත්වයෙන් අඩු වුවත්, මේ සියල්ල සිදුවන්නේ මනස තුළ පමණක් වන
හෙයින් හඳුනා ගැනීම පහසු නොවේ. එහෙත් ක්ලේශධර්ම ක්‍රියාත්මකවීම පිළිබඳ
තුන් වැනි පියවර, එනම් අප ඕනෑ ම කෙනෙකු විසින් සිදුකරනු ලබන දුෂ්ට
ක්‍රියාවක ප්‍රතිඵලය හැම කෙනෙකුට ම පැහැදිලි ය. ඒ සිය ඇසින් දැකගත හැකි
නිසයි. තදනුරූපව බලන කල අප විසින් ආගමානුකූල ක්‍රියා මාර්ගයක් පටන් ගත
යුත්තේ මේ අවස්ථාවේදී ය. අපේ ජීවිතයේ ඕනෑ ම පියවරකදී, හැම මොහොතක ම
සාවධානව ද, අසාමාන්‍ය අවබෝධයෙන් ද මෙහෙයවන ලදුව ඉදිරියට යායුත්තෙමු.
අපේ හේතු දැක්වීම අප අවබෝධය වෙත මෙහෙයවන්නක් විය යුතු ය. එලෙස අප
විසින් කරන ලද අකුසල පාක්ෂික ක්‍රියාවන්ගේ අනිෂ්ට ප්‍රතිඵල කෙතරම්
වැදගැම්මකට නැති ඒවා දැයි හඳුනා ගත යුතුය. එමඟින් අපට අකුසල පාක්ෂික
ක්‍රියා, කතාබහ සහ සාවද්‍ය ජීවන මාර්ගයන්ගෙන් වැළකීමට වඩාත්
අධිෂ්ඨානශීලී වන්නට පවා පුළුවන. අපට අපේ සිත් පාලනය කර ගත හැකි වන්නේ
එවන් ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පමණි. එයින් අපේ නොඉවසිල්ල
නැතහොත් අසහනය මැඩ පැවැත්වෙනු ඇත. එයින් අපේ සදාචාරය පිළිබඳ නීති රීති
හෝ චාරිත්‍ර වාරිත්‍ර නොකෙලෙසෙනු ද ඇත.
අප විසින් කිසිදු අකුසල ක්‍රියාවක් කර නැතත්, බාහිර අරමුණු මඟින් අපේ
මනස බාධක සහ බලපෑම් වලට යටත් කරනු ලැබූ ඕනෑම විටක උදාසීනව පැවති
ක්ලේශධර්ම වරින් වර ඉස්මතු වන්නට පුළුවන. අපේ මනස තුළ පහළ වන ක්ලේශධර්ම
එක්තරා පමණකින් පාලනයට යටත් කළ හැකි වන්නේ සාවද්‍ය වාග් ව්‍යවහාර
ආදියෙන් වැළකීමට යත්න දැරීම මඟිනි. එකල්හි සාහසිකත්වය පුපුරා නොයනු ඇත,
සක්‍රීය නොවනු ඇත. ඒ වෙනුවට ඒවා උදාසීනව යටපත් වනු ඇත.
එහෙත් අප දන්නා පරිදි ක්ලේශධර්මයෝ ඒවායේ දෙවන පියවරේදී වරින් වර මනස
තුළ ඉස්මතු වෙති. අපේ සිතේ ස්වභාවය පිළිබඳ අප සාවධාන හා සැලකිලිමත් විය
යුත්තේ මේ පියවරේදී ය. ඇයි ද යත් වරින් වර සිත කෙලෙස් බර වන්නේ මේ
පියවරේදී නිසා ය. දැන් අප එයට හේතුව ;සායා බැලීම මැනවි. ඒ සොයා බැලීමට
අපේ පරීක්ෂණ ශක්තියේ උපකාරය වුවමනා ය. ඔබ දැනගත යුතු පරිදි අපේ මනස
කිසියම් නිමිත්තකට යොමුව පවතින කල්හි නන්විධ හැඟීම් ජනිත වන අතර ඇතැම්
විට ඒවා මනස වෙළා ගන්නට දෝලනය වන්නා සේ පෙනේ. මෙවන් සිදුවීම් නිතර ම
වාගේ ක්‍රියාත්මක වන්නේ නොසැලකිලිමත් පුද්ගලයාගේ මනසේ ය. එබැවින් අපේ
මනස ඒ අතට හෝ මේ අතට දෝලනය වන්නට නොහැකි වන පරිදි නිත්‍ය පාලනයක් යටතේ
තබා ගත යුතු ය. එහෙත් මනස කවර හෝ නිමිත්තක එල්බ ගැනීම ස්වාභාවික බවට අප
එකඟ විය යුතු ය.
එබැවින් අප විසින් මනසෙහි ආධ්‍යාත්මික විමුක්තිය සඳහා වඩාත් උපයෝජ්‍ය
නිමිත්තක් තෝරා ගත යුතු ය. එවන් නිමිති තිස් අටක් අපේ බෞද්ධ මූල
ග්‍රන්ථයන්හි සඳහන් අතර වැඩිමනත් දෙකක් අටුවා ග්‍රන්ථයන්හි එයි. මේවා
පාලි භාෂාවෙන් “කම්මට්ඨාන” නමින් හැඳින්වේ. ආනාපාන සතිය, ආලෝකය, බුදුන්
වහන්සේගේ ඇතැම් ගුණ ආදිය ඉන් ඇතැම් ඒවා ය. මේවායින් එක් වරකදී තෝරාගත
යුත්තේ එක් නිමිත්තක් පමණි. මේ පියවර ගන්නා අතර ම ආර්ය මාර්ගයේ
සම්මාදිට්ඨි, සම්මාවායාම ආදී අංග විසින් අපේ බලාපොරොත්තුවට ගැළපෙන
පරිදි මනසේ උපදවා ගත හැකිව තිබේ.
ඉක්බිති ඉදිරි පියවරට යමින් මනස විසින් තෝරා ගන්නා ලද නිමිත්ත කෙරෙහි
පිහිටා සමාධිය වැඩිය යුතු ය. සමාධිය වඩාත් දියුණු කළ කල්හි මනස කෙමෙන්
වෙනත් නිමිති හෝ අරමුණු වෙතින් ඈත් වෙයි. එකල්හි තදනුරූපව ක්ලේශධර්මයනට
නැඟී සිටින්නට අවස්ථාවක් නොලැබේ. එවිට ඒවා තමන්ගේ මූලික ස්වාභාවික
මට්ටමට පසුබසී. හෝ යටපත් වෙයි. එනම්, නිද්‍රාශීලී වෙයි. එවිට මනසට
නිවැරැදි දැක්ම, නිවැරැදි සංකල්පනාව, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය
සහ නිවැරැදි චිත්ත ඒකාග්‍රතාව (සමාධිය) සහ තවත් එවැනි නන්විධ ආවේණික
ධනාත්මක මානසික ගුණාංග, සන්සුන්ව පියවරින් පියවර මනස තුළ පෙළ ගැසෙන්නට
පටන් ගනී. එමඟින් ඒවා මනස තුළ ස්ථාවර පියවරකින් පවත්වා ගන්නා උත්සාහයක
නිරත වෙයි.
මනස ඉදිරියෙන් ඉදිරියට ආධ්‍යාත්මික විමුක්ති මාර්ගයේ සංවර්ධනාත්මක
පියවරට එළඹෙන විට මනස පිවිසෙන තවත් එවන් අවස්ථා අටක් ඇත. බෞද්ධ
ශබ්දවේදයේ එවන් පියවරවල් ධ්‍යාන නමින් හැඳින්වෙයි. ධ්‍යාන යනු මනසෙහි
ආනන්දජනක, ප්‍රහර්ෂාත්මක පියවරවල් ය. මේවා මානසික සමාධියෙහි හෙවත්
ඒකාග්‍රතාවේ වර්ධනාත්මක අවස්ථා වෙයි. ප්‍රායෝගික අභ්‍යාසය මඟින් මානසික
ක්ලේශධර්ම මැඬලා, මෙල්ල කර, යටපත් කරන්නට හැකි දෙවන පියවර එය යි. එනම්
ධ්‍යානය යි.
කෙසේ වෙතත් අප නොකඩවා ධ්‍යාන ක්‍රියාවලියට පිවිසෙන්නට අමතක කළහොත් සහ
අපේ නොසැලකිල්ලේ බලපෑමක් ලෙස අපේ අවධානය බාහිර නිමිති හෙවත් අරමුණු
කෙරෙහි යොමු කළහොත්, එකල්හි ඇතැම් විට අප අත්පත් කර ගෙන ඇති මානසික
සමාධියේ හෙවත් ඒකාග්‍රතාවේ දියුණු පියවරින් අප ඇද වැටෙන්නට පිළිවන. එසේ
ම ඇතැම් ක්ලේශධර්ම උත්සන්නවී අපේ මනස යළිත් වෙළා ගන්නටත් හැකි ය.
ඇතැම් විට එය දිගින් දිගටත්, එසේ ම වන්නට පුළුවන. එයට හේතුව ක්ලේශ
ධර්මයනට ඕනෑම විටක නැඟී සිටීමට හැකි ප්‍රවණතාවක් තිබීම යි. තදානුරූපව
අපේ කාර්යභාරය විය යුත්තේ, ක්ලේශ ධර්මයනට හිස ඔසොවන්නට අවකාශ සලසන හේතු
නිෂ්ක්‍රීය කරන්නට මෙහෙයවන ක්‍රියා මාර්ගය සොයා ගැනීම සහ එය අනුගමනය
කිරීම යි.
-අපි දැන් බෞද්ධ පිළිවෙතේ තුන් වැනි පියවරට එළඹෙමු. මෙහිදීත් අපට අපේ
තර්කණය හා නිරීක්ෂණය පිළිබඳ බලය සහ එසේ ම මානසික ක්ලේශධර්ම පැන නැඟීමට
ඉඩ සලසන හේතු විනිවිද දකින ක්‍රියාවලිය තුළ අපේ බුද්ධි මහිමය හෙවත්
ඉන්ද්‍රිය කෞශල්‍යය භාවිත කරන්නට සිදුවෙයි. සැබවින් ම එය “ අපි කවුරු
වෙමු දැ” යි යන අවබෝධයේ හිඟපාඩුවට අදාළ ය. එය අපේ කායික හෝ මානසික
සෞඛ්‍යයට අහිතකර තත්ත්වය පිළිබඳ සියලු පැවතුම් අපේ මනස තුළ හට ගැනීමේලා
ඉඩකඩ සලසයි.
මේ අවබෝධයේ හෝ තේරුම් ගැනීමේ හිඟපාඩුව පාලි භාෂාවෙන් “අවිජ්ජා” නමින්
හැඳින්වෙයි. අවිජ්ජා යනු අවිද්‍යාව හෙවත් අනවබෝධය යි. අපි එය නූගත්කම
හෙවත් කිසිවක් ගණනකට නොගැනීම ලෙස තේරුම් ගත යුතු වෙමු. එනම් අපේ මනස
මෝහාන්ධකාරයෙන් වෙළා ගැනීම යි. බෞද්ධ ප්‍රතිපත්තිය නම්වූ මේ තුන් වැනි
පියවරේ ආරම්භයේදී ම අප විසින් “අපි කවුරු වෙමු දැ” යි තේරුම් ගන්නට
උත්සාහ දැරිය යුතු ය.
අපට භෞතික ශරීරයක් සහ අභෞතික මනසක් ඇතැ යි යන සත්‍යය අපි දනිමු,
අත්දකිමු. මේ ශරීරය යනු කුමක් ද? අපි පළමුවෙන් අපේ මනසින් අපේ ශරීරය
විග්‍රහ කරමු. අපේ අත්දැකීමෙන් අපේ සිරුර වැඩෙමින් තිබෙන බව අපි දකිමු.
ඉක්බිති එය ජරාවට හෙවත් මහලු බවට යනුත් දකිමු. එහෙත් හනික සිදුවන එහි
වැඩීම හෝ හනික මහලු බවට යෑම හෝ අපට දකින්නට නුපුළුවන. කෙසේ වෙතත්
එක්තරා කලක් ගත වන විට එය වැඩී ඇති බව අපට දකිනු හැකි ය.
එක්තරා දවසක අපි ළදරුවකු දකිමු. ඉන් මාස කීපයකට පසු ඒ ළදරුවා වැඩී ලොකු
මහත්වී සිටිනු දකිමු. එහෙත් ඔහු එසේ ලොකු මහත් වූයේ කවරදා ද? කිනම්
මොහොතේ දැ යි අපි නොදකිමු.
කෙසේ වෙතත් ඔහු මොහොතක් පාසා වැඩෙමින් සිටියේ ය. එසේ වැඩෙනවාත් එක්ක ම
ඔහු මහලු වෙමින් ද සිටියේ ය. මෙසේ ඉපදීමත් එක්ක ම මහලු බවට යෑමත් පටන්
ගනිමින් සිදුවන්නේ ද, දිගින් දිගටම යන්නේ ද වෙයි. අපේ භෞතික ඇසින් අපට
දකින්නට බැරි වුණත්, එසේ ම එයට නොපෙනුණත්, වැඩීමේ සහ මහලුවීමේ
ක්‍රියාවලිය නොකඩවා එක දිගට සිදුවී තිබේ. එබැවින් අපේ භෞතික ශරීරය, අපට
පෙනෙන හැටියට මොහොතක් පාසා එක දිගට වෙනස් වෙමින් පවතින බව පෙනේ.
පි අපේ සිරුර මනසින් විග්‍රහ කරමු නම්, දීර්ඝ විමර්ශන ක්‍රියාවලියකින්
පසු එය අනවරතයෙන් වෙනස් වෙමින් පවත්නා අණු ස්කන්ධයක් (ගොන්නක්) බව දැන
ගන්නට ලැබෙනු ඇත. අප තව දුරටත් විමර්ශනයෙහි යෙදෙමින් ඉදිරියට ගියහොත්,
අන්තිමට එය හුදෙක් එක්තරා කම්පන පරිමාවකට (වෙළුමකට) වැඩි දෙයක් නොවෙති
යි ආදී නිගමනයකට එළඹෙන්නට සිදුවන බව පෙනේ. එසේ ම අපේ කායස්කන්ධ වෙළුම
තුළ කොතැනක හෝ ඇතැ යි ගත හැකි, වෙනස් නොවන කිසිවක් නැති බව දැන
ගන්නටත්, දැක ගන්නටත් හැකි වනු ඇත. එනම් අයිති කර ගත හැකි හෝ පාලනය කළ
හැකි හෝ ස්පර්ශ කළ හැකි “මම” හෝ “මගේ” යැ යි කිය හැකි ආත්ම ස්වභාවයක්
නැති බව යි. එය හුදෙක් ක්ෂණ භංගුරත්වයක් පමණි. දැන් අපට සම්‍යක්
දෘෂ්ටියකට එළඹිය හැකි ය. එනම් අපේ කායස්කන්ධය ද හුදෙක් නාමධර්මයක් ම
පමණක් බව යි. අපේ කායස්කන්ධය ක්ෂණ භංගුරව අනවරතයෙන් විපරිණාමයට යෙයි.
එය අස්ථාවර ය. එහි සන්තුෂ්ටිය හෙවත් “සුඛ” විසින් ග්‍රහණය කර, තමා
සන්තකයට ගත හැකි ද්‍රව්‍යමය කිසිවක් නැත. එනම් සර්වාර්ථයෙන් ම
අවාස්ත්වික ය.
දැන් අප අපේ ශරීරය ගැන සලකන විට එහිලා නිවැරැදි අවබෝධය වෙත එළඹ ඇති
කල්හි, ඉක්බිති අපේ අවධානය අපේ මනස කෙරෙහි යොමු කළ යුතු ය. එහිදී අපේ
මනසේ ක්‍රියාකාරිත්වය දකින්නට නම්, මානසික අභාසයකම යෙදිය යුතු ය. එනම්
මනසේ නන්විධ තත්ත්වයේ සංඥා ඇතිව නැතිව යන්නේ කෙසේ ද සහ ඒ එක්ක ම ඒවායේ
තැන ගන්නට සංඥා පිළිබඳ අලුත් තත්ත්වයන් ජනිත වන්නේ කෙසේ ද යනු යි. මේ
පරීක්ෂණය ගැඹුරින් ගැඹුරට යායුත්තකි. අන්තිමට අපේ ම යථාර්ථවත් තේරුම්
ගැනීම මඟින් නිගමනයකට එළඹෙන තුරු, අපේ ම මනස පවා එහිලා ප්‍රමාණවත් නොවන
බව අපට වැටහෙනු ඇත.
එහෙත් ක්ෂණ මාත්‍රිකව ඇති වෙමින් හා නැති වෙමින් සිදුවන චින්තනධාරා
හෙවත් සිතිවිලි පිළිබඳ ක්‍රියාමාර්ගයේ මේ ක්ෂණ භංගුර විපරිණාම චෛතසික
ස්වභාවය, අපේ ශරීරයේ සිදුවන එවන් විපරිණාමයකට වඩා සංකීර්ණ ය. අපේ මනස ද
අස්ථාවර වූවකි.එය ප්‍රත්‍යක්ෂ සන්තුෂ්ටියෙන් ශූන්‍ය ය. වාස්ත්වික
ස්වභාවයෙන් තොර ය. එහි ආත්ම භූතාර්ථය හෙවත් “ආත්මය” යනුවෙන් ගත හැකි
කිසිවක් නැත. විපරිණාමයට යන්නාවූ යමක් වේද, එහි නියම ස්වභාවයෙන් ගත් කල
සතුට හෙවත් සොම්නස ලෙස ගත හැක්කක් නැත.එබැවින් දැන් අපට යළි යළිත්
පිළිවෙළන් ශරීරය හා මනස කේන්ද්‍රීය ලෙස ගෙන අභ්‍යාස කරන්නට භාවනා
ආකෘතියක් ඇත.
අප නිවැරැදි අවබෝධය (සම්මාදිට්ඨි) සාක්ෂාත් කර ගෙන පරිපූර්ණත්වයට එළඹෙන
විට අවිද්‍යාව නමැති මෝහාන්ධකාරය වියැකී යනු ඒකාන්ත ය. එකල්හි යළිත්
කිසිදාක ඒ මෝහාන්ධකාරය විසින් අපේ මනස වෙළා නොගනු ඇත. අවිද්‍යාව
මුලිනුපුටා දැමීමේ කාරිය චතුරංග පියවරක් මඟින් පරිපූර්ණත්වයට පත් කරනු
ලැබේ. එනම් සෝතාපත්ති, සකදාගාමී, අනාගාමී, අරහත්ත යනු යි. මේ චතුරංග
පියවරේදී නිවැරැදි අවබෝධය (සම්මාදිට්ඨි) ආදී විමුක්ති මාර්ගාංග
සාමූහිකව චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අදාළ කාර්යභාරය සැලසුම්
කරයි. ඉක්බිති අවසාන වශයෙන් ඒවා අර්හත්වයේ කූටප්‍රාප්තිය පිණිස තමන්ගේ
ව්‍යායාමය කැප කරනු ලැබේ.
භාවනා ක්‍රියාවලිය පටන් ගන්නට හැකි වන්නේ තුන් වැනි පියවරේදී ය. මෙහිදී
සිදුවන්නේ අපේ කය සහ මනස විග්‍රහ කිරීම යි. එය ආධ්‍යාත්මික අභ්‍යාසය
හෙවත් විපස්සනා භාවනා නමින් හැඳින්වෙයි.මේ අභ්‍යාසය එහි ප්‍රාථමික
පියවරේදී ප්‍රාථමික මාර්ගය හෙවත් පුබ්බංග පටිපදා සහ නිවැරැදි අවබෝධය
(සම්මාදිට්ඨි) ආදී අෂ්ටාංගය මූලික කොට පවතී.
මේ පියවරේදී මනසෙහි හටගන්නා තත්ත්වය හැඳින්වෙන්නේ ඒවායේ මූලික ලෞකික
ලක්ෂණ පිළිබඳ මාර්ග අංග ලෙසිනි. පාරිශුද්ධිය පිළිබඳ චතුරංග පියවරේදී
ඒවා ප්‍රමාණවත් පරිදි පරිපාතයට යද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින්
හැඳින් වෙයි.
අප සිල් සමාදන් වන විට හෝ ධ්‍යාන අභ්‍යාස කරන විට අපේ මනස තුළ ඇති වන ඒ
පිළිබඳ හැඟීම, නිවැරැදි අවබෝධය හෙවත් සම්මාදිට්ඨි සහ අනිකුත් මාර්ගාංග,
ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ සාධක ලෙස සලකනු නොලැබේ.
එහෙත් ඒවා මනසෙහි කිසියම් පරිපූර්ණ තත්ත්වයක මූලික ලක්ෂණ පමණක් වෙයි.
ඒවා බොහෝ සෙයින් වනගත ප්‍රධාන මාර්ගයකට පිවිසිය හැකි නමුත්, නියත
විසින් ම එසේ වෙති යි සහතික කළ හැකි හෝ නොහැකි අතුරු අඩිපාරවල් වැනි ය.
|