Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදාචාරවත් සමාජයක් බිහි කිරීමට ...

ආර්ථික සංවර්ධනයේදී සදාචාර සංවර්ධනය විශාල රුකුලක් දෙයි. දුරාචාරයට වැයවන මුදල් නතර කළහොත් එයින් කළ හැකි දෑ බොහෝය. හිසට සෙවණක් නැති බොහෝ දෙනා මත් ද්‍රව්‍ය වලට විශාල ලෙස මුදල් වැය කරති. එහෙත් ඒ මිල මුදල් මගින් තමාට ඉන්නට හිටින්නට ගෙපැලක් තනාගන්නට කල්පනා නොකරති.

යහපත් ආචාර ධර්ම සදාචාර ධර්මයි. ඇතැම් රටවල සංස්කෘතියට අනුව ඔවුනොවුන් පිළිගන්නා ආචාර ධර්ම වෙනස් වේ. ඊශ්‍රායලයේ පලතුරු ගසකට නැඟීමත් සදාචාර විරෝධී යැයි අසා තිබේ.

අප රටේ සංස්කෘතිය අනුව ආගම් ශාස්තෘවරුන් පෙන්වා දුන් සමාජ සම්මතයන් විසින් අගය කර ඇති ආචාරධර්ම සදාචාර ධර්ම ලෙස දැත්විය හැකි ය. සමහර ආචාර ධර්ම පාරම්පරිකව අප පිළිගන්නා ඒවාය.

අද වැඩිහිටියන්ට සලකන්නට බොහෝ දෙනා ඇලිමැලි වෙති. වැඩිදුර යන්නට ඕනෑ නැත. බසයකට නැඟුනවිට මනාසේ පෙනේ. සවි ශක්තිමත් ඇතැම් පිරිමි ජැන්ඩි පහට හිඳගෙන සිටිති. කාන්තාවෝ වියපත් මවුවරු අසුන් අහිමිව බසයේ ගමන් කරති.

බස් රථ නවත්වන්නේත් තරුණ අයට පමණි. ඇතැම් බස්රථ වල ‘බුදුසරණයි’ ‘තෙරුවන් සරණයි’ කියා ලියා තිබුණත් හාමුදුරුවන්ට නවත්වන්නේ නැත. සමහර විට හාමුදුරුවන් බසයට නැගුණ ද සිතා බලා අසුන පිරිනමනු දැක ඇත්තෙමු. ස්වාමීන් වහන්සේට වෙන් කර ඇති අසුනේම හිඳ ගෙන එය ආපසු දෙන්නේ මහා හිරිහැරයකට භාජනය වූ පරිද්දෙනි.

දරුවන් බොරු කියන්නන් බවට පත් කරගන්නා මවුපියෝ ඕනෑ තරම් සිටිති. දරුවා ලවා සොරකම් කරවති. මත්පැන් දුම්වැටි ගෙන්වා ගන්නා පියවරු සිටිති. තමාට ලැබෙන ලාභය තකා දුම්වැටි අලෙවි කරන ඇතැම් වෙළෙන්දෝ කුඩා ළමයින්ට ද ඒවා අලෙවි කරති. දැන් දැන් දුම්වැටි අලෙවි නොකරන බවට පුවරු ප්‍රදර්ශනය කරන වෙළෙඳ සැල් ද දක්නට ලැබේ.

අනෙකා ගේ දුම්වැටි බීම, මත්පැන් බීම තමන්ට පාඩුවක් නොවෙතැයි ඇතැමුන් සිතුවද වක්‍රව තම තමන්ටත් ඉන් අලාභහානි වන බව ඔවුහු නොදනිති.

අක්‍රිය දුම්පානය හා රෝගී වූ විට වැය කිරීමට සිදුවන මුදල් සංවර්ධනයට යොදා ගැනීම වැළකීම වැනි පාඩු සිදුවේ. එය පෞද්ගලිකව පමණක් නොව මුළු මහත් සමාජයට ම පාඩුවකි.

ළමයින් අපචාර කටයුතු වලට යොදා ගැනීම පිළිබඳව සියලු කටයුතු සොයාබලා දැඩි පියවර ගන්නට ක්‍රියාකිරීම ඉතා හොඳ ක්‍රියාවකි. මවුපියන් තම දූ දරුවන් ආරක්ෂා කර ගන්නට වගබලා ගත යුතුය. බොහෝ නගරවල පැය 24 ම කාමර පහසුකම් ලබාදෙන හෝටල් ඇත. පෝය දින වල නිවාඩු දිනවල උපකාරක පන්ති වල මුවාවෙන් මේවායින් පිට ව යන්නේ පාසල් වයසේ දූ දරුවන් ය. උදේ හවා ඩහදිය වගුරුවා තම පුතා දුව සරසරවි යැවීමේ සිහිනය සැබෑ කරගන්නට පෙරුම් පුරන මවුපියන්ට සැබෑ තතු හෙළිවන විට සියල්ල සිදුවී හමාරය. අතීතයේ පවුල් පරිසරය නොව අද පවතින පවුල් පරිසරය වෙනස්ය. දරුවන්ට හොඳ අනාගතයක් උදාකර දෙන්නට මවුපියන් උත්සාහ දැරුවද දරුවනට ඒවා ඒතරම් වටිනාකමක් ඇති සෙයක් නොපෙනේ. ඔවුන් මවුපියන්ට බර පටවා තම කටයුතු කර ගැනීමට තරම් ආත්මාර්ථකාමී වී ඇත. මේ තත්ත්වයට වග කිවයුතු වන්නේ ද මවුපියන්මය. පොතේ දැනුම පොවන්නට ශිෂ්‍යත්ව විභාගයේ පටන් විභාග ජය ගන්නට තරගයට හුරු කරනවා විනා ප්‍රායෝගික ලෝකයේ මිනිස් ජීවිත සමඟ ජීවත් වන්නට හුරු කරන්නේ නැත. අපට හොඳ ආගමක් තිබේ. සදාචාරයට මෙතෙක් මග පෙන්වූයේ පන්සලයි. දහම් පාසලයි. පන්සල් යන්නට දහම් පාසල් යන්නට වේලාවක් නැත. දහම් පාසල් යන ඇතැම් දරුවන් ගේ හා මවුපියන්ගේ අවශ්‍යතාව බුද්ධ ධර්ම විෂයයෙන් හොඳ ලකුණු ගැනීමයි. මේ නිසා විෂය කරුණු හදාරන දරු දැරියෝ ගුණදහම් ගැන අවධානය යොමු නොකරන බව පෙනේ.

ළමා සාරියෙන් ජාතික ඇඳුමින් සැරසුණු දරුවෝ වෙනත් පන්තිවලට යන්නේ අඩක් වැසුණු ඇඳුමින් සැරසී ගෙනය. ඔවුන් සිතන්නේ දහම් පාසලට පමණක් සංවර ඇඳුම් ඇදිය යුතු බවය. දහම් පාසලේ දී දරුවනට හිරිඔතප් ගැන කියා දිය යුතුය. දහම් පාසල තවත් පාසලක් නොවේ. අපේ සංස්කෘතිය ගැන සාරධර්ම ගැන ආගම ගැන දරුවා ඉගෙන ගන්නේ දහම් පාසලෙනි. දහම් පාසලට අඳීන ළමා සාරිය සංවර බව රැකෙන පරිදි ඇඳීය යුතුය. සමහර මවුපියන් අවම රෙදි ප්‍රමාණයකින් ළමා සාරිය සකසා දෙන බව පෙනේ. ළමා සාරිය හැඳගෙන දහම් පාසලට යන බාලිකාව පහත් හැඟීම් නොව පහන් හැඟීම් දනවන පරිදි සංවර විය යුතුය.

ඇතැම් කුඩා දැරියන් ගේ ළමා සාරිය තනි රෙද්දක් හා හැට්ටයක් පමණි. එය සුදුසු නොවේ. අද ඇතැම් දැරියෝ බිම හිඳ ගන්නට භාවනා කරන්නට අවශ්‍ය පරිදි බිම හිඳගන්නට නොදනිති. දරුවන් එරමිණියා ගොතා ගෙන හිඳ ගත්තත් දැරියන් අර්ධ පර්යංකයෙන් හිඳගත යුතුය. රූපවාහිනී නළු නිළියන් ලෙස හිද ගත යුතු නැත. ‘ලෝ වැඩ සඟරාව‘, ‘හිතෝපදේශය’, ‘සිරිත් මල්දම’, ‘සුභාෂිතය’ වැනි උපදේශ කාව්‍ය අපේ දරුවන් ගේ චරිතය හදා ගන්නට ඉමහත් උදවුවක් සැපයුවද අද ඒවා යල් පීනු ඒවා බවට පත්කර තිබේ. තැනක හැසිරෙන්නට අවශ්‍ය අන්දම ඇතැම් දරුවෝ නොදනිති. ඔවුන් ලබන අධ්‍යාපන ක්‍රමයද මීට වගකිව යුතුය. පරමාදර්ශී ජීවිතයකට මග පෙන්වන ධම්මපදය, ජාතක කථා වලින් අපේ ළමා ජීවිත පෝෂණය කළ යුතුය.

රූපවාහිනියෙන් වෑහෙන ආහාර පාන දීමෙන් ම ළමයා වැඩෙන්නේ නැත. බාහිර ආටෝපයට මුල් තැන දෙන වර්තමාන පවුල් සංස්ථාව තමන්ට කළ නොහැකි ආර්ථික මට්ටමට නොසරිලන කටයුතු කරපින්නාගෙන ණය බරින් පීඩා විඳිති. අපේ ජන කථාවල විවිධ අන්දමේ උපදේශ ඇත. ජන වහරේ විවිධ කියමන් ඇත. මේවා හැම එකක්ම අපේ ජීවිත හැඩගසා ගන්නට මග පෙන්වනු ලැබීය.

කඩුල්ලෙ තරමට කද බඳිනු

ඇඟිල්ලේ තරමට ඕනෑ ඉදිමුම’

ආදී ආප්ත උපදේශ කොතරම් අද දවසටත් ගැළපේද?

මිල මුදල දෙවියන් ලෙස අදහන සමාජය හැම විටම සදාචාරයට තැනක් නොදේ. පංච දුශ්චරිතයෙන්ම පිරි සමාජයක් ශෝධනය කිරීම අති දුෂ්කරය. කාගේත් කැපවීම වුවමනාව තිබුණොත් කළ හැකිය.

යුද ජයග්‍රහණ ලැබූ පසු ජාතිය පිළිබඳ සැබෑ මාමකත්වයක් අපේ තරුණ පරපුර තුළ ඇතිවී තිබේ. එයින් ප්‍රයෝජන ගත යුතුය.

උදෑසන බස් රියේ පාසල් දරුවන්ට ඇහුණේ විරහ ගීතය. දැන් ඒ තත්ත්වය අඩුවී තිබේ. දරුවන් සිහින ලෝකවල කාමුක ලෝකවල අතරමං කරවන ජාතියේ වැඩසටහන් ටෙලිනාට්‍ය චිත්‍රපට තිබේ. තැන් තැන්වල වීඩියෝ පටි විකුණන තැන් මේවාට අවස්ථාව සාදයි. නිවසට ගෙනැවිත් පරිගණක මගින් මේවා නරඹන පිරිස් ඇත.

ඇතුළු කාමරවල සිදුවන දෑ ආලින්දයට ගෙනෙන රූපවාහිනී චැනල් වෙළෙඳ දැන්වීම් දරුවන් ගේ විළිබිය සිඳීයි. හොඳ සිරිත් අමු අමුවේ බුදියි. බුදු දහමින් හික්මුණු අපේ දරුවන් ඇඟිලි ලෙව කෑවේ නැත. අනෙකාගේ ආහාර කොටස හොරෙන් කෑවේ නැත. බදාගෙන තනිව කෑවේ නැත. පාරිභෝගිකයාට යමක් විකිණීමට වෙළෙඳ දැන්වීම් සැකසීම වරදක් නොවේ. අපේ බස විනාශ කරමින් සාරධර්ම වලට පයින් ගහන්නට ඔවුනට අයිතියක් නැත. තමා නිපදවූ භාණ්ඩයක් දී අවශ්‍ය භාණ්ඩයක් ලබා ගැනීමේ භාණ්ඩ හුවමාරු ක්‍රමය අතීතයේ දී පැවැති බවත් එහි අඩුපාඩු මග හරවන්නට විනිමය මාධ්‍යයක් වශයෙන් අවශ්‍ය වූයෙන් මුදල් පැමිණි බවත් අපි දනිමු. අද අලෙවිකරණය, විෂයයකි. මිනිසා තුළ පවතින පහත් හැඟීම් අවුස්සමින් බඩු විකිණීමෙන් පෙනෙන්නේ ඒ බඩු කොතරම් බාල තත්ත්වයට පත්වී ඇති බවයි.

සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය දියුණු වී යැයි අප කොතරම් උදම් ඇනුවද ඒ මගින් තවමත් ග්‍රාම්‍ය අන්දමින් තරුණ සිත් රාගයෙන් මුසපත් කරවයි.

සමාජයේ පවතින පාතාල කල්ලි නැවැත්වීම මෙන්ම රූපවාහිනී නාලිකාවල විකාශනය වන ඇතැම් කථාවල ඇති පාතාල ජවනිකා වැළැක්වීමට ක්‍රියාකළ යුතුය.

චක්කවත්ති සීහනාද සූත්‍රයට’ අනුව දිළිඳු අයට ධනය දිය යුතුය. ගොවින්ට පෝර, බිත්තර වී , බත් වැටුප් රජයේ සේවකයින්ට වැටුප් දිය යුතුය.

ආර්ථික සංවර්ධනයේදී සදාචාර සංවර්ධනය විශාල රුකුලක් දෙයි. දුරාචාරයට වැයවන මුදල් නතර කළහොත් එයින් කළ හැකි දෑ බොහෝය. හිසට සෙවණක් නැති බොහෝ දෙනා මත් ද්‍රව්‍ය වලට විශාල ලෙස මුදල් වැය කරති. එහෙත් ඒ මිල මුදල් මගින් තමාට ඉන්නට හිටින්නට ගෙපැලක් තනාගන්නට කල්පනා නොකරති.

පන්සිල් රකින සමාජයක් බිහි කරන්නට අපට හැකි නම් එය සදාචාර සම්පන්න සමාජයකි. මිල මුදල් තෘෂ්ණාවෙන් ජාතියේ දූ දරුවන් විනාශ කරන්නන්ට ඉඩ නො දිය යුතුය. අද ඇතැම් රූපවාහිනි මාධ්‍ය මගින් ඉදිරිපත් කරන ඇතැම් අධ්‍යාපනික වැඩසටහන් වලින් ඉගෙන ගන්නා ගුරුතුමාට ගුරුතුමියට ‘පහක් දාන්නට කථා නොකළහොත්, නම් ලකුණු කිරීමේදී හායි හූයි කියා නොකීවොත් පුදුමයෙකි.

තවමත් පාසල් මගින්, දහම් පාසල් මගින් විනය පිළිබඳව ඉහළින්ම සැලකීම සිදුවන නිසා අපේ පාසල් දරුවන් තවමත් පිරිහී නැත. නමුත් ඔවුන් පිරිහවන්නට කැස කවන අවස්ථා බොහෝ බව ගුරු දෙගුරුන් පාලකයින් වටහා ගත යුතුය.

දහම් පාසල් අපේ දරුවන්ට ධර්මය පමණක් නොව විනය ද කියා දිය යුතුය. එය හරි හැටි උගත් දරුවන් ගේ විළිබිය සිෙඳන පරිදි ඇඳුම් අන්දවා පාරේ යවන මවුපියන්ට තරු පෙනෙන්නේ තම දියණිය බස්රිය තුªළ දී හැසිරෙන අයුරු දුටුව හොත්ය.

මෙහිදී බස්රියේ රියැදුරු කොන්දොස්තර මහත්වරුන්ද විරුද්ධ වන්නේ නැත. අතීත සමාජයේ දරු දැරියනට යහපත් හැසිරීම් සීයා ගෙන් ආච්චිගෙන් ලැබුණත් අද ඔවුන් දරුවන් ඇසුරේ නැත දිවා සුරැකුම් මධ්‍යස්ථානයක හෝ සේවිකාවක ඇසුරේ වසන වැඩෙන දරුවාට ගුණධර්ම ලැබෙන්නේ කෙසේද?

අද බොහෝ දරුවන් නෑදෑයින් හඳුනන්නේ නැත. නෑදෑයින් හමුවන මළ ගෙදර, මඟුල් ගෙදර, සිංහල අවුරුද්ද දරුවන්ගෙන් ඈත් වි ගොසිනි. හේතුව බාහිර පන්තිය. බාහිර පන්ති නිසා අද දරුවාට නෑදෑයින් හමුවන්නට අපේකම දැනගන්නට වේලාවක් නැත. හිස, හද, දෑත යන අංශ තුනම පිරිපුන් අධ්‍යාපනයක් මිස හිස පමණක් හදන අධ්‍යාපනයකින් සර්ව සම්පූර්ණ මිනිසකු බිහිවන්නේ නැත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.