Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෙලෙස් ගිනි නැති සිතකට දැනෙන නිදහස් සුවය

පිරිපුන් නිවුණු සිතකට බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන කුමන අරමුණක් ගැටුණද සිතේ පවතින නිවුණු ස්වභාවය නිසා, එම අරමුණු නිශ්චලව පිළිගැනීමට, දරා ගැනීමට හැකියාවක් ලැබේ. එවැනි සිතක් ඊට ප්‍රතික්‍රියා නොදක්වයි. ඇලීම් හෝ ගැටීම් යන ප්‍රතික්‍රියා එවැනි සිතකින් ඇති නොවෙයි.

බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ඨාව නිවන යි. නිවන යනු, සැපක් නොව සදාකාලික සුවපත් භාවයට පත්වීමකි. අනත්ත වූ සංසාරයේ ගමන් කරමින් දෙව්, මිනිස්, බ්‍රහ්ම, තිරිසන්, ප්‍රේත, අපාය ආදී නා නා විධ සත්ව යෝනි වල ඉපදෙමින්, එතෙක් විඳි සියලු සැප, දුක්, උපේක්‍ෂා ආදී වේදනාවන්ගෙන් මිදීම හා නැවත මොන යම් හෝ සත්වයකු වශයෙන් උපතක් ඇති නොවීම නිවනයි.

“නිවුණු සිතකට දැනෙන සුවය” කෙබඳු ආකාරද? යන්න, දැන ගැනීමට නොහැකි නම් එම ස්වභාවය ගැන කරුණු අනුව උපකල්පනය කර හෝ එහි ඇති වටිනාකම උතුම්බව තේරුම් ගත යුතු ය. රාග, ද්වේෂ, මෝහාදී ක්ලේශ ධර්ම හා ගැටෙමින් පවත්නා වූ සිත, එම ගැටීම හේතුකොටගෙන නිරන්තරයෙන්ම රත් වෙමින් පවතියි. භෞතික වශයෙන් වූවද කිසියම් දෙයක් තවත් යමක් හා නිරන්තරයෙන් ගැටෙන විට රත්වීමක් ඇතිවෙයි. ලී කැබලි දෙකක් නිරතුරුව එකක් අනෙක හා ගැටෙන්නට සැලැස්සූ විට, රත් වී ගිනි ගනියි.

රත් වී, පවතින වතුර හැලියකට ඇල්වතුර වීදුරුවක් දෙකක් දැමූවිට රත් වී පවතින වතුර හා මුසු වන එම ඇල් වතුර ටික ද වහා රත් වී යන්නේ ය. එසේම නිවුණු වතුර හැලියකට රත් වූ වතුර වීදුරුවක් දෙකක් දැමූ විට එම රත් වූ වතුර ටික ද වහා නිවී යන්නේ ය. මෙකී නියතියට අනුව නිවුණු ගතිය වැඩියෙන් පවතින සිතක් බාහිර වශයෙන් ගැටෙන්නා වූ රත් වූ අරමුණු හා මුසු වූ වහාම ඒවා ද නිවී යයි. සීතල වතුර කලයකට උණුවතුර ටිකක් වැටුණු පසු එම උණුවතුර නිවී යන්නාක් මෙන් නිවුණු සිතක් ඇත්තාගේ සිතට අරමුණු වන රත්වන ගැටෙන සෑම අරමුණක්ම නිවාගැනීමේ ශක්තියක් ඇතිවේ.

රාග, ද්වේෂ, මෝහ සහගත සිතිවිලි පහළ වීම හේතුකොට ගෙන සිත් රත්වන්නේ ය. රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් සිත රත් වූ පසු එය රත් වූ තෙල් හැලියක් හා සමාන වන්නේ ය. බුදුපියාණන් වහන්සේ කාමයෝ ගිනිහුලකට, ගිනි අඟුරු වලකට සමානකොට ඇත. රත් වූ තෙල් බඳුනකට ඇල්දිය බිඳක් වැටුණු විගස එය චිරිස් ගා ඉවතට විසි වී ගොස් අසළ සිටින අය පවා දවාලයි. එහෙත් එයට රත් වූ වියළි දෙයක් ගැටුණු විට කිසිම ශබ්දයකින් තොරව එය පිළිගනී.

පිරිපුන් නිවුණු සිතකට බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන කුමන අරමුණක් ගැටුණද සිතේ පවතින නිවුණු ස්වභාවය නිසා, එම අරමුණු නිශ්චලව පිළිගැනීමට, දරා ගැනීමට හැකියාවක් ලැබේ. එවැනි සිතක් ඊට ප්‍රතික්‍රියා නොදක්වයි. ඇලීම් හෝ ගැටීම් යන ප්‍රතික්‍රියා එවැනි සිතකින් ඇති නොවෙයි.

මෙවන් නිවුණු සිතකට දැනෙන සුවය, වචන වලින් ප්‍රකාශ කළ නොහැකි ය. එය තම තමන් විසින්ම අත්දැක විඳිය යුතු ළඟා කරගත යුතු සුවයකි. එය සැපක් නොවේ. නිවනේ පවතින්නේ සැපක් නොව, සුවයකි. සැපය යනු යම් යම් දේ සමඟ ඇති වන සාපේක්‍ෂ සබඳතා මත පහළවන වින්දනයකි. එහෙත්, එය ක්‍ෂ්ය වී ගිය පසු ශේෂ වන්නේ දුක යි. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය වශයෙන් දේශනා කොට වදාළේ, මෙකී සනාතන සත්‍යයයි.

නමුත් තෘෂ්ණාවෙන් හරිත වූ මනසක් ඇත්තා දුක නැති කරගත හැකි වන්නේ, සැපත ලබා ගැනීමෙන් යැයි සිතයි. එසේ සිතා, උපන් දා සිට මරණය දක්වාම සැපය යන මිරිඟුව පසුපස දිව යයි. එහෙත් ඔහුට මරණයෙන් පසුව වත් සැපතක් නම් නොලැබෙයි. නැවතත් එම පංච උපාදානස්කන්ධම කුමන හෝ ප්‍රතිසන්ධි තලයක දුක කෙළවර නොගෙන සත්වයකු වශයෙන් පහළ වීමක්, උපතක් කරා යෑමක් සිදු වෙයි.

බුදුපියාණන් වහන්සේ පස්වග මහණුන් පෙරටුකොට ගත් සකල ලෝ වැසියන්ට මංගල ධර්ම දේශනාව පැවත්වීමට ප්‍රථමයෙන් දුක් අවවාදය වූයේ, සැප දුක යන අන්තගාමීත්වයෙන් නස නිදහස් කරගෙන මැදුම් පිළිවෙතට අනුව සිත තබාගත යුතු බව ය. කාමසුඛල්ලිකානු යෝගය, අත්තකිලමථානු යෝගය යන ප්‍රතිපත්ති පවතින්නේ, පුද්ගලයාගේ චින්තන පිළිවෙළ ද අනුව එදා වේල කන්න නැති, අඳින්නට වස්ත්‍රයක් නැති, ඉන්නට, වාසස්ථානයක් නැති, දුගී මගී යාචකයකු පවා සිතන්නේ හා සිහින මවන්නේ සක්විති රජකු මෙන් කා බී ඇඳ පැළඳ හොඳ මාළිගාවක සිටින්නට ඇතිනම් මොන තරම් සැපක් ද? යනුවෙන් නම් නිසැකවම කාමසුඛල්ලිකානු යෝගී අන්තගාමියෙකි.

දුප්පතකු වුණත් පෝසතකු වුණත් කුමන තරාතිරමක අයකු වුණත් ඔහුගේ අන්තගාමී බව රඳාපවතින්නේ භෞතික සාධක වලට වඩා, සිතන පතන ආකාරය අනුව ය. බුදු දහමට අනුව සිත නිවා සුවපත් කර ගැනීමට උනන්දු වන සෑම දෙනෙක්ම ප්‍රථමයෙන් දුක ගැන අවබෝධ කරගෙන තම තමන්ගේ චිත්තසන්තාන තුළින් දුක පලවා හැරීමට ඇති එකම මාර්ගය වන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මැඳුම් පිළිවෙතට අනුව ජීවිතය ගත කර, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමටක් ඒ තුළින් සිත නිවා ගැනීමටත් වීර්ය කළ යුතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.