Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘දහම් පාසල දැනුමට - තරගයට සීමා විය යුතු නෑ’

තරග පැවැත්වීම බෞද්ධයන් තරග කාරීත්වයකට ගෙන යාමකි. නමුත් බුදු දහම තරගකාරිත්වය අනුමත නොකරයි. මෙම තරග පැවැත්වීම නිසා එකිනෙකා තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමිත්වය වැනි හැඟීම් ඇතිවේ. දහම් පාසල තුළින් ඉටු විය යුතු වන්නේ ගුණ ධර්ම හා සාරධර්ම කියාදීම පමණක් නොව භාවනාවට යොමු කිරීමත් ළමයින් සහභාගි කරවා ගෙන විවිධ පුණ්‍ය ක්‍රියා (වැඩිහිටියන්ට උපස්ථාන කිරීම, දන් දීම) ආදියත් ය . මෙයින් දර ැවෝ තෘප්තියක් ලබති. එසේම දිගින් දිගට මෙවැනි පුණ්‍ය ක්‍රියාවල නිරත වීමටත් පෙළඹෙති.

නිදහසින් පසු බුදු දහමට නව ජීවයක් ලැබෙමින් පවතින මෙවැනි යුගයක දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කළ යුතු කාලය දැන් එළඹ ඇත. වර්තමාන දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය මගින් බෞද්ධ ළමයින්ට ලබාදිය හැකි වන්නේ දැනුම පමණි. එනම් ප්‍රධාන අරමුණ වී ඇත්තේ දැනුම දියුණු කිරීමයි. එය විභාගය සමත් වී සහතිකයක් ලබා ගැනීමට පමණක් සීමා වී ඇත.

ළමයින් දහම් පාසල් අධ්‍යාපනය ලබන්නේ සහතිකයක් ලබා ගැනීමට මිස ගුණධර්ම හෝ සාරධර්ම හෝ ඉගෙනීමට නොවේ. නමුත් දහම් පාසල් මගින් ඉටු විය යුතු වන්නේ ළමයින්ට ගුණධර්ම සාරධර්ම පිළිබඳ අවබෝධය ලබාදීමයි. එසේ කිරීමට නම් වර්තමාන අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුය. පාසලේදී අපට ඉගෙනීමට සිදු වී ඇත්තේ බටහිර අධ්‍යාපන ක්‍රමයයි. විභාගය සහ විභාග සහතිකය මත පදනම් වූ මෙම අධ්‍යාපන ක්‍රමය දහම් පාසලට ගෙන යාම ආගම පිළිබඳ හැඟීමක් ඇති බෞද්ධයන් වන අපට කෙසේවත් එකඟ විය නොහැකි ක්‍රියාවකි.

මේ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අද දහම් පාසල් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ද බිඳ වැටී ඇත. ඇත්තෙන්ම බෞද්ධ රටක් වන අපේ රටට ගැළපෙන්නේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයයි. මෙම බටහිර අධ්‍යාපන රටාව මිනිසුන්ට ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය දැක්වීමට ඉඩක් නොදෙන්නා සේම ඔවුන්ට තමන්ගේ් ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට ගෙන අධ්‍යාත්මික අංශය ගැන අවධානය යොමු කිරීමට ද කොහෙත්ම ඉඩ ප්‍රස්ථාවක් නොදේ. භෞතික වස්තූ®න් පදනම් කර ගත් මෙම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව වැනි රටකට නොගැළපේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ සමහර බෞද්ධයන්ට පොහොය දිනකටවත් පන්සල් යාමට අවකාශ නැත. මක්නිසාද යත් මේ තරගකාරී සමාජය තුළ මිනිසුන් යාන්ත්‍රික වී ඇත. එසේ සිදුවී ඇත්තේ මේ අධ්‍යාපන රටාව නිසයි. අතීතයේ ලක්දිව තුළ එතරම් භෞතික දියුණුවක් නොතිබුණ ද ඉතා උසස් ආධ්‍යාත්මික දියුණුවක් තිබුණි. වර්තමාන අධ්‍යාපන රටාවෙන් සිදුවන්නේ මිනිසාව දැනුමින් පෝෂණය කිරීමයි. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමයට කිසිම දෙයක් පිළිබඳව යථාවබෝධයක් ලබා දිය නොහැක. අතීතයේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය මීට වඩා බෙහෙවින් සාර්ථක විය. එමෙන්ම උදාහරණයක් ලෙස සමීක්ෂණ වාර්තාවලට අනුව වර්තමානයේ සමහරක් වෛද්‍යවරු මත් වතුර පානයට ඇබ්බැහි වී සිටිති. තවත් සමහර වෛද්‍යවරු තමන්ගේ අඹු දරුවන් මරා දමන තත්ත්වයන්ට පත්ව සිටිති. සමාජයේ ඉතාමත් පිළිගැනීමක් ඇති මෙවැනි පිරිස් මෙවැනි තත්ත්වයන්ට පත්ව සිටින්නේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ තිබෙන දුර්වලතා නිසාය. පාසලෙන් උගන්වන කරුණු කටපාඩම් කර මතකයේ තබාගෙන විභාග සමත් වීම නිසා වෛද්‍ය වෘත්තියට තේරී පත්වන ඔවුනට රෝගීන්ට මත් වතුර පානය කිරීමෙන් වැළෙඳන රෝග වලට ප්‍රතිකාර කිරීමට හැකියාව ඇති නමුත් පාසලේ උගන් වූ දේ පිළිබඳව යථාවබෝධයක් නොතිබූ නිසා සමහරක් වෛද්‍යවරු මත් වතුර පානය කිරීමට ඇබ්බැහි වී ඇත. මේ අනුව අතීතයේ වෙද උතුමෝ ශ්‍රේෂ්ඨයෝ වෙති. මෙම ශ්‍රේෂ්ඨත්වය නැති වූයේ යුරෝපීන් රැගෙන ආ අධ්‍යාපන රටාව නිසා හා ශ්‍රී ලාංකිකයන් එය වැළඳ ගැනීම නිසාය.

අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දේශනා කළ ‘යේ ධම්මා හේතුප්පභවා.....’ යන ගාථාවේ පළමු පද දෙක ඇසීමෙන් ම හෙතෙම සෝවාන් භාවයට පත් වූයේ එම පද දෙක පාඩම් සිටීමෙන් නොව ඔහු එම ගාථාවේ තේරුම අවබෝධ කරගත් නිසාය. එමෙන්ම චුල්ලපන්ථක තෙරුන්ට ගාථා පාඩම් නොවීම නිසා මහපන්ථක තෙරුන් උන්වහන්සේව පන්සලෙන් පිටුවහල් කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන්ට සුදුරෙදි කඩක් දී ‘රාජෝ හරණං’ කියමින් එය පිරිමැදීමට උපදෙස් දුණි. ඒ ඔස්සේ සිත යොමු කිරීමෙන් උන්වහන්සේ අරහත් භාවයට පත් විය. එමෙන්ම තමන් ඉගෙන ගත් දේ පිළිබඳ යථාවබෝධ තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විශාල පිරිසකට නිවන් මඟ කියා දුන්නේ් ධර්මය කටපාඩම් කරවීමෙන් නොව ධර්මය අවබෝධ කර ගැනීමට සැලැස්වීමෙන්ය. එම නිසා තමන් කරන කියන දේ පිළිබඳව මනා අවබෝධයක් නොමැතිව එහි දියුණුවක්ද බලාපොරොත්තු විය නොහැක. මේ අනුව ඉතාමත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් බුදුන් වහන්සේ බුදුදහමේ හඳුන්වා දී ඇත. එමෙන්ම ගුරුවරුන්ට හොඳම ආදර්ශමත් චරිතය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්විය හැක. මෙම නිසා පාඩම් කර විභාග ලිවීමේ මෙම අධ්‍යාපන ක්‍රමය කොහෙත්ම සාර්ථක නැත. මක් නිසාද යත් පාඩම් නොකර මෙම විභාග සමත් විය නොහැකි නිසාය. බුදුරජාණන් වහන්සේ සුදුස්සන් තෝරාගෙන තනතුරු පිරිනැමුවේ මෙවැනි තරගකාරී විභාග පැවැත්වීමෙන් නොවේ.

එමෙන්ම බටහිර රටවල් තුළින් ද ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථක භාවය ඔප්පු කර පෙන්විය හැකිය. බටහිර රටවල් තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් සමහරෙක් මෙම අධ්‍යාපන ක්‍රමය තුළින් දක්ෂ ලෙස අධ්‍යාපනය ලැබූවන් නොවේ. එවැනි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් බිහි කිරීමට මෙම අධ්‍යාපන ක්‍රමයට නොහැකි විය. එබැවින් මෙම අධ්‍යාපන ක්‍රමය සාර්ථක එකක් නොවේ. නොඑසේ නම් ඇල්බට් අයිස්ටයින් වැනි ශ්‍රේෂ්ඨ බටහිර විද්‍යාඥයන් මෙම අධ්‍යාපනය තුළින් බිහිවිය යුතුව තිබුණි. නමුත් මෙම අධ්‍යාපන රටාව මගින් සිදුකළේ අදක්ෂයන් යැයි කියා ඔවුන්ව පාසල් වලින් ඉවත් කිරීමයි.

මෙහි වඩාත් ශෝචනීය තත්ත්වය වන්නේ මෙම අධ්‍යාපන රටාව බෞද්ධ දහම් පාසල තුළටත් නොයෙක් ආකාර වලින් ගෙන යෑමයි. බටහිර අධ්‍යාපනය ඉස්මුදුනින් පිළිගත් සමහර බෞද්ධයන් විසින් මෙය දහම් පාසල තුළට ගෙනයාම තුළින් සිදුවන්නේ බෞද්ධයන් අතින්ම බුදුදහම විනාශ වීමයි.

අවම වශයෙන් දහම් පාසල තුළිවත් බුදුන් වහන්සේ භාවිතා කර ඇති අධ්‍යාපන ක්‍රමය අනුගමනය කළ යුතුය. දහම් පාසල තුළින් ළමයාට අවබෝධ කළ යුත්තේ ජීවිතයේ යථාර්ථයයි. එනම් ජීවිතයේ අරමුණ හා සත්‍ය ළමයින්ට අවබෝධ කරවීමයි. එමඟින් ඔවුන් එම අරමුණ කරා යෑමට මඟ පාදා ගනු ඇත. එසේ නොමැතිව කළයුත්තේ ගාථා කට පාඩම් කරවා විභාගයට ලියවා සහතිකයක් ලබාදීම නොවේ. එම නිසා දහම් පාසලට කොහෙත්ම විභාග අවශ්‍ය නැත. දහම් පාසල තුළට තරගකාරීත්වයක් අවශ්‍ය නැත. මෙම නිසා වර්තමාන දහම් පාසල් තුළන් සමාජයට ඉටුවිය යුතු යුතුකම ඉටු නොවේ. එමෙන්ම වාර්ෂිකව පැවැත්වෙන දහම් පාසල් තරග ගැන ද යමක් සඳහන් කළ යුතුය. බුදු දහමින් බලන කළ මෙසේ තරග පැවැත්වීම බෞද්ධයන් තරගකාරීත්වයකට ගෙන යාමකි. නමුත් බුදු දහම තරගකාරිත්වය අනුමත නොකරයි. මෙම තරග පැවැත්වීම නිසා එකිනෙකා තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමිත්වය වැනි හැඟීම් ඇතිවේ. මේවා යහපත් ගුණාංග නොවේ. මෙයද යම් ආකාරයකට බටහිර අධ්‍යාපනය දහම් පාසල තුළට ගෙන ඒමකි. මෙසේ බුදුදහම රැක ගැනීමට සිටින අය බුදුදහමේ පිරිහීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කිරීම හදවතින්ම බුදුන් සරණ ගිය පිරිසගේ බලවත් කනගාටුවට කරුණකි. දහම් පාසල තුළින් ඉටු විය යුතු වන්නේ ගුණ ධර්ම හා සාරධර්ම කියාදීම පමණක් නොව භාවනාවට යොමු කිරීමත් ළමයින් සහභාගි කරවා ගෙන විවිධ පුණ්‍ය ක්‍රියා (වැඩිහිටියන්ට උපස්ථාන කිරීම, දන් දීම) ආදියත් ඉටු විය යුතුයි . මෙයින් දර ැවෝ තෘප්තියක් ලබති. එසේම දිගින් දිගට මෙවැනි පුණ්‍ය ක්‍රියාවල නිරත වීමටත් පෙළඹෙති. මෙයින් යහපත් සමාජයක් ගොඩ නැඟේ. රජය, තරුණ බෞද්ධ සංගමය වැනි ආයතන වහාම ක්‍රියාත්මක වී මේ ගැන සැලකිලිමත් විද යුතුයි. මෙතරම් අදැහැමි සමාජයක් ශ්‍රී ලංකාව තුළ බිහිවී ඇත්තේ හරියාකාරව දහම් පාසල් අධ්‍යාපනයක් නොලැබීම නිසාය. අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. අපිට අපිටම ආවේණික වූ සංස්කෘතියක් තිබේ. අපි එය නැවත ගොඩ නගමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.