Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය:

අස්මි මානය – මමායනය “මම සැපවිඳිමි” මේ ආදී භාවිතයන් බුදු දහමට අනුව සක්කාය දිට්ඨි” යනුවෙන් සඳහන් වන මිථ්‍යාදුෂ්ඨියයි. පැහැදිලි කරන්න.

පිළිතුර

බුද්ධිමතුන්ගේ විවරණයට අනුව භාෂාවෙහි ඇති කර්‍තෘ කාරක කර්ම කාරක වශයෙන් සඳහන් වන කාරක-වෙදක-ප්‍රභේදයන් සම්මතයක් පමණ සත්‍ය වශයෙන්ම දක්නට ලැබෙන්නේ භාව කාරක හෙවත් නිදර්ශන පමණි. “උප්පාදෝ පඤ්ඤායති, වයො පඤ්ඤායති ඨීතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති” යනුවෙන් වදාළ පරිදි උපත – විපත හා වෙනස්වෙමින් පවතින නිදර්ශන පමණක් හේතුඵල ධර්මානුකූලව අපව මුණ ගැසෙයි. එසේ නැතිව සත්ව-පුද්ගල වස්තු වශයෙන් සම්මුති වශයෙන් ගොඩනගා ගත් සංකල්පයන් පිළිබඳව ධර්මයෙහි සඳහන් වන්නේ “යද නිච්චං තං දුක්ඛං” නිත්‍ය නොවන සියල්ල දුකක් බවයි. විමුක්ති ගවේෂකයෙක් සෝවාන් ඵලය ලබන විට සසරට යොමුගත සක්කාය දිට්ඨිය ප්‍රහීණ කරයි.


ප්‍රශ්නය

අනුරාධපුර මහමෙවුනා උයනෙහි පිහිටුවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව බුද්ධගයාවේ පිහිටි මාතෘ බෝධියේ දක්‍ෂිණ ශාඛාවයි. ශ්‍රී මහාබෝධි ශ්‍රී ලංකාගමනය සහ ශ්‍රී ලංකාද්වීපයේ ස්ථාපනය කිරීමත් ඒ වටා එක්තැන් වූ චාරිත්‍ර සමූහයත් පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර

අනුරාධපුර අගනුවර කොට ගෙන එවකට රාජ්‍ය විචාළ දේවානම්පියතිස්ස මහරජතුමාගේ අයැදීම පරිදි දඹදිව අශෝක අධිරාජයා විසින් ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී. සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ මූලිකත්වයෙන් වැඩම කළ බෝධීන් වහන්සේ ආරක්‍ෂා කිරීමේ වගකීම පවරන ලද්දේ “විධුරින්ද” නමැති රාජකුමාරයාටය. පොළොව මට්ටමෙන් උස්ව පිහිටි වේදිකා තුනකින් සමන්විත මළුවේ ඉහළම තලයේය. එය අඩි 21 ක් උසය. පහළ මළුව වටා බැඳ ඇති අඩි 05 ක් පමණ ඝනකම ඇති අඩි –10 –12ක් පමණ උස සුවිසල් ප්‍රාකාරයක් වේ. මෙහි එක් පැත්තක් අඩි 350 ක්ද අනෙක් පැත්ත අඩි 275ක්ද දිගය. මේ සුවිශල් ශෛලමය ප්‍රාකාරය ඉදිකරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය ඇතිව ඉළුපැන්දෙණියේ අත්ථදස්සී හිමි නැමති හිමිනමක් විසිනි.

ජයශ්‍රී මා බෝධීන් වහන්සේ උදෙසා පැවැත්වෙන ආගමික උත්සව අතුරෙන් අලුත් සහල් මංගල්‍යය සහ අලුත් අවුරුදු උත්සවය විශේෂයෙන් කැපී පෙනෙයි. පරණ අවුරුදු මංගල්‍යය හා ‘කාර්තිකේය’ නමින් ශ්‍රී මහා බෝරදුන් උදෙසා පැවැත්වෙන තවත් උත්සවයකි.


ප්‍රශ්නය

ගිහි පැවිදි කවරෙකු විසින් වුවද එක් අතකින් මෙලොව-පරලොව සංසාරික ජීවිතයේ අර්ථ සිද්ධිය හා සන්තුෂ්ටියද විධිමත් පැවැත්ම ද උදෙසා අවශ්‍යයෙන්ම “මිච්ඡා” යන්නෙන් දැක්වෙන “චරණය” හැරපියා “සම්මා” යන්නෙන් දැක්වෙන චරණය ප්‍රගුණ කටයුතු යැයි බුදු සමය අවධාරණය කරයි. විමසන්න.

පිළිතුර

හොඳ හා නරක යන මිනිස් කල්ක්‍රියාවන් අර්ථගන්වමින් බුදුසමය තුළ භාවිතා වී ඇති ආචාරාත්මක ව්‍යවහාරයන් රාශියකි. පුඤ්ඤපාප-කුසල-අකුසල යන යෙදුම් මේ අතර ප්‍රධාන වේ. තවද එම අර්ථයෙන්ම සාර අසාර - සාධු - අසාධු - සාවජ්ජ- අනවජ්ජ-ධම්ම-අධම්ම-කරණීය-අකරණීය-සුක්ක-කණ්හ-සුකත- දුක්කත-යනාදී ව්‍යවහාර රාශියක් හොඳ-හා නරක හැඳින්වීම සඳහා යෙදී තිබේ.

මිනිස් කල්ක්‍රියාවන්ගෙන් කුමක් සාවද්‍ය වන්නේද? ඒ කවර කරුණු අනුවද කුමන පදනමක් මතද? කුමක් නිරවද්‍ය වන්නේද? ඒ කවර කරුණු අනුවද – කවර පදනමක් මතදැයි කෙරෙන ආචාර විද්‍යාත්මක අර්ථ දැක්වීමද ඉතා පැහැදිලිව බුදුසමය අවධාරණය කරයි. හොඳ හා නරක තීරණය කිරීමේ නිදහස (සවච්ඡන්දතාව) අයිතිය මෙන්ම හැකියාවද මිනිසා තුළ සහජයෙන්ම ඇති බව බුදු සමය පිළිගනී.

මිනිසා ඵලදායකවූ චර්යාවක් ආරම්භ කිරීමේ (ආරම්භ ධාතු) ඉදිරියට පවත්වාගෙන යාමේ (නික්ඛම ධාතු) එහිලා බාධා මැඩගෙන වීර්යයෙන් ක්‍රියා කිරීමේ (පරක්කමධාතු) හැකියාව මිනිසා සතුව ඇති බවද බුදු සමය පැහැදිලි කරයි. ආචාර ධර්ම ගණයෙහි ලා සැලකෙන සදාචාරය හා දුරාචාරය පිළිබඳවද කරුණු පැහැදිලි කිරීමෙහි දී බුදු සමය එකී ක්‍රියාවන්ට මූලික වන චේතනාව පිළිබඳව අවධාරණය කරයි. ඒ අනුව හොඳ ක්‍රියාවට කුසලයට මුල්වන්නේ අලෝභයයි. ලෝභයෙන් ගිජුකමින් තොර බවයි. පටිඝයෙන් තොර බව අද්වේශයයි.

මුලාවෙන් තොර බව අමෝහයයි. එකී චේතනාවෝ කුසල පක්‍ෂයට අයත් වෙති. යම් ක්‍රියාවකට එම චේතනාවන් පාදක වී තිබේද? එය හොඳයි. කුසලක් ක්‍රියාවක් වන්නේය. නරක ක්‍රියාවට අකුසලයට මුල්වන්නේ ලෝභයයි. ද්වේශයයි. මෝහයයි. එකී චේතනාවෝ අකුසල පක්‍ෂයට අයත් වෙති. යම් ක්‍රියාවකට එම චේතනාවන් පාදක වී තිබේද? එය නරකය අකුසලයයි. දේශනාවට අනුව “”චේතනා හං භික්ඛවෙ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා((අ.නි.නිබ්බේධික සූත්‍ර) මහණෙනි, මම චේතනාවම කර්මය යැයි කියමි. කයින් වචනයෙන් හා සිතින් සිතාමතා ක්‍රියාවෝ කරනු ලැබෙත් යයි වදාරන ලදී. මෙසේ ත්‍රිවිධාකාර වන මිනිස් කල්ක්‍රියාවන් ආචාරාත්මක ගුණයෙන් යුක්තවන්නේ ඒවා මනස මුල් කොටගෙන ක්‍රියාත්මක වන විට පමණකි.


ප්‍රශ්නය

පරමාර්ථ සත්‍යාධිගමය සඳහා ශ්‍රාවකයාගේ රුචිය පරිදි තෝරාගත හැකි බෝධි තුනක් බුදුරජාණන් වහන්සේ විසින් නිර්දේශ කර තිබේ. සාවකබෝධි- පච්චෙක බෝධි-සම්මා සම්බෝධි යනුවෙන් ඒවා හැඳින්වේ. මේවා අතරින් සාවක බෝධිය පැහැදිලි කරන්න.

පිළිතුර

සාවක බෝධිය නම් බෞද්ධයෙකු ලබන අවසාන සත්‍යවබෝධයයි. එනම් අර්හත් ඵලාවබෝධයයි. මේ සඳහා ප්‍රබුද්ධ ධර්මාචාර්ය වරයෙකුගේ ගුරුපදේශය අපේක්‍ෂා කරති. කාරුණික එබඳු ගුරුවරයෙකු ගේ සුළු මග පෙන්වීමක් වුවද පින් මේරු ශ්‍රාවකයෙකුගේ ඉදිරිගමන සඳහා ප්‍රමාණවත් වෙයි. උපතිස්ස පිරිවැජියාට අස්සජි මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ගාථා අර්ධයක් ශ්‍රවණය කිරීමෙන් සෝවාන් ඵලය ලැබීම මීට හොඳම නිදසුනය. ඇයගේ සියලුම ආදරණීයයන් අහිමිව ශෝකාතුරව සිටි පටාචාරා සිය පා සේදූ ගලා යන ජලය බලා සිට රහත් වූවාය. සිය මියගිය දරුවාට යලි පණ ලබාගන්නට බුදු රදුන්ගෙන් බෙහෙතක් ඉල්ලීමට තරම් බොළඳ වූ කිසා ගෝතමී පහනක් නිවීයනු බලා සිට රහත් වූවාය. සාරමසක් තිස්සේ වෑයම්කර ගාථාවක් පාඩම් කරන්නට අසමත්වූ චුල්ලපන්ථක හිරුදෙසට හැරී සුදුරෙදිකඩක් අතගාමින් අනිත්‍යතාව පිළිබඳ භාවනාකොට රහත් වූයේය.

තම අරමුණු සාධනය කරගත් පසු රහතන් වහන්සේ තම ජීවිතයෙහි අවශේෂ භාගය ගත කරන්නේ අන්‍යයන්ටද ඒ මග උදාකරලීම සඳහා මග කියාදීමෙනි. ප්‍රථමයෙන් තමා පිරිසුදු කරගත් හෙතෙම අනතුරුව තමා අනුගමනය කළ ධර්මය කියා දීමෙන් අන්‍යයන්ද පිරිසුදු කිරීමට වෑයම් කරයි. ධර්මය සාක්‍ෂාත් කර නොගත් සාමාන්‍ය ධර්ම කථිකයනට වඩා තම පෞද්ගලික අත්දැකීම් අනුවම දේශනා කරන රහතන්වහන්සේ ධර්මය දේශනා කිරීමට අතිශයින්ම සුදුසුය.


ප්‍රශ්නය

බුදු රදුන් විසින් පළමු ශ්‍රාවක පිරිස අමතා දේශනා කළේ බහුජන හිත සුව සඳහා ලෝකානුකම්පාවෙන් හැසිරීම ප්‍රබුද්ධයන්ගේ කාර්යය බවයි. මෙසේ උපරිම යහපත සැලසීමට මිනිස් බුද්ධිය මෙහෙයවීම බෞද්ධ සමාජ දර්ශනයේ විශිෂ්ට ලක්‍ෂණයකි. වර්තමානයෙන් පැන යාම වෙනුවට වර්තමානයට සෘජුවම මුහුණ දී කටුක වුවද සත්‍යය ‘කිං සච්ච ගවෙසී’ ව එළිකරගෙන ක්‍රියාශීලීවීම බුදු දහම අනුමත කරයි. සමාජය පිළිබඳව පෙළදහමෙහි එන තොරතුරු ඇසුරුකොට විවරණය කරන්න.

පිළිතුර

බුදු දහමට අනුව සමාජය වශයෙන් සැලකෙන්නේ මිනිස් ජනතාව පමණක් නොව කවර මොහොතක හෝ මෙලොව වසන සියලු ප්‍රාණීන් ‘සබ්බේ සත්තා’ ගැනෙන බව එහි ඉගැන්වේ. කරණීය මෙත්ත සූත්‍රාගත ඉගැන්වීමට අනුව මවක් තම එකම පුතු යම්සේ රකින්නේද? එසේම සිව් සතුන් කෙරෙහි අප්‍රමාණවූ මෙත් සිතුවිලි වැඩිය යුතුය. සමාජය මෙසේ පළල් අරුතින් තේරුම් ගැනීමට කර්මය- සංසාරය යන සංකල්ප මෙන්ම හේතුඵල ධර්ම සංකල්පයද පදනම් වෙයි.

සසර ගමනෙහිදි මිනිසාට නොනෑවූ කිසිවෙකුත් මිනිසුන් අතර තබා තිරිසන් සතුන් අතර ද නොවේමයි. එපමණක් ද නොව බුදු දහම පෙන්වා දෙන පරිදි විශ්වයේ අනෙක් ජීවීන් වන දෙව් බඹුන් ප්‍රේත-පිශාච යක්ෂ භූතාදීන් හා තිරිසනුන් අතර ද නොනෑ වූවන් සොයා ගැනීම දුෂ්කර වනු ඇත. එතරම් දුරට එක් පුද්ගලයෙක් අනෙක් සියලුම ජීවීන් හා බැඳී සිටී. ඒ සියල්ලන්ගේම (සංයුතිය) එකතුව සමාජය නම්වෙයි.

සාංසාරික පැවැත්ම තුලින් මතුවන අනෙක් උත්තම අර්ථය මිනිසා සෙසු ජීවීන් අතර ලබා ඇති විශිෂ්ට ස්ථානය මනුෂ්‍යත්වය අතිශයින්ම දුර්ලභ බව නිකාය ග්‍රන්ථ සඳහන් කරයි. මහ මුහුදෙහි වැටුණු එක් සිදුරක් ඇති වියදණ්ඩක එම සිදුරෙහි සිය වසකට වරක් උඩ එන කන කැස්බෑවෙකු දෙනෙතින් අහස බලන්නට අවස්ථාවක් ලබන්නේද නුසුදුසු තැනෙක සිට මිනිසත් බව ලැබීම ඊට ද වඩා අපහසු දුර්ලභ කරුණකැයි සංයුත් සඟියෙහි ‘පිග්ගල’ සූත්‍රයෙහි දැක්වෙයි. එවන් දුර්ලභ අවස්ථාවක් ලද මිනිසාට පමණි පූර්ණ පෞරුෂ විකසනය වන බුද්ධත්වය හෝ සක්විති රාජ්‍යත්වය වැනි විශිෂ්ටාර්ථයක් සිද්ධ කරගෙන විමුක්තිය සලසා ගත හැක්කේ, මිනිසාට වඩා උතුම් බුද්ධිමත් ශක්‍යතා ඇතිජීවියෙකු සමස්ත ජීව පද්ධතිය තුළ ඇති බවක් බුදුදහම නොපිළිගනී. මිනිස් ප්‍රඥාවට විසඳාගත නොහැකි ප්‍රශ්නයක් විශ්වය තුළ ඇතිවිය නොහැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.