‘ගමයි - පන්සලයි
එක් වූ සමාජයක්
ගොඩනඟමු’
කැලණිය පෑලියගොඩ
විද්‍යාලංකාර මහා පිරිවෙනේ
උඩගලදෙණියේ
ධම්මවිමල හිමි
ගමයි - පන්සලයි අතර ඇති සම්බන්ධය,
දායකයා හා භික්ෂුව අතර ඇති සම්බන්ධය පැවතුණු එදවස අප සමාජය සුචරිත
දැහැමි ගුණ ගරුක
සමාජයක් විය.වර්තමාන සමාජය දෙස බලන විටදී
උක්ත කරුණු වෙනස් වෙමින් පවතින බව පෙනේ.
එම නිසා අපේ මුතුන් මිත්තන් සිදු කළ දෙය
අපි යළිත් අපේ අනාගත
පරපුර වෙනුවෙන් සිදු කරමු.
‘රට හැදීමට නම් පළමුවෙන්ම මිනිසා හැදිය යුතුය’ යන්න වියත් මතයකි.
මෙමගින් විමසූ කළ රටක් වශයෙන් දියුණු පමුණු කිරීමට මත්තෙන් ගුණ දහමින්
හෙබි පුද්ගලයන් ගොඩනංවා සිටිය යුතුය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ්
වැඩම කරවීමත් ලාංකික සංස්කෘතියෙහි මුල් අඩිතාලම සැකසී එය ක්‍රම
ක්‍රමයෙන් වඩා වර්ධනය වී ලාංකේය ජනාතවට අති උතුම් වූ සංස්කෘතියක්
බිහිවිය.
එකී සංස්කෘතිය මත පදනම්ව ලාංකිකයාගේ් ලෞකික ලෝකෝත්තර පාරිශුද්ධිය ඇති
විය. එපමණක් නොව මහින්දාගමනයත් ඒ හා බිහිවුණු බුද්ධ ශාසනයත් නිසා මහ
ජනතාව අතර ඇති වූ සමීප සම්බන්ධතාවය සුළු පටු නොවේ. එය පසුව ගම හා පන්සල
ලෙස විකාශනය විය. ගමත් පන්සලත් අතර, ඇති වූ අන්‍යොන්‍ය සුහදත්වය,
සම්බන්ධතාව ‘ගහට පොත්ත සේම’ බිළිඳු කළලයට මව මෙන්ම ඒකාබද්ධ ව පැවතුණි.
‘ගමයි - පන්සලයි’ අතර දැඩි සම්බන්ධතාවක් ඇති වූ විට එකී ජනතාව
නිරතුරුවම බුදුදහම ඇසුරු සරුකර ගනිමින් තම ජීවිකාව දැහැමි සාමකාමී
අයුරින් පවත්වාගෙන ගියහ. මිත්‍යා අදහස් උදහස් ඉවතලමින් යහපත් නිවැරැදි
දේම අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කළහ. තම තමන්ගේ් ජීවන රටාව බුදුදහම
තුළින් ගෙනෙන හරය හා සහසම්බන්ධ කර ගත්හ.
ඡායාරූපය - ජනක |
භික්ෂූන් වහන්සේ ‘මුර දේවතාවුන්’ ලෙස ද තම ‘අනුශාසකවරු ලෙස ද ඔවුහු
කල්පනා කළහ. තම ශාස්තෘවරයාණන් වහන්සේ එනම් බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවක පිරිස වන භික්ෂූ මහ සංඝයා නිරතුරුව තමන්ගේ ජීවිත සාර්ථකභාවයට
පත් කිරීමෙහිලා අවවාද අනුශාසනා ලබා දෙන පිරිසකි යන හැඟීම මෙන්ම
උන්වහ්නසේ ට ඇප උපස්ථාන ලබා දීම තුළින් ’පින් සිද්ධ වේ’ යන හැඟූම ද
පදනම් කරගෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසයෙන් නිති
සංග්‍රහ කළහ.
ගමක පන්සල පිහිටියේ කඳු මුදුනක් සහිත පරිසරයකය. එසේත් නැතිනම් ගම මැදය.
පන්සල එසේ කඳු මුදුනක හෝ ගම මැද පිහිටීම තුළින්ම බුදු දහමේ ඉගැන්වෙන
මධ්‍යස්ථභාවයම ප්‍රකට කරන්නකි. එය මුළු ගමටම ආශිර්වාදයක් විය. ගමෙහි
වසන සෑම දෙනාටම එක සේ සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරන ස්ථානයක් විය.
ඒ තුළ කිසිදු වර්ගීකරණයක් බෙදීමක් දැකිය නොහැකි විය. දුප්පත් පොහොසත්
උගත් නූගත් බේදයක් නොතිබිණි. සෑම දෙනාම උපාසක උපාසිකාවෝ වූහ. කඳු පියස
මත හෝ ගම මැද අහස උසට ඉඳි වූ චෛත්‍යය රාජයාණන් වහන්සේ ගමෙහි සෞභාග්‍යය,
සමඟිය සහජීවනය ප්‍රකට කිරීමේ සංකේතය විය.
ගැමි ජීවිකාව ගොවිතැන පදනම් කරගෙන පැවැති අතර එය රටේ සෞභාග්‍යය ද
ප්‍රකට කරන්නක් විය. ගොවිතැන රටේ ප්‍රධාන රැකියාව වූ අතර ඒ නිසා ජනතාව
ද උත්සාහයෙන් (උට්ඨාන විරියාධිගතා) දෑතේ මහන්සියෙන් (මහාබල පරිචිතා)
දහඩිය හෙළා (සේදාවක්ඛිත්තා) ධාර්මිකව (ධම්මිකා) ධාර්මික ක්‍රියා
අනුගමනය (ධම්ම ලද්ධා) කොට වැඩ කරන්නට පුරුදු පුහුණු වූහ. ‘අත සෙලව්වොත්
කට සෙලවේ’ ඒ ගැමියා සිතු නිවැරැදි දැකීමයි. එනමුත් අද සමාජය තුළ එය
කුමට පවසම් ද? අත නොසොළවා කට සෙලවීමට මාන බලමින් ජීවත්වන පිරිසකි අද
දැකිය හැක්කේ. ගැමි ජනතාව තම තමන්ගේ් කට සෙලවීම උදෙසා අත සෙලව්වට ඔවුන්
ගොවිතැන් කළේ බුද්ධ පූජාවටත් දානය ටිකක් ලබා ගැනිමේ පරම අභිලාසයෙනි.
ගොවිතැන් කිරීමේදී එකී කටයුතු සියල්ලක් පාහේ ආගම දහම ආශි‍්‍රතව ම සිදු
විය. උදැල්ලෙන් කුඹුර කෙටුවේ ‘ප්‍රාණඝාතය නොවේවා!’ යන පරම අටියෙනි. වී
වපුරා අස්වැන්න නෙළා ගන්නා තුරු ගොයමට සිදුවන විවිධ විනාශකාරී
තත්ත්වයන් මඟ හැර ගන්නේ පිරිත් පැන් ආධාරයෙනි. එයිනිදු අපේක්ෂා කළේ
ප්‍රාණඝාතයක් නොකර ස්වකීය ගොවිතැන කිරීමටය.
කිරි කරළින් බර වූ ගොයමින් මිටක් කපා ඔවුන් එය ගෙට පිවිසෙන උළුවස්සෙහි
එල්ලා තැබූ අතර ම ගොයම රන් කරළින් බර වූ විට ද මිටක් කපා ගෙන එසේ ම
එල්ලා තැබීය. අස්වැන්න නෙළා වේළා තම්බා කොටා ආහාර පිස පළමුව බුද්ධ
පූජාව පැවැත් වූ අතර ඉනික්බිති ව පන්සලටත් කොටසක් පූජා කළහ. ඉක්බිතිව
තම පරිහරණය සඳහා යොදා ගත්හ. බුදු දහමින් ලැබුණු අභාෂය එයයි. ගොවිතැන
හැර වෙනත් රැකියාවක් හෝ වෙනත් ගමනක් බිමනක් යෑමේදී බුද්ධ ධම්ම සංඝ යන
ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කිරීම අමතක නොකරයි. ‘ ගමයි පන්සලයි වැවයි
දාගැබයි’ යන සංකල්පය මේ අතර බිහි විය. එදවස අධ්‍යාපන ක්‍රියාවලියද
පන්සල ආශි‍්‍රතවම සිදුවිය.
කුඩා ළමයෙකුට අකුරු කියවීම ගමේ කුල දේවතා නම් වූ භික්ෂූන් වහන්සේ අතින්
සිදු විය. එය භාග්‍යයක් ලෙසද ජනයා සිතීය. නම් පොත, ලෝවැඩ සඟරාව
සකස්කඩය, නාමාෂ්ට ශතකය, විහාර අස්න, ගණදෙවි හෑල්ල, වදන් කවි, මඟුල්
ලකුණ ආදී පොත් පන්සල ආශ්‍රයෙන් කියවූ ජනයා බුද්ධිමත් පිරිසක් ද වූහ.
ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම උපන් දිනයක්, විවාහ දිනයක්, මුල් ගල්
තැබීමක්, ගෙට පිවිසීමක්, දරු උපතක් ආදී සෑම අවස්ථාවකදීම ත්‍රිවිධ
රත්නයේ ආශිර්වාදය පැතීය. මන්ද එයින් තම කටයුතු සාර්ථක වේ යැයි ඔවුන්
විශ්වාස කළ හෙයිනි. මේ අයුරින් ගම හා පන්සල අතර පැවතුණු සම්බන්ධය කිව
නොහැකි තරම්ය. විපතකදී සේම සැපතේදී ද පන්සල ආශ්‍රයෙන් නිසි උපදෙස්
අවවාද අනුශාසනා ලබා ගන්නේ් අන් හැමට වඩා එකී උපදෙස් වලට ගරු කරන
හෙයිනි. අගය කළ හෙයිනි. තම ඥාතියෙකු, සහෝදරයකු, පවුලේ කෙනෙකු මියගිය
විට ඔවුනට පරලොවින් සංග්‍රහ කිරීම එදා සිටම අද දක්වාම බෞද්ධ සමාජය තුළ
දැකිය හැකි සුවිශේෂී සිද්ධියකි. ඒ මන්ද මෙලොව සේම පරලොව ඇතිබව ඔවුන්
වටහා ගෙන ඇති බැවිනි. එම නිසා ඔවුහු නිතිපඤ්ච ශීලය ආරක්ෂා කළහ. පෙහෙවස්
සමාදන් වූහ. දාන ශීල භාවනාදී පින්කම් කළහ. වැඩිහිටියන්ට, ගුරුවරුන්ට,
මවුපියන්ට ගරු කළහ. සැලකූහ. සෑම කටයුත්තක්ම ආගමික මුහුණුවරකින් ආරම්භ
කළහ. මේ සෑම දෙයක්ම ලාංකික ජන සමාජය තුළ පැල පැදියම් වූයේ බුදුදහම නිසා
බව අපට කිසිසේත් අමතක කළ නොහැකිය.
ගමයි - පන්සලයි අතර ඇති සම්බන්ධය, දායකයා හා භික්ෂුව අතර ඇති සම්බන්ධය
පැවතුණු එදවස අප සමාජය සුචරිත දැහැමි ගුණ ගරුක සමාජයක් විය. සිඟාලෝවාද
සූත්‍රයෙහි එන පරිදි භික්ෂුව විසින් දායක පිරිස,
පවින් වළක්වති (පාපා නිවාරෙන්ති)
යහපතෙහි යොදවති
(කල්‍යාණෙ නිවෙසෙන්ති)
යහපත් සිතින් අනුකම්පා කරති
(කල්‍යාණෙන මනසා අනුකම්පනති)
නොඇසූ දෙය අස්වති
(අස්සුතං සාවෙන්ති)
ඇසූ ධර්මය පිරිසිදු කරති
(සුතං පරියොදපේති)
දෙව්ලොව මඟ කියා දෙති
(සග්ගස්ස මග්ගං ආචික්‍ඛනති)
යනාදී යුතුකම් හය ඉෂ්ඨ සිද්ධ කරති. භික්ෂුව විසින් දායක පිරිසට යුතුකම්
කරන විට දායක පිරිසද,
මෛත්‍රී කාය කර්මයෙන්
(මෙත්තේන කාය කම්ම)
මෛත්‍රී වචී කර්මයෙන්
(මෙත්තේන වචී කම්ම)
මෛත්‍රී මනෝ කර්මයෙන්
(මෙත්තේන මනෝ කම්ම)
නොවසන ලද දොරටු ඇති බැවින්
(අනාවටද්වරතාය)
ආහාරපානාදිය දීමෙන් (ආමිසානුප්පදානේන) යන කරුණු පසෙන් පැවිද්දාට
සංග්‍රහ කළ යුතු බවද උක්ත කරණා වලින් දක්වා ඇත. මේ කරුණු අනුව ද
පැහැදිලි වන්නේ භික්ෂූව හා දායකයා අතර පැවැති දැඩි සම්බන්ධතාවය යි.
වර්තමාන සමාජය දෙස බලන විටදී උක්ත කරුණු වෙනස් වෙමින් පවතින බව පෙනේ.
‘ගමයි පන්සලයි’ යන සංකල්පය දුරස් වෙමින් පවතී. ගුණයට වඩා ධනවත්කම එකම
සුදුසුකම ලෙස පිළිගනියි. ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනඟා ගැනීමට වෙහෙස
දරනවා විනා ධනය රැස් කිරීමට වෙහෙස දරයි. එය ධාර්මික ද නැද්ද යන්න සොයා
බැලීමක් නොමැත. ඒ නිසා රටේ අපරාධ බොහෝය. මේ සියලු අපරාධ සමාජය තුළ
පැතිරීම ආරම්භ වූයේ ගමයි පන්සලයි ඈත් වන්නට පටන් ගත් මෑත භාගයේ සිටය.
එය අපේ රටේ අවාසනාවකි. බුදුදහමේ ආභාසය ලත් අපි සැබෑ මනුෂ්‍යයෝ වූවෙමු.
සැබෑ බෞද්ධයෝ වූවෙමු. ධාර්මිකයෝ වූවෙමු. එනමුත් අද අප මනුෂ්‍ය යන නාමයට
පවා නුරුස්සන පිරිසක් බවට පත්වෙමින් පවතී. තිරිසන් හා සමාන භාවයට පත්වන
අවස්ථා එමටය. සංස්කෘත පඬිවරයෙක් පවසන ආකාරයට මිනිසා හා තිරිසනා වෙනස්
වන්නේ මිනිසා ධර්මය පිළිපඳින හෙයින් බව,
ආහාර නිද්‍රා භය
මෛථුනඤ් ච
සාමාන්‍ය මෙතත්
පශුභිර්නරාණම්
ධර්මෝහි
තෙෂාමධිකො විශෙෂො
ධර්මේණ හීනා: පශුභි: සමානා:’ යනුවෙන් ප්‍රකාශ කරයි. එමනිසා අපේ රට
තිරිසනුන් වසන රටක් හා සමාන නොකර අපේ මුතුන් මිත්තන් සිදු කළ දෙය අපි
යළිත් අපේ අනාගත පරපුර වෙනුවෙන් සිදු කරමු. ඒ සඳහා අවශ්‍ය නායකත්වය මඟ
පෙන්වීම අද අප සතුව ඇත. එහෙයින් අපි සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු. |