Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුහුදුන් බව ඉක්මවා යෑම සඳහා වැඩිය යුතු ඉන්ද්‍රිය ධර්ම

ඉන්ද්‍රිය නාමයෙන් හැඳින්වෙන ධර්ම විසි දෙකක් නිකාය ග්‍රන්ථයන්හි ද අභිධර්මයෙහි ද ඇතුළත් වී තිබේ. ආයතන යනුවෙන් ද සඳහන් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය මන යන සය ෂඩින්ද්‍රිය ලෙස ගැනේ. සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපෙක්ඛා යන වේදනා පස ද ඉන්ද්‍රිය නාමයෙන් සංගීති සූත්‍රයෙහි සඳහන් කර තිබේ.

සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යි ඉන්ද්‍රිය ධර්ම පහක් ඇතුළත් වේ. අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය හා අඤ්ඤාතාවින්ද්‍රිය යනුවෙන් ද ඉන්ද්‍රිය තුනකි. මේ හැර ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය හා ජීවිතින්ද්‍රිය යැයි ඉන්ද්‍රිය තුනක් ද සඳහන් වී තිබේ. මේ සියල්ල ඉන්ද්‍රිය ධර්ම විසි දෙකකි. ඒ අතරින් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි ඇතුළත් සද්ධාදි ඉන්ද්‍රිය පංචකය පිළිබඳ විමසා බැලීම සඳහා මේ ලිපිය කැප වෙයි.


ඡායාරූපය - ජනක වෙත්තසිංහ

සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයේ මුදුතර වග්ගයේ ඇතුළත් සූත්‍ර ධර්ම මේ සම්බන්ධයෙන් අවධානයට යොමුවිය යුතුය. ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ විස්තර රාශියක් ඇතුළත් එහි ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමට අදහස් ඇති අය සඳහා සුවිශේෂ පණිවුඩයක් ඉදිරිපත් වේ. පටිපන්න සූත්‍රයෙහි හෙළිවන කරුණකි, ඉන්ද්‍රිය ධර්ම යමකුගේ සිත තුළ වැඩෙන්නට පටන්ගෙන ඇත්නම් ඔහුගේ ඇස ආර්ය මාර්ගයේ ගමන් අරඹා ඇති බව පටිපන්න සූත්‍රයෙහි මෙසේ කියැවෙයි.

සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය පහ සම්පූර්ණයෙන් වර්ධනය වී ඇත්තේ රහතන්වහන්සේ තුළය. රහත් මඟට පිළිපන් ආර්යයන් තුළ ඊට අඩුවෙන් ඉන්ද්‍රිය ධර්ම වැඩී තිබේ. අනාගාමීන් තුළ ඊට අඩුවෙන් ද, අනාගාමී මාර්ගයට පිළිපන් ආර්යයන් තුළ ඊට අඩුවෙන් ද, සකෘදාගාමීන් තුළ ඊටත් අඩුවෙන් ද, සකෘදාගාමී මාර්ගස්ථයන් තුළ තවත් අඩුවෙන් ද වැඩී ඇත. සෝතාපන්නයන් තුළ ඇත්තේ ඊටද අඩුවෙනි. සෝතාපන්න මඟට පිළිපන් අය තුළ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නට පටන්ගෙන තිබේ. යම් කිසිවකු තුළ මේ ඉන්ද්‍රිය ධර්ම කිසිසේත් කවරම අයුරින් හෝ වැඩී නැත්නම් හෙතෙම සසුනෙන් බැහැර වූ පෘථග්ජන පක්ෂයෙහි පිහිටියෙකි.

බෞද්ධයන් වන අපට, අප පිළිබඳව ම ඇගැයීමක් කර ගැනීමට හැකිවන මිනුම් දඬුවක් මේ සූත්‍රයෙන් සපයා දී තිබේ. ‘මා පෘථග්ජනයෙක්ද? ආර්ය මාර්ගයට අවතීර්ණ වී සිටින සැබෑ බෞද්ධයෙක්ද? මේ ප්‍රශ්නය එක් එක් පුද්ගලයා විසින් තම තමාගෙන් අසා ගත යුත්තකි. එයට පිළිතුර ද දහමට අනුව තමාට ම ලබාගත හැකි ය. තමා තුළ ඉන්ද්‍රිය ධර්ම වැඩීම ඇරැඹී ඇත්නම් ඒ පුද්ගලයා ආර්ය මාර්ගයට පිවිසී සිටියි. ඉන්ද්‍රිය ධර්ම තමන් තුළ වැඩීමැ ඇරැඹී නැත්නම් තමා පෘථග්ජනයෙකි. එනිසා ඔහු හෝ ඇය බුදු සසුනට තවමත් ඇතුළත් නොවූවෙකි. සසුනෙන් බැහැර වූවෙකි. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම දැන හැඳිනගෙන ඒවා තමන් තුළ වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම සෑම බෞද්ධයකුගේම වගකීමකි. මෙය ඉටුකර ගැනීම සඳහා ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ තරමක හෝ අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය ය. ඉන්ද්‍රිය සංයුත්තයේ ම එන දට්ඨබ්බ සූත්‍රයද, විභංග සූත්‍රය ද ඇසුරෙන් ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු දැනගත හැකියි.

ඉන්ද්‍රිය යන වචනයෙන් අධිපති බව ප්‍රකාශ වේ. සද්ධින්ද්‍රිය දට්ඨබ්බං චතුසු සෝතාපත්ති අංගේසු යි සෝතාපත්ති අංග සතර සපුරාලීම සද්ධා, ඉන්ද්‍රිය වැඩීම බව කියැවේ. පංචභයවේර සූත්‍රයෙහි සඳහන් පරිදි සෝතාපත්ති අංග සතර නම් තෙරුවන් කෙරෙහි ගුණ දැන පැහැදීම සහ අරියකන්ත සීලයෙන් යුක්ත වීම ය. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන ගුණ දැක්වෙන පාඨ තුන තෙරුවන් වැඳීමෙහි දී යොදා ගැනෙන නිසා හැම බෞද්ධයා ම දැන සිටියි. මේ ගුණ වචන වශයෙන් හෝ අර්ථ වශයෙන් පාඩම් තිබෙන බව තෙරුවන් ගුණ දැනීම නො වේ. ඒ ගුණයන්හි ගැබ් වී ඇති අරුත් යම්කිසි ප්‍රමාණයකට විස්තර ඇතිව වටහා ගෙන ඒ පිළිබඳව ප්‍රසාදයක් ඇතිකර ගත යුතුයි. ඒ ප්‍රසාදය මත තෙරුවන් සරණ යෑම සිදුවේ. තෙරුවන් ගුණපාඨයන්හි වචනාර්ථ පමණක් මෙහි සඳහන් කරනු ලැබේ. බුදුගුණ සමුහයන් නවයක් බුදුගුණ පාඨයට ඇතුළත් වේ. ඒ මෙසේය. තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන් නසා, පූජාදියට මැනැවින් සුදුසු වී සිටින හෙයින් අරහා නම් වෙති. පරෝපදේශ රහිතව චතුරාර්ය සත්‍යාවබෝධය ලබා සතහට දෙසූ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. විද්‍යාවෙන් හා චරණයෙන් යුත් හෙයින් විජ්ජාචරණ සම්පන්න වන සේක. යහපත් වූ නිවනට පැමිණි හෙයින් සුගත නම් වන සේක. ලෝකය මැනැවින් දැනගත් හෙයින් ලෝක විදූ නම් වන සේක. තමන් වහන්සේට ගුණයෙන් වැඩි කිසිවකු නොමැති හෙයින් අනුත්තර නම් වන සේක. දැමිය යුත්තන් දමනය කළ හෙයින් පුරිසදම්ම සාරථි නම් වන සේක. දෙවි ඳඬසුන්ට ගාස්තෘ හෙයින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක. භාග්‍යවත් හෙයින් භගවා නම් වන සේක.

දහම් ගුණ පාඨයෙහි දහම් ගුණ හයක් ඇතුළත් වේ. පරිපූර්ණව යහපත් ව දෙසූ දහමක් හෙයින් ස්වාක්ඛාතය. ඇස් ඉදිරිපිට ප්‍රතිඵල දැකිය හැකි හෙයින් සන්දිට්ඨිකය කවර කලකට වුවත් අර්ථවත් හෙයින් අකාලිකය ‘එව බලව‘ යි පෙන්විය හැකි හෙයින් ඒහිපස්සිකය. නිවන් කෙරෙහි පමුණුවන හෙයින් ඕපනයිකය. විඤ්ඤුපුරුෂයන් විසින් තම තමන් කෙරෙහිම දත යුතු හෙයින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි නම් වේ.

ආර්ය මහා සංඝයා වහන්සේ මනා පිළිවෙතට පැමිණි හෙයින් සුපටිපන්නය සෘජු මාර්ගයට පැමිණි හෙයින් උජුපටිපන්නය ඤාය නම් වූ නිවන් මගට පිළිපන් හෙයින් ඤායපටිපන්නය. ඉතා සුදුසු මගක ගමන් ගත් හෙයින් සාමීචිපටිපන්නය. සිවු පසයෙන් සංග්‍රහ කිරීමට සුදුසු හෙයින් ආහුණෙය්‍ය ය ආගන්තුකයනට පිළියෙළ කළ සංග්‍රහයද පිළිගැන්වීමට සුදුසු හෙයින් පාහුණෙය්‍ය ය දක්ෂිණාව පිරිනැමීමට සුදුසු හෙයින් දක්ඛිණෙය්‍ය ය ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසු හෙයින් අඤ්ජලීකරණීය ලෝකවාසී ජනතාවට ඉතා උතුම් පින් කෙතකි. එනිසා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස නම් වේ.

මේ ගුණ වටහා ගෙන තෙරුවන් සරණ යන ශ්‍රාවකයා පන්සිල් හෝ ආජීව අෂ්ටමක සීලය අරියකන්ත සීලයක් වශයෙන් ආරක්ෂා කරන්නෙක් වෙයි. සීලය ආර්යයන්ට පි‍්‍රය වූ ආකාරයට ආරක්ෂා කිරීමෙන් අරියකන්ත සීලයෙහි පිහිටීම සිදුවේ. ඒ සඳහා ශික්ෂාපද අඛණ්ඩ, අච්ඡිද්ද, අසබල, අකම්මාස, භුජිස්ස, විඤ්ඤුප්පසත්ථ, අපරාමට්ඨ, සමාධිසංවත්තනික, ආකාරයට ආරක්ෂා විය යුතුය.

මෙහි සිල්පද මුලින් හෝ අගින් බිඳ නොගැනීමෙන් අඛණ්ඩ වේ.

මැදින් නොකැඩීමෙන් අච්ඡිද්ද වේ. සිල්පද දෙක තුනක් බිඳ නොගැනීමෙන් අසබල වේ. තැනින් තැන සිල්පද නොබිඳීමෙන් අකම්මාස වේ. තණ්හාවෙන් යටපත් නොවී ආරක්ෂා කර ගැනීමෙන් භුජිස්ස වේ. විඤ්ඤුපුරිසයනට හෙවත් අවංක නුවණැත්තන්ගේ් ප්‍රශංසාවට හිමිවීමෙන් විඤ්ඤුප්පසත්ථ නම් වේ. තණ්හාමාන දිට්ඨි යන කෙලෙස් තවරා නොගැනීමෙන් අපරාමට්ඨ වේ. සමාධිය කරා යන අයුරින් රැක ගැනීමෙන් සමාධි සංවත්තනික වේ. ගුණ දැන තෙරුවන් සරණ ගොස් අරියකන්ත සීලයෙහි පිහිටි තැනැත්තේ තමන් තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇත්තෙක් වෙයි.

විරියින්ද්‍රියං දට්ඨබ්බං චතුසු සම්මප්පධා, නෙසු යි සම්‍යක් ප්‍රධාන ඇත්තේ විරියින්ද්‍රියයෙන් යුක්ත වූයේ වෙයි. තමන් තුළ නැති අකුසල් නූපදීමටත්, ඇති අකුසල් ප්‍රහීණ කිරීමටත්, නැති කුසල් උපදවා ගැනීමටත්, ඇති කුසල් වැඩිදියුණු කර ගැනීමටත් ගන්නා උත්සාහය (සංවර, පහාණ, භාවනා, අනුරක්ඛණ) සතර සම්‍යක් ප්‍රධන වීර්ය වෙයි.

සතින්ද්‍රියං දට්ඨබ්බං චතුසු සතිපට්ඨානේසු යි සතර සතිපට්ඨානය වැඩීමෙන් සතින්ද්‍රිය වැඩෙන බව කියැවේ. කය, වේදනා, සිත් හා සිතිවිලි (ධර්ම) අනුව සිහිය පිහිටුවා ගැනීම සතිපට්ඨානය නම් වේ.

සමාධින්ද්‍රියං දට්ඨබ්බං චතුසු ඣානේසු යි ධ්‍යාන සතරෙහි පිහිටීම සමාධිය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත්වන ආකාරයයි. මෙහි සඳහන් වන්නේ රූපාවචර ධ්‍යාන සතරයි. ධ්‍යාන සතර මේවාය. කාමයෙන් හා අකුසලයෙන් වෙන් ව විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා යන ධ්‍යානාංගයන්ගෙන් යුක්ත ව ලබන පළමුවන ධ්‍යාන ය.

විතක්ක, විචාර යටපත් කොට පීති, සුඛ ඒකග්ගතා සහිතව ලබන දෙවන ධ්‍යානය.

පී‍්‍රතිය ද ඉවත් වීමෙන් ලබන සුඛ, ඒකග්ගතා සහිත තුන්වන ධ්‍යානය සහ

උපෙක්ඛා, ඒකග්ගතා යන ධ්‍යානාංගයන් සහිත සතර වන

මෙයට වෙනස් ව, නිවන් අරමුණු ඇතිව ලබන සිතේ.

එකඟ බව හෙවත් සමාධිය, සමාධින්ද්‍රිය ලෙසද විභංග සූත්‍රයෙහි විස්තර වේ.

අරියසාවකෝ වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස ඒකග්ගතං යි එහි සඳහන් වේ.

පඤ්ඤින්ද්‍රියං දට්ඨබ්බං චතුසු අරියසච්චේසු යි ආර්ය සත්‍ය සතර දැකීම පඤ්ඤා ඉන්ද්‍රිය නම් වේ. එහිදී ද විභංග සූත්‍රය සඳහන් කරන්නේ පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ, අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා යනුවෙන් නිර්වේදනයට සමත් වූ මැනැවින් දුක් ගෙවා දැමීමට මග තනන ඇතිවීම හා නැතිවීම දකින නුවණ පඤ්ඤින්ද්‍රිය වශයෙනි.

වචන යෙදීම විසින් වෙනස් වුණත් මේ විග්‍රහයන් දෙකෙහි එතරම් වෙනසක් නැත. නිවන් අරමුණු ඇතිව ලබන චිත්තේකාග්‍රතාව ම වඩාත් වැඩි දියුණු කර ගැනීමේ දී ධ්‍යාන ලැබෙන බවත්, ඇතිවීම, නැතිවීම දැකීම ම චතුරාර්ය සත්‍යය දැකීමට තුඩුදෙන බවත් සැලකිය යුතු හෙයිනි. ධ්‍යාන ලැබීමේදී කාමයෙන් ඉවත් වීමක් සිදුවන හෙයින් කාමභෝගී ගිහියනට ධ්‍යාන ලබාගත නොහැකි බව සිතන වැරැදි දෘෂ්ටියක් බොහෝ අය තුළ පැතිර පවතින බව පෙනේ. එය පැහැදිලි තේරුම් ගත යුත්තකි. කාමභෝගීන් තුළ කාමයෙන් ඉවත් වීම සිදුවන්නේ සිත ධ්‍යානයට පත්වන අවස්ථාවේදී පමණි. ධ්‍යානයෙන් ඉවත් වූ පසු යළි කාම කල්පනා මිනිස් සිත තුළ ඇතිවේ.

සෝතාපන්න, සකදාගාමී ආර්යයන් ද කාමච්ඡන්ද සංයෝජනය බැහැර කර නැත. ඒ නිසා එසේ කාම කල්පනා ඇතිවීම පුදුමයක් නොවේ. කාම කල්පනා තිබෙන නිසාම කාමභෝගීන් යනුවෙන් හැඳින්වේ. කාමභෝගී ආර්ය ශ්‍රාවකයනටය, සිඟාලෝවාද ආදී සූත්‍ර ධර්මයන්හි ගිහි විනය දේශනා කර ඇත්තේ. එනිසා ධ්‍යාන ලැබීමට කාමභෝගී බව බාධාවක් නොවේ. තමන් තුළ මේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන්නට පටන් ගෙන ඇත්දැයි විමසා බලා, එසේ නැත්නම් ඒ දහම් වඩා ගැනීමට ක්‍රියා කිරීමෙන් පෘථග්ජන කම ඉක්මවා ආර්ය භූ®මියට පත්වීමට උත්සාහ කිරීම බෞද්ධයාගේ වගකීමය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.