Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සහජීවනයෙන් සොඳුරු ලොවක් තනන බොදු පිළිවෙත්

නැණවත්, ගුණවත්, සදාචාර සම්පන්න මිනිස් සමාජයක් ගොඩනැගීම, බුදුදහමේ මූලික පරමාර්ථයකි. සහජීවනය, එවැනි මිනිස් සමාජයක යහපැවැත්ම උදෙසා අනිවාර්යයෙන්ම තිබිය යුතු උදාර ගුණාංගයකි. සරලව දක්වතොත් සහජීවනය යන්නෙන් අදහස් කැරෙන්නේ, සමගි සම්පන්නව, සහයෝගයෙන් එක්ව ජීවත්වීමයි.

සමවායෝ එව සාධු ‘සමගිය යහපති’ යනුවෙන් වදාළ භාග්‍යවතුන් වහන්සේ සමගියෙන්, සහයෝගයෙන් එක්ව වාද විවාදවලින් තොරව, සතුටින් පි‍්‍රයශීලීව ජීවත්වන මිනිස් සමාජයක් නිරතුරුවම අපේක්ෂා කළ සේක. ‘සමග්ගා හොථ චා විවාදථ’ ‘සමගිවන්ත වාද විවාද ඇතිකර නොගන්න’ යනුවෙන් බුදුන් වහන්සේ උපදෙස් දී වදාළහ. එසේම සමගි සම්පන්නවීමේදී ඇතිවන මහා බලය එයින් ඇතිවන පි‍්‍රයශීලි ස්වභාවය. එබඳු අයට සොබාදහමෙන් ආශිර්වාදය මෙන්ම සමගිකමේ ඇති භයානක ආදීනව පැහැදිලි කර වදාළහ. බුදුන් වහන්සේ ලොව පහළවන අවධියේ පැවැති වර්ණ ධර්ම මත උස් පහත්කම් තීරණය කළ බ්‍රාහ්මන සංස්කෘතිය බුදුන් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ සේක. ජාතිය, කුලය වැනි කරුණු පදනම් කරගෙන මිනිස් වර්ගයාගෙන් එක් කොටසක් උසස් ලෙසත්, තවත් කොටසක් පහත් ලෙසත් සැලකීම හෙළා දුටුවහ.

වර්ණ භේදය නිසා පහත්යැයි සම්මත පිරිසට උසස් යැයි සම්මත පිරිසගෙන් විවිධාකාර අතවර, පීඩා ගැටලුවලට මුහුණදීමට සිදු විය. ඒ නිසා පහත යැයි සම්මත මිනිස් ප්‍රජාව තුළ උසස්යැයි සම්මත ප්‍රජාව කෙරෙහි නිරතුරුව ඇතිවූයේ ද්වේෂයකි. මෙම පටු ආක්ලප සම්පූර්ණයෙන්ම බැහැර කළ භාග්‍යවතුන් වහන්සේ, උපතින් කිසි පුද්ගයෙක් බ්‍රාහ්මයෙකු හෝ වසලයකු නොවන බවත් ඔහු කරන ක්‍රියා අනුවම ඔහු බ්‍රාහ්මයෙකු හෝ වසලයකු වන බවත් පැහැදිලි කර වදාළහ. සමානාත්මතා ආකල්පය වර්ධනය කිරීම සහජීවනය ගොඩනැගීම සඳහා අවශ්‍ය බවත්, එය ප්‍රායෝගකතව ක්‍රියාත්මක කරවන අයුරුත් පැහැදිලි කළ සේක.

සමාජය විවිධ ය. විසමය එසේ විවිධ වූ විසම වූ සමාජයකින් එක සමාන ජීවන රටාවක් හෝ ආචාර ධර්ම පද්ධතියක් අපේක්ෂා කළ නොහැකි ය. එනිසා අන්‍යෝන්‍ය වශයෙන් වෙනස්කම් ඇති පුද්ගලයන් මුණ ගැසීම ස්වභාවික ය. අන්‍යෝන්‍ය වශයෙන් වෙනස් හැසිරීම් රටා නිසා කලබලයට පත් නොවී, මනා ඉවසීමකින් යුතුව සන්සුන්ව ක්‍රියාකිරීම සහජීවනය රැක ගැනීම සඳහා අත්‍යශ්‍යය. තමාගේ වරද වෙනත් කෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබූ විට, ඉන් කෝපයට පත් නොවී ඉවසීමෙන් සන්සුන්ව ක්‍රියාකිරීමත්, අන්‍යයන්ගේ වරදක් වේ නම් එය ද සුහදව පෙන්වාදීමත්, සහජීවනය වර්ධනයට උපකාරී වෙයි. එසේම තමා අනුමත නොකරන, තමන්ට පිළිගත නොහැකි අදහස්, යෝජනා අනුන්ගෙන් ඉදිරිපත් වන අවස්ථාවලදී ඉවසීමෙන් ක්‍රියාකාරීම අවශ්‍ය බව බුදුදහමෙහි දැක්වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පරිසරයක් තුළ අන්‍ය අදහස් පිළිගැනීම විවේචනය හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද ඕනෑම කෙනෙකුට ඇත.

එහෙත් අන්‍ය මතවලට උපේක්ෂාවෙන් සවන් දී ඒ පිළිබඳ ඉවසීමෙන් කටයුතු කිරීම බෞද්ධ ප්‍රතිපත්තිය යි. විශේෂයෙන් විවිධ ජාතින්, විවිධ ආගමිකයන් වෙසෙන රටක අන්‍ය මතවලට උපේක්ෂාසහගතව සවන් දී ඉවසීමෙන් ක්‍රියාකිරීම, සහජීවනය සඳහා අත්‍යවශ්‍ය ය. සමස්තයක් වශයෙන්, ‘ඉවසීමෙන් සැනසීම ලැබේ’ යන උපදේශය සිත්හි රඳවාගෙන අන්‍යයන්ගේ වෙනස් හැසිරීම් රටා නිසා කලබලයට පත් නොවී, ඉවසීමේ ගුණය වර්ධනය කරගත යුතු ය. එසේ කරන පුද්ගලයන්ගෙන් සමාජයක සමගිය, සහජීවනය රැක ගැනීමට ලැබෙන්නේ, විශාල රුකුලකි.

බුදුදහමේ දැක්වෙන පංචශීල ප්‍රතිපත්තිය බෞද්ධාගමිකයන්ට පමණක් සීමා වූවක් නොවේ. එය ඕනෑම ආගමකට, ජාතියකට කුලයකට පොදුවේ විවෘත ය. ප්‍රතිපත්තිගරුකව පංචශීල ප්‍රතිපත්තිය සුරකින ඕනෑම සමාජයක සහජීවනය සුරැකෙනු ඇත. එසේ වන්නේ පර පණ නැසීම, සොරකම, කාමයේ වරදවා හැසිරීම, මුසාවාදය, සුරාපානය යන පංච විධ අකුසල කර්ම වලින් එහි සාමාජිකයන් වැළැක්වීම නිසාය. මෙසේ පංච ශීලය සුරකින සමාජය තුළ සත්ව ඝාතන, නිසාත් බිය, කාම අපරාධ, මුලාකිරීම් සුරාව නිසා සිදුවන අපරාධ ආදිය සිදුවන්නේ නැත. එවැනි සමාජයක් තුළ සාමය, සමගිය, සහජීවනය මැනවින් සුරැකෙනු ඇත.

අට ලෝ දහම පිළිබඳව ඉගැනවීම අනුව ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක සැප යන ධර්මතා සෑම සත්ත්වයකුටම පොදු ය. ජාති, කුල ආදී පටු භේද කිසිවක් ඒ සඳහා බල නොපායි. පෘථග්ජන මිනිසා නිරතුරුව සැප විඳීමට කැමැති වන අතර, දුක ප්‍රතික්ෂේප කරයි. නමුත් සැප ලැබීම සැමවිටම සිදු නොවන්නකි. කෙසේ වෙතත් සැප සම්පත් ළඟා කර ගැනීම සඳහා අන්‍යයන්ට හිංසා පීඩා නොකළ යුතු බවත්, අන්‍යයන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකළ යුතු බවත් පෙන්වා දී ඇත. තමන් උපමාවට ගෙන තමාට හිංසා පීඩා වද වේදනා කරනවාට තමා අකමැති වන්නා සේම අන්‍යයන් ද එසේමය යනුවෙන් සලකා කළයුතු බව අත්තූ®පනායික ධර්ම පර්යායෙන් දේශනා කර වදාළහ. මේ අනුව සෑම කෙනෙක්ම මම කිසිවකුට හිංසා පීඩා වද වේදනා නොකරමි යනුවෙයන් සිතා ක්‍රියාකිරීම සහජීවනය වර්ධනය කිරීමට උපකාර වෙයි. මහා භාරතය පුරා විවිධ ආගම්, ඇදහිලි පැවැති සමයක පහළ වූ භාග්‍යවතුන් වහන්සේ, එම ආගම් ඇදහිලිවල පවත්නා වැරැදි තැන් අඬුලුහුඩුකම් පෙන්වා දුන්හ. එහෙත් කිසිවිටෙක එම ආගම් අදහන අයගේ කටයුතුවලට බාධා නොකළහ. එසේම තමන් වහන්සේගේ ඉගැන්වීම් බලහත්කාරයෙන් අන්‍යයන්ට පිළිගැන්වීමට ද කිසිවිටෙක ප්‍රයත්න නොදැරූහ. එසේම උන්වහන්සේ අන්‍ය ආගමික දර්ශනවල තිබූ පරස්පරතා නොගැලපීම් ආදිය එම පුද්ගලයන් සමග පැවැති සබඳතා වලට බාධාවක් කර නොගත්හ. තමන් වහන්සේ හමුවීමට පැමිණි අන්‍ය ආගමික මතවාදීන් සුහදව පිළිගෙන ඔවුන් ඉදිරිපත් කළ ගැටලු සාකච්ඡා කළහ.

ඔවුනට අවශ්‍ය උපදෙස් ලබා දුන්හ. දොසක්වී නම් ඒ ගැන තර්කානුකූලව කරුණු පෙන්වා දුන්හ. එසේම අන්‍ය ආගමික ආරාමවලට වැඩම කළ භාග්‍යවතුන්වහන්සේ ඒවායේ ප්‍රධානීන් සමග සුහද සාකච්ඡා පැවැත්වූහ. නමුත් මේ කිසි ක්‍රියාමාර්ගයක් තුළින් වෙනත් ආගමිකයන්ගේ කටයුතු වලට බාධා කරවීමට හෝ තම ඉගැන්වීම් බලහත්කාරයෙන් අන්‍යයන්ට පිළිගැන්වීමට ක්‍රියා නොකළ හ.

නිසා ස්වභාවයෙන්ම දිවි පෙවෙතක් ගත කරන්නකු නොව, සමාජගතව ජීවත්වන්නෙකි. පුද්ගලයන් කීප දෙනෙකු එක්තැන් වූ පමණින් සමාජයක් ස්ථාපිත වූ ලෙස ගණන් ගත නොහැකි ය. සමාජයක් ලෙස සැලකීමට හැකි වන්නේ, අන්‍යෙන්‍ය වශයෙන්. එකිනෙකා කෙරෙහි අදාළ වන ක්‍රියාකාරකම් සහිත පුද්ගල එකතුවකි. එසේ සමාජගත වූ ජීවිතයේදී සෑම පුද්ගලයාගෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් ඉටුවිය යුතු යුතුකම් මාලාවක් ඇත. ඒවා මව්පිය - දූ දරු, ගුරු - ශිෂ්‍ය, ස්වාමී - භාර්යා, හිත මිතුරු - ස්වාමි - සේවක, ගිහි පැවිදි, ආදී සමාජ ක්ෂේත්‍ර වශයෙන්, විවිධ ය. මෙසේ අන්‍යෝන්‍ය වශයෙන් ඉටු විය යුතු යුතුකම් මනාව ඉටු නොකර පැහැර හැරීම සිදුවුවහොත්, ඉන් දෙපිරිස අතර පවත්නා සුහදතාවට සහජීවනයට බාධා පැමිණෙනු ඇත. එබැවින් අන්‍යෝන්‍ය වශයෙන් යුතුකම් ඉටු කරමින් සමගිය, සහජීවනය සුරැකීම, හැමගේම වගකීමකි.

එසේම සමාජයේ දියුණුව ආරක්ෂාව හා මනා පැවැත්ම සඳහා යුතුකම් ඉටුකිරීම සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තවීම, සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කිරීම සහ කුමන ආකාරයක හෝ භේද නොසැලකීම සමාජයක සහජීවනය සඳහා මහෝපකාරී වෙයි. බහු ආගමික සමාජයක, විවිධ කූට උපක්‍රම අනිසි බලපෑම්, භෞතික  මුල්‍යාධාර දීම් ආදිය සිදුකරමින්, ආගම්වලට හරවා ගැනීම එහි සහජීවනයට බාධාවකි. භාග්‍යවතුන් වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකයන් කිසිම අවස්ථාවක එබඳු ක්‍රියාමාර්ග අනුගමනය කර නැත.

බෞද්ධ ප්‍රතිපත්ති පිළිපදින, සමගි සම්පන්න සමාජයක, සහජීවනය මනාව ආරක්ෂා වෙයි. තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ මනාදියෙන්තොරව කිරි හා ජලය මෙන් එකමුතුව එක්සත්ව, පි‍්‍රයශීලිව ජීවත්වීම බොදු පිළිවෙතයි. ත්‍රස්තවාදයෙන් භීෂණයෙන්, යුද්ධයෙන්, අපරාධවලින් ගිනිගෙන දැවෙන වත්මන් ලෝකය ඉල්ලා සිටිනේනේ මේ උතුම් සහජීවනය යි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.