Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දෙදහස් පන්සියයක් පමණ සිප් හදාරන සංකස්සපුර විජේසෝම මහා විද්‍යාලයේ පාලක මණ්ඩලයෝ පාලක ලෙස ආචාර්ය ජුලම්පිටියේ ඤාණරතන හිමිපාණෝ ක්‍රියකරති. එම ශාසනික කාර්යයන් සඳහා නේවාසිකව වැඩ සිටින කිරම ගුණානන්ද හිමියන්ගෙන් ලැබෙන සහාය සහ කැපවීම බෙහෙවින්ම විහාරස්ථානයේ සංවර්ධනයට රුකුලක් වී ඇත. අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් තුළ ආචාර්ය ජුලම්පිටියේ ඥාණරතන හිමිපාණන් වහන්සේ කර ඇති මෙම සේවාව අගය කළ යුතුව ඇත.

සෑම බුදුවරයෙක්ම ‘අත් නොහරින’ භූමියක් යන අර්ථයෙන් ‘අවිජහිත භූමි’ යයි හැඳින්වෙයි. ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන සුවිශේෂ භාරතයේ ස්ථාන සතර බුද්ධගයාව, ඉසිපතනය, සැවැත්නුවර සහ සංකස්සපුරය වේ. මේ අනුව භාරතයේ උත්තර ප්‍රදේශයේ පිහිටි නව දිල්ලියේ සිට කි.මී. 315 (සැ. 196) සහ අග්‍රානුවර සිට කි.මී. 175 (සැ. 110) සංකස්සපුර (වර්තමාන නාමය සංකිස) ඉතා වැදගත් පූණ්‍ය භූමියකි.

සංකස්සපුර විශේෂත්වයන් නම් (1) බුදුරදුන් තුසිත දෙව්ලොව සිට වැඩම කළ ස්ථානය (2) සියලු බුදුවරුන් අත් නොහරින (අවිජහිත) පූණ්‍ය භූමිය (3) ලෝක විවරණ මහා ප්‍රාතිහාර්යය දක්වන ලද එකම ස්ථානය (4) මෛත්‍රී බෝසතුන් අවසාන වරට පැවිදි වූ ස්ථානය (5) සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රඥාවන්තයන් අතර අග තනතුරු ප්‍රදානය (6) සැරියුත් මාහිමි තම ශ්‍රාවක පිරිසට අභිධර්මය දේශනා කරමින් වැඩ සිටීම සහ (7) විශාල පිරිසක් එක් වර බුදුබව පැතූ ස්ථානය ආදී විශේෂත්ව වෙති. සංකස්ස පුරයේ දීප්තිමත් සමය උදාවූයේ අශෝක අධිරාජ්‍යයාගේ සමයේදීය. අශෝක අධිරාජ්‍යයා බුදුදහම වැළඳ ගැනීමෙන් පසුව ඔහුගේ රාජගුරු වූ මහා මොග්ගල්ලාන පුත්තතිස්ස මහරහතන් වහන්සේ (උප ගුප්ත) සමග බුද්ධගයාව, ලුම්බිණි යනාදී පුදබිම් දැක බලා වැඳ පුදා ගැනීමේ වන්දනා චාරිකාවේදී සංකස්සපුරයටද පැමිණියේ ය. බුදුරදුන් තව්තිසා දිව්ලොව සිට මිහිතලයට වැඩම කළ සංකස්සපුර ස්ථානයේ මහා ස්තූ®පයක් ඉදි කළේය. තවත් සෑයක් එම ස්තූපයට දකුණු පසින් සැතපුම් කාලයක් සහ සැතපුම් 3 1/2 පමණ දුරකින් තවත් ස්තූප දෙකක්ද ඉදිකරවීය.


ඡායාරූපය - රුවන් තරස්වින්

සංකස්සපුර පුරාණය පිළිබඳ අධ්‍යයනයේ දී මෙම ලේඛකයාට ක්‍රි.ව. පස්වැනි සියවසේදී ඉන්දියාවේ වන්දනාවේ පැමිණි චීන ජාතික භික්ෂු පාහියන්ගේ සහ සත්වැනි සියවසේ පැමිණි චීන ජාතික භික්ෂු හියුං සෑන්ගේ දේශාටන වාර්තාඋපකාරි විය. ඔවුන්ගේ සටහන් අනුව බුදුරදුන් වැඩි ඉනි මගද සක් දෙවි රදුන් හා මහ බඹුන් පැමිණි ඉනිමං දෙකද පියගැට හතක් පමණක් ශේෂව පොළවට කිඳා බැස්සේ ය.

එම ඉනිමං ගොඩ ගැනීමට අශෝක රජතුමා මිනිසුන් යොදවා කැනීම් කරන ලදී. එනමුත් ඉනිමං වල පහත් කොටස් සොයා ගැනීමට නොහැකි විය. ගැඹුරට කැනීමේදී කහ පැහැති දිය උල්පතක් නිරාවණය විය. එම ස්ථානය මැදිකොට අශෝක රජතුමා දර්ශනීය මන්දිරයක් ඉදි කළේය. සොළොස් රියන් උසැති ඇත් රූපයක් සහිත අශෝක කුළුණක්ද තැනීය. ඇතකු සහිත ඉන්දියාවේ ඇති එකම අශෝක කුළුණ මෙය වේ. ඇත් ස්ථම්භය අසල සතර දිශාභිමුඛ බුද්ධ ප්‍රතිමා සතරක් ද කරවන ලදී. බුදුරදුන් ජල ස්නානය කළ ස්ථානයේ ජන්තාගරයක් ද ඉදි කළේය. බුදුරදුන් කෙස්, නිය කැපූ ස්ථාන උප්පලවණ්ණා භික්ෂුණිය සිටි ස්ථානයේද ස්තුපයක් ගොඩ නැගීය.

ඉහත දක්වෙන කරුණු එම චීන වාර්තාවල දැක්වෙන අතර සංකස්සපුරය සශ්‍රීක සමෘද්ධිමත්, ආගන්තුක සත්කාරයේ නියැලි පිරිසකගේ නිජ භූ®මියක් බැව් පසක් වේ. එම වාර්තා මගින් මහායාන හීනයාන භික්ෂූන් සහසක් පමණ වැඩසිටි විශාල ආරාම සංකීර්ණයක් තිබූ බැව් එහි විශාල ආරාම සතරක් ගැනද උත්පලවණ්ණා භික්ෂුණිය ගැන දීර්ඝ විස්තරයක් ද ඇතුළත් වේ. ක්‍රි.ව. 7 වැනි සියවසේදී පමණ කර්නෝජයේ හර්ෂවර්ධන රාජධානියේ ජය චන්ද්‍ර නමැති හින්දු පාලකයා අති විශාල හමුදාවක් සමග පැමිණ සංකස්සපුර වෙහෙර විහාර බුද්ධ ප්‍රතිමා පුස්තකාල සියල්ල කඩා බිඳදමා ගිනිබත් කළේය. එම ආක්‍රමණයෙන් දිවි ගලවාගත් භික්ෂූන් වහන්සේ වෙනත් දුර බැහැර ආරක්ෂිත ස්ථානවලට පලා ගියෝ ය. සංකස්සපුර අමුසොහොනක් බවට පත්ව එම පින්කෙත කාලයාගේ ඇවෑමෙන් අලි, කොටි වග වලසුන් ගේ වාස භූ®මියක් විය. ඉන් ඉක්බිතිව හින්දුන් පදිංචි වී වෙහෙර විහාර තිබූ ස්ථාන ගොවිබිම් වලට පරිවර්තනය කරණ ලදී. වර්තමානයේ විහාරය තිබූ ස්ථානයට අක්කරයකට වඩා අඩු භූමි ප්‍රදේශයක් ඇති අතර මුළු ප්‍රදේශයම වගාවට යොමුව ඇත. ජනයාගෙන් බහුතරය හින්දු භක්තිකයෝය. බෞද්ධයන් සුළුතරයක් ද ඇත. එම පිරිස බුදුරදුන්ගේ දවස පසේනදී රජුගේ පුත්‍ර විදුදභ සිය මෑණියන් මෙහෙලියක් බැවින් ශාක්‍යයන් ඔහු විවාහයක් සඳහා පැමිණිවිට ඔහු හිදගත් ආසනය සෝදා ඔහුට කළ අවමානයට කිපී, ඔහු කෝශල රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව සිය මස්සිනා වූ අජාතසත්තු රජ වජ්ජි ජනරජය විනාශ කළ පරිදි ඔහු කපිල වස්තුවේ ශාක්‍යයන්ද කෝලිය රාජධානි වැසියෝ ද සමූල ඝාතනය කිරීමේදී දිවි ගලවා ගෙන එම රාජධානිවලින් පිටමන් වූ ශාක්‍යයෝ නේපාලයේ කඳුකර ප්‍රදේශවලට ද සංකස්ස පුරයටද, ශ්‍රී ලංකාවේ දිගාමඬුල්ලටද පැන ගියෝ ය. දැනට සංකස්සපුර බෞද්ධයෝ එම ශාක්‍ය වංශයෙන් පැවැත එති.

ඒ සෑම දෙනාගේම නාමයන් කෙලවර වනුයේ ශාක්‍ය යනුවෙනි. රජේජ් ශාක්‍ය රහුල් ශාක්‍ය, අනිල් ශාක්‍ය, භරත් ශාක්‍ය ආදි වශයෙනි. මෙම සිද්ධිය සිදු වූයේ ක්‍රි.පූ 6 වැනි සියවසේ ය. සියවස් කිහිපයක් තුළ විනාශ වෙමින් පැවැති සංකස්සපුරය සොයා ගැනීමට මූලිකවූයේ ඉංගී‍්‍රසි ජාතික පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ඇලැක්සැන්ඩර් කනිංහැම් තුමාය. ක්‍රි.ව. 1842 දී ඔහු කැනීම් අරඹා ප්‍රධානස්තූ®පයේ අඩිතාලම පමණක් සොයාගනු ලැබීය. අනතුරුව විහාර හා ආරාම සංකීර්ණයේ කැනීම් කිසිවක් සිදු කර නොමැත. හින්දුන් එම අඩිතාලම මත කෝවිලක් පිහිටුවා එය ‘බිස්ම දේවී’ කෝවිල යැයි පවසති. එබැවින් හින්දුන් සහ බෞද්ධයන් අතර බිහිසුණු ගැටුම් ඇති වූ බැවින් දැනට එහි පොලිස් ආරක්ෂක මුර පොලක් ස්ථාපනය කර ඇත. බෞද්ධයන් හා හින්දුන් විසින් එම ස්ථානයට හිමිකම් පෑම නිරාකරණය සඳහා දැනට නීතිමය පියවර ගෙන ඇත. ප්‍රශ්නය මෙතෙක් නෛතිකව නිරාකරණය වී නොමැත. අශෝක ස්ථම්භය දැනට දක්නට ඇති කොටස අඩි 10 ක් පමණ උසකින් යුක්තය. එම ස්ථම්භය අසල කඳු ගැටයක අශෝක රජු විසින් බුදුරදුන් මනු ලොවට වැඩම කළ ස්ථානයේ අඩි 100 ක් දිග හා පළල ඇති අඩි 30 ක් පමණ උසැති ස්ථූපය දැනට කඩා වැටී ඇති පස්කන්දකි. එහි තිබූ බුදු පිළිම, ගල් පිළිම මැටි රූප, ලාකඩ නිර්මාණ දැනට ලක්නව් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ගම් ප්‍රධානියා සතුවද කෞතුක වස්තුන් රැසක් ඇත.

සංකස්සපුර එම තත්ත්වයෙන් මුදා ගැනීමට ශ්‍රී ලංකාවේ රුහුණු පුරවරයේ මාතර හක්මණ කිරින්දේපූර්වාරාම පිරිවෙන් විහාරස්ථානය වැනි විද්‍යාස්ථානයක් හැරදමා එම ඉපැරණි පූජාභූමිය තම වාසභූමිය ලෙසට පත්කරගත් ආචාර්ය පණ්ඩිත ජුලම්පිටියේ ඤාණරතන හිමිපාණෝ 1995 අගෝස්තු මස 14 වැනි දිනට යෙදුන ශුභ මොහොතින් දේවා රෝහණ මෛත්‍රී බුද්ධ විහාරය ඉදිකිරීම් කටයුතු අරඹන ලදී. 1995 නොවැම්බර් 02 දින වැඩ ආරඹන ලද දෙමහල් විහාර මන්දිරයේ බිම් මහලේ කටයුතු 1998 දී නිම කරන ලදී. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට තෙමහල් මෛත්‍රී බුද්ධ විහාරයේ නේවාසික පහසුකම් විදුලි බලය, ජල නල පහසුකම්, වැසිකිලි කැසිකිලි, භෝජනාගාර, ගිනි හල් ගෙවල් යනාදී සියලු පහසුකම් ක්‍රමානුකූලව සපයා ඇත. ඉන්දියාවේ ඇති ක්‍රමාණුකූලව සැකසූ ගිමන්හල මෙම ගොඩනැගිලි සංකීර්ණය වේ. මෙය නොතිබුණේ නම් රාත්‍රිය ගත කිරීමට නැවත කි.මී. 315 ක් ගමන් කර දිල්ලියට ළඟාවීමට සිදුවේ. දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දෙදහස් පන්සියයක් පමණ සිප් හදාරන සංකස්සපුර විජේසෝම මහා විද්‍යාලයේ පාලක මණ්ඩලයෝ පාලක ලෙස ආචාර්ය ජුලම්පිටියේ ඤාණරතන හිමිපාණෝ ක්‍රියකරති. එම ශාසනික කාර්යයන් සඳහා නේවාසිකව වැඩ සිටින කිරම ගුණානන්ද හිමියන්ගෙන් ලැබෙන සහාය සහ කැපවීම බෙහෙවින්ම විහාරස්ථානයේ සංවර්ධනයට රුකුලක් වී ඇත. අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් තුළ ආචාර්ය ජුලම්පිටියේ ඥාණරතන හිමිපාණන් වහන්සේ කර ඇති මෙම සේවාව අගය කළ යුතුව ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.