ලොව උතුම් සරණ
මහනුවර අස්ගිරිය විජයසුන්දරාරාමයේ
අමුණුපුර පියරතන හිමි
බුදුන් දහම් සඟුන් යන තෙරුවන්
මගේ එකම පිහිටාධාරය වේ.
එබැවින් ජීවිතාවසානය දක්වා
සරණයාම නිසා ජීවිතා’ශාව
සරලවන අතර මානසික
සහනය ලැබීමෙන්
ශාරීරික සුවතාවය ප්‍රීතිය භෞතික
සම්පත් වර්ධනයද වන්නේය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යේ කේචි බුද්ධං සරණං ගතාසේ
නතේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්ති
කාරුණික පින්වත්නි
සකල සතවෙත පතළ මහා කරුණාවෙන් සිත් සතන් සපිරුණු සුගත තථාගත සම්මා
සම්බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු පුර මහාවනයෙහි
පන්සියයක් මහරහතන් වහන්සේ සමග වැඩ සිටින විට එක්තරා දේවතාවෙක් බලවත්
චිත්තප්‍රසාදයෙන් ඉහත ගාථාව ප්‍රකාශ කළහ.
යම් කෙනෙක් බුදුන් සරණ යෙත්ද ඒ අය අපායට නොයන්නාහුහ. මරණින් මතු චුතවී
දේව කය පුරවන්නෝය.
බුද්ධාදී රත්නත්‍රයේ ගුණ අනන්ත වන්නාසේම තෙරුවන් ගුණ දැන සිතීම පවා
මහානිශංස දායක වන්නේය. එහෙත් තෙරුවන් සරණයාමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා
ගැනීමට තෙරුවන් පිළිබඳ බුද්ධිමය විශ්වාසයත්, ශ්‍රද්ධාවත් අත්‍යාවශ්‍ය
වන අතර තෙරුවන් සරණ යන පිළිවෙලත් එමෙන්ම එයින් ලබන ආනිශංස පිළිබඳවත්
ධර්මානුකූ®ලව සිතීම අවශ්‍ය වන්නේය.
සරණාගතයන්ට භය, සන්ත්‍රාස, දුක්ඛ, දුර්ගති, පරික්ලේශ, හිංසන, භිංසන
නැතිකොට ආරක්‍ෂාවෙන් පිහිටවන අර්ථයෙන් “සරණ” නම් වේ. එම සරණ ප්‍රසාදක
සිත ඉපදීම සරණාගමන නම්වේ. ලෞකික ලෝකෝත්තර වශයෙන් සරණාගමනයේ ප්‍රයෝජන
වශයෙන් චිත්තක්‍ෂණ අනුව දෙයාකාරවේ.
තෙරුවන් සරණයාමේදී ආධ්‍යාත්මික චින්තනය වශයෙන් ශ්‍රද්ධාවත්,
සම්මාදිට්ඨියත් ඇතිවේනම් එයින් උපරිම ප්‍රයෝජන වශයෙන් සරණාගමන
උපක්කිලේශ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණ කොට නිර්වාණාලම්බනව රත්නත්‍රයෙහි
අවෙච්චප්‍රසාදනය හෙවත් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්‍ෂදැනීමට පැමිණේ.
සසරින් මිඳීමට නම් තණ්හාදී ක්ලේශයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කළයුතු
අතර ඒ සඳහා මුල් පියවර වන්නේ තෙරුවන් සරණයාමයි. එම සරණාගමනය සිව්
වැදෑරුම් වේ.
01. ආත්මසන්නිර්යාතන සරණාගමනය
02. තත් පරායන සරණාගමනය
03. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය
04. ප්‍රණිපාත සරණාගමනය
අද පටන් මම බුදුන් දහම්, සඟුන් යන තෙරුවන්ට නිර්යාතන කරමි. වශයෙන්
තෙරුවන් සරණයාම ආත්ම සන්නිර්යාතන සරණාගමනය නම්වේ.
භගවතෝ අත්තානං පරිච්චජාමි, ධම්මස්ස සංඝස්ස අත්තානං පරිච්චජාමි, ජීවිත
පරියන්තං බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධෝ මේ සරණං ලේණං තාණන්ති
මෙසේ බුදුන් දහම් සඟුන් යන තෙරුවන් මගේ එකම පිහිටාධාරය වේ. එබැවින්
ජීවිතාවසානය දක්වා සරණයාම නිසා ජීවිතා’ශාව සරලවන අතර මානසික සහනය
ලැබීමෙන් ශාරීරික සුවතාවය ප්‍රීතිය භෞතික සම්පත් වර්ධනයද වන්නේය.
සෝ අහංවිචරිස්සාමි
ගාමා ගාමං පුරාපුරං
නමස්සමානෝ සම්බුද්ධං
ධම්මස්සච සුධම්මතාං ආදී නයින් ආලවක යක්‍ෂාදීන්ගේ සරණයාම මෙන්
දිවිහිමිකොට තෙරුවන් සරණ යාම තත් පරායණ සරණාගමන නම් වන්නේය.
අද පටන් තෙරුවන් කෙරෙහි ශිෂ්‍යයෙක් ලෙසවන්නෙමියි ශ්‍රද්ධාවෙන් සරණයාම
ශිෂ්‍යභාවෝගමන සරණා ගමන යයි.
එමෙන්ම මම බුද්ධාදී තෙරුවන්ට වැඳීම, පිදීම සතුටු සාමීචි කතා කරමියි
සරණයාම ප්‍රණිපාත සරණාගමනයයි.
ඒවං අචින්තියා බුද්ධා
බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියේසු පස්නනානං
විපාකෝ හෝති අචින්තියෝ
යනාදී වශයෙන් දක්වා ඇති පරිදි බුද්ධාදී තෙරුවන්ගේ ගුණය අනන්ත වන්නාසේම
ශ්‍රද්ධාවෙන් සම්මාදිට්ඨියෙන් සරණයාමද මහානිශංස වන්නේය. සිතීමෙන්,
බිණීමෙන් වැඳීමෙන් පිදීමෙන් ලබන ප්‍රතිඵල කියා නිමකළ නොහැක්කේමය.
අනවරාග්‍රවූ සංසාරයෙහි ජාති, ජරා, ව්‍යාධි මරණාදී අනේකවිධ දුක්කම්
කටුලු විඳින සත්වයාට එකම පිහිටවන්නේ බුද්ධාදී තෙරුවන් සරණයාමයි.
මිනිසත් බව ලැබූ සත්වයාට මතුමත්තෙහි ද මිනිසත්බව ලැබීමට නම් තෙරුවන්
සරණ යායුතුම වන්නේය. පිළිවෙලින් පන්සිල් අටසිල් ආදී සීල සමාධි, ප්‍රඥා
ඇතිකරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා පිළිවෙල චුල්ලහත්ථි පදෝපම වැනි
සූත්‍රවල විස්තර වේ. බුදුරදුන් දිවමන් කල තෙරුවන් සරණ ගියේ සසර දුකින්
මිදීමේ ඒකායන අපේක්‍ෂාවෙන් වුවද ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ආරක්‍ෂාවට,
භවභෝග සම්පත් දියුණු කරගැණීම, සමාජගත අපකීර්තිය නැතිකර ගැනීමට,
අනුකරණයෙන් තෙරුවන් සරණයාම සිදුවිය. අප ගෞතම බෝධිසත්වයන් වහන්සේ
බුද්ධභූමීවූ දඹදිව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවනේ ලොව්තුරා
බුද්ධත්වයට පත්වීමෙන් බුද්ධරත්නයද, බරණැස ඉසිපතනාරාමයේදී ධර්මරත්නය හා
සංඝරත්නයද ලොව පහලවීමෙන් එදවස පටන් මෙදැතුර තෙරුවන් සරණයාමෙන් අසංඛ්‍ය
ගණන් දෙව් මිනිස් සත්වයෝ ශාන්තිය උදාකර ගත්හ.
තෙරුවන් සරණයාම නම් චතුරාර්ය සත්‍යාවබෝධ මාර්ගයේ මූලික පියවර බැවින්
සරණාගමන මොහොතේදී අවංක ශ්‍රද්ධාව සම්මාදිට්ඨිය, සතිය, අධිෂ්ඨානය තිබිය
යුත්තේමය.
ඒතං ඛෝ සරණංඛේමං
ඒතං සරණ මුත්තමං
ඒතං සරණමාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති
බුද්ධාදී තෙරුවන් සරණ යාම ශෝක පරිදේවාදී මහත් කරදර නැති කරණ බැවින්
ක්‍ෂේම නම් වන අතර ඒ සරණ යාමෙන් පමණක් සියලු භව දුක් නැති කිරීමට වාසනා
භාග්‍යය හිමිවේ.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ එම අවබෝධය ලබා ගැනීමට පෙර
ආත්මයකදී ගත් සරණාගමනය මූලාධාරවූවාසේම සෑම කෙනෙකුටම සත්වයා පිළිබඳ
යථාර්ථ අවබෝධය මතුවට හෝ ලබන්නේ නම් අවම වශයෙන් තෙරුවන් පිළිබඳව ප්‍රසාද
චිත්තයෙන් සිතීම් මාත්‍රය හෝ අවශ්‍ය වන්නේ මය.
ලෞකික ලෝකෝත්තර සම්පත්ති දායකවූ සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා යන
මානසික බලයන් ලබා ගැණීමට සිතට අරමුණු වශයෙන් බුද්ධා දී රත්නත්‍රය
අවශ්‍ය ම වේ.
බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී නවගුණද ස්වාක්ඛාතාදී දහම් ගුණද,
සුපටිපන්නතාදී මහා සංඝරත්නයේ ගුණද අචල ශ්‍රද්ධාවෙන් පිළිගැනීමට ඇදහීමට
කෙදිනක හෝ ප්‍රත්‍යක්‍ෂඤානයෙන් දැනගැණීමට තෙරුවන් සරණ යායුතුවේ. එමෙන්ම
තෙරුවන් ගුණ නිතරම මෙනෙහි කිරීම බුද්ධානුස්සති ධම්මානුස්සති හා
සංඝානුස්සති යන ත්‍රිවිධ අනුස්සති භාවනාව රාගාදී කෙලෙස් දහම් සමනයටද
එයම අනිත්‍යාදී ත්‍රිවිධ ලක්‍ෂණ අරමුණු කිරීම් වශයෙන් විදර්ශනා භාවනාවට
යොමු කිරීමට හැකිවන්නේය.
මිහිමත උත්තම තම රත්න වශයෙන් සලකන බුද්ධාදී රත්නත්‍රය ආශ්‍රය කිරීමෙන්
ලැබෙන අනුත්තරීය ධර්ම හයක් (6) දක්වා ඇත.
දස්සනානුත්තරීය
ශ්‍රවණානුත්තරීය
පාරිචරියානුත්තරීය
අනුස්සතානුත්තරීය
ලාභානුත්තරීය
සික්ඛානුත්තරීය
ආදී වශයෙන් දක්වන ලද පරිදි උතුම් මිනිසාට ලෝකයේ උසස්ම දර්ශනය වන
තෙරුවන් දැකීම සිහිකිරීම, උපස්ථාන කිරීම, ඇසීම, ශ්‍රද්ධාදී ආධ්‍යාත්මික
සම්පත් ලැබීම සීල සමාධි, ප්‍රඥා ශික්‍ෂණය යන උසස්තම අනුත්තරී ධර්ම
ලැබීමට සසර සැප ලැබීමට තෙරුවණ් සිහිපත් කිරීම, සරණයාම, අවශ්‍යම වේ.
ඔබසැමට උතුම් තෙරුවන් සරණින් ඤාණාලෝකය පහළ වේවා
දෙලොව ශාන්තිය උදාවේවා
|