Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය - තථාගත බුදුරජාණන් වහන්සේ තමා විසින්ම සාක්ෂාත් කරගනු පිණිස (සයං සච්ඡිකාබ්බං) ඉක්මනින් ප්‍රතිඵල ලබනු පිණිස නිර්වාණය සාධනය කරගනු පිණිස නුවණැත්තන් විසින් තම තමාම අවබෝධ කරගනු පිණිස ධර්මය මනාව දේශනාකර ඇත. බුදුදහම දුක කේන්ද්‍ර කරගෙන පවතියි. දුක පිළිබඳව මෙසේ අවධාරණයෙන් දේශනා කළද බුදු සමය සර්වඅශුභවාදී ආගමක් නොවේ. එය මුළු මනින්ම අශුභවාදී හෝ මුළු මනින්ම ශුභවාදී ද නොවේ. එය (යථාභූත ඤාණදස්සන) යථාර්ථවාදීය. පෙලදහම ඇසුරු කරගනිමින් පැහැදිලි කරන්න.

පිළිතුර- බුදුරජාණන් වහන්සේම (මයා සම්ම දක්ඛාතො භාවිතො බහුලීකතො) අවබෝධ කරගෙන ලොවට හෙළි කළ චතුරාර්ය සත්‍යය බුදු සමයෙහි නො සැලෙන පදනම වන අතර එය විශිෂ්ට තම ලක්ෂණයද වෙයි. චතුරාර්ය සත්‍යනම් දුක (දුක්ඛ) දුකෙහි හේතුව (දුක්ඛ සමුදය) දුක නැතිකිරීම (දුක්ඛ නිරෝධ) හා දුක නැති කිරීමේ මාර්ගය (දුක්ඛ නිරෝධ ගාමිණිපටිපදා) වේ. මෙහි පළමු සත්‍ය තුනෙන් බෞද්ධ දර්ශනය පිළිබිඹු වන අතර සිව්වැන්න බෞද්ධ සදාචාරය පිළිබිඹු කරයි.

බුදුදහම මෙම චතුරාර්ය සත්‍ය පාදක කර පවතියි. ඒවා වූ කලී මිනිසා සහ අනෙකුත් ජීවින් හා සම්බන්ධ සැක කළ නොහැකි සනාතන සත්‍යයෝ වෙති. බුදුවරුන් පහළ වුවද නැතද විශ්වයෙහි මෙම සත්‍යයෝ සදහටම පවතිත්. ලොවටම මේවා හෙළි කරන්නෝ බුදුවරුය. ලොව දුකින් පිරී ඇති අයුරු දුටු බුදුන් වහන්සේ ප්‍රාණ සංහතිය පෙළන මෙම ව්‍යධියට සදාතනික ප්‍රති කර්මයක් යෝජනා කළහ. ලොව ඇති උසස්ම සැපත නම් දුක සහමුලින් ම දුරු කිරීමෙන් ලබන නිවන් සැපතයි. (නිබ්බානං පරමං සුඛං)


 

ප්‍රශ්නය - බුදුන් වහන්සේ ‘දුක්ඛ’ යන වචනය සාමාන්‍යයෙන් යොදා තිබෙන්නේ අමාරුව, කරදරය, විපත, වේදනාව , කනගාටුව යනාදී තේරුම් වලට වුවත් උන්වහන්සේ ජීවිතයත් ලෝකයත් පිළිබඳව නිරූපණය කරන පළමුවන ආර්ය සත්‍යයේ දුක්ඛ යන්න ඊට වඩා ගැඹුරු දාර්ශනික අර්ථයකින් පරිපූර්ණ බව පැහැදිලි වෙයි. පෙළ දහමෙහි එන තොරතුරු ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර - බුදුරජාණන් වහන්සේ ජීවිතය දුක් සහිත බව වදාළ නමුත් සැපවත් නො වේ යැයි නො වදාළහ. දුක්ඛ සත්‍යයෙහිදී පවත්නා දුකෙහි පරිමාණයන් පතන යමක් නොලැබීම, පි‍්‍රය විප්‍රයෝගය, ආදී වශයෙන් දක්වා, අවසානයෙහි ‘සංඛිත්තෙන පංචුපාදානස්කන්ධා දුක්ඛා’ යන්නෙන් ස්කන්ධ පංචකය හටගැනීම දුකක් බව වදාළහ. සංසාරික වශයෙන් ‘දුක්ඛේ ලොකො පතිටිඨිතො’ දුක් සහිත බවම ලෝකයේ පවත්නා තත්ත්වය වූවත් එය අවම කර ගැනීමේ හැකියාව මිනිසාට තිබේ. ගිහියන්ටත් පැවිද්දන්ටත් ලැබෙන භෞතික හා ආධ්‍යාත්මික අනේකවිධ සැප ඇතිබව උන්වහන්සේ පිළිගත්හ. ගිහි සුඛ, පබ්බජිත සුඛ, කාම සුඛ, නෙක්ඛම්ම සුඛ (ගිහිගෙයින් නික්මයාම) කායික සුවය, චෛතසික සුඛ, යනාදී සුඛයන් පිළිබඳ නාම මාලාවක් පෙල දහමෙහි ඇතුළත්ව ඇත. එහෙත් මේ සියල්ල දුක්ඛ ගණයටම ඇතුළත්ය. උසස් භාවනාවල යෙදීමෙන් ලබාගත යුතු වූද සාමාන්‍ය අර්ථය අනුව දුකෙන් තොර යයි කිය යුතු වූද පී‍්‍රතිමය යයි කියනු ලබන්නා වූද ධ්‍යාන මෙන්ම සුඛ වේදනා දුක්ඛ වේදනා, දෙකින් ම තොර වූද උපේක්ෂාවෙන් සහ ඒකාග්‍රතාවයෙන් පමණක් යුක්ත වූද උත්තම ධ්‍යාන ද දුක්ඛ ගණයටම අයත්ය. මෙම ධ්‍යාන දුක්ඛ ඝනයට අයත් වනුයේ පොදු තේරුමට අනුව දුකයැයි කිව හැකි කිසිවක් එහි ඇති නිසා නොව යමක් අනිත්‍ය නම් එය දුක්ඛ (යදනිච්චං තං දුක්ඛං) වන නිසාය.


 

ප්‍රශ්නය - බුදුදහමේ ප්‍රායෝගික හා විශේෂිත කාර්යය වන්නේ දුක කෙළවර කිරීම හෙවත් නිර්වාණාවබෝධයයි. වර්තමානික බෞද්ධ පිළිවෙත් මගින් මේ විශේෂිත කාර්යය සඳහා අනුගත වීමක් බෞද්ධ ශ්‍රාවකයන් තුළින් දැකිය හැකිද?

පිළිතුර - මෙහි සඳහන් ප්‍රායෝගික හා විශේෂිත යන කාර්යයන් දෙකම බෞද්ධ ශික්ෂණ මාර්ගයෙහි අන්තර්ගතය. ඒ බව බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ විසුද්ධි මාර්ග ග්‍රන්ථයට මාතෘකා වශයෙන් උද්ධෘත (මාතෘකා) කළ (සීලෙ පතිට්ඨාය නරෝසපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං) නැණවත් පුද්ගලයා සීලයෙහි පිහිටා සිට සිත ද, ප්‍රඥාවද, වඩන්නේය. ශීලය බෞද්ධ ශික්ෂණ මාර්ගයේ පළමුව පියවරයි. ශීලය ප්‍රගුණ කිරීම විදර්ශනා භාවනාව කිරීමට වඩා පහසුය. සදාචාරය හෙවත් සීලය ප්‍රගුණ කිරීමෙන් කෙනකු නිරායාසයෙන්ම සියලු දේවල ඇති සැටිය. යථාර්ථය දැකීමට පෙළඹෙයි. දානය ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීමෙන් සියලු ප්‍රාණීන් කෙරෙහි දයාව, සහ අනුකම්පාව, සහෘද සංවේදිතාව ඇතිකරයි. මේ ආකාරයෙන් බුදුන් වහන්සේ එක් අවස්ථාවකදී ශීලය ප්‍රගුණ කිරීමෙන් පිළිවෙළින් නිර්වාණාවබෝධය දක්වා දිව යන්නේ් කෙසේදැයි පැහැදිලි කළහ.

‘ආනන්දයෙනි! මේ බලන්න. කුසල වූ ශීලයෝ ඉන්ද්‍රිය සංවරය අර්ථකොට ඇත්තේය. ඒ නිසාම ඉන්ද්‍රිය සංවරතාව ඵලයක් හෙවත් ආනිශංස කොට ඇත්තේය. ඉන්ද්‍රිය විපිළිසර වී (සංවර වීම) මෙන් තොරවීම ප්‍රමෝදය අර්ථකොට ඇත්තේ ය. ප්‍රමෝදය ආනිශංස කොට ඇත්තේ ය. ප්‍රමෝදය පී‍්‍රතිය අර්ථකොට ගෙන එහි ආනිශංසය ද ඇතිකර ගනී. පී‍්‍රතිය පැහැදීම අර්ථ කොට ඇත්තේය. පැහැදීම ආනිශංස කොට ඇත්තේය.

පැහැදීම සුඛය අර්ථ කොට ඇත්තේ ය. සුඛය ආනිශංස කොට ඇත්තේය. සුඛය අර්ථකොට ගෙන ඇත්තේය. සමාධිය ආනිශංස කොට ඇත්තේය. සමාධිය ඇති සැටිය දැන ගැනීම සහ දැකීම ආනිශංස කොට ඇත්තේ ය. ඇති සැටිය දැන ගැනීම සහ දැකීම (සසරෙහි) කලකිරීම සහ නො ඇලීම අර්ථ කොට ඇත්තේය. කලකිරීම සහ නො ඇලීම ආනිශංස කොට ඇත්තේය. කලකිරීම සහ නොඇලීම විමුක්තිමය ඤාණය සහ දැකීම අර්ථ කොට ඇත්තේය. ආනන්දයෙනි! මේ අයුරින් කුසල ශීලයෝ අනුක්‍රමයෙන් අග්‍රස්ථානය කරා යෙති. (අං. 5) මේ අනුව වර්තමානික බෞද්ධ ශ්‍රාවකයාද දාන, සීල, භාවනා වශයෙන්ද සීල, සමාධි ප්‍රඥා වශයෙන්ද විමුක්ති මාර්ගය සඳහා ප්‍රායෝගික හා සුවිශේෂිත මංපෙත් මගින් අනුගත වී ඇත.
 


ප්‍රශ්නය - බුදු දහමට අනුව මිනිසා තුළ ඇති අසමානතාවයට හේතුව ආරය හා පරිසරය පමණක් ම නොවේ. කම්ම නියාමයෙහි ක්‍රියාකාරීත්වය යනු, අප අතීතයෙහි කළ ක්‍රියාවලින් අප රැස් කරගත් උරුමය හා වර්තමාන ක්‍රියා කලාපයෙහි ප්‍රතිඵලයයි. අපේ දුක හා සැප පිළිබඳ වගකිව යුත්තේ අපිම වෙමු. අපේ දෙව්ලොව හා අපේ අපාය අපිම හදා ගනිමු. අපේ ඉරණමෙහි නිර්මාතෘවරු අපිම වෙමු. කරුමය, උරුමය වූ ආකාරය පෙළදහමෙහි දේශනාපාඨ වලින් තහවුරු කරන්න.

පිළිතුර - පෙළ දහමට අනුව බෞද්ධ කර්මය පිළිබඳ මූලධර්මයේ ප්‍රධාන අභිප්‍රාය (අරමුණ) නම් තමා සකස්කරනු ලබන්නේ තමා විසින්මය යන කරුණ පැහැදිලි කිරීම ය. තමාගේ නිර්මාතෘවරයා වන්නේ තමාමය. මෙම මූල ධර්මය බුද්ධ දේශනාවෙහි මෙසේ සඳහන් වෙයි.

මනුෂ්‍යයන් අතර පවත්නා විවරණය කිරීමට අපහසු අසමානත්වයට හේතුව කුමක්ද දැන ගනු රිසි වූ ‘සුභ නම් වූ එක් සත්‍ය ගවේෂක තරුණයෙක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ඒ ගැන විමසීය.

ස්වාමීනී! මිනිසුන් අතර සමහරුන් අල්පායුෂ්ක වන්නටත් සමහරුන්ට ලෙඩ රෝග වැඩි වන්නටත් සමහරුන්ට ලෙඩ රෝග අඩුවන්නටත් සමහරුන් දුර්වර්ණව සිටිත් දී සමහරුන්ට පැහැපත් වන්නටත් සමහරුන් දුබල ව සිටියදී සමහරු ප්‍රබලව සිටීමටත් සමහරුන් දුගී දුප්පත්ව සිටියදී සමහරුන් ඉතා පොහොසත් වන්නටත් ,සමහරුන් මන්ද බුද්ධිකව උපදිද්දී සමහරුන් ප්‍රඥාවන්තව උපදින්නටත් හේතුව කුමක්ද?

එයට පිළිතුර වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. සියලු ම සත්වයෝ තමාගේ කර්මය තම ධනය කොට සිටිති. කර්මය දායාද කොට කර්මය හේතුකොට කර්මය ඤාතියා කොට – කර්මය පිළිසරණ කොට වසති. සත්වයන් උස් පහත් වශයෙන් ප්‍රභේද කරන්නේ කර්මය විසිනි.

“කම්මස්සකා මානව සත්තා - කම්මදායාදා – කම්මයොනි – කම්ම බන්ධු - කම්ම පටි සරණා කම්මං සත්තෙ විභජති – යදීදං හීනප්පනීතතාය.” (ම.නි. 135 චුල්ලකම්ම විහංග සූත්‍ර) තවද ධම්මපදය ආරම්භ වන්නේ තමාවිසින් කරන ලද කර්මයන් තමා පසු පස එන්නේය යන ගාථා යුගලයකිනි. දැන් සිටින්නා වූ අප අප විසින් සිතන ලද්දා වූ දේවල ප්‍රතිඵලයකි. අප පදනම්ව පවත්නේ අපේ සිතිවිලි මත ය. අප සැදී ඇත්තේ අපේ සිතිවිලි වලිනි. දූෂිත වූ මනසකින් යමක් කියන්නේ ද කරන්නේ ද එයින් ජනිත වන්නා වූ දුක තමා පසු පස එන්නේ ගැල උසුලන ගවයා පසු පස ගැල් රෝදය එන්නාක් මෙනි. දැන් සිටින්නා වු අප, අප විසින් ම සිතන ලද්දා වූ දේවල ප්‍රතිඵලයකි. ප්‍රසන්න වූ මනසින් යමක් කියයිද, කරයි ද එයින් ජනිත වන සුවය තමා පසු පස එන්නේ තමාව අත් නොහැර තමා සමඟ එන්නා වූ තමාගේ සෙවණැල්ලමෙනි. මේ සියලු දේශනාවල සංයුතිය වන්නේ ,තමා යනු තමන් විසින්ම සාදාගත් සකස් කර ගත් දෙයක් , යන්නයි. වහුමුවේ

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.