Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ලෝ වැඩ සඟරාව සම්මා සංකල්පයට අනුගත යි’

අට්ඨි කබ්කලුපමා කාමා වුත්තා භගවතා, මාංසපේසුපමා කාමා වුත්තා භගවති, තිණුක්කූපමා, කාමා වුත්තා භගවතා, අංගාරකාසුපමා කාමාවුත්තා, භගවතා, සුපිනුපමා කාමා වුත්තා භගවතා, යාච්තූපමා කාමා වුත්තා භගවතා, රුක්ඛ පලුපමා කාම වුත්තා භගවතා, අසිපුමා කාමා වුත්තා භගවතා, සත්තිසිලුපමා කාමා වුත්තා භගවතා, සප්ප සිරූපමා කාටා වුත්තා භගවතා...”

මේ උපමා වලට අනුව කාම ඇට කැබැල්ලකට, තණ (ගිනි) හුලකට, ගිනි අඟුරු වළකට, සිහිනයකට ඉල්ලා (ණයට) ගත් දෙයකට, පල සහිත රුකකට, මස් ලොඹුවකට (මස් කපන කොටසකට) ආදී වශයෙන් දක්වා ඇත. කාමයෙන් දුකම, පීඩාවම, අතෘප්තියම හටගන්නා බව ඉන් අදහස් කැරෙයි. කාමයෙහි නොඇලෙන ලෙස බුදුදහමින් උපදෙස් ලැබෙන්නේ එහෙයිනි. භික්‍ෂූත්වය ලබන්නේ ගිහියන් අතරින්ම වෙන්වුණු පුද්ගලයන් හෙයින් මෙසේ කාමයෙහි ආදීනව දැක්වීම, භික්‍ෂු සමාජයට පමණක් නොව, ගිහි සමාජයට ද අනුචිත නොවන්නේ නොවේ. ලෝවැඩ සඟරාවෙහි එන,

“මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ
කුස් පිරුමක් පලයක් නොල බන්නේ”

යනුවෙන් දැක්වෙන කවිය, අට්ඨි කබ්කලුපමා කාමා වුත්තා, යන්න ඇසුරු කරගෙන ලියැවුණකි.

“මස් කැටියක් ගත් උකුසෙක් අහසේ
මස් නොදැමුව උකුසන්ගෙන් වැනැසේ”

යන කවිය ‘මාංසපේසුපමා කාමාවුත්තා භගවතා’ යන්න ඇසුරෙන් ද

“උඩු සුළඟට අල්ලා ගෙන යන්නේ
තණ සුළ නොදැමී නම් අක දන්නේ”

යන කවිය ‘තිණුක්කූපමා කාමා වුත්තා භගවතා’ යන්න ඇසුරෙන් ද

“පිරුළෙන් අරගත් අබරණ මඟුලට
දමමින් ගැති වන අයමෙන් අනුනට”

යන්න යාචිතුපමා කාමා වුත්තා භගවතා’ යන්න ඇසුරෙන් ද ලියන ලද කවි වේ.

“කරන කලට පව් මිහිරිය මීසේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ”

යන කවිය ධම්මපදයේ සඳහන් ‘මධුවා මඤ්ඤති බාලෝ - යාව පාපං නපච්චති...’ යන ගාථාව ආශ්‍රයෙන් ලියන ලද්දකි. එසේ හෙයින් ලෝවැඩ සඟරාවේ දැක්වෙන්නේ, ‘වීදාගම චින්තනය’ ක් නොව, බුද්ධ දේශනයට ම අයත් උතුම් කරුණු බව පැහැදිලිව පෙනේ.

ඒවා ගිහියන්ට ඉදිරිපත් කිරීම නුසුදුසු වන්නේ කුමක් හෙයින්ද? ඤාණසුමන හිමියන්ගේ අදහස් සාධාරණ සාධක මත සනාථ කළ නොහැකි යැයි අපගේ හැඟීමයි.

බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මනුෂ්‍යාත්මය ලද සත්ත්වයන්ගේ කාර්යයන් සියල්ල කැටි කොට ගෙන සෙවීම් දෙකක් හෙවත් පර්යේෂණ ද්වියක් දක්වා ඇත. එනම්

1. අරිය පර්යේෂණය (ආර්ය පර්යේෂණය)
2. අනරිය පර්යේෂණය (අනාර්ය පර්යේෂණය)

දෙවනුව සඳහන් අනරිය පර්යේෂණය යනු කාම සම්පත් ලැබීම හා ඒවා තහවුරු කර ගැනීම සඳහා සොයන (සපයා ගන්නා) සියලුම සෙවීම් අනරිය පර්යේෂණයට අයත්ය. සත්වයා ස්වභාවයෙන්ම එහි නතු වෙයි. හෙවත් එයට අනුගත වෙයි. කාමයෙන් වෙන්ව සියලු ගැටලුවලින් තොරවීම සඳහා නිවණ අරමුණු කොටගෙන කරනු ලබන සියලු සෙවීම් ආර්ය පර්යේෂණයට අයත් වේ. එය අපහසු කාර්යයකි. එය පටිසෝතගාමි ප්‍රතිපදාවක් හෙවත් උඩුගංබලා පිහිනීමක් ලෙස දක්වා ඇත්තේ එහෙයින්ම වේ.

මිනිස් සමාජයේ පුද්ගලයන් අතර ආධ්‍යාත්මික වශයෙන් විවිධ තත්ත්වයේ අය වෙති. සසර ගමන ඉතා දිගු වූවකි. මිනිසත් බව ලැබ උපදින්නෝ ඒ දීර්ඝ සංසාර ගමනේ දී කිසියම් ප්‍රමාණයකට පින් රැස් කළාහු වෙති. ඔවුන් අතර කුසල් වැඩූ ප්‍රමාණය ද අඩු, වැඩි වශයෙන් විවිධය. ඔවුන්ගේ ඒ පූර්ව කුසලතා මතුකරගෙන, වඩා වර්ධනය කිරීමෙන් නිවන් අවබෝධ කර ගැනීම හෝ තව දුරටත් කුසල්වඩා නිවනට ළංවීමට හෝ ලද මිනිසත් භවය උපයෝගී වීමට නම් හැකිතරම් කාමයෙන් ඈත්විය යුතු ය. කාමයෙන් වැළැකිය යුතු ය. කුසල් දහම් වැඩීම කාමයෙන් වෙන්වීමත් සමඟම කැරෙන්නකි. කාමයෙහි ආදීනව බුද්ධ ධර්මයෙන් දැක්වෙන්නේ මේ නිසා ය. ලෝවැඩ සඟරාවෙහි කතු හිමියන් ඒ කෘතියෙන් බලාපොරොත්තු වන්නේ ඒ උතුම් කාරණයයි. කාමයෙහි ආදීනව කොතරම් විස්තර කොට කීවත් සසර ගමනේ දී කුසල් වැඩූවන් මිස එසේ නොවූවන් කාමයෙන් ඈත් වන්නේ නැත. එනිසා පොදුවේ කාමත් කරුණු දැක්විය යුතුව ඇත. රූපයක් දැක හඳුනා ගත හැක්කේ ඇස් ඇත්තාට ය. ඇස් නැත්තාට කොපමණ රූප තිබුණත් දැකිය නොහැකි ය. හඳුනාගත නොහැකි ය. කාමයෙන් වෙන්වීම නමැති දැක්මද කුසල් නමැති පෙර වාසනා ගුණ ඇති පමණම අඩු වැඩි වෙයි. බුදුරජාණන් වහන්සේ සත්ත්වයන් දෙකොටසකට වෙන්කර දක්වන සේක. ඒ දෙකොටස මෙසේ ය.

1. අල්ප රජස්ක(කෙලෙස් අඩු)
2. මහා රජස්ක (කෙලෙස් වැඩි)

අල්ප රජස්ක වන්නේ ක්ලේශ ධර්මයන් අඩු පුද්ගලයන් වන අතර මහා රජස්ක වශයෙන් හැඳින්වෙන්නෝ ක්ලේශ ධර්මයන් වැඩි පුද්ගලයෝ ය. මේ අයගේ තත්ත්වයන් මනාසේ දැකිය හැකි විශේෂ ඤාණයක් බුදුහාමුදුරුවන්ට තිබේ. එහෙයින් සර්වඥයන් වහන්සේ ඒ ඒ පුද්ගලයාට සුදුසු අයුරින් දම් දෙසති. එයින් පුද්ගලනුබද්ධව ලැබිය හැකි උපරිම යහ ප්‍රතිඵල ඒ ඒ පුද්ගලයන්ට ලෝකෝත්තර වශයෙන් ලැබේ.

එහෙත් අන්‍යයන්ට බුදුරදුන්ට වෙන් චරිත විනිවිද හඳුනාගැනීමේ ඤාණය නොමැති හෙයින් පොදුවේ සමාජයට නැතහොත් පිරිසකට දහම් දෙසන්නට සිදුවෙයි එයින් ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන යහ ප්‍රතිඵලයන්හි මට්ටම් විවිධ වේ. කෙනෙකුට කිසිදු යහ ප්‍රතිඵලයක් නොලැබෙන්නට ද හැකි ය. ලෝවැඩ සඟරාවෙන් ද සිදු වන්නේ පොදුවේ සමාජයට කැරෙන දම් දෙසීමක් හෙවත් දහම් කරුණු ඉදිරිපත් කිරීමකි. ලෝවැඩ සඟරාව කියවන, හදාරණ හැම දෙනාටම එක හා සමාන ප්‍රතිඵල නොලැබෙනු ඇත.

එය ලෝක ස්වභාවයට අයත් කරුණකි. එහෙත් ඉහත කියැවුණු අල්ප රජස්ක පුද්ගලයන්ට යහ ප්‍රතිඵල ලැබෙනු ඇත. අල්ප රජස්ක වන්නෝ සසර ගමනේදී වැඩි වැඩියෙන් කුසල් දහම් වැඩූ අය වෙති. කුසල් දහම් එසේ වැඩූවන්ට යළි තවදුරටත් කුසල් දහම් වැඩීමට අවදි කිරීමක් ලෝවැඩ සඟරාවෙන් කැරෙයි. මිනිසත් බව ලබන හැම දෙනාම කිසියම් ප්‍රමාණයකට සසර කුසල් වැඩූවන් හෙයින් ලෝවැඩ සඟරා පාඨකයන් හැම දෙනාටම අල්පමාත්‍ර වශයෙන්හෝ යහපතක්ම මිස අල්පමාත්‍ර වශයෙන් හෝ අයහපතක් සිදු නොවේ. මිථ්‍යා දෘෂ්ටියෙහි පිහිටා හෝ මිථ්‍යා සංකල්පවල පිහිටා ලෝවැඩ සඟරාවට ගරහන්නන්ට නම් අයහපතක් සිදුවනු ඇත. එතැනදී ගිහි පැවිදි භේදයක් නැත. මිථ්‍යා දෘෂ්ඨියට ගිහි පැවිදි භේදයක් නැත.

නිවන් මඟ අජාසත්ත නමැති බලවත් රජුට අහිමි වූයේ නිසි දහමක් නිසි අවස්ථාවේ නොලැබුණු නිසා ය. සෝපාක වැනි කුලහීන දුගී දරුවකුට නිවන අවබෝධ වූයේ නිසා අවස්ථාවෙහි නිසි දහමක් ලැබුණු හෙයිනි. අජාසත්හුගේ සංසාරික කුසලය ද යටපත්වී ගියේ ය. සෝපාකගේ සංසාරික කුසලය මතු වී ලද ආත්මභවයේ අකුසල භාවය දූරීභූත විය. ලෝවැඩ සඟරාවද සංසාරික කුසල් මතුකරගැනීමට පිටුබල ලැබෙන දහම් තවත් බව අපගේ හැඟීමයි. ඤාණසුමන හිමියන්ගේ අදහස් හා එබඳු තවත් අයගේ ලෝවැඩ සඟරාව පිළිබඳ අදහස් බුද්ධානුශාසනයෙහි හරය හා කිසිසේත් නොගැළපෙන ප්‍රලාප වශයෙන් ගත හැකි මිථ්‍යා සංකල්ප ලෙස අපට පෙනේ. මිථ්‍යා දෘෂ්ටිය බලවත් අකුසලයකි. ලෝවැඩ සඟරාවෙහි ද ඒ පිළිබඳව සඳහන් වන්නේ මෙසේ ය.

“බලකොටු වත් කර මෙසසර නුවරේ
මුලැසටු වන් දලු ලන පව් පඳුරේ
විසකටු වන් සග මොක් මග අකුරේ
මිසදිටු වන් අයටත් පින් නොපිරේ “

ලෝවැඩ සඟරාව පිළිබඳව දුර්මත පළකරන්නවුන් පිළිබඳ සිතන විට බුදුමුවින් පිට වූ පහත සඳහන් ගාථා රත්නය අපව සිහි වෙයි.

“අසාරෙ සාරමත්නෝ - සාරේචාසාර දස්සිනෝ
තේ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡා සංකප්ප ගෝචරං”

අසාර දෙස සාරය ලෙසත් සාර දෙය අසාර ලෙසත් දකින්නා සාරය අවබෝධ නොකරන බවත් ඔහු මිථ්‍යා සංකල්පයෙන්ම හැළෙන බවත් මේ ගාථාවෙන් අදහස් වේ. මෙහි කියැවෙන අසාර වූ දෙය නම් කාමයමයි. සාර වූ දෙය නම් කාමයෙන් වෙන් වී ලබන නිවනමයි. එහෙයින් ධම්මපදයේ නිවන නිසි මඟ දැක්වෙන්නේ ඉහත සඳහන් ගාථාවෙහි අර්ථයට විරුද්ධාර්ථය දක්වන පහත සඳහන් ගාථාවෙනි.

‘සාරංචා සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ
තෙ සාරං අධිගච්ඡන්ති - සම්මා සංකප්ප ගෝචරා’

මේ අනුව බලන විට ලෝවැඩ සඟරාව ලියැවී ඇත්තෙ සම්මා සංකල්පයට අනුගතවම බව පෙනේ. ලද මිනිසත් බව කම්සැප විඳීමටම ලද භාග්‍යවන්ත අවස්ථාවක් කොට සලකන්නවුන්ට එම කාව්‍යය කම්සැප විඳින ගිහියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ලියන ලද්දක් සේ පෙනීම පිළිබඳව වීදාගම හිමියන්ගේ වරදක් නොවේ. වරද ඇත්තේ ‘විද්‍යාව චින්තනයේ’ නොව එය විකෘත සේ දකින්නාගේ මෝඝ චින්තනයේ ය.

කවුරු කෙසේ ලෝවැඩ සඟරාව දුටුවත්, ඒ පිළිබඳව දුර්මත පළ කළත් මේ ග්‍රන්ථ රත්නය එදා සිට මෙදා දක්වාම ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුන්ගේ නොමඳ සම්භාවනාවට පත් කෘතියකි. චිරාත් කාලයක් අපේ දහම් පාසල්හි එය භාවිතයට පත් වූයේ ද ඒ මහිමයෙනි. ඒ නිසා අපේ දරුවන්ට කුඩා කළ සිටම ඉගැන්විය යුතු ලෝවැඩ සඟරාව ධර්ම රසයෙන්ම යුතු වූ ග්‍රන්ථයක්ම බව පෙනේ. එය බුද්ධානුශාසනයට අනුගත වූ කෘතියක් මිස ‘අනම්මනම් චින්තන’ වලින් යුක්ත වූවත් නොවන බව අපගේ අදහසයි.

ත්‍රිපිටකයේ ඇතුළත් දහම් කරුණු පාලි භාෂාව නොදත්තවුන්ට දැන ගැනීම සඳහා සිංහල භාෂාවෙන් (හෙළ බසින්) දැක්විමේ උතුම් අදහස පෙරදැරි කරගෙන වීදාගම මෛත්‍රිය හිමියෝ ලෝවැඩ සඟරාව ලියූහ. පොතෙහි විශේෂ තේමාව වන්නේ කම්පල (කර්ම විපාක) දැක්වීමය. ඒ බව එහිමියෝ පොතෝ මුලින්ම දක්වා ඇත්තේ මෙසේ ය.

වෙසෙසින් පෙළදම් නොමදත් දන හට
පවසම් කළකම් පල දැන් හෙළු කොට”

පෙළදම යනු ත්‍රිපිටකාගත ධර්මයයි. එය මුලින්ම ලියැවුණු භාෂාවද පාලි (පෙළ) නමින්ම හැඳින්වෙයි.

‘හෙළු කොට’ ලිවීම යනු ‘සිංහල භාෂාවට හරවා ලිවීමයි’ අපේ කව්බස එදා හුදු හෙළ බසම විය. ශුද්ධ සිංහලය යනුවෙන් දැක්වෙන්නේ එයයි. ගද්‍ය රචනයට මිශ්‍ර සිංහල භාෂාව භාවිත වූ අතර පද්‍ය රචනයට අමිශ්‍ර සිංහල (හුදු හෙළ) භාෂාවම භාවිත වූ බව සැලැකිය යුතු ය. මිශ්‍ර සිංහල භාෂාවෙන් ලීවත් අමිශ්‍ර සිංහල භාෂාවෙන් ලීවත් ‍ෙම් කරුණු බුද්ධ දේශනයට අනුගත ය. ලෝවැඩ සඟරාව ලියූ වීදාගම හිමියන්ගේ ඒ උසස් කාර්යයට අදත් අපගේ ගෞරව පූර්ව ප්‍රණාමය හිමිවිය යුත්තේම වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.