Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුගුරු හතකින් බැට කන්නා

තථාගතයන් වහන්සේ මෙම සූත්‍රයේ දී පැහැදිලි කරන ආකාරයට අශ්‍රැතවත් වූ පුහුදුන් තැනැත්තාගේ සිත අලවන්නා වූ ද සිත නොඅලන්නා වූ ද රූපය ඇස වෙහෙසට විඩාවට පත් කරන බව යි. එසේම මන වඩනා වූද මන නොවඩන්නා වූ ද (ගැටෙන) ශබ්දය ඔහුගේ කණ වෙහෙසට පත් කරයි. එසේම මන වඩන්නා වූ ද නැත්තා වූ ද ගන්ධය නාසය පෙළඹයි. මන බඳනා වූද නැත්තා වූද රසය ඔහුගේ දිව පෙළයි. මන වඩන්නා වූද නැත්තා වූ ද පහස ඔහුගේ කය පෙළයි. මන බඳනා වූ ද නැත්තා වූ ද අරමුණු ඔහුගේ සිත පෙළයි. එසේම එම අශ්‍රැතවත් පුද්ගල තෙමේ මතු නැවත පුනර්භවයක් පතන්නේ නම්, ඒ හිස් පුරුෂ තෙමේ තවතවත් මැනවින් එම අරමුණු මඟින් පෙළනු ලැබේ. එය යව කරල් මිටිය හත් වන පුරුෂයා විසින් තලනු ලබන්නා හා සමාන යැයි දේශනා කළ සේක.

 

සසරට පිළිපන්නා වූ පුද්ගලයා කාරනා 4 ක් නොදන්නාකම නිසා නැවත නැවත සසරම උපත ඇති කරගන්නා බව තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම විය.

එනම් සසර දුක යනු කුමක්ද යන්න අවබෝධ නොවීම, සසර දුකට හේතුව කුමක්ද යන්න අවබෝධ නොවීම, එම දුකින් නිදහස් වීමක් පවතී ය යන්න නොදන්නාකම හා එම දුකින් නිදහස් වීමේ මාර්ගය හඳුනාගැනීමට නොහැකි වීම යන කාරණා හතරයි.

සසර නැවත නැවත උපතක් ඇතිවීම දුක් සහිත යැයි ධර්මය නොදත් අශ්‍රැතවත් වූ පෘථග්ජන පුද්ගලයාට නොවැටහෙන බව ද බුදු දහම උගන්වා ඇත.

සසර තවත් නැවතුම්පලක මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් පුද්ගලයා මෙම කාරණය හඳුනා නොගතහොත් කයේ භේදයෙන් පසු නැවත උපත් කරා ජීවිතය ගමන් ගන්නා බව දත යුතු ය. නැවත නැවතත් උපතක් හට ගැනීමට හේතුව පිළිබඳවත්, එම හේතුව නිසා විඳවීමට ලැබෙන දුක් සමුදාය පිළිබඳත් තථාගතයන් වහන්සේ විසින් වදාළ දෙසුමක් ලෙස, සංයුත්ත නිකායේ වේදනා සංයුත්තයේ ආසිවිෂ වග්ගයට අයත් යවකලාපීය සූත්‍රය හැඳින්විය හැකි ය.

තථාගතයන් වහන්සේ වරෙක භික්‍ෂූන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක. මහණනි, පුද්ගලයකු විසින් සිවු මං සලක යව කරල් (ධාන්‍ය කරල් විශේෂයක්) මිටියක් දමන ලදී. එම යව කරල් මිටිය දකින ලද පුරුෂයන් හය දෙනෙකු මුගුරු හයකින් එම යව කරල් මිටියට පහර දෙන ලදී.

මුගුරු 6 කින් පහර දෙන ලද යව කරල් මිටිය බරපතල ලෙස තැලී පොඩි වී ගියේ ය. ඉන් පසු 7 වන පුරුෂයකු පැමිණ, නැවත වතාවක් තලන ලද යව මිටියට මුගුරකින් පහර දෙන ලදී.

සසර උපතක් ලැබූ පුද්ගලයා ද මේ ජීවිතයෙහි නිරන්තරයෙන් පංචකාම ගුණයට හසු වී නැවත නැවත පංචකාම ගුණයම පැතීමට පුරුදු වන්නේ යම් ආකාරයෙන් ද ඔහු පුරුෂයන් හය දෙනෙකු විසින් පහර දෙන ලද මෙම යවකරල් මිටි හා සමාන යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සතර මංසන්ධියෙහි දමා ගිය යවකරල් මිටිය පුරුෂයන් හය දෙනා මුගුරු හයකින් පහර දීම නිසා, බරපතල ආකාරයෙන් තැලී ගිය බව පැහැදිලි ය. එසේම පහර දෙන ලද යවමිට්යට හත්වන පුරුෂයෙකු පැමිණ නැවත පහර දුන් නිසා තවදුරටත් එය තැලී පොඩි වී ගියේ ය.

හරියට මෙය පුද්ගලයන් හය දෙනෙකු තනි පුද්ගලයෙකු අල්වා මුගුරු හයකින් පහර දුන්නා හා සමාන ය. මුගුරු හයකින් පහර කන ලද පුද්ගලයාට පහර දී අත්හැරිය විට හත්වන පුරුෂයෙකු නැවත නැවත වතාවක් පැමිණ මුගුරකින් පහර දුන් විට පහර කෑ පුද්ගලයා ;වත පැමිණෙන වේදනාව කොපමණ දැයි සිතා ගත හැකි ය. තථාගතයන් වහන්සේ මෙම දේශනයෙන් තවදුරටත් පැහැදිළි කරන කාරණයක් ඇත. එනම් තමා ලබාගත් ජීවිතය තුළ තමා වෙත ගෙන්වා ගැනීමට නොහැකි වූ බොහෝ ආශා හා විවිධාකාර බලාපොරොත්තු ඇත්නම්, ධර්මය නොදතා වූ අශ්‍රැවත් පුද්ගලයා මේ ජීවිතයෙහි නොව පරලොව දී හෝ එම කාමයන් ලැබෙතැයි කල්පනා කරන්නේ ය.

අපට ගැටලුව වන්නේ කාමයන් ලබා ගැනීමට හැකි වීම හෝ නොහැකි වීම නොව, කාමයන් නැවත නැවත පතමින් යන ගමනේ දී පුද්ගලයාට විඳවීමට ඇති විඳවිල්ලේ ඇතිභයානකකම බව දත යුතු ය. එය හය දෙනකුගෙන් පහර කන ලද පුද්ගලයාට හත් වන පුද්ගලයෙකු පැමිණ පහර දෙන විට යම් කටුක අහිමිරි වද වෙදනාවක් ඇති වන්නේ ද ඊටත් වඩා වේදනාවක් බව මෙහි තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම විය.

තථාගතයන් වහන්සේ මෙම සූත්‍රයේ දී පැහැදිලි කරන ආකාරයට අශ්‍රැතවත් වූ පුහුදුන් තැනැත්තාගේ සිත අලවන්නා වූ ද සිත නොඅලන්නා වූ ද රූපය ඇස වෙහෙසට විඩාවට පත් කරන බව යි. එසේම මන වඩනා වූද මන නොවඩන්නා වූ ද (ගැටෙන) ශබ්දය ඔහුගේ කණ වෙහෙසට පත් කරයි. එසේම මන වඩන්නා වූ ද නැත්තා වූ ද ගන්ධය නාසය පෙළඹයි. මන බඳනා වූද නැත්තා වූද රසය ඔහුගේ දිව පෙළයි. මන වඩන්නා වූ පහස ඔහුගේ කය පෙළයි. මන බඳනා වූ ද නැත්තා වූ ද අරමුණු ඔහුගේ සිත පෙළයි.

එසේම එම අශ්‍රතවත් පුද්ගල තෙමේ මතු නැවත පුනර්භවයක් පතන්නේ නම්, ඒ හිස් පුරුෂ තෙමේ තවතවත් මැනවින් එම අරමුණු මඟින් පෙළනු ලැබේ. එය යව කරල් මිටිය හත් වන පුරුෂයා විසින් තලනු ලබන්නා හා සමාන යැයි දේශනා කළ සේක.

තථාගතයන් වහන්සේ කාමයන් කෙරෙහි ඇති කරගත් බැඳීමත්, එම බැඳීමෙන් නිදහස් විය හැකි කෙසේද යන්නත් මෙම සූත්‍රයේ උපමාවකින් මෙසේ පැහැදිලි කළ සේක.

මහණනි, පෙර සිදු වූ සිදුවීමක් කියමි. එක්තරා අවස්ථාවක සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇති විය. මෙම සුර – අසුර යුද්ධය අවසානයේ දී අසුර පිරිස පරාජයට පත් කළ සුරයන් අසුර නායක (වේපවිත්ති) අල්ලා තව්තිසා අධිපති සක්දෙව් රජ වෙත පමුණවන ලදී. මහණනි, මෙම වෙපවිත්ති නම් අසුර නායකයා සුර පිරිස විසින් රැගෙන යන ලද්දේ (ගෙල පස්වන කොට) බැඳගෙන ය. එනම් අසුර නායකයාගේ අත්, පා, හිස ආදී ස්ථාන පහකින් එකට ගැට ගසා ය.

තථාගතයන් වහන්සේ මෙහි දී පෙන්වා දෙන ආකාරයට අසුර නායකයා ගැට ගසන ලද්දේ ශක්තිමත් යදම් වලින් හෝ කඹයකින් නොව දෙවියන්ගේ සිතේ බලයෙන් බව ය. යම් ආකාරයෙන් වේපවිත්තිට තමාගේ අසුර රජකම අතහැර දෙවියන් සමග එක්වීමට ඇත්නම් හොඳ යැයි සිතුනහොත් ස්වාභාවිකවම ඔහුගේ සියලු බැමි ලිහෙන බවත්, තමා නැවතත් අසුර ‍ෙලාවටම යා යුතු යැයි සිතුනහොත් ඒ බැමි තවත් දැඩි වන බවත්, දේශනා කළ සේක. මේ ආකාරයෙන් යම් කිසි පුද්ගලයෙක් කාමයන් අල්ලාගෙන සිටින තෙක් තව තවත් ඔහු සසරට බැඳ තබන කෙලෙස් බැමි දැඩි වන බවත්, කාමයන් අත්හැරීමේ චේතනාව ඇති අයකුට සසරට බැඳ තබන කෙලෙස් බැම්ම ලිහිල් කරගත හැකි බවත්, පැහැදිලි කළ සේක. මෙමඟින් උන්වහන්සේ පැහැදිලි කරනුයේ පුද්ගලයා විසින් කාමයන් කෙරෙහි ඇතිකරගත් බැඳීම තම තමන්ගේ සසර ජීවිත කෙරෙහි කොතරම් බලපෑමක් ඇති කරන්නේද? යන්න ය.

තෙරුවන් සරණයි!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.