Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2009 සැප්තැම්බර් මස 17 දිනට යෙදී තිබුණූ අනගාරික ධර්මපාලතුමාගේ 145 වන ජන්ම දිනය නිමිත්තෙනි.

මේ රටේ ජාතික ආගමික සංස්කෘතික ප්‍රබෝධයෙහි ලා උත්කෘෂ්ඨ මෙහෙයක් කළ, පසු ගිය අඳුරු යුගයේ දී ලංකාවේ උපන් වීරයින් අතරින් අප විසින් උසස් කොට සලකනු ලබන තැනැත්තා නම් අනගාරික ධර්‍මපාලතුමාය. ධර්‍මපාලතුමා ගෙනගිය ව්‍යාපාරයේ හරය වටහා ගැනීමට නොහැකි ඇතැමෙක් ඔහු හුදු ආගමික නායකයෙකු වශයෙන් ද ඇතැම් විට පටු ජාති වාදියෙකු වශයෙන් ද සලකති. එහෙත් ඔහුගේ ව්‍යාපාරය හොඳ හැටි හැදෑරීමෙන්, ඔහු, පෘථුල ලෙස සිතූ විශිෂ්ට අරමුණක් මුදුන් පත් කොට ගැනීමට දැඩි අධිෂ්ඨානයකින් යුතුව සේවය කළ උත්තරීතර මනුෂ්‍යයෙකු වශයෙන් සලකන්නට සිදුවෙයි. වරින් වර යටපත් ව පැවැති සත්‍ය ඉස්මතු කොට දැක්වීමට පෙර දිග පහළ වූ මුනිවරයන් මෙන් ධර්‍මපාලතුමාද සත්‍ය මතු කිරීමෙහි නිරත වූවෙකි. මිනිසුන්ට පහසුවෙන් වටහා ගතහැකි ඔවුන්ගේ ජීවිතයට කා වැදී පවතින සංස්කෘතියෙහි ඇතැම් අංග ඔහු ඒ සඳහා උපයෝගී කොට ගත්තේය. සත්‍ය සෙවීමෙහි නිරත වූ මනුෂ්‍යයන් තුල අවශ්‍යයෙන්ම පැවැති අවංක බව, සෘජු බව, නිර්භීත කම, ආත්ම පරිත්‍යාගය යනාදී ගුණ ධර්‍මපාලතුමා කෙරෙහිද විද්‍යමාන විය.

ධර්‍මපාලතුමා උපන් යුගය සංස්කෘතික, ආර්ථික යන දෙයාකාරයෙන්ම සිංහලයා පිරිහී තිබුණු කාලයක් විය. සිංහල භාෂාව, සිංහල සිරිත් විරිත් වලින් පිරිහුණු මෙ රට ජනයා ආගමික අදහස් වලින් ද තොරව අමුතුම පහත් ස්වභාවයකට වැටී සිටියෝ ය. ධර්‍මපාල තුමා ජනතාව ඉදිරියට පැමිණ “සිංහලයිනි නැගිටිව්” යන හඬ වේගයෙන් පැතිර වූයේ එවැනි අවදියක දීය. එදා සිංහලයන් මෙන් පෙනී සිටියේ සාමාන්‍ය ගම්බද ජනයා පමණකි. නගර වාසී උසස් ගැහැණු - පිරිමි සෑම දෙනෙක්ම ඉංග්‍රීසි වේසාරූඪව, සිංහල භාෂාව චාරිත්‍ර වාරිත්‍ර හෙලා දකිමින් නම් ගම් පවා වෙනස් කර ගත් නමුත්, සමේ පාට වෙනස් කර ගැනීමට නොහැකිව සෝක වෙමින් සිටියෝය. ධර්‍මපාලතුමාගේ දේශනය එ වැනි අයට කස පහරක් මෙන් විය. විදේශීය සිරිත් විරිත් වලට පහර ගසන අතර සිංහලයන් තුළ පැවැති ඇතැම් දුර්වල, ජාතිය ප්‍රපාතයට හෙළන සිරිත් විරිත් වලට ද පහර ගැසීය.

වර්තමාන සිංහලයාට ගැඹුරු ඥානයක් නැත. සුද්දා අඳින වස්ත්‍ර ඇඳීම, සුද්දා කන ආහාර අනුභව කිරීම, සුද්දා බොන මද්‍ය පානය කරන්නට පමණක් සිංහලයාට ශක්තිය තිබේ සිංහලයාට ප්‍රඥාව තිබේ නම් සිංහල ජනකාය මේ තරම් පහත බසින්නේ නැතැ” යි එතුමා කීය.

එතුමා සිංහලයින්ට ජාතියක් මෙන් නැගී සිටීමට අවවාද කළේය. එකල සුද්දන්ට දෙවිවරුන්ට මෙන් උසස් අය සැලකූ අතර සාමාන්‍ය ජනයා ඔවුන් දුටු තරමින් බිය වූහ. “සුදු පඹයින් ගේ ඉදිරිපිට පිහිටුවා තම දරුවන් ලවා සෑම උදයකම පහර දීමට නියම කළේ අනාගත පරපුර නිර්භීත ජාතියක් කරවා සුද්දන්ට පහර දී මෙ රටින් ඔවුන් එලවා දමා රට නිවහල් කර ගැනීමට උසස් පහත් සෑම දෙනෙක් ම පෙළඹීමට ය” යි දිනක් එතුමා මා සමඟ කීය.

එවකට රටෙහි පැවැති ආර්ථික පිරිහීම දුටු එතුමා “සිංහලයිනි, ශාස්ත්‍ර ශිල්ප, වෙළඳාම, ගොවිකම ඉගෙනීමට වීර්යය වඩව්” ය යි හඬ ගෑවේය. “මේ රටේ සුද්දා අපට විස පොවන්න උත්සාහ කරනවා විනා ශාස්ත්‍ර ශිල්ප විද්‍යා කර්‍මාන්ත උගන්වන්නේ නැත. පාදිලි රාළලාට ඕනෑ කරන්නේ සුද්දාගේ වෙළඳාම දියුණු කරන්නයි. ශිල්ප කර්මාන්ත ඉගෙනීමට දැඩි වීර්ය කටයුතුයි. දැනට ලංකාවේ දිසාපාමොක් ආචාර්යවරු ද ශිල්ප ශාලා ද නැත. ඒ නිසා ශිල්ප ශාලා තිබෙන රටවලට පැමිණ ශිල්ප කර්‍මාන්ත ඉගෙන ගත යුතුයි. ශිල්ප කර්‍මාන්ත විද්‍යා දත් ජාතීන් ගේ වර්ධනය අපට පෙනෙන්ට තිබේ. සිංහලයා පමණක් ගුරු ආශ්‍රය නැතිව, ශිල්ප කර්‍මාන්තයක් නො දැන, කුල පරම්පරා ධර්‍මයක් නැතුව අහසින් වැටුණු සතෙකු මෙන්, අන්‍ය ජාතීන් කරන කියනදේ කරමින් ග්‍රාම සූකරයන් මෙන් යුරෝපීය කාම සැපයට පමණක් ආසාවෙන්, අත තිබෙන ධනය අනර්ථ දායක අන්දමට වියදම් කොට, දෙ ලොව ම ප්‍රයෝජන නැතුව තිරිසනෙකු මෙන් මැරී යන්නේය. රටක් ජාතියක් දියුණු කර ගැනීමට මාර්‍ග අනන්තයි. ශාස්ත්‍ර ශිල්ප කර්‍මාන්ත විද්‍යා ඉගෙන ගෙන ජාතිය දියුණු කිරීමට හිතැති සිංහලයන් දස දෙනෙක් සිටිනවා නම් දස වර්ෂයකින් සිංහල ජාතිය නැවතත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය වර්ගයක් කළ හැකි මය” යි එතුමා ප්‍රකාශ කළේය.

එවකට රටෙහි පැවැති අධ්‍යාපන තත්වය බෙහෙවින් පහත් විය. මිෂනාරීන්ගේ හිතූ® මනාපයට අධ්‍යාපන ක්‍රමය සකස් කෙරුණේය. ආර්ථික, සංස්කෘතික දියුණුව එහෙමපිටින්ම ඇන හිටුවා සුද්දන්ගේ වහලුන් නිර්මාණය කිරීම ඔවුන්ගේ අධ්‍යාපනයේ පරමාර්ථය විය.

”ලාංකික සිංහලයන් ස්වකීය ජන්ම භාෂාව ඉගෙන නොගෙන ඉංග්‍රීසි පමණක් ඉගෙන ගැනීම ජාතිය නැති කිරීමට කරන උපක්‍රමයකි. සිංහල පාලි භාෂා දෙක හොඳින් ඉගෙන ඉංග්‍රීසි ඉගෙනීම කළොත් පහසුයි. සිංහල කිසිත් නොදැන ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත් කල ව්‍යාකරණ අනුව ඉංග්‍ර‍්‍රීසි නොලියා අන්ඩර දෙමළ මෙන් ඉංග්‍රීසීන්ට නො තේරෙන භාෂාවක් ඉගෙන ගැනේ. දැනට හැදෙන බොහෝ තරුණයින් කථා කරන ඉංග්‍රීසි අශෝභනයි. මේ රටේ විශ්වවිද්‍යාලයක් නො මැත්තෙන් ශ්‍රේෂ්ඨ ගාම්භීර ඉගෙනීමක් ලබා ගන්නට අමාරුයි. සිංහල තරුණයන් කල්කටාවට, මදුරාසියට පැමිණ ඒ ඒ විශ්ව විද්‍යාලයන්හි ඉගෙන සාමාර්ථයන් විය යුතුය. ලංකාවේ පාදිලි රාළලාට බාරදෙන සිංහල බෞද්ධ දරුවෝ ඉංග්‍රීසි ටිකක් පමණක් ඉගෙන ගෙන පුරාණ චාරිත්‍රාදිය මතක නැති කර දමා අවජාත සිංහල කොටසක් වෙති. ගම්බද පාඨශාලාවල ශිෂ්‍යයින් ගේ තත්වය දුක්ඛදායක යි. හැම පාඨශාලාවේම ශිෂ්‍යයන්ට යම්කිසි හස්ත කර්‍මාන්තයක් ඉගැන්විය යුතුයි. රටට ප්‍රේම කරව්, ආගම දියුණුවට ක්‍රියා කරව්, එකගව ක්‍රියා කරව් යනාදිය ගුරුවරුන් විසින් දිනක් පාසාම ශිෂ්‍යයන්ට ඉගැන්විය යුතුය” යි එතුමා කීය.

සිංහල ජාතිය දියුණු කරන්නට අමාරු යහපත් ගුරු ආශ්‍රයක් නැති නිසාය යි ධර්‍මපාලතුමා කීප වරක් ප්‍රකාශ කළේය. මේ රටේ භික්ෂූන් වහන්සේ මොලේ ඇතිව වැඩ කටයුතු කළොත් මෙ රටේ සංස්කෘතික දියුණුවක් ඇති කිරීම පහසුයයි එතුමා අදහස් කෙළේය. භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැවති දුර්වලකම් එතුමාගේ නිර්දය ප්‍රහාරයට ලක්විය.

නා නා රටවල නානා ජනපදවල සංචාරය කොට නා නා භාෂා ඉගෙන, නා නා ශාස්ත්‍ර පුහුණු කොට ලෝකයාට ප්‍රයෝජන වීම පිණිස පරාර්ථය සඳහා වැඩ කරන සිල්වත් සත් පුරුෂ භික්ෂූන් පස් නමක් සමාදානයෙන් එකී භාවයෙන් සාමාග්‍රියෙන් එක හිතින් එක තැනකට වී අනුකම්පාවෙන් ලෝක ශාසනාභිවෘද්ධිය සඳහා ක්‍රියා කරනු ලැබේ නම් ලංකා බුද්ධාගම බැබළෙන්නේය. වස්තු කාම, ක්ලේශ කාම දෙක දියුණුවට ක්‍රියා නොකොට සිංහල ජනකාය මුදවා ගැනීමට සියලුම භික්ෂුන් වහන්සේලා ගේ පා වැඳ ඉල්ලමි. “දැන ගත යුතු කරුණු” වලින් උපුටා දැක්වූ මෙම පාඨවලින් ධර්‍මපාලතුමා තුළ මෙරට භික්ෂූන් වහන්සේ ගැන පැවැති අදහස් අදට ද එයාකාරයෙන් ගැලපෙන බව පැහැදිලිය.

ධර්‍මපාලතුමා මට සම්භ වූයේ මා ඉතා බාලකාලයේ දීය. 1915 යුද්ධ නීතිය යටතේ මෙරට සිටි බොහෝ දේශප්‍රේමීහු සුද්දන් ගේ තුවක්කුවලට බිලි වූ අතර තවත් බොහෝ දෙනක් බන්ධනාගාර ගත වීමෙන් පසුව නිදහස් වුවද බොහෝ දුරට පසු බැස දුර්වලව සුදු ආණ්ඩුවේ ගැත්තන් බවට පත්වූහ. ලංකාවේ පැවති මේ අරගලය නිසාම කල්කටාවේ සිය කාමරයේ සිර කාරයෙක්ව සිටි ධර්‍මපාලතුමා 1922 දී ලංකාවට පැමිණියේය. ඒ කාලය වන විට ධර්‍මපාලතුමාගේද ඉහත පැවති එඩිතරකම් තරමක් දුරට පහළ බැස තිබුණේ ය. කෙසේ හෝ වේවා ඔහු තුළ පැවති ආනුභාව සම්පන්න තාවය ඒ වන තුරුත් එසේම පැවැත්තේය. ධර්‍මපාලතුමා දකින විට මට අවුරුදු දහසයකට වඩා වයස නැතැයි සිතමි. ධර්‍මපාලතුමා කෙරෙහි එකල මා තුළ පැවතියේ අචල භක්තියකි. මම එතුමාට ලියුමක් යැව්වෙමි. මගේ ලියුමට එතුමා උත්තරයක් එවා තිබුණේ ය. වහාම එතුමා සම්භ වීමට කොල්ලුපිටියේ එතුමාගේ නිවසට පැමිණෙන ලෙස දන්වා තිබුණා මට මතකය. කොළඹ හෝ කොල්ලුපිටිය ගැන කිසිවක් නො දත් මම කෙසේ හෝ එතුමාගේ නිවසට ලඟා වූයෙමි.

එවේලේදි එහි සිටි එතුමාගේ මව් තුමිය මට වාඩිවීමට සලසා බුලත් වට්ටියක් ද මා ලගින් තබා මගේ පැමිණීම ධර්මපාලතුමාට දැන්වූවා ය. වැඩි වේලාවක් ගත නො වීය. ධර්‍මපාලතුමා පැමිණ ඉදිරිපිට තිබුණු කුඩා මේසයක වැනි බංකුවක් මත පිලිමයක් තැබුවාක් මෙන් වාඩි ගත්තේය. එහි තේරුම පද්මාසනාකාරයෙන් බද්ධ පර්යංකව කෙළින් වාඩි ගැනීමයි. එතුමාගේ රන්වන් ශරීරයත් ඊටම ඔබින කහ පැහැවත් ඇඳුමත් මගේ හිත තදින් ඇද ගත්තේය. එහි වාඩි ගත් වහාම මා ළඟ තිබුණු බුලත් වට්ටිය දුටු එතුමා එය එතනින් වහාම පිට කරන ලෙස නියම කළේ එය පිළිගැන්වීම ගැන තම තද අප්‍රසාදය පළ කරමින්ය. එය පිළිගැන්වූයේ කවරෙකු විසින් දැයි විමසීය. මම එහි ලඟම සිටි එතුමාගේ මව පෙන්වීමි. ඈ එතුමාගේ මව බව මම නො දැන සිටියෙමි. “අම්මලා තමයි මේ පුංචි හාමුදුරුවරු පවා බුලත් වට්ටි පූජා කොට නරක් කරන්නේ” කීමෙන් ඇය ධර්‍මපාලතුමාගේ මව් බව දැන ගතිමි. ඕ තොමෝ කරුණාවන්ත සිනහවක් පහළ කොට බුලත් වට්ටිය එතනින් ඉවත් කළා ය. මා ආචාර්යපාදයන් ගෙන් අවසර ලබාගෙන ආවේදැයි එතුමා පළමු කොට මගෙන් ප්‍රශ්න කළේය. එසේ නොකොට රහසින් පැමිණි බව මම කීවෙමි. එතුමා ඒ ගැන මට බැණ වැදීමට පටන් ගත්තේය. මම නිශ්ශබ්දව වාඩි ගෙන සිට ඉවසුම් නැති තැන “සිදුහත් කුමරු රාජ මාලිගයෙන් පැන ගියේ එතුමාගේ පියාගේ අවසරය ඇතුව දැ” යි ඇසුවෙමි. මේ කථාවට සිනහවක් පහළ කළ ධර්‍මපාලතුමා තව කිසිත් නො කියා භික්ෂූන් වහන්සේලා සම්බන්ධව දීර්ඝ විවේචනයක් කරන අතර කාල වේලා ගත වූයෙන් මට එහිදීම දානය වළඳා යාමට කීයේ ය.

එතුමාගේ මව් තුමිය මා ළඟින් ම වාඩි වී දානය වළඳවන අතර මගේ පැමිණීම ගැන අසා දඹදිව යාමට මා තුළ ඇති ආසාව දැන ගෙන එ පවත් ධර්‍මපාල තුමන්ට දැන්වූවා ය. මවගේ කැමැත්ත අනුව ධර්‍මපාල තුමා මා දඹදිව යැවීමට කැමැත්ත ප්‍රකාශ කළෙන් මා තුළ ඇතිවූ ප්‍රීතිය කිය නො හැකි තරම් විය. එදා ධර්‍මපාල මව් තුමිය මා කෙරෙහි දැක් වූ කරුණාවන්ත, ආදරයත් මට කිසි කලෙක අමතක නොවන්නකි. මම කලක් ධර්මපාලතුමා ආශ්‍රය කෙළෙමි. එතුමා තුළ උසස් ගති ගුණ මෙන් ම යම් යම් දුර්වළ කම් ද පැවති බව ඇත්තකි. එහෙත් එතුමා ගේ අනුශාසනා මා හිත තදින් පුබුදු කළේය. දිනපතා වෛතාලයෙන් ම මල් පිළියෙල කරගෙන ධර්‍මපාලතුමාට අත ගස්වා පූජා කිරීම මා කල්කටා මහා බෝධි මන්දිරයේ සිටි දිනවල මට නියම ව තිබුණේ ය. එසේ වූයේ එකල මහා බෝධි මන්දිරයේ සිටි කුඩාම නම නිසා යයි සිතමි. ඒ කටයුත්ත මගේ ජීවිත මාවත හැඩ ගැස් වූ බව කිව යුතුය. දිනපතා මල් අත ගැස්වීමට ගිය මට එතුමා කළ දේශනය වැදගත් ය. අපේ රට සුද්දන් ගෙන් නිදහස් කර ගැනීමට තමුන්නාන්සේලා මහජනයාට අනුශාසනා කළ යුතුය. සෑම විටම කෙළින් නිර්භීත ව සිටිය යුතුය. කිසිම කෙනෙකුට අයුක්තියට යටත් නො විය යුතුය” ආදිය දිනපතා ලැබුණු අවවාද වේ.

1923 දී නැත්නම් 1924 දී ඉන්දියාවට පැමිණි වේල්ස් කුමාරයා පිළිගැනීමේ සිද්ධිය වැදගත් වූවකි. එහි දී කුමාරයාට පිරිත් දෙසීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා යැවීම පිණිස ආරාධනයක් මහා බෝධි සමාගමට ලැබුණේ ය. ඒ බව ඇසූ එකල කල්කටාවේ සිටි ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිනා ගියේ රාජ කුමාරයා දැක ගැනීමේ ප්‍රීතිය උන්වහන්සේලාට ඉබේම ලැබෙන නිසාය. ධර්‍මපාලතුමාගේ ඉල්ලීම නිසා එකල කලිකතා නගරයේ සිටි සියලුම ලාංකික භික්‍ෂූන් වහන්සේලා වේල්ස් කුමරුට ආසිරි පැතීමට ගිය නමුත් මම ඊට විරුද්ධව ඉන්දියානු ජනයා සමඟ වේල්ස් කුමාර උත්සවය වර්ජනය කෙළෙමි. මේ ගැන ධර්‍මපාල තුමා තුළ ඇති වූ ප්‍රීතිය අපමණ බව එතුමාගේ මුවින් පිට විය.

පසු කාලයේදී ඉන්දියාවේ බෞද්ධ කටයුතු පැතිර යෑමත් සමගම ධර්‍මපාලතුමාගේ අධිරාජ්‍ය විරෝධී ක්‍රියා පටිපාටිය සිසිල් ව ගියේය. එහෙත් එතුමා අධිරාජ්‍යවාදීන්ට කිසි කලෙක ආසිරි පැතීමට ගියේ නැත. ඔහු ඉන්දියාවේ පැවැති අධිරාජ්‍ය විරෝධී සටනට නිතර ශුභ පැතුවේ ය. බොහෝ විට ආධාර කළ බව ද දනිමි. ධර්මපාලතුමා අයුක්තියට පහර දීමට කිසි කලෙක පසුබට නො වීය.ඔහුගේ පහර හී සැරයක් මෙන් වේගයෙන් කා වදින්නකි. එතුමා තුළ පැවැති අවංක කම හා සෘජු ගතිය ඊට හේතු විය.

ධර්‍මපාලතුමා ගෙන ගිය ව්‍යාපාරයේ හරය එදත් අපේ සිංහලයන්ට වටහා ගත නොහැකි විය. අපේ බොහෝ දෙන ධර්‍මපාලතුමාගේ වැඩ කටයුතු අවඥාවට ලක්කොට කථා කළහ. මේ සම්බන්ධයෙන් එතුමා තුළ බලවත් කලකිරීමක්, චිත්ත සන්තාපයක් හට ගත්තාට සැකයක් නැත. එතුමා රට හැරයාමට අදහස් කළේය. “වරද දුටු තැන වරද කියා දීම මගේ ධර්මතාවකි. එසේම ම විසින් ප්‍රේම සිතින් දෙන අවවාද පිළිගැනීමට සිංහල බෞද්ධයන් විරුද්ධ බැවින් අවවාද කිරීමට මගේ කාලය ගත කිරීම අප්‍රයෝජන බව මට පෙනේ. පසුගිය තුන් මාසය තුළ දීම දිනෙන් දිනම මධ්‍යම යාමය පසු වී දෙ පැයක් ගිය තැන නින්දෙන් නැගිට එතැන් පටන් සිංහල බෞද්ධයන් උදෙසා ධර්‍මාවවාද වාක්‍ය ලිවීමට කාලය ගත කළෙමි. අවවාද වචන ශ්‍රවණය කරන්නට කන් යොමු නො කරණ ක්‍රෝධ සිතින් ක්‍රියා කරන මනුෂ්‍ය සමුහයා අතර නතර වීම සමාධි භාවනා කිරීමට හේතු නොවන්නේය. මපියානන් විසින් මට දී තිබෙන දායාදය බුදු සසුන දියුණුව සඳහා වියදම් කිරීමට මගේ සහෝදරයන්ට භාර කෙළෙමි. සමාධි භාවනාව කිරීමට යෝග්‍ය ස්ථානයක් ලංකාවේ සොයා ගැනීම දුර්ලභයි. මෛත්‍රී කරුණා ඇති සත් පුරුෂයන් දෙදෙනෙකුවත් ආශ්‍රය කිරීමට නැති බැවින් සංවේගයෙන් සිටිමි. ලබන මාසයේ දී පමණ ලංකා භූමිය අත් හැර බුදු පසේ බුදු මහ රහතුන්ට ද චක්‍ර වර්ති රජ දරුවන්ට ද සැප දෙන මධ්‍ය මණ්ඩලය දිශාභිමුඛ ව ගමන් කරන්නෙමි.”


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.