Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර බැමි සිඳ දමන පිළිවෙත් හතක්

සබ්බාසව සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ සසරින් නිදහස් වීමට පිළිවෙත් පුරන ශ්‍රාවකයා ඔහුගේ මනසෙහි උපන්නා වූ කෙළෙස් ප්‍රහාණය පිණිස ද, නූපන්නා වූ කෙළෙස් නූපදීමට ද වග බලා ගත යුතු බව ය. එසේම කෙළෙස් ප්‍රහීණ කිරීම, දර්ශනයෙන්, සංවරයෙන්, පටිසේවනයෙන්, නිසි පරිහරණයෙන්, ඉවසීමෙන්, වර්ජනයෙන් සහ භාවනාවෙන් යනුවෙන් ආකාර 7 කින් කළ යුතු බව දේශනා කොට ඇත.

සත්වයා නැවත නැවත සසර ඉපදීමට හේතුව වශයෙන් බුදුදහමෙහි දක්වා ඇත්තේ සත්ත්වයාගේ මනසෙහි මුල් බැස ඇති කෙළෙස් සමුදායයි. පුද්ගලයාට සසර නැවත උපතක් ඇති කර දෙමින් නිමක් නොපෙනෙන මරු කතරක් හා සමාන සංසාරයට ඇද දමන කාරණා 4 ක් පිළිබඳ තථාගතයන් වහන්සේ පැහැදිලි කොට ඇත.

මේවා ‘ආශ්‍රව යැයි’ හඳුන්වනු ලැබේ. මෙම ආශ්‍රව ධර්ම 4 නම්, කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව හා අවිච්ඡාශ්‍රව වන්නේ ය. මෙහි දී කාමාශ්‍රව වශයෙන් හඳුන්වා ඇත්තේ කාමයන් පිළිබඳව ඇති දැඩි බැඳීමය. භවශ්‍රව යනු කාම - රූප අරූප යන ලෝකත්‍රයට ඇති බැඳීම බව දත යුතු ය. දිට්ඨාශ්‍රව යනු පුද්ගලයා විසින් ගොඩනගා ගෙන ඇති විවිධ දෘෂ්ටි ය. අවිච්ඡාශ්‍රව යනු පුද්ගල මනසෙහි හටගන්නා මුලාව යැයි දත යුතුය. මෙසේ කියන ලද ආශ්‍රව පිළිබඳ සහ මෙම ආශ්‍රව ක්ෂය කිරීමේ පිළිවෙළ පිළිබඳ පැහැදිලි කරන ලද දේශනයක් ලෙස මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රය හැඳින්විය හැකි ය.

දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේ අමතා ‘මහණෙනි, ආශ්‍රව ක්ෂය කිරීම දන්නා අයට හා දක්නා අයට පමණක් සිදුකළ හැකි දෙයක් වන්නේ ය. කුමක් දන්නා හා දක්නා අයට ද? යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය දන්නා අයට ය. අයෝනිසෝමනසිකාරය ඇති තැනැත්තා තුළ නිතර නිතර නූපන් කෙළෙස් හට ගන්නේ ය. යෝනිසෝමනසිකාරය ඇති තැනැත්තාගේ නූපන් ;කළෙස් හට නොගන්නේ ය. තථාගතයන් වහන්සේ මෙම ආශ්‍රව ධර්ම 4 ප්‍රහාණය කළ යුතු ආකාරය පැහැදිලි කරමින්,

මහණෙනි! දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් ඇත. සංවරයෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. පටිසේවනයෙන් (ප්‍රයෝජනයට ගැනීමෙන්) පහ කළ යුතු කෙළෙස් ඇත. පරිහරණයෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. ඉවසීමෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. වර්ජනයෙන් පහ කළ යුතු කෙළෙස් හා භාවනාවෙන් පහ කළ යුතු කෙළෙස් ඇත ආදී වශයෙන් විවිධ කෙළෙස් නැති කළ යුතු විවිධ පිළිවෙත් ඇති බව දේශනා කළහ.

මෙහිදී දර්ශනයෙන් පහ කළ යුතු කෙළෙස් කවරෙද යත්, ධර්මය නූගත් පෘතග්ජන තැනැත්තා මෙනෙහි කළයුතු දෙය නොදකි යි. මෙනෙහි නොකළ යුතු දෙය ද නොදකියි. එබැවින්, ඔහු මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරයි. මෙනෙහි කළයුතු දේ මෙනෙහි නොකරයි. ඒ කෙසේද යත්, යම් දෙයක් මෙනෙහි කිරීමෙන් නූපන් කාමාශ්‍රව (කාමයන්ට ඇති බැඳීම්) උපදීද, උපන් කාමාශ්‍රව ප්‍රගුණ වෙයි ද, නූපන් භවාශ්‍රව (භවයට ඇති තෘෂ්ණාව) උපදියිද, උපන් භාවශ්‍රව වැඩෙයි ද, නූපන් අවිජ්ජාශ්‍රව (මුලාව) උපදියි ද, උපන් අවිජ්ජාශ්‍රව ප්‍රගුණ වෙයිද, ධර්මය නොදත්තා වූ පුද්ගලයා මෙසේ මෙනෙහි නොකළ යුතු දෙයම මෙනෙහි කරන්නේ ය.

එසේම මෙම අශ්‍රැතවත් තැනැත්තා විසින් මෙනෙහි නොකරන්නා වූ ද එහෙත් මෙනෙහි කළ යුතු දෙය කුමක් ද යත්, යම් දෙයක් මෙනෙහි කිරීමෙන් නූපන් කාමාශ්‍රව හට නොගනීද, උපන් කාමශ්‍රව දුරු වෙයි ද, නූපන් භවාශ්‍රව හට නොගනී ද, උපන් භවාශ්‍රව දුරු වී යයි ද, නූපන් දිට්ඨාශ්‍රව හට නොගනී ද, උපන් දිට්ඨාශ්‍රව දුරු වෙයි ද, නූපන් අවිජ්ඡාශ්‍රව හට නොගනීද, උපන් අවිජ්ඡාශ්‍රව දුරු වෙයි ද, මෙය ඔහු විසින් මෙනෙහි කළ යුත්තේ ය. එහෙත් ඔහුගේ මෝහයේ ඇති බලවත්කම නිසාම එසේ මෙනෙහි නොකරන්නේ ය. ඔහු අයෝනිසෝමනසිකාරයම දිගින් දිගටම ප්‍රගුණ කරන්නේ ය. ඔහුගේ මෙම අයෝනිසෝමනසිකාරය නිසා විවිධාකාර දෘෂ්ටි ඇති කරගන්නේ ය. එනම් අතීතයේ මම සිටියේ ද? නැද්ද? අනාගතයේ දී මම කවුරුන් වන්නෙමි ද? කෙසේ සිටිම්ද? ආදී වශයෙන් තුන් කාලය පිළිබඳ විවිධාකාර දෘෂ්ටි ඇතිකර ගන්නේ ය. එසේම මේ ආකාරයට වැරැදි සංකල්පනා ගොඩනගන මොහුට, හය ආකාරයකින් දෘෂ්ටි ඇති වන්නේ ය. එනම් 1. මට ආත්මයක් ඇත, 2. මගේ ආත්මය නැතිවෙලා යන එකක්, 3. ආත්මයකින් තමයි මම ආත්මය හඳුනාගන්නේ, 4. ආත්ම නොවන දෙය මම හඳුනාගන්නේ ආත්මය තුළින්, 5. මාආත්මය හඳුනාගන්නේ , අනාත්මයක් (ආත්ම නොවන දේ) තුළින්, 6. කථා කරන, සැපදුක් විඳින ආත්මයක් මා තුළ තියෙනවා. තථාගතයන් වහන්සේ ;මම දේශනයෙදී පැහැදිලි කරනුයේ අශ්‍රැතවත් තැනැත්තා තුළ මේ ආකාරයට දෘෂ්ටි හටගන්නා බව ය. මෙය දෘෂ්ටි කාන්තාරයකි. දෘෂ්ටි හුලකි, දෘෂ්ටි කම්පනයකි, එසේම මෙය දෘෂ්ටි බන්ධනයකි. වශයෙන් උන්වහන්සේ පැහැදිලි කළ සේක. මෙසේ දෘෂ්ටි බන්ධන එකතුවීම නිසා, ඔහු ඉපදීමෙන් නිදහස් නොවන්නේ ය. ජරා මරණවලින් නිදහස් නොවන්නේ ය. ශෝක වැළපීම්, කායික මානසික දුක් වලින් නිදහස් නොවන්නේ ය. කෙටියෙන් කියතොත් සසර බන්ධනයට ඔහු හසු වන්නේ ය.

එහෙත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන්ම උත්සාහ කරනුයේ නුපන්නා වූ ආශ්‍රව හට නොගැනීමට හා උපන්නා වූ ආශ්‍රව දුරු කිරීමට ය. ඔහු මෙනෙහි කළ යුතු දෙය හා මෙනෙහි නොකළ යුතු දෙය පිළිබඳ මනාව හැඳින, සතර ආකාරයක ආශ්‍රව දුරු කරන්නේ ය. එවිට ඔහු තුළ සසරට බැඳ තබන ලෙස සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය යන සංයෝජන 3 සිඳී යන බව, තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කළ සේක. මේ ආකාරයට දර්ශනයෙන් ඇතැම් කෙළෙස් බැහැර කළ යුතු බව දත යුතු ය. එසේම සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙළෙස් පිළිබඳ විස්තර කරන බුදුන් වහන්සේ, නුවණින් මෙනෙහි කොට චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාණ ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනින්ද්‍රිය යන මෙම ඉන්ද්‍රිය සංවර කර වසන්නා වූ ශ්‍රාවකයාගේ ඒවා නිසා හට ගන්නා කෙළෙස් නිසා විඩාව, දැවිල්ල දුරු වන්නේ ය. මෙය, සංවරයෙන් ආශ්‍රව පහකිරීම යැයි දත යුතු ය.

එසේම පරිහරණයෙන් දුරුකළ යුතු ආශ්‍රව ඇත්තේ ය. ශාසනයේ පැවිදි භික්ෂුව තමා පරිහරණය කරන සිවුරු සීත උෂ්ණය වළක්වා ගැනීමට යැයි සිතයි. ලබන ආහාර කුසගිනි වේදනා දුරු කර ගැනීමට යැයි ද පරිහරණය කරන සේනාසන සර්ප ආදී සතුන්ගෙන් ආරක්ෂාව සඳහා යැයිද, ලබන බෙහෙත් නිරෝගී භාවය පිණිස යැයිද කල්පනා කරයි. මෙසේ යෝනිසෝමනසිකාරයෙන් සියල්ල පරිහරණය කරන විට නූපන් ආශ්‍රව නූපදියි. හටගත් ආශ්‍රව දුරුවෙයි. මෙසේ කිරීම, පරිහරණයෙන් ආශ්‍රව දුරු කිරීම යැයි දත යුතුය.

එසේම ඉවසීමෙන් දුරුකළ යුතු ආශ්‍රව ඇත්තේ ය. යමෙක් සීතල උෂ්ණ, මැසි මදුරු පීඩා, සා පිපාසා, නින්දා අපහාස, මාරාන්තික ශාරීරික වේදනා, උපේක්ෂාවෙන් ඉවසා දරා ගන්නේ ද, ඔහුට ඒවා නො ඉවසීම නිසා ඇතිවන කෙළෙස් නිසා හටගන්නා වූ වෙහෙස හා දැවිල්ල නැතිවී යන්නේ ය. මෙය, ඉවසීමෙන් ආශ්‍රව පහ කිරීම යැයි දත යුතු ය.

එසේම වර්ජනයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. නුවණැත්තා නපුරු සතුන් ඇති ස්ථාන මඟ හැර යයි. උල්කටු ලැහැබ් සහිත ස්ථාන මඟ හරියි. තමාගේ සීලයට චෝදනා කළ හැකි (සීලය බිඳෙන) ස්ථාන මඟ හැර යයි.

තමාට නුසුදුසු ස්ථාන ඇසුරු නොකරමින්, පාප මිත්‍රයන් දුරු කරයි. මෙමගින් එකී කාරණාවලින් එළඹෙන වෙහෙස දුරු වී යයි. පීඩාව නැති වී යයි. මෙය වර්ජනයෙන් කෙළෙස් දුරුකිරීම යැයි දත යුතු ය. එමෙන්ම, ඉවත් කිරීමෙන් ආශ්‍රව දුරු කිරීමක්ද ඇත. එනම් යම් අවස්ථාවක කෙනෙක් කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි, හිංසා සිතිවිලි, තම සිතෙන් වීර්යයෙන් දුරුකරයි ද, අභාවයට පත් කරයි ද, ඉවත් කරයිද, එය ඉවත් කිරීමෙන් ආශ්‍රව දුරුකිරීම යැයි දත යුතු ය.

අවසාන වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනුයේ භාවනාවෙන් ආශ්‍රව පහ කිරීම ගැනය.

යම් ශ්‍රාවකයෙක් විවේකය, විරාගය, නිරෝධය ආධාර කොට, සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, වීර්ය සම්බොජ්ඣංගය, පී‍්‍රති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය වඩන්නේ ද ඔහුට නූපන්නා වූ ආශ්‍රව නූපදින්නේය, උපන්නා වූ ආශ්‍රව දුරු වී යන්නේය.

මේ ආකාරයෙන් යම් ශ්‍රාවකයෙකු විසින් දර්ශනයෙන් සංවරයෙන් නිසි පරිහරණයෙන්, ඉවසීමෙන්, වර්ජනයෙන්, බැහැර කිරීමෙන් හා භාවනාවෙන් යන ආකාර 7 කින් ආශ්‍රව ප්‍රහාණය කිරීමට දක්ෂ වන්නේ ද, හෙතෙම තෘෂ්ණාව සිඳ දමන අයකු වන්නේ්ය. සියලු සංයෝජන පහ කරන ලද වන්නේ ය. ඔහු මානය විනිවිද දැකීමෙන් සසර දුක කෙළවර කළ අයකු වන බව, තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.

තෙරුවන් සරණයි!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.