Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හින්දු දහම ලෝකයේ බලවත් ආගම් වලින් එකකි. එය ඉන්දියාවේ ප්‍රධාන ආගම යි. ඉන්දියාවේ ජනගහණයෙන් 85% ක් හින්දු ආගමිකයන් බවට ගණනය කරනු ලැබ ඇත. හින්දු දහම වසර 4000 කට වැඩි කලක් පුරා වර්ධනය වී තිබේ. එහෙත් එයට එක් ප්‍රාරම්භකයෙක් හෝ පිළිගැනුණු සම්මත දහමක් නැත. එපමණක් නොව එහි මහා පරිමාණයෙන්, නන්විධ ව්‍යවහාර හා විශ්වාස ඇතුළත් ය. සංවිධිත ස්වරූපය අවම වන අතර, එය නායක සංස්ථාවකින් තොර ය. හින්දු දහම එහි විවිධත්වය නිසා, ආගම පිළිබඳ බොහෝ බටහිර අර්ථ නිරූපණ සමඟ ගැළපෙන්නේ යන්තමිනි. ඒ අතර එය, “ ධර්ම” නමින් හැඳින්වෙන, ජීවිතය පිළිබඳ පරමාදර්ශි මාර්ගයක් සඳහා වගකීම හා සැලකිල්ල යොමු කරයි.

විශ්වාස හා ව්‍යවහාර

කුල ක්‍රමය: හින්දු දහමේ ඇතුළත් ජීවිතය පිළිබඳ පරමාදර්ශී ක්‍රියා මාර්ගය සම්භාව්‍ය මූලාශ්‍ර වලට අදාළව පවතී. මේ ක්‍රියා මාර්ගය හින්දු බැතිමතුන් සලකන්නේ කෙනෙකුගේ වර්ණ ධර්මයට හා ආශ්‍රම ධර්මයට අදාළව ඉටු කැරෙන යුතුකම් හැටියට. වර්ණය යන යෙදුම ඉන්දියාවට විශේෂිත කුල ක්‍රමයට අඟවන වදන් වලින් එකකි. පුරාතන පාඨ ග්‍රන්ථ ප්‍රධාන කුල හෙවත් වර්ණ හතරක් දක්වයි. එනම්, බ්‍රාහ්මණ හෙවත් පූජක, ක්ෂත්‍රිය හෙවත් සෙබළ හා පාලක, වෛශ්‍ය හෙවත් වෙළඳ හා ඉඩම් හිමි සහ ශුද්‍ර හෙවත් ගොවි කම්කරු යනු යි. පස් වැනි වර්ණය හෙවත් පඤ්චමයෝ කුලවතුන් විසින් ස්පර්ශ නොකළ යුත්තෝය. ඔවුනට නියමිත වෘත්තිය වන්නේ කසළ ශෝධනය යි. පඤ්චමයන් අනාර්ය සම්භවයක් ඇත්තන් වන හෙයින් එවන් පහත් මට්ටමේ කාර්ය පවරනු ලැබ ඇතැ යි අනුමාන කැරේ. කෙසේ වෙතත් මේ වර්ගීකරණ ක්‍රමය නූතන කුල පද්ධති සංකීර්ණත්වයට සාධාරණයක් ඉටු කරන්නේ නැත. වර්ණාශ්‍රම ධර්ම පදනම් කර ගත් පැරණි ජීවන වෘත්ති, විවිධ කුල වලට සුවිශේෂිත යුතුකම් හෝ කාර්යභාර විශේෂ කර දක්වයි. එමගින් එක එකා තම තමාට හිමි භූ®මිකාවට අනුකූලව පරමාදර්ශී සමාජය තුළ ක්‍රියා කළ යුතු යැ යි හගිනු ලැබේ.

ජීවිතයේ විවිධ අවස්ථා : සම්භාව්‍ය ජීවන වෘත්තීහු, පරමාදර්ශී පියවර හෙවත් ආශ්‍රම හතරක් සැකෙවින් දක්වති. එහිදී ඒ එක එකකට අදාළ ස්වීය යුතුකම් විස්තර කැරේ. මෙයින් පළමුවැන්න බ්‍රහ්මචර්ය හෙවත් ශිෂ්‍ය තත්ත්වය යි. ආරම්භය වයස අවුරුදු 05 - 08 අතර සිට විවාහය දක්වා අවධිය යි. දෙවැන්න ගෘහස්ථ්‍ය සමය යි. එකල්හි කෙනෙක් විවාහ වෙති. පවුලක් නඩත්තු කරති. සමාජ මෙහෙවර ඉටු කරති. තෙවැන්න වානප්‍රස්ථ්‍ය හෙවත් වනවාසී වකවානුව යි. මේ වන විට දරුවන් හදා වඩා ඔවුන් පිළිබඳ සියලු වගකීම් වලින් පුද්ගලයා නිදහස්ව සිටී. සිවු වැන්න සන්‍යාසී හෙවත් නෛෂ්ක්‍රම්‍යය යි. මේ සමයේ දී පුද්ගලයා සියලු ලෞකික බන්ධනයෙන් මිදී ආත්ම විමුක්තිය සොයන්නෙකි. පුද්ගලයාට අදාළ වර්ණ හා ආශ්‍රම ධර්මයන්ගෙන් ව්‍යුත්පන්න යුතුකම් හා වගකීම් වලට අමතරව, සියලු සදාචාර සම්පන්න චර්ය්‍යා පදනම් කර ගත් සනාතන ධර්ම හෙවත් මූලික යුතුකම් ද ඔහු විසින් සපුරාලිය යුතු වෙයි.මේවාට අවංකත්වය, ශූරත්වය, පරාර්ථ චර්යාව, විශ්වාසය, ස්වාත්ම දමනය, නිර්මලත්වය සහ නිර්සාහසිකත්වය ද ඇතුළත් ය.

මේ වර්ණාශ්‍රම ධර්ම සීමා වන්නේ පුරුෂ පක්ෂයට පමණි. හින්දු දහම තුළ කාන්තාවන්ගේ තත්ත්වය හැම අතින් ම නොපැහැදිලි ය. එක් අතකින් කාන්තාවෝ දිව්‍යත්වයේ සංකේතයක් ලෙස ගෞරවයෙන් සලකනු ලබත්. එහෙත් අනෙක් අතින් හීන ජාතියක් වශයෙන් සංග්‍රහ කරනු ලබන්නෝය. සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් ගත් කල කාන්තාවෝ සිය සැමියනට සේවාව කළ යුතු බවට සැලකෙති. එහෙත් ඒ අතර ස්වාධීන හැඟීම් නැති අය බවටද සැලකෙන්නෝය. කෙසේ වෙතත්, “ බ්‍රහ්ම සමාජ” වැනි නූතන හින්දු ව්‍යාපාර අතර මේ තත්ත්වය වෙනස් කිරීමේලා බලාපොරොත්තු තබා ඇත.

ජීවිතයේ අරමුණු: ජීවිතයේ සතර අරමුණු (පුරුෂාර්ථ) අතරින් හින්දු දහම් විශිෂ්ටත්වයෙන් සලකා ඇත්තේ “ ධර්ම” පමණි. එය අර්ථ (ලෞකික සමෘද්ධිය) හා කාම (රසාස්වාදය ) යන දෙකට වඩා උසස් ලෙස සිතනු ලැබේ. මේ තුන ලෞකික ජීවිතයේ අරමුණූ (ප්‍රවෘත්ති) නියෝජනය කරයි. සතරවැන්න මෝක්ෂ හෙවත් විමුක්තිය යි. එය මෙලොව හැර යන්නාගේ හෙවත් නිවෘත්තිකයාගේ අරමුණ යි. මෝක්ෂ, පුද්ගලයාගේ පරමාන්තය ලෙස සම්භාව්‍යත්වයෙන් සැලකේ.

කර්මය සහ පුනර්භවය : සම්භාව්‍ය හින්දු දහමෙහි පුළුල් ලෙස ව්‍යාප්ත ලක්ෂණයක් නම්, පුනර්ජන්මය හෝ සංසාරය පිළිබඳ විශ්වාසය යි. එනම්, කෙනෙකුගේ කර්ම හෝ ක්‍රියා බලයෙන් අදිටන් කරන ලද පරිදි, ශරීරයකින් ශරීරයකට කෙරෙන ආත්මයාගේ චරණය පිළිබඳ හැඟීම යි. හින්දු දහම තරයේ පිළිගන්නා කර්ම සිද්ධාන්තය විසින්, කෙනෙකුගේ පුරාකෘත කර්මයෙන් අදිටන් කරන ලද පරිදි ඔහුගේ උපතේ මූලාකෘතිය, ජීවිතායුෂ ප්‍රමාණය හා නන්විධ අත්දැකීම් තීරණය කරනු ලැබේ. මෙය ජනපි‍්‍රය අවබෝධය තුළ සීමා කරනු ලැබ ඇති අතර, ඇතැම් විට ඉතිහාසය පුරා අත්‍යන්ත හින්දු බැතිමත් ජනතාවක් කෙරෙහි ශක්තිමත් බලපෑමක් කර ඇත. හින්දු දහම මෙකී පුනර්භව චක්‍රයෙන් විමුක්තිය නිදහස් කර හෙවත් මුදා හැර තිබේ. එකී විමුක්තිය නියත වශයෙන් ම, සපුරා පරිපාකයට යන්නට පටන් ගෙන ඇති කර්ම ශේෂයට අදාළ විපාක විඳීම මගින් සේ ම, අනාගත පුනර්භවයන් සඳහා තවදුරටත් කර්ම ශේෂයක් නොනිපදවනු පිණිස සහතික කරන්නට අදාළ ස්ථාවර ව්‍යවහාර හෙවත් ප්‍රායෝගික අභ්‍යාස අනුගමනය කරමින් ද සාක්ෂාත් කර ගත යුතු වන්නේ ය. මේ විමුක්තිය සාක්ෂාත් කර ගන්නට කෙනෙකුට හැකි වන්නේ, නිරන්තයෙන් නම නියම කර සඳහන් කොට ඇති යෝග අභ්‍යාසයේ නිරත වීමෙනි. මෙයි විමුක්ති සිද්ධාන්තය පිළිබඳ ඉන්දියානු දර්ශනයේ හරය යි, ආත්මයයි.

දර්ශනය

හින්දු දහම සාමාන්‍යයෙන් දාර්ශනික පද්ධති හයකට ඇතුළු කරන්නට අනුදක්නා ලැබේ.මෙයින් හතරක් න්‍යාය, වෛශේෂික, සාංඛ්‍ය හා යෝග යනුවෙන් හැඳින්වෙන අතර, එහිදී යෝග පුහුණුව අවධාරණය කෙරේ. යෝග පුහුණුවත් සමග අධ්‍යාත්ම විද්‍යාව හා ඥාන විභාගය යන පද්ධති දෙක පිළිබඳ අවබෝධය අනෙක් දෙක සේ සැලකේ. ඒ අතර න්‍යාය, එයට තර්ක විග්‍රහයක් ද ඇතුළත් කර ගනී. මීමාංසා නම් පද්ධතියෙන් සංස්කාර සම්පාදනය හඳුන්වා දෙනු ලැබේ. එනම් වෛදික යාගය හෝ විමුක්තියට මඟක් ලෙස යාගය තුළ සම්පාදිත ක්‍රියාව යි. බොහෝ වේදාන්ත පද්ධති සිය ප්‍රෝත්සාහනය උපනිෂදයන්ගෙන් ලබා ගෙන, විමුක්තිය සඳහා වන ඕනෑම මාර්ගයක වැදගත් ලක්ෂණයක් ලෙස, බ්‍රහ්මන් (පරම අභිමතාර්ථය ) හා ආත්මන් අතර ඇති ඥාතිත්වය පිළිබඳ අවබෝධය අවධාරණය කරන්නට නැඹුරු වෙයි. ඉන්දියානු අර්ධද්වීපය තුළ වාග්විද්‍යාත්මක හෝ සාංස්කෘතික ප්‍රදේශ ඇතුළත නිරන්තරයෙන් ස්ථානගත භක්තිපූජා බඳු නිකායික ව්‍යාපාර සමඟ බැඳුණූ සහචර දර්ශන, ඊශ්වරවාදී විශ්වාසය අවධාරණය කරයි.

හින්දු දේවතාවෝ

හින්දු දහම් තුළ විශිෂ්ට ඊශ්වරවාදි ව්‍යාපාර දෙකක් වෙයි. එනම්, විෂ්ණු පූජාව හෙවත් වෛෂ්ණව දහම් හා ශිව පුජාව හෙවත් ශෛව දහම යි. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් සමස්ත විශ්වය දේව සමූහයකින් සංගහනය වී සිටිති යි හින්දු දහම පිළිගනී. මේ සියලු දෙවිවරු එක්තරා දුරකට දේවත්වයේ අංග ලක්ෂණ දරා සිටිත්. එහෙත් ඔවුන්ගේ හැසිරීම බෙහෙවින් ම මිනිස් හැසිරීමට සමානය. ඔවුන් අතර නෑකම් පවත්නේ ද මිනිසුන් අතර සේ මය. මේ දැක්ම පුරාතන ගී‍්‍රක දර්ශනයට ද එක සේ සම්පාක වෙයි. උදාහරණ ලෙස සුපිරි දෙවිවරුන් වන බ්‍රහ්ම , විෂ්ණු, ශිව සහ ඇතැම් වෙනත් දෙවිවරුන් සිය බන්ධුත්වය දෙවඟනන් සමඟ පවත්වන බව නිතර දක්නට ලැබේ. දෙවිවරුන් සමග ඈඳුණු දෙවඟනන් හැඳීන්වෙන්නේ “ශක්ති” නමිනි. වෙනත් සුපතළ දෙවිවරු, සුපිරි දේවත්වයේ නෑයන් ලෙස සැලකෙත්. ගණේෂ නම් ලත් ගජහිස්දෙවියා, ශිව හා පාර්වතීගේ පුතා ය. ශිවගේ බිරිඳ හෙවත් කාලි හෝ දුර්ගා , සරත් සමයේදි ඉන්දියාව පුරා පුළුල් ලෙස පුදනු ලබන්නී ය. වානර මුහුණු දෙවියා වන හනුමන්, විෂ්ණුගේ බිරිඳ වන ලක්ෂ්මී සමග බොහෝ දේවාලයන්හි නිරූපිත ය.

හනුමන්, වෛෂ්ණව දහම සමඟ සහචර දෙවිවරුන් අතර අත්‍යන්තයෙන් වැදගත් ය. කෙසේ වෙතත් , නන්විධ කුලක ලෙස හැඳීන්වෙන දේවගණයා, අන්‍යෝන්‍ය වශයෙන් ගත් කල එකකින් අනෙකක් විශිෂ්ට වන්නේ නැත.

පූජා ස්වරූප

හින්දු ආගමේ පුද පූජා නොයෙක් ස්වරූප ගනී. සුලබව දක්නට ලැබෙන අවම ගණයේ එකක් නම්, අපරදිගට සමාන ස්වරූපයේ සමූහ පුද පූජායි. වෙසෙසින් කැප කරන ලද එළිමහනක වෛදික යාගය පවත්වනු ලැබේ. දෛනික ආදර්ශන හින්දු පූජාව, කිසියම් නවාතැන් පොළක නන්විධ දේවගණයේ සිද්ධස්ථානයකදී, දේවාල වන්දනාවකදී හෝ සිය නිවසේදි සිදුකෙරේ. හින්දු බැතිමතෙක් දෙවිවරුන් කීප දෙනෙකුට කැපවූවෙක් විය හැක්කේය. ප්‍රධාන වශයෙන් සිය නිවසේ කුඩා පූජාසනයක් මත පිහිටුවන ලද, සුපුරුදු පවුලේ දෙවියාගේ ප්‍රතිරූපය මුල් තැන ගනී. ද්විතීය වශයෙන් අසල දේවාලයක පුදනු ලබන දෙවියෙක් වෙයි. ඔහු බැතිමතාගේ කුලයට අරක්ගත් දෙවියා විය හැකියි. ඒ අතර සිය ගුරුවරයා හෝ ඔහුගේත් ගුරුවරයා ලෙස යමකු විසින් පුදනු ලබන තවත් දෙවියෙක් විය හැකිය. හින්දු බැතිමතාගේ ඇස්පනා පිට සපුරා ම වාගේ හැම දෙයක්ම පාරිශුද්ධ වනුයෙන්, පිදීමට වැදගත් වෙතියි සැලකෙන හෙයින් ගංගා, ගවකොටු හා ශුද්ධ වූ පුද්ගලයන් විසූ හුදකලා භූ®මි වැනි දෑ පූජ්‍යස්ථාන ලෙස සලකනු ලැබේ.

ගෘහ පුද පුජා :- ගෘහපූජා ස්වරූපයෙන් වටපිටාව ගින්නෙන් හා ජලයෙන් පිරිසුදු කිරීමත්, සංකේතාත්මක රූප සටහන් නිමැවීමත් සමඟ සබැඳෙයි. හින්දු බැතිමතා සපුරන්නට පතන වත්පිළිවෙත්හි වාර ගණන, ඔහුගේ පන්තිය හා තත්ත්වය මත රඳා පවතී. එසේ ම ඒවා සංවිධානය කරන සීමාව ද , නන්විධ විය හැකිය.මේ වත්පිළිවෙත් වලට ශුද්ධ වාක්‍ය හෝ නිර්දිෂ්ට පාඨාන්තර නිසි පරිදි සජ්ඣායනය සමග දෙවියන්ට ආහාර, මල් හෝ සුවඳ පූජා පැවැත්වීම ගැනේ. ශ්‍රාද්ධ නමින් හැඳින්වෙන සුවිශේෂ චාරිත්‍රයක් වේ. එනම්, පේ‍්‍රත පුජාවයි. හින්දු භක්තික පුරුෂ පක්ෂය, ජලය සහ ආහාර පාත්‍ර පූජා කරමින් වෙනත් ලෝකවල වෙසෙන සිය පියවරුන්, මුත්තන් ආදිනට සංකේතාත්මකව සිය සම්මාන පුදති. මේ සිරිත වෛදික යුගයේ සිට පැවත එන්නකි. බැතිමතා මෙහිදීත්, ජීවන චක්‍රයේ උපත, උපනයනය , විවාහය හා මරණය වැනි උත්සව වලදී මෙන් පූජකයකුගේ සේවාව පතයි.

දෙවොල් පූජා :- ඇතැම් දේවස්තෝත්‍ර හෝ යාතිකා ගායනය, මල් පිදීම හෝ කෙළින්ම දෙවියාට පඬුරු ප්‍රදානයේදී බැතිමතා විසින්ම එය කරනු ලැබූවත්, පූජකයා ද දෙවොල් පූජා කටයුතු ඉටු කරයි. දෙවියන්ගේ පිළිරුව ම දෙවියා ලෙස විශ්වාස කරනු ලැබේ. දෙවොලක් තුළ පූජා ක්‍රියාවලිය දෙවියාගේ දෙනික චර්යාව කේන්ද්‍ර කොට පවතී. පියවරක් පාසා දෙවියෝ පූජාවට සූදානම් කරනු ලබති. පළමුවෙන් දෙවියෝ සීනු හඬින් අවදි කරනු ලබති. ඉක්බිති සුවඳ දැයින් පිරිසිදු කර නාවනු ලබති. පිළි අඳවනු ලබති. කවනු පොවනු ලබති.බැතිමතා දෙවියන් බැහැ දකින්නට (දර්ශන) ද, දෙවියන් විසින් ස්පර්ශ කරුණු ආහාර (ප්‍රසාද) ලබා ගන්නට ද දෙවොලට එයි. සාමාන්‍ය පුද්ගලයකුගේ දෛනික ජීවන චක්‍රයේදී මෙන්,දෙවොලේදී දෙවියන්ගේ ජීවන චක්‍රයේ සුවිශේෂ දින දක්නට ලැබේ. මේ දින වලදී විශේෂ උත්සව පැවැත්වේ. මේවා නිරන්තර පූජෝත්සව වෙයි. ඒ අතර ඒවා විචිත්‍ර සැණකෙලි බවට ද පත්වේ. මහා පරිමාණයෙන් යුත් බැතිමතුන්ගේ වන්දනා චාරිකා නගරය හෝ ගම්දනවු පුරා දෙව් පිළිරුව වැඩම කර ගත් පෙරහැර, විශේෂ සංගීතය, නාට්‍ය හා අවස්ථානුකූල රංගන විලාස ද සුලබ අංගෝපාංග වෙයි.

ශුද්ධ නගර හා උත්සව :-හින්දු දහම පිළිබඳ විශිෂ්ටත්වයෙන් සැලකෙන කේන්ද්‍රීය ශුද්ධ නගර හතක් වේ. එනම් වාරාණසී (බෙණාරිස්) හර්ද්වාර් (හරිද්වාර) අයෝධ්‍ය , ද්වාර්කා, මථූරා, කාන්චිපුරම් (කන්ජිවරම් ) සහ උජ්ජයින් ය. වෙනත් වැදගත් වන්දනා ස්ථාන අතර, මදුරෙයි, ගයා , ප්‍රයාග් (අලහබාද්) , තිරුපති, සහ පූරී ද වෙයි. මේ එක් එක් තන්හි මහා පරිමාණයෙන් බැතිමතුන් ඇද ගන්නා වාර්ෂික උත්සව පැවැත්වෙන එකක් හෝ වැඩි ගණනක කෝවිල් ඇත. ඇතැම් උත්සව මුළු ඉන්දියාව පුරා, හින්දු චන්ද්‍රමාස දින දර්ශනයට අනුව එකම දිනක පවත්වනු ලැබේ.මේ අතර කැපී පෙනෙන්නක් නම් දීපාවලි උත්සවයයි. එනම් පහන්වැට උළෙලයි. එය පැවැත්වෙන්නේ ඔක්තෝබර සහ නොවැම්බර් මාස තුළය. මෙහිදී සමෘද්ධි දෙවඟනවූ ලක්ෂ්මී හෙවත් සිරිකතට ආසිරි පතන්නට නිවස වටා පහන් වැට දල්වනු ලැබේ. හෝලි (දොල්,දොල්ජත්‍රා) නම් ලත් වසන්ත උත්සවය පෙබරවාරි හෝ මාර්තු මසදී පැවැත්වේ. එය මහා ගාලගෝට්ටි සහිත විහිළු තහළුවෙන් පිරුණකි. මෙහිදි නිතරම කුලය හා සමාජ විශිෂ්ටතාව විෂයයෙහි තාවකාලික අවලංගුතාවක් බල පැවැත්වෙයි. එකල්හි දෛනික කාර්ය පටිපාටිය ප්‍රායෝගික විහිළු තහළුවෙන් පිරුණක් වේ. සරත් ඍතුවේ (සැප්. හා ඔක්) දස දිනක් මෘතෘ දෙවඟනට ගෞරව දැක්වීමට වෙන් කැරෙයි. දශර හෙවත් දස වැනි දවස පෙරහැර හා උත්සව පවත්වමින් උළෙලට නිමාවට පත් කරනු ලැබේ. මේ උත්සවය බෙංගාලයේදී බෙහෙවින් වැදගත් වෙයි. එහිදී එය හැදින්වෙනනේ දුර්ගා පූජා නමිනි.

ඉතිහාසය හා සාහිත්‍යය

ඇතැම් විට වියත්තු, වේදය පදනම් කොට ගත් පුරාතන ඉන්දියානු ආගම හින්දු දහමින් වෙන් කර හඳුනා ගනිති. එසේ වුවත් එහිලා මායිම් දක්වමින් නියමිත කාල වකවානුවක් හඳුන්වාදීම අපහසුය. වේදය යනු ක්‍රි.පූ. දෙවන සහස්‍රකයේ ඉන්දිවට කඩා වැදුණු ආර්යයන්ගේ ස්තෝත්‍ර ගීතිකා වෙයි. වේදය තරයේ ම, පුද්ගලයාගේ අනාගත සාධනය හෙවත් පරම විමුක්තිය විෂයයෙහි දෙව්ලොව වෙතවූ බලාපොරොත්තුව කෙරෙහි බර තබා අවධාරණය කරයි. එය කර්මය සහ පුනර්භවය යන සංකල්පයන්ගෙන් තොරය. එහෙත් හින්දු දහම සිය ආවේණික ලක්ෂණයක් ලෙස කර්මය සහ පුනර්භවය තම විෂය පථයට ඇතුළු කර ගනී. එහි විශිෂ්ටතම අරමුණ වන්නේ පරමාන්තයේදී කර්මය සහ පුනර්භවය අතර දෝලනයෙන් පුද්ගලයා මුදා පරම විමුක්තිය සාක්ෂාත් කිරීමයි.

නොයෙක් වියතුන් විෂ්ණු හා ශිවගේ සම්භව මූල සොයා වෛදික ප්‍රතිරූප වෙත ගියත්, ඒ වෛදික ප්‍රතිරූපයෝ හින්දු දහම තුළ ප්‍රමුඛත්වය ගන්නවුන්ගෙන් යම් පමණකින් වෙනස් වෙති. පශ්චාත් වෛදික දහම, ඇතැම් විට බ්‍රාහ්මණ දහම ලෙස හැදින්වේ . ඇයි ද යත්, වත්පිළිවෙත් පිළිබඳ වෛදික යාගය එය සංවිධානය කළ පූජකයන් හෙවත් බමුණන්ගේ අධිකාරයට අනුකූ®ල වූ නිසයි. කෙසේ වෙතත් පැහැදිලිව ම බුදුදහම හා ජෛන දහම වැනි අවෛදික දහම මගින් ඉදිරිපත් වුණු අභියෝගය,පුද පූජා පැවැත්වීමේදි දැඩි බ්‍රාහ්මණික නීතිරීති වෙනුවට නව මුහුණුවරක් ගත් ඒවා ඊට වඩා ලිහිල් සහ වෙනස් ස්වරූපයෙන් ප්‍රතිස්ථාපනය කරන්නට දිරි ගැන්වීය.

හින්දු දහමේ නිෂ්ඨා ශක්තිය හැටියට වේදය ගැන දිගින් දිගට කතා කරන්නට හැකිව ඇතත්, ඊට සමානුපාතිකව වැදගත් වන වෙනත් පාඨ හෝ ග්‍රන්ථ ද ඇත. මෙලෙසින් ජිවිතය පිළිබඳ චතුර් වර්ග ඵල සම්පත්ති සංකල්පයේ (අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ) එක එකක් පිළිබඳ සාහිත්‍යයක් වැඩි ගියේය. වර්ණ ධර්ම හා ආශ්‍රම ධර්ම හා බැඳි යුතුකම් හා වගකීම් විස්තර කැරෙන මනුනීතිය වැනි ධර්ම ශාස්ත්‍ර,වාත්ස්‍යායන්ගේ කාමසූත්‍ර වැනි ශෘංගාරාත්මක හා වෙනත් ආස්වාදය පිළිබඳ අත්පොත්, සිහසුන රැක ගන්නේ කෙසේ දැයි පාලකයන්ට උපදෙස් දෙන, මැකියාවේලිගේ “ ද පි‍්‍රන්ස් “ බඳු කොටිල්‍යගේ (ක්‍රිපූ . 300 ) අර්ථශාස්ත්‍රය සහ විමුක්තිය හා එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න සමග බැඳි නන්විධ උපාය මාර්ග පිළිබඳ දාර්ශනික සාහිත්‍යයද මෙයට ඇතුළත්ය.

මීට අමතරව සාමාන්‍ය ජීවිතයේදී ඇතැම් කතා සංග්‍රහ පුළුල් ලෙස හඳුනා ගෙන තිබිණි. මෙහිලා මහා භාරතය හා රාමායනය යන මහාකනාව සුවිශේෂ වෙයි. මහා භාරතය, සිය රාජධානිය අහිමි කර රවටනු ලැබූ කුමාරවරුන් පස්දෙනෙකු පිළිබඳ කතා පුවතක් කියයි. එහිදී මහ වනයට පිටුවහල් කරනු ලැබූ ඔවුහු කලකට පසු සිය රාජ්‍යය නැවත ලබා ගනු පිණිස ජයග්‍රාහී සහ යුක්ති සහගත සටහනක් සඳහා ආපසු එති. වෙසෙසින්ම එහි ජනකාන්ත කොටස වන්නේ භගවත්ගීතා නිබන්ධනයයි. භගවත්ගීතාවේදී සොහොයුරු කුමාරවරුන් පස්දෙනාගෙන් කෙනෙකුවූ අර්ජුනට ඔහුගේ රියැදුරා වන, විෂ්ණුගේ අවතාරයක් වූ ක්‍රිෂ්ණ විසින් අනුශාසනාවක් කරනු ලැබේ. රාමායනය පරමාදර්ශි හින්දුවකුවූ රාම පිළිබඳ කතාපුවත කියයි. ඔහුගේ බිරිඳ වු සීතා රකුසකු විසින් පැහැර ගෙන එනු ලද්දීය. ඕ එසේ ගෙන එනු ලැබුවා ශි‍්‍ර ලංකාවට යි. රාම, ඇය යළිත් ලබා ගනු පිණිස ශ්‍රී ලංකාවට ආයේය. මේ මහා වීරකාව්‍ය දෙකම උපදේශාත්මක කතා වලින්, නැණ ගුණ වඩන පැදියෙන් සහ උපමා කතා වලින්ද පිරුණේය. මේ මහා කාව්‍ය ඇතැම් විට නිරතුරු පුන පුනා කීම මගින් හින්දු දහම බෙහෙවින් පලදායක ලෙස, පරපුරින් පරපුරට පතළ කර හරින ලද්දේය. හින්දු දහම පිළිබඳ තවත් මූලාශ්‍රයක් නම්, පුරාණ ග්‍රන්ථයෝය. පුරාණ ග්‍රන්ථයෝ පුරාණෝක්ති සහ මිථ්‍යා ප්‍රබන්ධයන්ගෙන් පිරුණෝය.

ක්‍රිපූ. 500 සිට ක්‍රි.ව. 1000 තරම් යුගය ඇතැම්විට සම්භාව්‍ය හින්දු දහම පිළිබඳ වූවක් ලෙස කතා කරනු ලැබේ. මේ යුගය අතරතුර ප්‍රබල සාහිත්‍යයක් රචිත ද , ශ්‍රේෂ්ඨ දාර්ශනික පද්ධතියක් වර්ධිත ද මූලික වෛෂ්ණව හා ශෛව නිකාය සංවිධිත ද වූයේය. ක්‍රි.ව. 1000 ට පසු සහස්‍රකයේ තරමක් කල් ඇතිව දකුණු ඉන්දියාවෙන් පටන් ගෙන සමාජ ප්‍රතිසංස්කරණයක් සමග භක්තිය පිළිබඳ බලවත් උද්යෝගයක උණුසුම ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගියේය. එවක පටන් මෑතක් වන තුරු පවත්නා තත්ත්වය භක්ති යුගය ලෙස හඳුනාගෙන ඇත. මේ කාල වකවානුව තුළ, ආගමික වැඳුම් පිදුම් ස්වරූපය වැඩි දුරටත් වෙනස්වී ඇති අතර විචිත්‍රත්වයට ද ගොස් තිබේ. මෙහිලා සකු බසට වඩා දේශීය ගැමි බසින් ගීත හා කවි ගැයීමත්, ප්‍රායෝගික වශයෙන් සියලු සම්භාව්‍ය හින්දු සාහිත්‍යය ලියන ලද්දේ සකු බසින් වීමත් එක් උදාහරණයකි.

දෙවියන් සමග කෙළින්ම ගනුදෙනු කිරීම අවධාරණය කරන ලදී. බැතිමතා වෙනුවෙන් අතර මැදියකු ලෙස දෙවියන් වෙත එළඹීමේ පූජාකයාගේ භූමිකාව තරමක් නොතකා හැරුණේය. සියලු දෙනාට පොදු හැගීමක් වන ආදරය, වෙසෙසින්ම බෙහෙවින් අසරණ වූවනට ප්‍රදානය කිරීම අගය කරනු ලැබේ. එය පරමාන්තයක් වෙතවූ ප්‍රවේශ මාර්ගය ලෙස වර්ණනා කෙරේ. භක්ති මාර්ගය පිළිබඳ ඇතැම් දර්ශන, විමුක්තිය සුපිරි ඉලක්කය ලෙස නොසලකයි. ඒවා සලකනුයේ, වඩා ශ්‍රේෂ්ඨ වන්නේ දෙවියන් කෙරෙහි පිරිනැමෙන ආදරයෙන් පිරි භක්තිමත් සේවාව වන බවයි.

හින්දු දහමේ නූතන ප්‍රවණතාව වන්නේ, වැන්දඹුවක සිය හිමියාගේ ආදාහන සෑයට පැන දිවි තොර කර ගැනීම හෙවත් සති පූජාව, කුල විශේෂතා සහ කර්මය හා පුනර්භවය වැනි ඇතැම් ප්‍රායෝගික සම්භාව්‍ය ලක්ෂණයන්ගෙන් වඩා බැහැර වූ ව්‍යාපාරයක රංගනයකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.