Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික සිත්තම්ගලු ඇසළ පෙරහර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ඓතිහාසික රම්මල්කන්ද පාමුල පිහිටි ඉපැරණි ගල්ලෙන් විහාරයක් ලෙස මේ ස්ථානය හැඳින්විය හැකිය. එම විහාරය ප්‍රදේශය තුළ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලය වශයෙනි. එම දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහරේ 42 වන වර මෙවරට යෙදී ඇත.

මෙවර එම පෙරහර උඩරට, පහතරට හා සබරගමුව නැටුම්වලින් ද අලි ඇතුන් රාශියකින්ද සමන්විත වර්ණවත් ලෙස පැවැත්වීමට සියලු විධිවිධාන සලසා ඇත. මේ පෙරහර උත්සවය 2009 සැප්තැම්බර් මස 30 වන දින සිට ඔක්තෝම්බර් මස 06 වනදින පහන් වනතුරු පැවැත්වීමට ද නියමිතය.

රුහුණේ දේව ඇදහිලි අතර කතරගම දෙවියන් හැරුණු කල රුහුණු ගිරුවාපත්තුවේ සිත්තම්ගල්ලේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් ද ඉතා ඉහළින් පුද පූජා ලබන දකුණු පළාතේ වැඩවසන මහානුභාව සම්පන්න දෙවියෙකි. ඉපැරැණි රුහුණේ් ගොවියන් සිය ධාන්‍ය අස්වනු සශ්‍රීක කර ගැනීමටත්, කිතුල්මල් මදින්නන් ගේ තෙලිදිය සරු කරලීමටත් සිත්තම්ගල්ලේ රජ්ජුරු බණ්ඩාර දෙවොලට ගොස් පඩුරු බැන්දේ දැඩි විශ්වාසයකින් හා ආසාවකිනි. 1968 දී සිත්තම්ගලු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට උපහාර පිණිස දිද්දෙණිපොත පේමරතන නා හිමි දවස ආරම්භ කළ මේ පෙරහර අද වනවිට 42 වෙනි වරට ද පැමිණ ඇත. මේ ප්‍රදේශයේ ජීවත් වූ මද්දුමාගේ සියදෝරිස් වෙද මහතාට දිනක් සිහිනෙන් කීවේ සිත්තම්ගලු විහාරයට අරක්ගෙන සිටින රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් අලියෙක් සහිත පෙරහරක් පවත්වන ලෙසයි.

මේ කතාව එවකට සිත්තම්ගලු විහාරාධිපතිව වැඩ විසූ දිද්දෙණිපොත නාහිමියන්ට දැන්වූ කල්හි උන්වහන්සේ ප්‍රකාශ කළේ පෙරහර සංවිධානය කරන ලෙසය. ඒ අන්දමින් මේ දෙවියන්ට උපහාර පිණිස මද්දුමාගේ සියදෝරිස් වෙද මහතාගේ මූලිකත්වයෙන් ගමේ උදවිය එක් රැස්ව අලියෙක් සහිත එක් දින මල් ;පහෙරක් ලෙස පවත්වාගෙන ආ මේ පෙරහර වර්තමානය වන විට දින 07ක් තිස්සේ පවත්වන පෙරහරක් වශයෙන් සංවර්ධනය වී ඇත.

1970 දී විවිධ සංස්කෘතික නර්තන අංගවලින් සමන්විතව පැවැත් වූ මේ පෙරහර වනාහි රුහුණු මහා කතරගම දේවාල පෙරහරට පසු පවත්වන පරිවාර පෙරහරක් ලෙස වර්ධනය වී ඇත. උඩරට, සබරගමුව හා රුහුණේ් ගැමි නර්තන කලාව ඉස්මතු වන සේ පෙළගසන මේ සිත්තම්ගල්ලෙන ඓතිහාසික පෙරහර අද ගිරිවාපත්තුවට අභිමානයකි.

1920 දශකයේ දී මේ ගල්ලෙන විහාරයේ විහාරාධිපති ලෙස වැඩ විසූ අගලකඩ සෝභිත නාහිමියන් මෙහි ඉහළ හා පහළ විහාරවල ජරාවාස වී තිබූ ප්‍රතිමා ප්‍රතිසංස්කරණය අරඹා ඇත. අතීතයේ මෙහි පැවැති සිතුවම් ද ස්වාභාවික හේතු මඟින් විනාශ වී ඇත. අද වුවද පහළ ලෙන් විහාරයේ කටාරමට යටින් ජීර්ණ වූ පැරැණි සිතුවම් පෙළක් දැකීමට හැකිය. පෙර කාලයේ මෙහි ලෙන්වල සිතුවම් කරතිබූ නිසාම සිතුවම් ගල්ලෙන වූ මෙම විහාරය පසු කාලයේ සිත්තම්ගල්ලෙන වශයෙන් හැඳින්විය.

මෙවන් ඓතිහාසික තත්ත්වයන් නියෝජනය කරනු ලබන සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය හෙබවූ පෝරතොට ඉන්ද්‍රරතන නාහිමි වැනි භික්ෂූන් වහන්සේලා ගේ මඟ පෙන්වීම හා අනුශාසනා අනුවත්, පෞරාණික සිරිත් අනුවත් රුහුණු ගිරුවාපත්තුවේ අද්විතීය රජමහා විහාරායක් ලෙස සංවර්ධනය විය.

රජ්ජුරු බණ්ඩාර දෙවියනට ගෞරව පිණිස 1968 දී ආරම්භ කළ සිත්තම්ගලු ඇසළ පෙරහරේ 42 වැනි වර වන මේ වර්ෂය අති උත්කර්ෂයෙන් පැවැත්වීමට වත්මන් විහාරාධිපති හම්බන්තර දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්මකීර්ති ශ්‍රී ශාස්ත්‍රපති අගලකඩ පියසිරි නාහිමියන්ගේ හා විහාරාධිකාරී දම්පහල සුමනසිරි හිමි යන විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි දායක සභාව සියලු විධිවිධාන සලසා ඇත.

රුහුණේ සාම්ප්‍රදායික නැටුම් අංගවලින් යුතුව බටහිර රජ්ජුරු බණ්ඩාර හා පත්තිනි මෑණියන් ආදි දෙවිවරු අරමුණු කර රුහුණු ඇතුළු සමස්ත රටේ බත බුලත සහ ගහ කොළේ ආදායම සරු වේවා යන පැතුමෙන් සිදුකරනු ලබන චිරාගත කෝල්මුර යාගය ද මේ උත්සවයේ සුවිශේෂ අංගයකි. මෙම කෝල්මුර යාගය අවසානයේ අළු කෙසෙල් ගෙඩි මැල්ලුම සහිත බත ද අලුයම වෙලේ බැතිමතුන් අතරේ බෙදාදීම ද අතීතයේ සිට පැවැත එන්නකි. පෙරහර උළෙල නිමා වූ බව වරාපිටිය වැවේ දිය කැපීමෙන් සංකේතවත් කිරිම ද මේ පෙරහර උත්සවයේ අවසාන අංගය වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.