Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
උපාදානස්කන්ධ පස හැර සත්වයෙක් පුද්ගලයෙක් ගැන කථාකළ නොහැකිය. උපදින්නේත් දුකමයි. එහෙයින් බුදුරදුන් උපාදානස්කන්ධ පස දුක යැයි වදාළහ. පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ උපාදානස්ඛන්ධ පසම දුක යැයි වදාළ නිසා පළමුවෙන් දුක පිළිබඳව හඳුනාගැනීමක් තිබිය යුතු ය. දුක පිළිබඳව පෙළ දහමට අනුව ආකාර 03 කි.

01. සාමාන්‍ය දුක (දුක්ඛ දුක්ඛ)

02. වෙනස්වීම පිළිබඳ දුක (විපරිණාම)

03. සංස්කාර පිළිබඳ දුක (සංඛාදුක්ඛ) (විසුද්ධි මග්ග)

මෙයින් ‘සාමාන්‍ය දුක’ නමින් හඳුන්වන්නේ ලොව පුහුදුන් සැමදෙන පිළිගනු ලබන සියලු කායික හා මානසික දුක් ය. ජීවිතයේ එකද සැපතක් හෝ සතුටක් හැමදා එකසේ නොපවති. එය අද හෝ හෙට වෙනස් වන්නේ ය.ඒ වෙනස්වීම දුකට වේදනාවට කණගාටුවට හේතුවෙයි. වෙනස්වීම නිසා හටගන්නා වු දුක (විපරිනාම දුක්ඛ) නම් වෙයි. තුන් වැන්න තේරුම් ගැනීමෙහිදී එනම් සංස්කාර දුක්ඛය වඩාත් ගැඹුරු සහිත ධර්ම විවරණයකට යොමුවිය යුතු ය.

ඒ සඳහා පළමුවෙන් සත්වයා, පුද්ගලයා, මම යන සම්මුතිය විග්‍රහ කොට බැලිය යුතු ය. බුදු දහමට අනුව සත්වයා, පුද්ගලයා, මම යන මේ වචන වලින් කියවෙන්නේ මොහොතෙන් මොහොත වෙනස් වන සුළු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සංයුතියක් (එකතුවක්) පමණකි. මේ සියල්ල කොටස් පහකට (පංචස්ඛන්ධ) බෙදා දැක්විය හැකි ය. කෙටියෙන්ම මේ පංච උපාදානස්කන්ධ දුක් (සංචිත්තෙන පංචු පාදන බන්ධා දුක්ඛා) යයි බුදුන් වහන්සේ වදාළහ. සත්වයා, පුද්ගලයා මම යන මේවා වනාහී පංචස්කන්ධ යන්නේ සමවායටම පහසුව සඳහා යොදනු ලබන නම් පමණකි. මේ සියල්ල අනිත්‍යය, මොහොතෙන් මොහොත වෙනස් වන සුළුය. යමක් අනිත්‍යය ද එය දුක්ය (යදනිච්චං තං දුක්ඛං) ‘කෙටියෙන් පංච උපාදානස්ඛන්ධයෝ දුක්ඛයහ. යන බුද්ධ වචනයේ අර්ථය එයයි. මේ මොහොතේ පවත්නා පංචස්ඛන්ධයෝ මීළඟ මොහොතේ පංචස්ඛන්දයට සමාන නොවෙති. ඒවා මොහොතින් මොහොත උපදවමින් අතුරුදහන් වන ප්‍රවාහයකි.


ප්‍රශ්නය
දම්සක් පැවතුම් සූත්‍රයෙහි අවසාන දේශනා පාඨයකි මේ.

‘ඉමස්මිං පන වෙය්යා කරණ ස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං - වීතමලං ධම්ම චක්ඛුං උදපාදි විරජං - වීතමලං ධම්ම චක්ඛුං උදපාදි යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති’

මෙම සූත්‍රය වදාරන කල්හි, ආයුෂ්මන් කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේට කෙලෙස් රජසින් තොර වූ කෙලෙස් මලින් පහ වූ ධර්ම චක්‍ෂුසය හෙවත් සෝවාන් මාර්ග ඤාණය පහළ විය. එනම්, හටගන්නා ස්වභාවය ඇති යම්තාක් දෙයක් වේ නම් ඒ සියල්ල නැසෙන සුළු බවයි. කොණ්ඩඤ්ඤ තවුසාණන්ට පහළ වූ සෝවාන් මාර්ගය ඤාණය හෙවත් ධර්ම චක්‍ෂුසය (දහම් ඇස) පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර
සූත්‍රාගත දේශනා පාඨයෙහි එන පාලි පාඨයෙන් ධර්මානුකූලව පෙළගස්සන විට ‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංති, විරජං, වීතමලං ධම්ම චක්ඛුං උදපාදි’ ධර්ම චක්ෂූස යනු කුමක්ද? හටගන්නා වූ ස්වභාවය ඇති යම්තාක් දෙයක් වේ නම් ඒ සියල්ල (ස්කන්ධ පංචකය) අනිත්‍යය ස්වභාව කොට ඇත්තේ ය. යන ධර්ම චක්ෂූන් (දහම් ඇස) පහළ විය. එය කෙලෙස් මලින් තොර වූ සුවිසුද්ද වූ එකකි. මෙය වනාහී බුද්ධ ධර්මයේ ඉතා වැදගත් විශිෂ්ටතම දේශනයයි. දුක්ඛයේ හේතුව හෙවත් බීජය බැහැර නොව දුක්ඛය තුළම බව පැහැදිලි විය යුතු ය.

එසේම දුක්ඛ නිරෝධයේ හේතුව හෙවත් බීජය පවත්නේ බැහැර නොව දුක්ඛය තුළම බව වටහා ගත යුතු ය. හටගන්නා ස්වභාවය ඇති යම් සත්වයෙක් හෝ දෙයක් හෝ පිළිවෙළක්වේද ඔහු හෝ එය නැතිවීමේ ස්වභාවයත්, බීජයත් ඔහුගේ හෝ එය තුළම ඇත්තේ ය. පංචස්කන්ධය (දුක්ඛය) හට ගැනීමේ ස්වභාවය දුක්ඛය තුළම පංචස්ඛන්ධය තුළම ඇත.

පෙළ දහමට අනුව බෞද්ධ ජීවිතය ශෝකාර්ත, ඛේදවාචකයක් සිතා ‘අනේ අනිච්චං’ යන්න මතුරමින් වනගත වීම පිළිවෙත නොවන බව “ධර්ම චක්ෂුස” දහම් ඇස පහළවීමට කලින් යෙදී ඇති ආලෝකො උදපාදී ආදී විශේෂණ පදවලින් පැහැදිලි වෙයි. සැබෑ බෞද්ධයෙකු තරම් සුඛිතයෙක් ලොව නැත්තේමය. ඔහුට බියක් තැතිගැනීමක් නැත. ලෝකය තතු පරිද්දෙන් (යථාභූත ඥානදස්සන) දක්නා හෙතෙම අකම්පා ද වෙයි. එසේම විපතේදී හෝ වෙනසෙහිදී ශෝකයට පසුතැවිල්ලට උදාසීන බවට පත් නොවෙයි.

බුදුන් වහන්සේ කිසිවිටක ශෝකී හෝ දුක්මුසු නොවූහ. එකළ විසුවන් උන්වහන්සේ වර්ණනා කළේ ‘සිනාමුසු මුහුණු ඇති’ (විහිත පුබ්බංගමා) යනුවෙනි. බෞද්ධ චිත්‍රවලත් ප්‍රතිමා වලත් බුදුන් වහන්සේ පිළිබිඹු කරගත්තේ ප්‍රමුදිත, ශාන්ත, කාරුණික මුහුණකින් යුතුව ය. දුක්, දොම්නස් බිඳකුදු එහි දක්නට නැත.එහි ඇත්තේ ශාන්ත, මධුර පී‍්‍රතිය පිළිබඳ සටහනකි.


ප්‍රශ්නය
උදාසීන, දුක්මුසු, කලකිරුණු, අඳුරු පැවැත්ම, බුද්ධ ධර්මයට පටහැනිය. එය සත්‍යාවබෝධයට බාධාවකි. පී‍්‍රතිය වනාහී නිවන් දැකීම සඳහා වැඩිය යුතු අංග (බොජ්ඣංග) සතෙන් එකක් බව දේශනාවෙහි සඳහන්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
ජීවිතය දුක් සහිත වූවද බුදු දහමට අනුව ඒ ගැන ශෝකයට හෝ කෝපයට නොපැමිණිය යුතු ය. පෙළ දහමට අනුව ජීවිතයේ ඉතා බැරෑරුම් අකුසල් වලින් එකක් නම් ප්‍රතිඝයයි. ‘ප්‍රතිඝ’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ සත්වයන් කෙරෙහි දුක්ඛය කෙරෙහි. දුක්ඛයට හේතුවන ධර්මයන් කෙරෙහි ඇති ආඝාතයයි. අපහසු පැවැත්මටත් දුසිරිතටත් ළං වීම එහි කාර්යයි.එහෙයින් ජීවිතයේ දුක්බර ගතිය කෙරෙහි නොඉවසිලිමත් වීම, අසහනයට පසු බැසීමට කණගාටුවට පත්වීම, බෞද්ධ පිළිවෙත නොවේ. දුක නිසා කෝපයට හෝ නොඉවසිල්ලට පැමිණීමෙන් ඒ දුක තමා වෙතින් ඉවත්ව නොයයි. පවතින තත්ත්වය අවුල්වීම. මෙයම හේතුවක් විය හැකි ය.

මෙහිලා අවශ්‍ය වනුයේ කෝපය හෝ නොඉවසිල්ල නොව දුක ඇතිවන්නේ කෙසේද? එයින් නිදහස් විය හැක්කේ කෙසේද? යන්න තේරුම් ගෙන ඒ අනුව ඉවසිල්ලෙනුත් බුද්ධියෙනුත් අධිෂ්ඨානයෙනුත් වීර්රයෙනුත් යුක්තව මනා සිහියෙන් යුතුව සිටීමයි. බෞද්ධ පිළිවෙතින් සරු වූ පී‍්‍රතියත්, ශාන්තියත් සොයා ගත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ පී‍්‍රතිවාක්‍ය වලින් පිරි පවත්නා ථෙර ථෙරීන් උදාන ගීත පාලි ත්‍රිපිටකයෙහි සටහන් ව ඇත. වරක් කොසොල් රජතුමා බුදුන් වහන්සේට කියා සිටි පරිදි අන්‍ය බ්‍රාහ්මණයන් කෘශ, රූක්‍ෂ, දුර්වර්ණ නහර ඉල්පුන සිරුරු ඇති මිනිසුන්ගේ දැක්මට අප්‍රසන්න වූ අය වූවද බෞද්ධ භික්‍ෂූන්න් වහන්සේ තුටු පහටු (හට්ඨ පහට්ඨා) ප්‍රමුදීත, (උදග්ගුදග්ගෙ) බ්‍රහ්මචර්යාවෙහි ඇලුණු (අභිරත රූවේ) පිනාගිය ඉඳුරන් ඇති (පීණතින්ද්‍රයේ) තෘප්ත (අප්පොස්සුක්කෙ) විනීත ශාන්ත මුවන් මෙන් සැහැල්ලු සිතැතී (මිගභූතෙන චෙතසාවිහරන්තෙ) අය බව රජතුමා සඳහන් කරයි. රජතුමා සඳහන් කළ පරිදි මෙයට ප්‍රධාන හේතුව භාග්‍යවතුන් වහන්සේගේ සසුන් පිළිවෙත ශ්‍රාවක පිරිස හොඳින් දැන සිටීමයි.


ප්‍රශ්නය
බෞද්ධ භාවනා ක්‍රමය පිළිබඳව බුදුන් වහන්සේ කළ දේශනා අතරෙන් ඉතාමත් වැදගත් වන්නේ දීඝ නිකායේ සහ මජ්ඣිම නිකාය, ධර්ම ග්‍රන්ථ දෙක්හිම අන්තර්ගත ‘සතිපට්ඨාන සූත්‍රයයි’ මෙම සූත්‍ර දේශනාව ඇසුරෙන් බෞද්ධ භාවනා ක්‍රමය පැහැදිලි කරන්න.

පිළිතුර
සතිපට්ඨාන සූත්‍රයට පාරම්පරික වශයෙන් කොතරම් උසස් ගෞරවයක් දක්වන්නේ ද යත් බෞද්ධයාගේ අත්පොත යන ව්‍යවහාරයට යාමෙන් පැහැදිලි වෙයි. බෞද්ධ ගෘහයන්හි ගෘහවාසී සියලු දෙනාම එකට එකතු වී වටේ හිඳගෙන දැඩි සැදැහැ සිතින් යුතුව කියවයි. බොහෝ විට කෙනෙකු මිය යන්නට ළංවන විට භික්‍ෂූන් වහන්සේ ඇඳ ළඟ වැඩහිඳ ඔහුගේ අන් සිතුවිලි පිරිසුදු කරවාලීම සඳහා මේ සූත්‍රය කියවති. මෙම සූත්‍රයෙහි ඇතුළත් භාවනා ක්‍රම ජීවිතයෙන් බැහැර නොවේ. ජීවිතය මඟ හැරීමක් ද එහි නැත. සියල්ල ජීවිතයට සමීපතමය. අප දිනපතා කරන පොදු වැඩ වලටත් අපේ සොම්නස් දොම්නස් වලටත් වචන වලටත් සිතිවිලි වලටත් ධාර්මික හා බුද්ධිමය කාර්ය වලටත් එකසේ සම්බන්ධ වනු ඇත. එම සූත්‍රය කොටස් 04 කට බෙදා ඇත. මෙයින් කවර භාවනා ක්‍රමයක් තෝරා ගත්තත් සිහියත් (සති) අවධානය හා වැටහීමත් (අනුපස්සනා) අතිශයින් වැදගත් වන නිසා.

1. කායානු පස්සනා, 2. වෙදනානු පස්සනා, 3. චිත්තානු පස්සනා, 4. ධම්මානු පස්සනා යනුවෙන් සිව් කොටසක් සතිපට්ඨාන සූත්‍ර දේශනාවට ඇතුළත්ව ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.