Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉඹුල්ලේ ධම්මකුසල හිමි

බුදුදහම සර්ව අසුබවාදී දහමක් නොවන බව මෙහිදී අවධාරණයට ලක් කළ යුතු ය. එබැවින් ලෞකික ගිහි ජීවිතයක් ගත කරන්නා වූ සරාගී මිනිසුන් දෙස ද බඹසර මහණ භික්ෂූන් දෙස ද සර්ව සාධාරණ ඇසක් යොමු කොට තිබේ. ගිහි ජීවිතයක් ගත කරන මිනිසුනට ලෞකික වූ සුන්දර වසතුන් හි යථා ස්වභාවය දැන සිහි නුවණින් හා අවබෝධයෙන් ඒවා පරිහරණයට උපදෙස් දී තිබේ. එසේම ඒවායෙහි ‘අස්සාද’ නම් වූ ආශ්වාදය විඳිය යුත්තේ් ආදීනවය ද දැනගෙන ය. එසේම එයින් මිදීම නම් වූ ‘නිස්සරණය’ ද දැනගත යුතුය.

‘සෞන්දර්ය ‘ යනු මිනිසා විසින් ගොඩ නගන ලද සංකල්පයකි. සොබා දහමේ පවතින රමණීය බව, ආධ්‍යාත්මයක් තුළ පවතින රමණීය බව හෝ සුන්දර බව සෞන්දර්ය සංකල්පයට ඇතුළත් කළ හැකිය. සංකීර්ණ සංකල්පයක් වූ මෙය සෞන්දර්යවාදයක් (AESTHETISM ) හැටියට බුදු දහමට එක් කළ නොහැකි වන්නේ බුදු දහම හුදෙක් සෞන්දර්යවාදී දහමක් නොවන බැවිනි.

සොබාදහමේ රමණීය බව, රූපයේ සුන්දරත්වය යන කරුණු ගැන දාර්ශනිකයන් කරනු ලබන අධ්‍යයන තුළින් සෞන්දර්ය සංකල්පය ගොඩනැගී ඇත. සෞන්දර්යය සමග වින්දනය ගැන ද ප්‍රකාශ වෙයි. බුදුදහමේ අදහස් සමග මෙය තරමක් නොගැලපෙන්නකි. ලෞකික රස අතර ශෘංගාර කරුණා,රෞද්‍ර, වීර, භයානක, බීහක්ස , හාස්‍ය, ශාන්ත, අද්භූත යන රස නවයක් ගැන සඳහන් වෙයි. ශ්‍රද්ධා , මෛත්‍රී ආදී රස ආගමික ඉගැන්වීම් අනුව ප්‍රකාශ වෙයි. එහෙත් මේ සියල්ලම ලෞකික රස යැයි ඍජුවම කිව නොහැකිය. එයට හේතුව බුදු දහමේ දැක්වෙන තුන්තරා බෝධිය ලෞකික නොවූවක් බැවිනි. එබැවින් බෝධියට හෙවත් නිවන ට පත් උතුමෝ කරුණා, මෛත්‍රී යන රසද විරාග හෙවත් ශාන්ත රසයද ලෝකෝත්තරව අත්දකිති.

විවිධ ආගම් වල දර්ශනවල මෙන්ම සාහිත්‍යයේ දී සෞන්දර්ය සංකල්පය සාකච්ඡා කොට තිබුණ ද එය බුදු දහමේ මෙන් ලෝකෝත්තර වීම දක්වා විහිද නොමැත. එහෙත් බුදුරජාණන් වහන්සේ ලෞකික සෞන්දර්යයෙන් පටන් ගෙන ලෝකෝත්තර ආධ්‍යාත්මික සෞන්දර්යය දක්වා සාකච්ඡා කොට තිබේ. ලෞකික සෞන්දර්ය ග්‍රහණය වන්නේ, පසිඳුරන් ට ය. පසිඳුරන් හරහා මනස එම සුන්දර රසය අනුභව කරයි. කායික, මානසික සුවය ඔස්සේ ආධ්‍යාත්මික වූ විරාගික සෞන්දර්යය කරා යා හැකි ය.

පසිඳුරන්ගෙන් ආහාර කොට ගන්නා දැකීමක් ස්පර්ශයක්, අර්ථ රසයක්, ඇසීමක් හෝ විඳීමක් වේද, එය මෙම සංකල්පය ස්පර්ශ කරයි. බුදුදහම නැටුම, ගැයුම හා රූපමය සුන්දරත්වය ගැන කරුණු දක්වා තිබේ. ලෞකික සෞන්දර්ය වින්දන වූ ගීත නැටුම් භික්‍ෂූන්ට තහනම් කොට තිබේ.

“රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං උච්චක්කවේදං භික්ඛවේ අරියස්ස විනයෙ යදිදං නච්චං “ යන්නෙන් මහණුන්ට ගායනාව හැඬිල්ලක් බවක්, නැටීම පිස්සුවක් බවක් දක්වා තිබේ. මෙයින් අදහස් කරනුයේ බුදු දහමේ දැක්වෙන නිවන් මගට මෙම කරුණු සම්බාධක බව යි.

ලෝකයේ සුන්දර වූ ද නොවූ ද සියලු වස්තූන්ගේ හා සිතිවිලිවල ස්වභාවය වන්නේ, උප්පාද, ඨිති, භංග යන අවස්ථාය. ඉපදීම, පැවැත්ම , එනම් වෙනස් වෙමින් පැවතීම හා අවසානය හෙවත් විනාශ වී යෑමයි. මිනිසා ප්‍රධාන වූ ලොව සියල්ල පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මූල ද්‍රව්‍යය පදනම් ව සකස්ව ඇති බවත්, ඒ සියල්ල වෙනස් වන බවත් ප්‍රකාශිතය . ‘සංඛාර ‘ යන වචනය එබැවින් ඒ සඳහා භාවිතා වේ. සංස්ඛාරයන්ගේ ස්වභාවය ගලන ගඟක් මෙන් වෙනසකට ගලා යාම යි. “ එක් පුද්ගලයෙකුට ගඟකට බැසිය හැකි වන්නේ එක් වරක් පමණකි” යන ගී‍්‍රක දාර්ශනික හෙරක්ලීටස්ගේ අදහස ද ඉක්මවමින් , එක් ගඟකට පුද්ගලයාට එක වතාවකදී හෝ බැසීම අසිරු තරමට ගඟ වෙනස් වන බව පවසයි. මේ තුළින් මතු කල හැකි සංකල්පය වන්නේ අනිත්‍ය සංකල්පය යි. මෙසේ ලෞකික සෞන්දර්යාත්මක වස්තූන්හි අනිත්‍යය දක්වන බුදුදහම, ලෞකික වූ සියල්ල අන්තවාදීව හෙළා දැක නැත.

බුදුදහම සර්ව අසුබවාදී දහමක් නොවන බව මෙහිදී අවධාරණයට ලක් කළ යුතු ය. එබැවින් ලෞකික ගිහි ජීවිතයක් ගත කරන්නා වූ සරාගී මිනිසුන් දෙස ද බඹසර මහණ භික්ෂූන් දෙස ද සර්ව සාධාරණ ඇසක් යොමු කොට තිබේ.

ගිහි ජීවිතයක් ගත කරන මිනිසුනට ලෞකික වූ සුන්දර වසතුන් හි යථා ස්වභාවය දැන සිහි නුවණින් හා අවබෝධයෙන් ඒවා පරිහරණයට උපදෙස් දී තිබේ. එසේම ඒවායෙහි ‘අස්සාද’ නම් වූ ආශ්වාදය විඳිය යුත්තේ් ආදීනවය ද දැනගෙන ය. එසේම එයින් මිදීම නම් වූ ‘නිස්සරණය’ ද දැනගත යුතුය.

බුදුන් වහන්සේ, පඤ්චසික ගයන්නා වූ තෙරුවන් ගුණ හා කාම ගුණ ඇතුළත් ගීතය අගය කරති. උක්ගසේ කරණම් ගැසූ ශිල්පියාගේ දක්ෂතාව ද අගය කරති. සාමණේර භික්ෂූ දස සීලයෙහි දී නැටුම්, ගැයුම්, වැයුම් පමණක් නොව සුවඳ විලවුන් හා රන් ආදිය පිළිගැනීමද තහනම් කරති. මෙහිදී අවබෝධ කරගත යුතු වන්නේ ගිහි ජීවිතය ගත කරන්නන් අන්තවාදී ලෙස යථාර්ථයට සමීප කිරීමට බුදුන් වහන්සේ කටයුතු නොකළ බව යි.

පංචසීලය තුළ සෞන්දර්ය රස වින්දනය බැහැර කිරීමේ ශික්ෂා අන්තර්ගත නොකිරීම මගින් එය වඩාත් තහවුරු වෙයි. එහෙත් නිරාමිස විමුක්තිය වන නිවන සඳහා ගිහි පැවිදි සියල්ලෝම ගමන් කළ යුතු ය. ගිහියා ගිහි ජීවිතය ගත කරමින්ද පැවිද්දා පැවිදි ජීවිතය ගත කරමින්ද එම ගමනෙහි යෙදෙයි. මෙහිදී ගිහි ජනයා ලෞකික වින්දන විඳිමින් ද පැවිද්දා ලෞකික වින්දර වලින් බැහැර වෙමින් ද ගමන් ගන්නේ, අධ්‍යාත්මය තිර සුන්දරත්වයක් වෙත මෙහෙයවීම සඳහා ය.

බොදු පිළිවෙතේ විශේෂත්වය නම් ලෞකික අවබෝධය ලෝකෝත්තර අවබෝධයට පදනම් කරගත හැකි බවයි. ප්ලේටෝ නම් දාර්ශනිකයා කලාව පිළිබඳ දක්වන්නේ කලාව හා සෞන්දර්යය සදාචාරයට එකඟ විය යතු බවයි. එසේම බුදු දහමෙන් ද අදහස් කරන්නේ සෞන්දර්ය සංකල්පය. ලෝකෝත්තර සෞන්දර්යයක් කරා යන ගමනට පදනම් කරගත යුතු බව යි.

ධම්ම පදයෙහි අරහන්ත වග්ගයෙහි රහතන් වහන්සේ රමණීය වූ සිත්කළු වූ සුන්දර වන අරණවල සරාගී ජනයා නො ඇලෙන බවත්, වීතරාගි වූ රහත් උතුමන් වහන්සේ එහි සිත් අලවා වාසය කරන බවත් ය.

රමණීයානි අරඤ්ඤානි
යස්ස න රමතී ජනො
වීතරාගා රමෙස්සන්ති
නතෙ කාම ගවේසිනො

යන්නෙන් එය දක්වා තිබේ. මෙයින් කියැවෙනුයේ විරාගී උතුමන් දකින්නා වූ සෞන්දර්යාත්මක දර්ශනයේ නිරාමිස රසය, ගැඹුරු සුන්දරත්වය ලෞකික දෘෂ්ටියෙන් දැකිය නොහැකි බව යි. විශේෂයෙන් ථෙර ථෙරීන්ගේ සෞන්දර්යාත්මක ප්‍රකාශන තුළින් ඒ බව වඩාත් තහවුරු වෙයි. මෙසේ බලන කල බුදු දහමේ සෞන්දර්ය සංකල්පය පිළිබඳව දර්ශනය වූ කලී දුකට ම නැවත නැවතත් පත් වන්නා වූ ලෞකික සෞන්දර්යාත්මක තාවකාලිකත්වය ඉක්මවා නිරාමිස සදාතන ආධ්‍යාත්මික සෞන්දර්ය සුඛය වූ නිවනට ම ගමන් කිරීම ශ්‍රේෂ්ඨ වන බවයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.