මහමෙව්නාව භාවනා අසපු
සංචිතයට වසර දහයක් සපිරෙයි
මහමෙව්නාව භාවනා අසපුවෙන්
සමාජ ශාසනික සේවා රැසක් - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පවසති
සීසර් සුදුසිංහ
මහමෙව්නාව භාවනා අසපුවෙන් විහාරස්ථාන ඉදි කර ගැනීමට ස්වාමීන් වහන්සේ
කීප නමකට ඉඩම් පූජා කර ඇති බවත්, ඊට අමතරව වෙහෙර විහාර ඉදිකරවීමට විවිධ
අධාර කර ඇති බවත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පවසති.
දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානයන්හි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් චීවර පූජා,
පාත්‍ර පූජා, පිරිවෙන් උපකරණ සැපයීම මෙන්ම පුස්තකාල පිහිටුවීමත්,
මහමෙව්නා, භාවනා අසපුවෙන් සිදු වූ සුවිශේෂ සේවා ලෙස ද උන්වහන්සේ පවසති.
පොල්ගහවෙල වඩුවාව මහමෙව්නාව භාවනා අසපු සංචිතයට දස වසරක් සපිරීම
නිමිත්තෙන් පැවැති සාකච්ඡාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.
එහිදී කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ දැක් වූ අදහස් මෙසේ ය.
මහමෙව්නාව මුල් කරගෙන විහාරස්ථාන දෙසීයක පමණ දහම් වැඩසටහන්
පැවැත්වෙනවා. ඒ දහම් වැඩසටහන් තුළින් ගමේ විසිර සිටි තරුණ පිරිස පන්සලට
ඒකරාශී වුණා. එවැනි බෞද්ධ වැඩසටහන් වලින් මේ සුළු කාලය තුළ වෙහෙර විහාර
නඟා සිටුවීමට විශාල මෙහෙවරක් ඉටු කර තිබෙනවා.
විනයො නාම සාසනස්ස ආයු යන්නෙන් අදහස් වන්නේ ශාසනයේ ආයුෂය විනය බවයි.
විනය පැවතුණොත් ශාසනය පවතිනවා යන්න එහි තේරුමයි. විනය ගරුක, සුපේෂල
ශික්‍ෂාකාමී, දස සීලය ආරක්‍ෂා කරන සාමණේරයන් වහන්සේ 150 නමකුත්
උපසම්පදා සීලය ආරක්‍ෂා කරගෙන සිටින 250 නමකුත් සඟ පිරිස 400 ක් පමණ
මහමෙව්නාවේ වැඩ සිටිනවා. ඒ ස්වාමීන් වහන්සේ පිළිවෙත් ගරුකව වාසය
කරමින්, වෘත්තීය අධ්‍යාපනයක් නොලබා, ආදායම් උපද්දවන්නා වූ ක්‍රම
නොහදාරා දවස පුරා, ධර්ම විනය හදාරමින් ශාසන කාමීව වැඩ වෙසෙනවා.
මෙලොව පරලොව පිළිසරණ ලබන්න පුළුවන් ආකාරයට දෛනික ජීවිතය තුළ තිසරණ
පන්සිල් රකින, පොහොය අටසිල් රකින, ශාසන හිතකාමී පිළිවෙත් ගරුක විශාල
පිරිසක් බිහිකිරීමට අවස්ථාව ලැබුණා. ඒ නිසා වර්තමානයේ මේ සූත්‍ර ධර්ම
අධ්‍යයනය කරන ප්‍රබෝධය ඇති වුණා. පන්සල්වල ස්වාමීන් වහන්සේලා පවා
ගැඹුරු සූත්‍ර දේශනා පවත්වනවා.
අතීතයේ තරුණ පිරිස හැමදාම අලුත් යමක් සෙව්වා. මේ නිසා තමයි තරුණ පිරිස
සමාධි ගතවන විවිධ රැලි කරා යන්නේ. තරුණ පිරිස යම් යම් කාලවලදී
විවිධාකාර කුණාටුවලට ග්‍රහණය වීමට පටන් ගත්තා. මහමෙව්නාව හමා ගිය
කුණාටුවක් නොවේ. එය හමා ගිය මඳ පවනකි.
තරුණ පිරිස තුළ ස්වාභාවිකව ඇති අලුත් යමක් සෙවීමේ ගතිය නිසා උගත්
බුද්ධිමත් තරුණ පිරිස වේගයෙන් මහමෙව්නාව වෙත ඇදී ආවා. ඊට හේතුව
බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහි අවංක ලෙසත් ඉතා නවීන ආකාරයෙනුත් කියා
දීම යි. ඒ වගේම ඒ දරුවන්ට බුද්ධ දේශනාවන්ගෙන්ම එහිදී අසන්නට ලැබෙන
කරුණු පසක් කර ගැනීමට ලැබීමත් ඊට තවත් හේතුවක්.
අන්තර්ජාලය ඔස්සේ ලක්‍ෂ ගණන් සිංහල බෞද්ධ ජනතාවට ධර්මය ප්‍රචාරය කර ගෙන
යනවා. දෙමළ ජනතාවටත් මා තුල කැමැත්තක් තිබෙනවා. ධර්මය බෙදාදීමේ වැඩ
පිළිවෙළක් කෙසේ හෝ ආරම්භ කිරීමට.
මහමෙව්නාවට දස වසරක් පිරීම නිමිත්තෙන් 2009 වසර ‘බුද්ධෝපස්ථාන වසර’ ලෙස
නම් කරලා රෝහල් ප්‍රතිසංස්කරණයට යොමු වුණා. බොහෝ දෙනාගේ අවධානයට යොමු
නොවූ රෝහල්, මාතෘ නිවාස, විශාල වියදමක් දරමින් ප්‍රතිසංස්කරණය කළා.
කුරුණෑගල මහ රෝහලේ තිබූ බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කර පූජා කළා.
රත්නපුර මහ රෝහලේ දරු ප්‍රසූතිකාගාර වාට්ටුවක් තැනීම ආරම්භ කර තිබෙනවා.
අනුරාධපුර මහ රෝහලට වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසුදු කිරීමේ යන්ත්‍රයක්
පූජා කළා. මේ අයුරින් බුද්ධෝපස්ථාන ලෙස විශාල ආරෝග්‍ය සේවාවක් කරගෙන
ගියා; කරමින් යනවා. ගිලනුන්ට සැලකීම, බුදුරදුන්ට කරන සැලකීමක්.
1996 ජනවාරි මාසයේ දී මම වකුගඩුවක් දන් දුන්නා. එය ලබාගත් මීගමුව
ඒත්තුකාලේ මාතාව තම ගිලන් මවට උපස්ථාන කරමින් වසර 12 ක් පමණ ඉතා
නිරෝගීව වාසය කළා. එසේ පටන් ගත් ආරෝග්‍ය සේවයෙන් අසරණ රෝගීන් රැසක්
සුවපත් කරන්නට ලැබුණා.
අප පවුලේ මට වැඩිමල් තිදෙනාම කාන්තාවෝ. අපේ මවුපියෝ උපතින් අබෞද්ධ. අපේ
මවුපියන්ට වුවමනා වුණා පුතකු ලබා ගන්න. බාරහාර වුණා, පුතෙක් ලැබුණොත්
කතරගම යනවා කියලා සිව් වන දරුවා ලෙස ඔවුන්ට මා ලැබුණා. මේ භාරය ඔප්පු
කරන්න කතරගම ගිය වෙලාවේ අපේ පියාට යම් ආකාර්ෂණයක් ඇවිදින් කිරිවෙහෙරේ
දී කියලා තිබුණ මේ ළමයා උපන්නෙ මුළු පවුලම බෞද්ධ වෙන්නයි කියලා. මට මාස
දෙකකින් අපේ මුළු පවුලම බුද්ධාගම වැළඳ ගත්තා. මා සන්තෝෂ වෙනවා මුළු
පවුලක්ම බෞද්ධ කරගෙන මට උපදින්න ලැබීම ගැන. මේ කරුණු නොදන්නා ඇතැම් අය
මට අභූත චෝදනා කරනවා, මම අන්‍යාගමික පසුබිමක ඉඳලා ඇවිත් එය නියෝජනය
කරනවා කියලා.
මා පැවිදි බිමට පත් වුණේ සේරුවිල මංගල රාජ මහා විහාරයේ දඹගස්ආරේ ශ්‍රී
සුමේධංකර මහ නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙසයි. ඒ වයස අවුරුදු දහ හතේ දී,
පැවිද්දෙන් පසු සාම්ප්‍රදායික අධ්‍යාපනයට යොමු වෙලා, ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය හදාරමින් සිටියදී ත්‍රිපිටකය
කියවා ධර්මය අවබෝධ කර ගැනීමේ අපේක්‍ෂාවෙන් අරණ්‍යවාසී වුණා. වසර 12 ක
කාලයක් පන්සලේ ගත කළා. බුදුදහම ප්‍රායෝගිකව පුහුණු කිරීමට විවිධ
අවස්ථාවල වනාන්තර ගත වුණා.
කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ද නේවාසිකව සිටියා. ධර්ම දානමය පින්
රැස් කිරීමට, නිදහසේ ධර්මය කියාදීමට පොල්ගහවෙල වඩුවාවේ මහමෙව්නාව ආරම්භ
කළා. මහමෙව්නාව යන නම යෙදුවේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය
පතුරුවන තැනක් ලෙස කල්පනා කළ නිසයි. අනුරාධපුර මහමෙව්නාව අමතක කිරීමට
නොවෙයි.
කුටි දෙක තුනක් ඉදිකරවාගෙන ධර්මය කියා දෙමින් සිටිනවා යැයි සිතුවා මිස,
ලෝකය පුරා පැතිරී යන සුවිශේෂ ආයතනයක් ඇරැඹීමේ අදහස මා තුළ තිබුණේ නෑ.
පොල්ගහවෙල වඩුවාව මහමෙවුනාව භාවනා අසපු සංචිතයට අනුබද්ධ මෙරට ශාඛා
මෙන්ම විදේශීය ශාඛා කීපයක් ද ආගමික මෙහෙවරෙහි යෙදී සිටිනවා. දැන් එහි
ශාඛා 40 ක් පමණ තිබෙනවා.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් විසින් රචිත කෝදාගොඩ ඤාණාලෝක නා
හිමියන් විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථයක, පෙරවදනක මහරගම
චන්ද්‍රසේකරාරාම අසපුවේ දී යන නම භාවිතා කර තිබෙනු දැක, එම නමට
කැමැත්තක් ඇතිවූ නිසා අසපුව යන නම යෙදුවා. අසපුව යනුවෙන් නම යෙදුවේ,
පන්සල් වලට විරුද්ධ වීමට නොවෙයි.
2004 සුනාමි ආපදාවේ දී ඉන් පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාව වෙත නිවාස
තනාදීම පිණිස මහා කරුණ, පදනම නමින් ගිහි පැවිදි පුණ්‍යවන්තයන්ගේ
දායකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපුව සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නා.
එමෙන්ම එම පදනම මගින් විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන්
වහන්සේගේ මවුපියන් ඇතුළු පවුල් සඳහා නිවාස පිළිසකර කර දීමත් අලුතෙන්
නිවාස තනාදීමත් සිදු කැරුණා. එසේ නිවාස තනා දුන්නේ මහමෙවුනාවට සම්බන්ධ
නැති විහාරස්ථාන සහ ආරණ්‍ය සේනාසනවල වැඩ සිටින ස්වාමීන් වහන්සේගේ පවුල්
වලටයි.
එමෙන්ම දිළිඳු පවුල්වල ආබාධිත දරුවන් උදෙසා සහ රෝහල් වලට රෝද පුටු 178
ක් ද, පරිත්‍යාග කළ බව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පැවසූහ. |