Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාගිතාපදානය දෙස විමසා බලන විට කඨිනයේ අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත හිමියන් පෙර ආත්මයක දී කඨිනයක් පූජා කර, එම ශ්‍රේෂ්ඨ කුසලය අර්හත් මාර්ග ඤාණයට උපනිශ්‍රය වේවා, යි ප්‍ර‍්‍රාර්ථනා කර ඇත. එතැන් පටන් සතර අපායේ නොඉපිද, දෙව් ලොව සහ මිනිස් ලොව ඉපිද දිව්‍ය මනුෂ්‍ය සම්පත් අත් විඳ ඒහි භික්‍ෂු භාවයෙන් සිවු පිළිසිඹියා පත් මහ රහත් බව ට නාගිත හිමියෝ පැමිණියහ.

අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් මහාවග්ග පාලියේ දැක්වෙන දේශනා පාඨය තුළින් භාග්‍යවතුන් වහන්සේ විසින් උපසපන් භික්‍ෂූන් වහන්සේට වස් සමාදන් වීම අනුදැන වදාළහ.

මහණනි, වස්සාන කාලයෙහි වස් විසීමට අවසර දෙමි. මහණනි, පෙර වස් එළඹීම පසු වස් එළඹීම යැයි වස් එළඹීම් දෙකකි. ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹිය යුතුය. නිකිණි අව පෑළවිය දිනයෙහි පසු වස් එළඹිය යුතුය.

තථාගතයන් වහන්සේගේ අවසරයෙන් පසු සෑම වසරකම ඇසළ අව පෑළවියදා වස් එළඹීම භික්‍ෂූන් වහන්සේගේ චාරිත්‍රය විය. රෝගාබාධයක් හෝ උපද්‍රවයක් හේතුවෙන් එම දිනය මග හැරී ගිය හොත් නිකිණි අව පෑළවියදා වස් විසීමට අවසර තිබේ. පසු වස් විසූ භික්‍ෂුවකට කඨිනයක් ලෙස චීවරයක් භාර ගැනීමට අවසර නැත. පෙර වස් සමාදන්ව මහා පවාරණයෙන් වස් පවාරණය කළ භික්ෂුවකට කඨිනය පිළිගැනීමේ අවසරය තිබේ.

ශාසනය ආරක්ෂා වීමටත්, ගුණ ධර්ම වර්ධනයටත් භික්‍ෂූන් වහන්සේ හා ගිහියා අතර මනා අවබෝධයක් සම්බන්ධතාවයක් තිබිය යුතුය.

මෙම අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගොඩනැගෙන කාලය වස්සාන සමය බව ගිහියා විසින් භික්‍ෂූන් වහන්සේට වස් එළඹෙන ලෙස දැහැත් ගොටුවක් දී කරන සැදැහැවත් ආරාධනය තුළින් මනාව පැහැදිලි වෙයි.

සැදැහැති ගිහියාගේ ආරාධනය පිළිගන්නා භික්‍ෂූන් වහන්සේට දායක පින්වතුන් විසින් සිව් පසයෙන් සිය යුතුකම් හා වගකීම් ඉටු කරනු ලැබේ. භික්‍ෂූන් වහන්සේ විසින් ද මේ කාලයේ විශේෂයෙන් ගිහි පින්වතුන්ගේ උභය ලෝකාර්ථය පිණිස අවවාද අනුශාසනා කරනු ලැබේ.

භික්‍ෂූන් වහන්සේ ද දහම් මෙනෙහි කරමින්, පිළිවෙත් ප්‍රගුණ කරමින් විනයානුකූලව භික්‍ෂු ජීවිතය පවත්වාගනිමින්, විමුක්තිය සඳහා කුසල් දහම්හි නිරත වෙති. මෙයින් හොඳින් පැහැදිලි වන දෙය නම්, ගිහි පැවිදි දෙපක්ෂයම එක්ව පින් සිදු කර ගැනීමට කුසල් දහම්හි වැඩියෙන්ම නිරත වන කාලය වස්සාන කාලය බවයි. දෙලෝ සුව කැමැති සැදැහැවත් බෞද්ධයෝ මේ මහා පින්කමට වැඩි උනන්දුවක් දක්වති. මෙලෙස ඇරැඹෙන වස්සාන කාලය ගෙවී ගොස් උදා වන පොහෝ දිනය ‘වප් පෝය’ ලෙස ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

මෙලෙස වස් සාර මාසයේ අන්තිම මාසය, ‘කඨින චීවර මාසය’ ලෙස ව්‍යවහාර කරනු ලැබේ. විනය පරිවාර පාලියේ ඒ ගැන මෙසේ දැක්වෙයි

කඨිනස්ස අන්තාර මාංසා ජානිතබ්බොති,
වස්සානස්ස පච්ඡිමො මාසො ජානිතබ්බො’.

වස්සාන සෘතුවේ අවසාන මාසය චීවර මාසය ලෙස දැන ගත යුතුයැයි එහි සඳහන් වෙයි.

වස් එළඹ මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේට පූජා කරන චීවරය, කඨින චීවරය ලෙස සැලකෙයි. භික්ෂූන් වහන්සේගේ පරිෂ්කාර වන දෙපට සිවුර, තනිපට සිවුර අඳනය යන මින් එකක් කඨින වශයෙන් පිදිය හැකිය. වසරකට එක් වරක් එක් තැනකදී එකක් පමණක් පූජා කළ හැකි පරිෂ්කාරය ද කඨින චීවරයයි.

විශේෂිත නමකින් හඳුන්වන මෙම චීවර පූජාව, බල සම්පන්න උතුම් ගරු කුසල කර්මයක් බව, මෙම ගාථාව තුළින් පැහැදිලි වෙයි.

පඨවිරිව න ජාතු කම්පංත
න චලති මෙරු රිවාති වායුනා
වජිර මීව හිජ්ජතෙ ඝනං
තමිධමතො කඨිනසන්ති මුච්චති

මහ පොළොව මෙන් කිසි විට කම්පා නොවන මහා මේරු පර්වතය මෙන් නොසෙල්වෙන, එක් ඝන වජ්ජ පර්වතය මෙන් නොබිඳෙන ඵල ඇති මහා පුණ්‍ය කර්මයකි.

යමෙකු අතින් පස් පව් දස අකුසල් සිදු වේද එම ඇතැම් අකුසල්වල බලය මැඩලන ශක්තියක්-බලයක් ඔහු විසින් සිදු කරන කඨින පූජාව තුළ තිබෙන බව කඨිනය යන වචනය විග්‍රහ කර බලන කල්හි පැහැදිලි වෙයි. නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි, තද , සෘජු කුසලය ‘කඨිනය’ බව දේශනාවේ අන්තර්ගත වෙයි. කඨින කුසල කර්මය තුළින් වැළැක්වීමට නොහැකි අකුසල කර්ම වන්නේ, පංච ආනන්තර්ය අකුසල කර්ම පමණකි.

මෙම ආකාරයට කඨින ගැන විස්තර වුවද යමෙකුට කඨිනයක් ලෙස ඉහත දැක්වූ අයුරු සිවුරක් පූජා කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණොත් කඨිනයක් සඟ සතු කර පූජා කරන අවස්ථාවක ඒ සමග යමක් පූජා කළ විට ඔහුට ද කඨිනයක් පූජා කළ පිනම ලැබෙන බව බණ පොතේ සඳහන් වෙයි.

සාකේත නුවර වස් එළඹ මහා පාවාරණයෙන් පවාරණය කර බුදුරදුන් දකිනු කැමැතිව, සැවැත් නුවර දෙව්රම් වෙහෙරට තිස් නමක් පමණ භික්‍ෂූන් වහන්සේ වැඩම කරද්දී අතරමඟදී වැස්සට තෙමුණු නිසා දියෙන් තෙත් වූ සිවුරු වලින් යුතුව බුදුරදුන් වෙත පැමිණියහ. භික්‍ෂූන්ට සිදුවූ එම කරදරය ගැන සලකා භික්‍ෂූන්ට කඨිනය ඇතිරීමට අනුදැන වදාළහ.

අනුජානාමි භික්ඛවේ වස්සං වුතරානං භික්ඛුනං කඨිනං අත්තරිතුං’ එතැන් සිට භික්‍ෂූන් වහන්සේට කඨිනය පරිභෝග කිරීමට අවස්ථාව උදාවිය.

මේ මහා පුණ්‍ය කර්මයේ ප්‍රතිඵල ගිහි පැවිදි දෙපක්ෂයටම ලැබෙන බව ධර්මයෙහි විස්තර සහිතව දක්වා තිබේ.

නාගිතාපදානය දෙස විමසා බලන විට කඨිනයේ අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත හිමියන් පෙර ආත්මයක දී කඨිනයක් පූජා කර, එම ශ්‍රේෂ්ඨ කුසලය අර්හත් මාර්ග ඤාණයට උපනිශ්‍රය වේවා, යි ප්‍ර‍්‍රාර්ථනා කර ඇත. එතැන් පටන් සතර අපායේ නොඉපිද, දෙව් ලොව සහ මිනිස් ලොව ඉපිද දිව්‍ය මනුෂ්‍ය සම්පත් අත් විඳ ඒහි භික්‍ෂු භාවයෙන් සිවු පිළිසිඹියා පත් මහ රහත් බව ට නාගිත හිමියෝ පැමිණියහ. කඨින චීවරය පරිහරණය කරන භික්ෂුවට ලැබෙන ආනිශංස පහ පසුව නැති වී ගියත් පූජා කළ දායක පක්ෂයට ලැබෙන ආනිශංස එසේ අහිමි වී නොයයි.

අනවතප්ත විල අසල දී බුදු රදුන් පිරිවරා වැඩ සිට රහතන් වහන්සේ මධ්‍යයෙහි නාගිත මහ රහතන් වහන්සේ, තමන් කළ කඨින පුණ්‍ය කර්මයේ ඉෂ්ට ඵල විපාක ප්‍රකාශ කළ ගාථා තුළින් මෙහි ආනිශංස අපට වඩාත් තේරුම් ගත හැකි ය.

“ කඨින දානං දත්වාන -
සංඝෙ ගුණ වරුත්තංම
ඉතො නිංස මහාකප්පෙ
නාහිජානාමි දුග්ගතිං”

ගුණයෙන් උතුම් වූ මහා සංඝයා විෂයෙහි කඨින චීවර දානයක් පූජා කර මහා කල්ප තිහක් දුගතියක නොඉපදුණෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

“අට්ඨාර සන්නං කප්පානං
දෙව ලොකෙ රමාමහං
චතුත්තිං සක්ඛතතුං දෙවින්දො
දෙවරජ්ජ මකාරයිං”

අටළොස් කල්පයක් දෙව් සැප වින්දෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජව ඉපිද වාසය කළෙමි. මේ කඨින පූජාවේ අනුසසයි.

“දෙව භවෙ උප්පජ්ජාමි
දෙවා පිච මානුංස
අඤ්ඤංගති නජානාමි
කඨින දානස්සි දං ඵලං”

දෙව් මිනිස් දෙගතිය හැර අන්‍ය ගතියක නූපන්නෙමි. මේ කඨින දානයේ ඵල විපාකය යි.

අතෝ බුද්ධො අහෝ ධම්මො
අහො සංඝස්ස සම්පදා
පරිත්ත දානං දත්වාන
ලද්ධං මේ විපුලං සුඛං

බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ නෛර්ය්‍යානික බව දක්ෂිණාර්හබව ආදී ගුණ විශේෂ නිසා මා දුන් කඨින දානයෙන් මේ සා මහත් සම්පත් ලදිමි.

‘තෙනෙව කුසල කම්මෙන
පියොහං දෙව මානුසෙ
තස්සෙව හඳ කම්මස්ස
පතංතොසමිං අමතං පදං’

එම කඨින චීවර දාන සිතිවිල්ල හේතු කොටගෙන මම දෙව්ලොව දෙවියන්ට ද මිනිස් ලොව මිනිසුන්ටද ප්‍රිය මනාප පුද්ගලයකු වූයෙමි. එම කුසල ක්‍රියාවේ අනුසස් නිසා උතුම් නිවනට ද පැමිණියෙමි.

මෙලෙස නාගිත මහ රහතන් වහන්සේ කඨින චීවර දානයෙහි මහා කුසල විපාක ගෙන හැර වදාළහ.

මෙලෙස සලකා බලන කළ මැනවින් පැහැදිලි වන කරුණ නම්, කඨින චීවර දානයෙහි ඉෂ්ට විපාක කොතරම් බල සම්පන්න ද යන්නයි.

ලැබුවාවූ උතුම් මිනිස් බව සාරවත් කර ගැනීම බුද්ධිමත් පිළිවෙතකි. ශ්‍රද්ධාව හා ප්‍රඥාව මූලික කර ගනිමින් පින් සිතිවිලි පහළ කර ගැනීමෙන් කුසලය ක්‍රියා වල නිරත වී නිවන් අවබෝධ කරගැනීමට ඔබට හැකි වේවා’යි ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි...


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.