Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට ආගමික සංස්කෘතික සාමාජික හා භාෂා සාහිත්‍ය ආදි විවිධ ක්‍ෂෙත්‍ර පුරා විහිදී ගිය යුගල සම්ප්‍රදායයන් ඔස්සේ (මහාවිහාර - අභයගිරි) ශ්‍රී ලාංකික භික්ෂුව පෙර ගමන්කරුවා බවට පත්විය. ඒ නිසාම උන්වහන්සේ සිංහල භික්ෂුව බවට පත් විය. මෙම ප්‍රස්තුතය පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර - ශ්‍රී ලාංකාවාසී භික්ෂු පරපුර මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් ආරම්භ වූ සියවස් ගණනාවක් තුළ විකාශනය වී ඇත්තේ ඉපැරැණි දඹදිව භික්ෂු පරපුරෙන් වෙන්ව සෑම අතින් අනන්‍යතාවයක් ඇති කර ගනිමිනි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ආරම්භ කළ කේන්ද්‍රිය භික්ෂු ආයතනය මහාවිහාරයයි. එය රාජකීය සමාජය ස්පර්ශ කරමින් නාගරික බවක් ආරම්භයේ දී දක්නට ලැබුණි. එම නාගරික සමාජයේම අනෙක් පාර්ශවය නියෝජනය කරනු ලැබූවේ අභයගිරි නිකායිකයින්ය. මෙසේ ශ්‍රී‍්‍ර ලාංකික භික්ෂු පරපුර සියවස් තුනකට පසුව උභය පාර්ශ්වයක් ස්ථානගත වීම තාර්කික බෙදීමක් වශයෙන් දුර ගමනක් යාමට පෙර හුරුවකි.

1. ථෙරවාදී බලපෑමෙන් මහා විහාර භික්ෂු පාර්ශවය
2. මහායානික බලපෑමෙන් අභයගිරි භික්ෂු පාර්ශවය

මෙම උභය පාර්ශවය මහාවිහාරිය කොටස පැරැණිතම දඹදිව න්‍යායික සම්ප්‍රදාය ගරු කළ අතර දෙවැනි අභයගිරික කොටස පශ්චාත් ඉන්දීය සම්ප්‍රදායයන් ඔස්සේ ප්‍රායෝගික අංශයට නැඹුරුවක් දක්නට ලැබුණි.

අනුරාධපුර ආරම්භක යුගයේ මහා විහාර සම්ප්‍රදායේ උන්නතියත් පොළොන්නරු කාලය වනවිට දෙවන පාර්ශ්වය වූ අභයගිරි සම්ප්‍රදාය ව්‍යාප්තිය සිදු වූ බවත් පැහැදිලි වෙයි. මේ යුගය වඩාත් කැපී පෙනෙන්නේ භික්ෂු විනය ප්‍රඥප්ති ඇතුළත් පොළොන්නරු කතිකාවත ඇතිකිරීම සහ භික්ෂු නායකත්වය සඳහා මහාසාමි පදවිය ඇතිවීමයි. මෙම අවධිය තුළ ආගමික හා සමාජයීය ප්‍රවණතාවන් හැඳින්විය හැක්කේ ථෙරවාද හා මහායාන ප්‍රභේදයක් ලෙස නොව,

1. ග්‍රාමවාසී භික්ෂු සංයුතිය
2. වනවාසී භික්ෂු සංයුතිය

යනුවෙනි. මෙම අංශ දෙකම නියෝජනය වන පරිදි ‘මහාසාමි’ පදවිය දක්වා වර්ධනය වූ බව දක්නට ලැබෙයි. මහනුවර යුගයෙහි දී සිල්වත් සමාගම කේන්ද්‍ර කරගනිමින් ඇති කළ සංඝ සමූහයේ ප්‍රතිසංස්කරණ මගින් යළිත් උපසම්පදාව පිහිටුවා සංඝ රාජපදවියට වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් පත්වීමත් සිදුවිය. මෙසේ විකාශය වූ භික්ෂු පරපුරේ අවසාන යුගය හැඳින්විය යුත්තේ ආරම්භක ශ්‍රී ලාංකික භික්ෂුව සිංහල භික්ෂුවක් වශයෙන් සංවර්ධනය වීමයි.


ප්‍රශ්නය - පැවිදි ජීවිතයෙහි උතුම් පරමාර්ථ අවබෝධ කරගත හැකි ඉපැරැණි පැවිදි වතක පැතිකඩක් දී.නි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි මෙසේ දැක්වෙයි. ධර්මයම දායාද කොට ගෙන ධර්මයටම සත්කාර ගරුකාර කරමින් සුවචව සුපේෂලව විසු අවම පරිභෝජනයෙන් අපිස් බවින් ලද දෙයින් තුටු පහටුව වැඩහුන් එම ශ්‍රාවකයෝ නො පැහැදුනවුන් පැහැද වූ පැහැදුනවූන්ගේ් පැහැදීම තව තවත් වඩාලූහ. භික්ෂුවගේ ආකල්ප පිළිබඳ අනුරුවකි මේ. පෙළ පොතෙහි එන මෙබඳු තවත් සුලභ අවස්ථාවක් සටහන් කරන්න.

පිළිතුරු - ම.නි. මූලපණ්නාසකයේ චූල ගොසිංග සූත්‍රයෙහි භික්ෂු ආකල්ප පිළිබඳ ව වැදගත් සටහනක් මෙසේ දක්නට ලැබේ.

එකල බුදුරජාණන් වහන්සේ නාදික නම් පසල් දනව් ගමක වැඩසිටි සේක. ශ්‍රාවකයන් වහන්සේ අතරින් අනුරුද්ධ නන්දිය හා කිම්බිල හිමිවරුන් වැඩ සිටියේ ගොසිංග සල්වනයෙහි ය. සවස් යාමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඒ ගොසිංග සල්වනයට වැඩම කළහ. දුරදීම උන්වහන්සේ දුටු උයන්පල්ලා මෙසේ කියයි. මහනත වනයට නොපිවිසෙනු මැනවි. කුල පුත්‍රයෝ තිදෙනකු මෙහි සිත් සේ වසත්, ඔවුනට ඔබේ පැමිණීම අපහසුවකි. මෙය ඇසුණු අනුරුද්ධ හිමියන් වහා පැමිණ ආරණ්‍ය පාලකට තම ශෘස්තෘවරයන් වහන්සේ බව දන්වා සල්වනයට වැඩම වීමට අවසරය ලබා දුන්හ. අනුරුද්ධ හිමියන් ද බුදුන් වහන්සේ ආගමනය නන්දිය හා කිම්බිල හිමිවරුන් ට ද දැන්වීමෙන් එම ස්ථානයට එක්වූහ. බුදුරදුන්ට පෙර ගමන් කොට පිළිගෙන පා සෝදා අසුන් පනවා බුදුරදුන් වැඳ එකත් පසෙක හුන්හ. බුදුරජාණන් වහන්සේ පළමුකොට අනුරුද්ධ හිමියන් ඇමතූ®හ.

කොහොමද අනුරුද්ධ වාසය සුව පහසු ද සිව්පසය ලබාගැනීම දුෂ්කර ද කරදරයක් නැද්ද?’

‘භාග්‍යවතුන් වහන්ස, සැප පහසුව වරදක් නැහැ. දිවි පැවැත්ම පහසු ය. සිව්පසය ලබා ගැනීම ද එතරම් අපහසුවක් නැත.

‘කොහොමද අනුරුද්ධ තෙපි සමගි සම්පන්නව සතුටු සිත් ඇතිව වාද විවාද නැතිව කිරි හා දිය මෙන් පෑහී ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇසින් බලමින් වාසය කරව්ද?’

‘ස්වාමීනි අප සමගි සම්පන්නව සතුටු සිත් ඇතිව වාද විවාද නැතිව කිරි හා දිය මෙන් පෑහී එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් වාසය කරමු’.

‘අනුරුද්ධ තෙපි සමගි සම්පන්නව සතුටු සිත් ඇතිව වාද විවාද නැතිව කිරි හා දිය මෙන් පෑහී එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් කෙසේ නම් වාසය කරව් ද?’

‘ස්වාමිනි! මට මෙබඳු සිතෙක් ඇති, මෙවැනි සබ්බ්‍රහ්මචාරීන් හා එක්ව වාසය කරන්නට ලැබීම නම් මට මහත් ලාභයක්මය ස්වාමිනි! මම එක්ව වසන මේ සබ්‍රහ්මචාරීන්හට ඇති තැන මෙන්ම නැති තැන කයින් මෙත් වඩමි. වදනින් මෙත් වඩමි. සිතින් ද මෙත් වඩමි. ස්වාමීනි! මම මගේ සිත අනුව නොව මේ හිමිවරුන් ගේ සිතින් වසමි නම් මැනැවැයි (සිත අනුව) අදහස් වෙයි. ස්වාමිනි, මම එසේ වසමි, ස්වාමිනි! අපි කයින් අසමාන වෙමු. එහෙත් සිතින් එක හා සමාන වෙමු.

ආයුෂ්මත් නන්දිය හිමියෝ ද කිමිබිල හිමියෝ ද බුදුරජාණන් වහන්සේට මෙලෙසින්ම සැළ කළහ.

ස්වාමිනි! අපි මෙසේ සතුට සිතින් විවාද නොකර කිරි හා දිය මෙන් පෑහී එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් වසමු.

අනුරුද්ධයෙනි සාධු සාධු අනුරුද්ධයෙනි! කෙසේ ද තෙපි අප්‍රමාද ව කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරව් ද?’

ස්වාමිනී! අප එසේ වසමු. අනුරුද්ධයෙනි කෙසේ නම් තෙපි එලෙස වසව් ද?

ස්වාමිනී! අප අතුරෙන් යමෙක් ගමෙහි පිඬු පිණිස ගොස් පළමුව ආපසු ඒ ද හේ අසුන් පණවයි. බිමට පැන් හා පරිහරණයට දිය ද ගෙනවුත් තබයි. ඉඳුල් කෑම දමන බඳුන් ගෙනවුත් තබයි. පසුව පිඬු පිණිස ගොස් එයි ද? හෙතෙම වළඳා ඉතිරියක් වේ නම් සතුන් නැති තැන තබයි. පැන් හා පාරිභෝග දිය බඳුන් නිසි තැන තබයි. ඉඳුල් ආහාර බඳුන් නිසි තැන තබයි. දන්සල අමදියි. හිස් වූ පැන් කළය පරිභෝග දිය කළය හෝ වැසිකිලි කළය හෝ දක්නේ ද එය පුරවා තබයි. තමන්ට තනිව එසවිය නොහැකි නම් අත වනා (හත්ථ විකාරෙන දුතියං ආමන්තෙත්වා) දෙ අතින් (හත්ථ විලංබේසකෙන) එළවම්හ.

ස්වාමිනි, අපි එබඳු කළ යුතු කටයුතු පිළිබඳ ව විවාද නොකරමු. ස්වාමිනි අපි පස් දිනකට වරක් එක්ව මුළු රැය දැහැමි කථාවෙන් හිඳින්නෙමු. ස්වාමිනි, අපි අප්‍රමාදව කෙළෙස් තවන වෙර ඇතිව නිවනට යොමු වූ සිත් ඇති ව වසන්නෙමු.

සාධු සාධු අනුරුද්ධයෙනි! ඔබ සැමගේ මේ විහරණය ඉක්ම යාම පිණිස (සමතික්කමාය) සංහිඳීම පිණිස මිනිස් දහමෙන් වැඩි ආරය භාවය (උත්තරී මනුස්ස ධම්මා) සිදුකළ හැකි විශිෂ්ට ඥාන දර්ශනයක් වෙනත් පහසු විහරණයක් නැත්තේ ම ය.


ප්‍රශ්නය - බෞද්ධ භික්ෂුව ගේ ආර්ථික ජීවිතය පරපථබද්ධ හෙවත් පරතන්ත්‍රය. ඔහු සමාජය සමග සම්බන්ධ වීමෙහි දී බහුජන හිතවාදියෙකු විය යුතුය.

සංස්කෘතික හෙවත් මානව චාරිත්‍රයන් ගේ සංවිධානයෙහි දී බෞද්ධ ආචාර විද්‍යාවේ මූලධර්ම පදනම් කොටගත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුය. මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමි - භික්ෂුව හා ලංකා සමාජය පිටුව - 122 මෙම සටහනින් චිත්‍රනය වන භික්ෂුව ප්‍රාර්ථනයක් පමණක් ම ද භව්‍ය ලෝකයෙහි නිර්මාණය කළ නොහැකි ද? ‘සමන්ත භද්‍ර වූ’ අතීතයෙහි විසූ භික්ෂුවකගේ ප්‍රති නිර්මාණයක් ද ‘සීහාව ලෝකනයෙන්’ (පෙර පසු බැල්මෙන්) (යෝනිසෝ මනසිකාර) යථාර්ථයෙන් මෙම ප්‍රස්තුතය සමාලෝචනය කරන්න.

පිළිතුර - බෞද්ධ භික්ෂුවකගේ පෞද්ගලික ශික්ෂණය කරන ප්‍රඥප්ති සමූහයක් (පාතිමොක්ඛය) ද උන්වහන්සේ ගේ සාමුහික චර්යා පද්ධතිය සංවිධානය කරන ආශ්‍රමීය සංස්ථා පද්ධතියක් (බන්ධක) වූ දෛනික චර්යා සංස්කරණය කරන ආචාර ධර්ම මාලාවක් (සෙඛියා ද) ඇත. මේවා සංඝ සමාජයේ ව්‍යවස්ථා සංග්‍රහය හෙවත් විනය නීතිය නමින් හැඳින්වෙයි.

බුද්ධ කාලීන ශ්‍රමණ මුනි ආජීවක පරිබ්‍රාජක ආදී අනගාරිකයන් අතරෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ බ්‍රාහ්මණ පූජකයා මෙන් වර්ණාශ්‍ර ධර්මවාදී පිළිවෙතක් නොවූ නිසා ගිහි සමාජය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට උන්වහන්සේට හැකි විය. වස්සා වාසය සංඝ සමාජයේ සංවිධානය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

සංචාරක ජීවිතයෙන් ආරාමික ජීවිතයටත් එයින් පසුව විවිධ චාරිත්‍ර ගොඩනැගීමත් එහි ප්‍රතිඵලයක් වශයෙන් සංඝ කර්ම බොහොමයක් ඇති විය.

මහා සමාජය ගිහි සමාජයයි පැවිදි සමාජය යනු එම ගිහි සමාජයෙන් ම උපන් විශේෂ සංස්ථාවකි. සියල්ලන් ගේ උපත ගිහිගෙදර සිදුවෙයි. ගෘහ ජීවිතයේ අවශ්‍යතාවයන් ද කාර්යභාරයන් ද ඉක්මවා ගොස් වඩාත් ගැඹුරු වූ ද උතුම් වූ ද අර්ථයක් සාධනය කරනු කැමැති කුල පුත්‍රයින් සඳහා පැවිදි සංස්ථාව සකස්ව ඇත.

එහෙත් ගිහි හා පැවිදි සංස්ථා එකිනෙකට ගිලගැනීමක් හෝ විරෝධතාවයක් නැත. එකම පුද්ගලයෙකු ගේ විමුක්තිකාමි මගෙහි පිළිවෙතින් වෙනස් වීමක් පමණකි. ඕනෑම අවස්ථාවක පැවිදි මග තෝරා ගැනීමත් පැවිදි වතින් ගිහි වතට පැමිණීමටත් බාධකයක් නැත.

සංස්කෘතිමය ආකල්පයන් විනා නෛතික වශයෙන් පුද්ගල නිදහසට බාධා කිරීමක් බුදුන් වහන්සේ වෙතින් අනුමත වී නැත. සං. නි. දුක්කර සූත්‍රයෙහි එන තොරතුරක් අනුව ජම්බුබාද නම් පිරිවැජියෙකු විසින් අසන ලද ප්‍රශ්න මාලාවකට පිළිතුරු දුන් සැරියුත් මාහිමියන්, මේ ශාසනයෙහි කුමක් දුෂ්කර ද? මේ ශාසනයෙහි පැවිද්ද දුෂ්කරද? මේ ශාසනයෙහි පැවිද්ද දුෂ්කර ය. පැවිද්දාට කුමක් දුෂ්කර ද? පැවිද්දෙහි ඇලුනහුට කුමක් දුෂ්කරද?

ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය දුෂ්කර ය. ධර්මානුධර්ම ප්‍රතිපන්න මහණ කොපමණ කලෙකින් රහත්වේද? නොබෝ කලකිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.