Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වස් විසීම – කඨින පූජාව සහ කඨිනානිශංස

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

තවද තමන් කඨින පූජාව නිසා ලැබූ ආනිශංස විස්තර කරන නාගිත මහරහතන් වහන්සේ,

අටඨාරසන්නං කප්පානං
දෙවලොකෙ රමාමහං
චතුතිංසක්ඛත්තුං දේවින්දෝ
දේව රජ්ජ මකාරයිං

කල්ප දහ අටක් දිව්‍ය ලෝකයෙහි දිව සැප විඳින්නටත් එයින්, තිස් හතර වාරයක් තව්තිසා අධිපති ශක්‍රද්‍රේවේන්ද්‍රව උපදින්නටත් අවස්ථාවක් ලැබුණු බවත් දක්වා ඇත.

අසිතච චතුක්‍ඛත්තුං
චක්කවත්ති මහාසයං
පදේස රජ්ජං විපුලං
ගණනාතෝ අසංඛයා

අසූ හතර වාරයක් සක්විති රජව ඉපදී අප්‍රමාණ සම්පත් භුක්ති විඳි බවත් මිනිස් ලොව ප්‍රදේශ රාජ්‍යයන්හි අධිපති බව ලැබූ වාර ගණන නියමයක් නැති බවත් දක්වමින් කඨින පූජාවෙන් ලැබෙන ආනිශංස පැහැදිලි කර ඇත.

සබ්බ දානං දදන්තේන
අස්මි පුථුවි මණඩලේ
සංඝස්ස දින්නං කඨිනං
අග්ගං බුද්ධෙන වණ්ණිතං
මානුසිකාව සම්පත්ති
දේවලෝකෙච යාරතී
යාව නිබ්බාණ සම්පත්ති
සබ්බ මෙතෙන ලබ්භති

මේ පොලෝ තලයෙහි සියලු දන්දීම් අතර සංඝයාට දෙන ලද කඨිනයම උතුම් යැයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කර තිබෙන බවත් මනුෂ්‍ය, දිව්‍ය, නිර්වාණ යන ත්‍රිවර්ග සම්පත්තියම මෙම කඨින දානයේ ආනිශංස වශයෙන් ලැබෙන බවත්, ඉතා විචිත්‍ර ලෙස නාහිත මහ රහතන් වහන්සේ සිය කඨිනානිශංස වර්ණනාවෙන් එදා මැනවින් පැහැදිලි කර දුන්හ.

විනය කර්මයකට සම්බන්ධ වන කඨිනය විශාල ජන පිරිසක් සහභාගී කරගෙන කරන පූජාවක් බැවින් එයින් ලැබෙන ආනිශංස ඉතා විශාල බව මෙම කරුණුවලින් මැනවින් පැහැදිලි වෙයි.

භෞතික වශයෙන් කඨින පූජාවෙන් විවිධ ආනිශංස ලැබුණත් ඒ සම්පත් බලාපොරොත්තුවෙන්ම කඨින පූජා සිදු කරනවාට වඩා නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙම පින්කම් සිදුකිරීම සසර ගමන කෙටිකර ගැනීමට හේතුවන බව කල්පනාකොට කඨින පූජාවෙහි උනන්දු වෙත්වා....!

කඨින පූජාව කළ යුත්තේ කෙසේ ද?

කඨින පූජාවක් කිරීමට බලාපොරොත්තුවන දායක පින්වතුන් ඇසළ මස අවපෑළවිය දිනයේ දී උපසම්පන්න භික්‍ෂූන් වහන්සේට ගෞරවයෙන් යුතුව “ස්වාමිනී, අප කෙරෙහි අනුකම්පාවෙන් මේ තුන් මාසයෙහි මේ ස්ථානයෙහි වස් සමාදන්ව වැඩ සිටිනු මැනවි. ඔබ වහන්සේට අධ්‍යාත්ම විමුක්තිය ඇති කර ගැනීමට අවශ්‍ය සිව්පස දානයෙන් අපි උපස්ථාන කරමු. අපට ද ශීල සමාදානාදී උතුම් ප්‍රතිපත්ති රැක ගැනීමටත්, ධර්ම දේශනාදිය ශ්‍රවණය කිරීමටත් විශේෂයෙන් ඔබ වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවායි ප්‍රකාශ කරමින් දැහැත් ගොටු වැසි සළු පිළිගන්වමින් ආරාධනය කළ යුතුයි. එම ආරාධනය පරිදිම වස් කාලය පුණ්‍ය කාලයක් ලෙස සලකා වෙනදාට වඩා උනන්දුවෙන් භික්‍ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කළ යුතු අතර, තමන් ද ඉතා හොඳින් ගුණධර්ම ආරක්‍ෂා කළ යුතු යි.

වස් පවාරණය කළ පසු ප්‍රමාණවත් පරිදි සංඝයාට ආරාධනා කොට ප්‍රමාණවත් පරිදි සිවුරකට වස්ත්‍ර හෝ එසේ නොමැති නම් තුන් සිවුරෙන් එක් සිවුරක් හෝ කඨිනයට පූජා කළ හැකි ය. අපේ පැරැණි චාරිත්‍ර අනුව සිවුර හෝ වස්ත්‍රය ගමේ සියලු දෙනාටම සම්බන්ධ විය හැකි සේ ගෞරව සහිතව වැඩමවා, වස්ත්‍රයක් නම් “ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම” කියාද, සිවුරක් නම් “ඉමං කඨින චිවරං භික්‍ඛු සංඝස්ස දේම” කියා ද තෙරවක් කියා පූජා කළ යුතුයි.

වස්ත්‍රයක් නම් එදිනම මසා පඬුපොවා ගැනීම සඳහා අවශ්‍ය ඉදිකටු නූල් පඬු ආදී උපකරණ ද සපයා දිය යුතු යි. තවද කඨින සිවුර පූජා කරන අවස්ථාවේ දී සංඝයාගේ ප්‍රයෝජනයට ගත හැකි ගරු ලඝු භාණ්ඩ ද පූජා කළ හැකි ය. කඨිනය සමඟ පූජා කරන එම භාණ්ඩ සඳහා කඨිනානිශංස පරික්ඛාර යැයි සඳහන් කරනු ලැබේ. එයින් අදහස් කරන්නේ කඨිනය සමග එම ස්ථානයේ ඒ දවසෙහි පූජා කරන සියලු දේ වෙනුවෙන් කඨිනානිශාංස ලැබෙන බවයි.

දායක පින්වතුන් ඉතා උනන්දුවෙන් කඨින පූජාවක් සිදු කරනවා සේම භික්‍ෂූන් වහන්සේද වෙනත් පූජා ලබනවාට වඩා කඨිනයක් ලැබීමේ දී ඉතා උනන්දුවෙන් ඒ සඳහා සූදානම් වෙති. මේ පූජාව විනය නීති සමුදායකට සම්බන්ධ වීමත්, කරුණු රාශියක් විශේෂයෙන් සම්පූර්ණ වීමෙන් ම ලැබීමත් මෙයට එක් හේතුවකි. සැදැහවතුන් කඨින වස්ත්‍රයක් හෝ සිවුරක් පූජා කළ පසු වස් විසූ සීමාවෙහි සිටින භික්‍ෂූන් අතරින් සිවුරක් ලැබීමට ඉතා සුදුසු භික්‍ෂුව තෝරා එම භික්‍ෂුවට සංඝයා විසින් සිවුර නැවත පවරනු ලැබේ. පළමුව දායකයන් විසින් සංඝයාට පූජා කළ සිවුර සංඝයා විසින් සීමාවකදී විනය කර්ම වාක්‍යයකින් භික්‍ෂු නමකට පැවරීම ද, කඨින පූජාවෙහි විශේෂ අවස්ථාවකි. මේ පූජාව සිදු කිරීමට අඩුම වශයෙන් සීමාවට භික්‍ෂූන් පස් නමක් වත් රැස්ව සිටිය යුතු යි. එහිදී කඨිනය පවරන භික්‍ෂුවගේ නම කර්ම වාක්‍යයට ඇතුළත් කොට ව්‍යක්ත ප්‍රති බලසම්පන්න භික්‍ෂු දෙනමක් කර්ම වාක්‍ය ප්‍රකාශ කොට සිවුර නියමිත භික්‍ෂුවට භාරදෙනු ලැබේ.

වස් කාලයේ ගිහි – පැවිදි සබඳතා දියුණු කර ගත යුතුය

වස් කාලය පුණ්‍ය කාලයක් වශයෙන් සලකා ගිහි, පැවිදි කවුරුත් කටයුතු කරන්නේ නම් වස් විසීමේ සිරිත හා කඨින පූජාවේ කටයුතු වඩාත් අර්ථවත් කරගත හැකි ය.ගිහි කම්කටොලු මධ්‍යයේ ජීවත්වන දායක පින්වතුන්ට වස් කාලය විහාරස්ථානයට වඩාත් සමීපව පින්කම් කටයුතු සිදුකරගන්නා කාලයක් බවට පත්කරගත යුතු යි.

පෙර අප රටේ පැවති කෘෂි කාර්මික යුගයේ සිහි පින්වතුනට යම් විවේක කාලයක් තිබුණු බව ප්‍රකට ය. එහෙත් අද පවතින වාතාවරණය අනුව එවැනි විවේක කාල සීමා සපයා ගැනීම ඉතා දුෂ්කර වී ඇත. එම නිසා වස් කාලයේ ඉඩ ලැබෙන ලැබෙන අයුරෙන් හෝ විහාරස්ථාන කරා ගොස් ස්වාමීන් වහන්සේ හමුවීම, ධර්ම සාකච්ඡා කිරීම ආදියෙන් තමන්ගේ ගුණ නුවණ වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතුයි. කඨින සිවුර පූජා කිරීම යනු හුදෙක් සිවුරක් පූජා කිරීමක් පමණක් නොව තුන් මසක් පුරා කරගන්නා පින්කම්, මාලාවක් බව සැලකිය යුතු ය. ස්වාමීන් වහන්සේ ද, දායක දායිකාවන් වෙනදාටත් වඩා ගුණ ධර්ම පැත්තට යොමු කරමින් යා යුතු නොයා යුතු මඟ කියා දෙමින් දායක පක්‍යට අනුග්‍රහ දැක්විය යුතු අතර තමන් වහන්සේ ද වඩාත් උනන්දුවෙන් තම භික්‍ෂු ජීවිතය සාර්ථක කර ගැනීමට වීර්යය වැඩිය යුතු වේ. එවිට තමන් වහන්සේට ද වස් කාලය අර්ථවත් කාලයක් බවට පත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.