Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිහි - පැවිදි විනය ගැටලු නිරවුල් කරන දේශනා

තථාගත දේශනයෙහි සාමාන්‍යයෙන් අන්තගාමී ප්‍රතිපත්ති නොමැත. එහෙත් , තම ශ්‍රාවක පිරිස නිවැරැදි මාර්ගයට ප්‍රවේශ කිරීම පිණිස ඇතැම් විට සහනශීලී ප්‍රතිපත්ති මෙන්ම දැඩි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ද තථාගතයන් වහන්සේට සිදු වූ අවස්ථා දක්නට ලැබේ. ඒ සඳහා ඉතා පැහැදිලි නිගමන කිහිපයක් පත්තනිකුජ්ජන සූත්‍රයෙන් උගන්වා ඇත.

බුද්ධ ශාසනයෙහි ආයුෂ පිළිබඳ තථාගතයන් වහන්සේ විනයෝ නාම සාසනස්ස ආයුං වශයෙන් දේශනා කර ඇත. එනම් යම් තාක් කාලයක් භික්ෂූන් වහන්සේ උදෙසා දේශිත විනය ශික්ෂා කෙරෙහි උන්වහන්සේ ගෞරවාදරය ඇතිව ආරක්ෂා කරන තෙක් මෙම ශාසනය සුරක්ෂිත බව ය. කෙසේ වෙතත් ශාසනික පැවැත්ම පිළිබඳව සලකා බලන කල්හි එහි පැවැත්ම හෝ නැවැත්ම සිදුවන්නේ භික්ෂූන් වහන්සේ නිසා පමණක් යැයි සිතීම උගහට කරුණකි.

එහි වගකීම ගිහි ශ්‍රාවකයා වෙත ද පැවරී ඇති බව දත යුතු කාරණයකි. විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ විනය පිළිබඳ ගිහියන් තුළ විවිධාකාර ආකල්ප පැවැතීමට හැකිය. එහෙත් කිසියම් ගැටුම්කාරී අවස්ථාවක භික්ෂූන් වහන්සේ ගිහියන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු ද යන්න මෙන්ම, ගිහි ශ්‍රාවකයා විසින් භික්ෂූන් වහන්සේ පිළිබඳ කෙසේ කටයුතු කළ යුතු ද යන්න පිළිබඳ ද වැදගත් තොරතුරු කිහිපයක්, අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් පත්තනිකුජ්ජන හා අප්පසාදවේදන යන සූත්‍රයන්හි පැහැදිලි කොට ඇත.

විශේෂයෙන් ගිහි ශ්‍රාවකයා ශාසනික කටයුතු සඳහා සම්බන්ධ වීමේ දී ඇතැම් පිරිස් ශාසනික නීතිරීති පවා ඉක්මවා කටයුතු කරන අවස්ථා බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි පවා දක්නට තිබිණි. වර්තමානයේ ද එය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. තථාගත දේශනයෙහි සාමාන්‍යයෙන් අන්තගාමී ප්‍රතිපත්ති නොමැත. එහෙත් , තම ශ්‍රාවක පිරිස නිවැරැදි මාර්ගයට ප්‍රවේශ කිරීම පිණිස ඇතැම් විට සහනශීලී ප්‍රතිපත්ති මෙන්ම දැඩි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ද තථාගතයන් වහන්සේට සිදු වූ අවස්ථා දක්නට ලැබේ. ඒ සඳහා ඉතා පැහැදිලි නිගමන කිහිපයක් පත්තනිකුජ්ජන සූත්‍රයෙන් උගන්වා ඇත.

පත්ත- නිකුජ්ජන යනු භික්ෂූන් වහන්සේ දන් වළදන්නා වූ පාත්‍රය චෝදනා ලත් දායකයා ඉදිරියේදී කනපිට පෙරලීම (මුණින් පෙරලීම) යන අර්ථය වන්නේය. මෙහි දී සංඝ සම්මුතිය අනුව මෙම පත්තනිකුජ්ජන කර්මය සිදු කරන ලද දායකයාගෙන් කිසිම අවස්ථාවක සිවුපස ප්‍රත්‍යය ලබා ගැනීම සියලු භික්ෂූන් වහන්සේ වෙත තහනම් වන්නේ ය. මෙම කර්මය කළ යුතු පිරිස් ගැන, තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

1. “ මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සංඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය (නිග්‍රහ සඳහා) නමන්නේ ය.

2. “කවර අටකින්ද යත්? භික්‍ෂූන්ට අලාභ පිණිස තැත් කරයි ද, භික්‍ෂූන්ට අවැඩ පිණිස උත්සාහ කරයිද, භික්‍ෂූන්ට ස්ථාන නැති කිරීමට උත්සාහ කරයිද, භික්‍ෂූන්ට නිÁදා පරිභව කරයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් හා බිඳවයි ද, බුදුරජාණන් වහන්සේ පිළිබඳව නුගුණ කියයි ද ධර්මයට නුගුණ කියයි ද, සංඝයාට නුගුණ කියයි ද, මහණෙනි, මේ අංග අටෙන් යුත් උපාසකයාට සංඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය (නිග්‍රහ සඳහා) නමන්නේය.

මෙම කාරණා අටෙන් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කිසියම් උපාසකයකු සිදු කරන්නේ නම් මහා සංඝයාගේ තීරණය අනුව මෙම පත්තනිකුජ්ජන කර්මය සිදුකරන ලෙස තථාගතයන් වහන්සේ දේශනා කළ සේක. එහෙත් මෙහි දී විශේෂයෙන් දතයුතු කරුණක් ඇත. එනම් කිසියම් භික්ෂුවකගේ පෞද්ගලික තරහ, කෝන්තර ඉටුකරගැනීම උදෙසා මෙම කටයුත්ත වලංගු නොවන බව දත යුතු අතර, පත්තනිකුජ්ජන කර්මය සඳහා යොමු කරන උපාසකයා කෙරෙහි ද්වේෂ සහගත චේතනාවෙන් නොව, ඔහු තුළ පවතින වැරැදි අදහස් නිවැරැදි කොට නැවත ශාසනයෙහි ශ්‍රාවකත්වය සදහා යොමු කිරීමේ අදහසින් ම මෙම කර්මය සිදු කළ යුතු බව දේශනා කොට ඇත. එසේම බුද්ධ දේශනාවෙහි උපාසක පිරිස වෙත පමණක් නොව විනය ශික්ෂා කඩකොට ශාසනික ගෞරවය කෙලෙසන ඇතැම් භික්ෂූන් උදෙසා ද, ඔවුන් නැවත සංවරයෙහි පිහිටුවීම පිණිස පිළිපැදිය යුතු ආකාරය පිළිබඳ, අප්පසාදවේදනිය සූත්‍රයේ දක්වා ඇත. එනම්

1. “මහණනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තේ නම්, අප්‍රසාදය පළ කරන්නෝය.

2.” කවර අටකින්ද යත්? ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේ ද, භික්ෂූන්ට අවැඩ පිණිස තැත් කෙරේ ද, ගිහියනට නින්දා පරිභව කෙරේ ද, ගිහියන් ගිහියන් හා භේද කෙරේ ද, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නුගුණ කියයි ද, ධර්මයට නුගුණ කියයි ද, සංඝයාට නුගුණ කියයි ද, නොමනා ස්ථානයන්හි ඔහු දකිත් ද යනු ය. තථාගතයන් වහන්සේගේ මෙම දේශනය ඉතා බුද්ධිමත් ආකාරයෙන් දතයුතු කරුණක් ලෙස හැඳින්විය හැකිය. මක්නිසාද යත් භික්ෂූන් වහන්සේගේ විනය ශික්ෂා විනිශ්චය කිරීමට හෝ ඔවුන්ට දඩුවම් නියම කිරීමට ඛ්සි අයිතියක් හෝ බලයක් ගිහි පිරිස වෙත තථාගතයන් වහන්සේ අනුදැන වදාරා නොමැති වීම, මීට හේතුව වන්නේ ය එය මහා සංඝයාටම අයිති කාරණයකි. එහෙත් මෙම දේශනයේදී තථාගතයන් වහන්සේ උපාසකවරු සඳහා මෙසේ අනුදැන වදාරා ඇත්තේ නොමඟ යන්නා වූ ඇතැම් භික්ෂූන් වහන්සේ නිසි මාර්ගයෙහි පිහිටුවීමේ කරුණාබර අදහසින්ම බව දත යුතු ය. එය කළ යුතු වන්නේ, තම දරුවන් කිසියම් නොමනා කටයුත්තක් සිදු කළ විට මවුපියන් කිසියම් පිළිවෙතක් ස්වකීය දරුවන් කෙරෙහි පිළිපදින්නේ ද ඒ ආකාරයෙන් බව දත යුතු ය. මක්නිසාද යත් ඇතැම් සුළු අඩුපාඩුකම් විහාරස්ථානයෙහි වැඩ වසන භික්ෂූන් වහන්සේලා කෙරෙන් දකින සමහර දායක දායිකාවන් එම භික්ෂූන් වහන්සේ විහාරස්ථානයෙන් පළවා හැරීමට පවා කටයුතු කරන අවස්ථා, සමාජයෙහි දක්නට ලැබේ.

එමගින් සිදු වී ඇත්තේ ශාසනයෙහි පවතින සංඝ ගෞරවයට කැලලක් බව දත යුතු ය. කිසියම් භික්ෂුුවක් සසුනට නොගැලපෙන කටයුතු සිදු කරන්නේ නම්, ඔවුන් සසුනෙන් නෙරපා හැරීමේ බලය සංඝයා වෙත බුදු රජණන් වහන්සේ පවරා ඇත. එය, පබ්බාජනීය නම් විනය කර්මය වන්නේ ය.

එම නිසා ශාසනික කටයුතු වලදී භික්ෂූන් වහන්සේ සහ දායක පිරිස් මෙම බුද්ධ නීතිය අනුව කටයුතු කිරීමෙන්, ශාසනයෙහි උන්නතිය මෙන්ම ගිහි පැවිදි අන්‍යොන්‍ය සබැඳියාව ද වර්ධනය කිරීමට කටයුතු සලසා ගත හැකි බව දත යුතුය.

තෙරුවන් සරණයි

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.