Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සැබෑ සොඳුරු රුවක රහස පිවිතුරු සිත යි’

පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස යන මහා භූත ධර්මයන්ගේ සංකලනයෙන් සෑදුණ සත්ව ශරීරයෙහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ චක්ඛු , සෝත, ඝාන, ජිව්හා, කාය, මන ෂඩ්න්ද්‍රියයන්ගෙන් ග්‍රහණය කොට ගෙන සත්වයෙක් ය, පුද්ගලයෙක් ය, මමය, මාගේ ය, යන සංකල්පය ලෝකයෙහි පහළ වී ඇත.

මෙම ෂඩ්න්ද්‍රියයට අයත් වන මනසින් චිත්ත චෛතසික ධර්මයෝ පහළ වෙති. එහෙත් බොහෝ දෙනෙක් තමන්ට මනසක් හෙවත් සිතක් තිබෙනවා යැයි වත් නො දනිති. එහෙත් කාය වර්ධනයට උපකාරී වන කටයුතු කරති. ඇඳීම, පැළඳීම, සේදීම, නැහැවීම, ආහාරපාන ගැනීම, රෝගාබාධයක් ඇති වූ විට බේත් හේත් ගැනීම ආදි ක්‍රියාවලිය කාය වර්ධනය හා රක්ෂණය සම්බන්ධව බැඳී පවතී. රූපලාවන්‍යකරණය ද කාය වර්ධන ක්‍රියවලියටම සම්බන්ධ වූවකි.

රූපලාවන්‍ය ක්‍රියාවලියට වැඩිපුර ම යොමුවූයේ කාන්තාවන් ය. ඒත් අද පුරුෂ පක්ෂය ද කාන්තාවන් හා සමාන්තර ව රූපලාවන්‍යකරණයට යොමු වී ඇති බව පෙනේ. ගම් නියම්ගම් හා නගර ජනපදවල සෑම තැන ම රූපලාවන්‍ය ආයතන හතු පිපෙන්නාක් මෙන් ඇතිවන්නේ ඒ නිසා ය. මෙම ආයතනයන්ගෙන් බෙහෙවින් සිදුවන්නේ කොණ්ඩා මෝස්තර සකස් කිරීම, මුහුණේ ඇඟේ වර්ණවත් බව ඇතිකිරීමට යම් යම් ආලේප භාවිත කිරීම, සම්භාහන කිරීම් ආදි කාර්යයන් ය.

එහෙත් මෙම රූපලාවන්‍ය ක්‍රමවේදය සර්ව සම්පූර්ණ යැයි සිතිය නො හැකි ය. ලස්සනට පවතින කොණ්ඩය, රූපලාවන්‍ය ආයතන මගින් තවත් හැඩවැඩ කිරීමට ගොස් විරූප කරගත්, නැතහොත් තට්ටය පාදාගත් කාන්තාවන් ගැන නොයෙක් කතා පුවත් අසන්නට දකින්නට ඇත. මිනිස් ආකෘතිය හැඩවැඩ කිරීමට කරන සැත්කම් ආදියෙන් මරණාන්තික පිළිකා ආදී රෝගාබාධයන් ද වැළෙඳන බව සාධක සහිතව සනාථ කිරීමට කරුණු කාරණා යෙදී ඇත. රූපලාවන්‍යකරණයෙහි නියුක්ත වූවන් ඒ ඒ ද්‍රව්‍ය උපකරණ භාවිතයට පුහුණු වූවන් මිස, වෛද්‍යවරුන් නොවීම අශුභඵල ගෙන දීමට හේතුවක් වී ඇත. අංග සම්පූර්ණ රූපලාවන්‍යකරණය සඳහා ශාරීරික මෙන් ම මානසික නිරෝගිතාවයද අත්‍යවශ්‍ය ය.

බුදුදුහමින් රූපය නිශේධාත්මකව බැහැර කිරීමෙක් කිසි තැනක සිදු වී නැත. මිනිසුන්ට මෙන් ම සෑම සත්ත්වයන්ට ම රූමත් බව අත්‍යවශ්‍ය ගුණාංගයකි. සම්පතෙකි. බල්ලෙක්, බළලෙක් වුවද ලස්සන නම්, නිරෝගිමත් නම් ඒ බල්ල, බළලා මිනිසුන්ගේ ආදරයට ලක් වෙයි. ඒ නිසා ඔවුන්ට කෑම බීම හා සැප පහසුකම් ලැබෙයි. අනෙක් සෑම සතුන්ට ම මේ තත්ත්වය මෙසේ ම ය. ධර්මානුකූ®ලව අවශ්‍ය වන්නේ රූසපුව මෙන් ම ගුණ සපුවත් තිබීම ය. රුව ගුණ යන වචන යුගලය. ඒ නිසා ම එකට එක තැන බොහෝ විට යෙදෙයි. රූපය සමඟ ගුණය අත්වැල් බැඳ ගත් විට ඔහු ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි. ඇය ශ්‍රේෂ්ඨ කාන්තාවකි. කෙතරම් රූමතෙක් රූමතියක් වුවද හැසිරීම කතාබහ අමනෝඥ නම් ඔහුට හෝ ඇයට සමාජයේ පිළිගැනීමක් නැත. කෙතරම් දැකුම්කළු රූ සපුවක් පිහිටියත් කතාබහ කරන්නට නො දනී නම් රළු පරළු වචන භාවිත කෙරේ නම් ඔහු කිසිවිටෙකත් සමාජයේ පි‍්‍රය ජනක පුද්ගලයෙක් නො වන්නේ ය. ජාතක පාලියෙහි සුජාත ජාතකයෙහි සඳහන් වන පරිදි

න හි වණ්ණේන සම්පන්නා
මඤ්ජුතා පියදස්සනා
ඛරවාචා පියා හොන්ති
අස්මිං ලෝකේ පරම්හි ච

රූමත්බවින් යුතුව පි‍්‍රය මනාප පෙනුමකින් යුක්ත වුවත් නපුරු කථා ඇත්තේ නම් ඔහු පි‍්‍රය මනාප පුද්ගලයෙක් නො වේ. යනු ඉහත සඳහන් ගාථාවේ අදහස යි.

කාන්තා රූසපුව මනින පෙරදිග නිර්ණායකය පංච කල්‍යාණය යි. මාංස කල්‍යාණය - ඡවි කල්‍යාණය - දන්ත කල්‍යාණය - කේස කල්‍යාණය හා වය කල්‍යාණය යනු ඒ පස යි. එදා සිටි යසෝදරා, විශාඛා දී දේවිවරු මෙම පංච කල්‍යාණයෙන් අනූන කාන්තාවෝ ය. රූපානන්ද, සිරිමා, මාගන්ධියා වැනි රුවැත්තියන් පිළිබඳව ද ත්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් ව ඇත.

පුරුෂ පක්ෂයට ආරෝහ පරිනාහයෙන් යුත් දේහයකින් සමන්විත ව කඩවසම් රූපසපුවක් තිබීම වාසනාවකි. පුරුෂ ශාරීරයක හා කාන්තා සිරුරක තිබිය යුතු විශේෂ ගුණාංග සාහිත්‍ය පොත පතෙහි දක්නට ඇත.

‘නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන’

ආදී වශයෙන් කාන්තා හැඩ රුව සැළලිහිණි සන්දේශයෙහි තොටගමුවේ රාහුල හිමි වර්ණනනා කොට ඇත. කාන්තාව ලතාවක් මෙන සුකුමාල අඟ පසඟින් යුක්ත විය යුතු අතර පුරුෂයා මනා පෞරුෂයකින් යුත් ශක්තිමත් දැඩි අඟපසඟවලින් යුක්ත වීම අවශ්‍යය ය. සත්ත්වයෙක් ජනනය වන විට කළල රූපයක මුලින් ම පිහිටන්නේ කාය , භාව, වස්තු යන දසක තුනයි. මෙහි භාව යනුවෙන් හැඳින්වෙන්නේ ස්ත්‍රී භාවය හා පුරුෂ භාවයයි. මෙසේ මුල් අවස්ථාවේදී ම ස්ත්‍රීත්වය හා පුරුෂත්වය පිහිටන අතර එය පැහැදිලි ව දක්නට ලැබෙන්නේ මෙලොව එළිය දැක ක්‍රමයෙන් වර්ධනය වන අවස්ථාවේදී ය. පුරුෂයන්ට රැවුල හා රෝමාදිය නිසි පරිදි පිහිටිය යුතුය.

‘හෘදයේ යස්‍ය රෝමානි න සන්තිස්‍ය කපෝලයෝ ආදී වශයෙන් බ්‍රාහ්මණ පඩිවරුන් පවා පුරුෂ ශරීරයේ ඒ ඒ ස්ථානයන්හි රෝමාදිය පිහිටීම ඔහුගේ ගති ලක්ෂණ කියාපාන මිනුම් දණ්ඩක් වශයෙන් සලකා ඇත. පපුවෙහි රෝම සහ මුහුණෙහි රැවුල නැත්නම් ඔහු දුර්ජනයෙක් වශයෙන් සලකන ලදී. මුහුණ පුරා රැවුල තිබීම මනා පෞරුෂයක් ඇතිවීමට ද හේතු වී ඇත. මේ නිසා, ‘ වටාපතක් සේ රැවුල ලැබෙන්ඩයි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ බව ජනකවි සාහිත්‍යයෙන් හෙළි වේ. එසේ ම කාන්තාවන්ගේ මුහුණේ රැවුල තිබීම, අනවශ්‍ය රෝම ඇතිවීම නරක ලක්ෂණයක් සේ දක්වා ඇත.

බුදුරජාණන් වහන්සේගේ සිරුරෙහි මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක් ඇති බව ද අනු ලක්ෂණ අසූවක් පැවති බවද මජ්ඣිම නිකායයෙහි ‘ලක්ඛන’ සූත්‍රයෙහි සඳහන් වේ. එදා සිද්ධාර්ථ ගෞතම බෝසත් කුමරාගේ ශරීර ලක්ෂණ බැලූ ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණන් අටදෙනා අතුරෙන් කොණ්ඩඤ්ඤ බමුණුතුමා මෙ කුමරු ඒකාන්තයෙන් ගිහි ගෙය හැරපියා මහණ වී බුදුබව ලබන බව එක් ඇඟිල්ලක් ඔසවා කීවේ කුමරුගේ නළලෙහි පිහිටා පැවති රෝමය දකුණට කැරකී ඇති බව දුටු නිසා ය.

වමට කැරකී තිබුණේ නම් සක්විති රජ බවට පත්වන්නේ ය. මේ මහාපුරුෂ ලක්ෂණයක් දෙකක් අද පවා කලාතුරකින් පිහිටන්නට පිළිවණ. බුද්ධ කාලයේ දී මහාපුරුෂ ලක්ෂණ කීපයක් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේට ද බාවාරි බමුණුතුමාට ද පිහිටා තිබුණි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අසූඅනු ව්‍යඤ්ජනයන්ගෙන් සමන්විත අසමාන රූප සම්පත්තිය බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරමය කටයුතුවලට මහත් රුකුලක් විය.

මිනිස් සමාජයෙහි අයෙක් රූපයට පහදිති. සමහරෙක් ශබ්දයට පහදිති. තව සමහරු සුවඳට රසයට හා ස්පර්ශයට පහදිති. රූපප්පසන්න පුද්ගලයෝ බුදුරදුන්ගේ රූප සම්පත්තිය නිසා බුදුසසුන වෙත ඇදී ආහ. ඇතැම් දේහ ලක්ෂණ විද්‍යාව දත් බ්‍රාහ්මණයෝ බුදුරදුන්ගේ දේහයේ ඇති ලක්ෂණ බලා උන්වහන්සේ බුද්ධත්වයට පත් උතුමෙකැයි දැන බුදුදහම වැළඳ ගත්හ. වක්කලී හිමියන් සසුන්ගත වූයේ ළඟින් ම සිට බුද්ධ දේහය දෙස බලා සිටීමට ය.

එහෙත් හුදෙක් රූපය ම පමණක් බුදුදහමෙහි අගැයීමක් නැත. ‘අබ්භන්තරං තේ ගහණං - බාහිරංපරිමජ්ඣිසි’ අභ්‍යන්තරය කෙලෙස්වලින් ගහණ වී පිටත පමණක් පිරිසුදු කිරීම වැඩදායක නො වන බව පෙන්වා දුන්හ. ‘කිං තෙ ජටාහි දුම්මේධ’ නුවණ නැතත්, නුඹගේ ජටාවෙන් ඇති ප්‍රයෝජනය කිමෙක් ද? යැයි බාහිර ඇඳුම් පැළඳුම්වලින් පමණක් වැඩක් නැති බව ප්‍රකාශ කළහ. එසේ ම රූපය ලස්සන වූ පමණින් ම කෙනකු තේරුම් ගැනීමට අපහසු බව ‘න වණ්ණරූපේන නරෝ සුජානෝ’ යැයි පෙන්නා දී ඇත.

රූපනන්ද බුදුරදුන් වෙත නො පැමිණියේ උන්වහන්සේ රූපයෙහි දොස් දක්වන නිසා ය. මාගන්ධියගේ රූ සපුව ගැන බුදුරදුන් ප්‍රකාශ කළේ ‘පාදා පි නං සම්පුසිතුං න ඉච්ඡේ’ පාදයෙන් වත් ස්පර්ශ කිරීමට නො කැමති බවයි. මෙයින් පැහැදිලි කෙරෙන්නේ රූපය නිරර්ථක ලෙස දැක්වීමක් නො වේ. දහමෙහි රූමත් බව ‘උපධි සම්පත්ති’ වශයෙන් සම්පතක් ලෙස දක්වා ඇත.

බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට ඇත්තේ උපධි සම්පත්තියෙහි යථා ස්වභාවය යි. ඇත්ත ඇති සැටියෙන් කීම යි. කෙතරම් උසස් ලෙස රූප ලක්ෂණය තිබුණත් අභ්‍යන්තරික වශයෙන් ගත් විට එහි ඇත්තේ දෙතිස් කුණප කොට්ඨාසයන් ය. ශරීරයේ දොරටු නවයකින් එනම්, දෙ ඇස, දෙ කණ, දෙ නාස්පුඬු , මුඛය, වසමඟ, පසමඟ යන දොරටුවලින් අසුචි වැගිරෙන්නේ ය.

යථා ඉමස්ස කායස්ස
අන්තෝ බාහිරතො සියා
දණ්ඩං නූන ගහෙත්වාන
තාකේ සෝණේ ච වාරයේ

යම් හෙයකින් මේ ශරීරයේ ඇතුළු පැත්ත පිටපැත්තට හැරුණහොත් ඒකාන්තයෙන් ම පොලු කැබැල්ලක් රැගෙන කන්නට එන කපුටන් සහ බල්ලන් පන්නා දැමීමට සිදුවන්නේ ය යනු ඉහත සඳහන් ගාථාවේ අදහස යි. ශරීරයේ ඇති නිසරු බව ලෝ වැඩ සඟරා කතුවරයා ද

‘කුමට ද? කා බි නිති සැර සෙන්නේ කොතැන ද? මේ කය අරගෙන යන්නේ’

යනුවෙන් දැක්වී ය. කවා පොවා නාවා ශරීරය පෝෂණය රක්ෂණය හා පිරිසුදු කළයුතුවාක් මෙන් ම හිත ද ගුණධර්මයන්ගෙන් වඩා වර්ධනය කොට ගෙන සිතෙහි දියුණුව ද ඇතිකර ගත යුතු ය. මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය ක්ෂණ භඞ්ගුරුත්වය යි.

එනම් මොහොතක් පාසා වෙනස්වීම යි. එසේ වෙනස්වීමේ ප්‍රතිඵලය වශයෙන් කුඩා බිළින්දා ළමයෙක් බවට ද ළමයා තරුණයෙක් බවට ද තරුණයා තලතුනා පුද්ගලයෙක් බවට ද තලතුනා පුද්ගලයා මහල්ලෙක් බවට ද මහල්ලා මළකඳක් බවටද පත්වන්නේ ය. මේ පඤ්චස්කන්ධය ඇතිවීම දුකෙකි. ‘සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’ යනුවෙන් ප්‍රථම දේශනාවේදී ම එය පැහැදිලි කළ සේක. මේ ශරීරයෙහි ඇති ස්වභාවය වටහාගෙන නිරෝගිමත් පිරිසුදු ශරීරයක් පවත්වා ගෙන යන අතර සිත ද වඩාගත යුතුය. ශරීරයට ව්‍යායාම අවශ්‍ය වන්නාක් මෙන් සිතෙහි දියුණුවට මානසික ව්‍යායාම අවශ්‍ය වෙයි. මානසික ව්‍යායාම නම් සමථ විපස්සනා භාවනාවන් ය. සමථ භාවනාවෙන් පංචනීවරණයට පත් කොට චිත්තේකාග්‍රතාවය ඇතිවන අතර විදර්ශනා භාවනාවෙන් ත්‍රිලක්ෂණ අවබෝධය ලබාගත යුතුය.

මෙසේ සිත හා කය දියුණු කර ගැනීම නියම රූපලාවන්‍ය කරණය යි. එසේම අප කෙතරම් නිරෝගීමත් වුවත් ලස්සන වුවත් ආරෝග්‍ය මදයෙන් රූප මදයෙන් මත් නො විය යුතුය. මේ පඤ්චස්කන්ධයට ඕනෑම අවස්ථාවක කිනම් හෝ රෝගයක් වැළදිය හැකි බව නිතර කල්පනා කළ යුතුය. එහි රූප මදය ආරෝග්‍ය මදය දුරුවීමට හේතුවනු ඇත. සිත ඊර්ෂ්‍යා ක්‍රෝධ මදමානයෙන් දැවි දැවී බාහිරව කෙනෙක් අලංකාර කළත්, කුමන ආලේප ආලේපනය කළත් එයින් නියම ප්‍රයෝජනයක් පැහැපත් පෙනුමක් ලබාගත නො හැකිය. අනුනට ඊර්ෂ්‍යා ක්‍රෝධ කරන්නට කරන්නට පළමුවෙන් දැවෙන්නේ තමා ම ය. වියැකෙන්නේ් තමාගේ රූසපුව ය.

එහෙයින්, නියම රූපලාවන්‍ය කරණයක් කිරීමට නම් පළමුවෙන් තමාගේ් සිත කරුණා මෛත්‍රීයෙන් පුරවාගත යුතුය. මෛත්‍රීය වැඩීමේ ආනිශංස එකොළහ අතර මුහුණ ඉතා පැහැපත් වීම (මුඛවණ්ණෝ විප්පසීදති) මිනිසුන්ට පි‍්‍රයවීම (මනුස්සානං පියෝ හෝති) ආනිශංස දෙකෙකි. ඊර්ෂ්‍යා ක්‍රෝධ කිරීම මානසික රෝගයකි. මනස රෝගීව තබාගෙන බාහිරව කෙනෙක් සැරසුවත් එය නියම සැරසීමෙ නො වේ. එහෙයින් රූපලාවන්‍ය කරණයේ දී මනස ද ලස්සන කළ යුතුය. එවිට මුහුණ ද ලස්සන වේ. ශරීරය පැහැපත් වේ. කෙනකුගේ අභ්‍යන්තර ස්වභාවය පෙන්නුම් කරන කැඩපත මුහුණ යි. එහෙයින්, මුහුණ ඉතා පැහැපත් වන්න මෛත්‍රීය වැඩිය යුතුම ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.