Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
‘ධම්මා අභිඤ්ඤා දේසිතා. පස්සසි නෝ ත්වං ආනන්ද, ඉමේසු ධම්මේසු ද්වේ’පි භික්ඛු නානාවාදේ?’

පින්වත්නි,

දිනක් අනඳ හිමියන් වෙත පැමිණි චුන්ද සමුණුද්දේස හිමියෝ උන්වහන්සේට පාවා නුවර දී අත්දැකීමට සිදු වූ දෙයක් සැළ කර සිටියහ. ඒ නිගණ්ඨ නාථපුත්තයන්ගේ මරණයත් අනතුරුව එතුමාගේ සසුනට අත් වූ ඉරණමත් පිළිබඳ ප්‍රවෘත්තියයි. අසූවියට පත් නිගණ්ඨ නාථපුත්ත මරණයට පත්වුණා. එතුමාගේ ශ්‍රාවකයො, ඒ සසුනේ නායකත්වයට පත්වීමට එකිනෙකාට දොස්නගා ගනිමින්, මහා කෝලාහළයක් ඇරඹූව.

අවසානයෙ දායකයො කළකිරුණ. සසුන පිරිහුණා. බුදුසසුනට මහත් සේ ඇළුම් කළ චුන්ද සමණුද්දේසයන් වහන්සේ මේ සිද්ධියෙන් හරියට කලබල වුණා. කඩිනමින් ශාක්‍ය ජනපදයෙ සාමගාමයට වැඩම කළ උන්වහන්සේ, බුදුරදුන් සමග එහි වැඩසිටි අනඳ හිමියන් හමුවෙලා ඒ තොරතුරු උන්වහන්සේට දැන්වූයේ වයෝවෘද්ධ ව වැඩසිටි බුදු රදුන්ගේ, ඇවෑමෙන් බුදු සසුනට ද එවන් අතවරයක් වෙතැ යි බියපත් වූ නිසා. අනඳ හිමියන් ගැටළුව බුදුරදුන් වෙත ගෙන ගියා. එයට පිළිතුර ඇරඹෙන්නෙ, මා මාතෘකා පාඨය ලෙස දැක් වූ පැනයෙන්. එය මජ්ඣිම නිකාය තෙවන කොටසෙ, දේවදහ වර්ගයෙ, සිව්වන සාමගාම සූත්‍රයෙ දැක්වෙනව.

සාමගාම සූත්‍රය බොහෝ පැතිවලින් අගය කළහැකි දෙසුමක් මෙහි දී සලකා බැලෙන්නේ, එදිනෙදා ජීවිතයට එයින් ලබාගත හැකි ප්‍රයෝජන ගැන කතා කිරීම පමණයි. මේ තොරතුර ලබාගත්ත අනඳ හිමියෝ වඩාත් නොසන්සුන් වුණා. උන්වහන්සේ, බුදුරදුන් වෙත එළඹිලා, ස්වාමීනි, මේ සසුනටත් අර නිගණ්ඨ නාථපුත්තගේ සසුනට වෙච්ච සන්තෑසිය වෙන්න බැරි ද කියල බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව. ඒ පැනයට පිළිතුරු දෙන බුදුන් වහන්සේ, මා මාතෘකා කොටගත් පැනය ආපසු අනඳ හිමියන්ට ම ඉදිරිපත් කළා. එහිදී ‘ධර්මය දේශනා කරල තියෙන්නෙ හරියට ම දැනගෙනයි. තමුන්නාන්සේ දැකල තියෙනවාද මේ ධර්මය ගැන එකිනෙකාට වෙනස් මත දරන දෙන්නෙක් කවර අවස්ථාවකදී හරි? කියල බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසුවා. එහිදී ධර්මය හැටියට බුදුන් වහන්සේ අදහස් කළේ සත්තිස් බෝධිපාක්ෂිකධර්ම.

බෝධි පාක්ෂික ධර්ම නිවැරැදි අවබෝධයෙන් ම දේශනා කළ නිසා, ඒවා ගැන කාටවත් වාද කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ආනන්ද හාමුදුරුවො සඳහන් කළා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන නම් ප්‍රශ්නයක් නැතිවෙයි. ඒත් බුදුන් වහන්සේගේ සමීපයේ ම හිටපු කිසියම් කෙනෙක් වුවත් උන්වහන්සේ නැති කාලෙක දිවිපැවැත්ම සහ ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද පිළිබඳ විවාද ඇතිකර ගත්තොත්, එවැනි විවාදයක් බොහෝ දෙනෙකුට හානියක් වන්න බැරිකමක් නැහැ නේද කියල.

බුදුරජාණන් වහන්සේ ඒ අදහස ගැන එච්චර තැකීමක් නොකර, දිවි පැවැත්ම හෝ ප්‍රාතිමෝක්ෂ ශික්ෂා සම්බන්ධ විවාද ඇතිවීම එච්චර ගණන් ගතයුතු දෙයක් නොවෙයි කියලයි එහිදී සඳහන් කළේ. උන්වහන්සේ විස්තර කළා, සසර දුක නැතිකරන මග පිළිබඳ විවාදයක් ඇති වුනොත් තමයි නරක, ඒත් එහෙම එකක් ඇති වන්න විදිහක් ඇත්තේ නැහැ කියල.

මිනිසුන් අතර විවාද හටගන්න හේතු වන කාරණා මොනවද, ඇතිවන්න පුළුවන් මොන වගේ විවාද ද, ඒවා විසඳගන්න අනුගමනය කළයුතු පිළිවෙළ මොනවද කියන එකයි මුලින් ම සඳහන් කෙරුණෙ. ලෝකයෙ කොයි අත බැලුවත් හැම කෙනෙක් ම මොනයම්ම හරි ගැටළුවක ඉන්න නිසා, අන්න ඒ ටික හරිම වැදගත්. කවර කාලයක, කොතැනක කෙබඳු පැටලිල්ලක හිරවෙල උනත්, මේ ඉන්න හැම කෙනෙකුට ම.

මිනිසුන් අතර ගැටළු ඇතිවන්න හේතුවෙන මානසික ස්වභාවයන් හයක් තියෙනවා. අපි කොයිතරම් කල්පනා කළත්, සාකච්ඡා කළත්, ඒ හේතු හයට වඩා වෙනස් ඒව ඉදිරිපත් වන්න විදිහක් නැහැ. මේ ටික දැන ගැනීම ම මම හිතන්නේ, අපි හැම කෙනෙකුට ම ඉතාමත් ම වැදගත් කියලයි.

පළමුවන එක තමයි ක්‍රෝධයෙන් වෛර බැඳ ගැනීම. දෙවැන්න ගුණමකු වෙලා එකට එක කිරීම. තුන්වැන්න ඊර්ෂ්‍යාව සහ මසුරුකම. හතර, කපටිකම සහ මායාකාරී බව. පහ පාපී, වැරදි සහගත දෘෂ්ටි ඇතිකර ගැනීම. අවසාන එක තමන් දරන මතයෙ ම දැඩි ව එල්බ ගෙන සිටීම.

බුදුරජාණන් වහන්සේ වදාරණව ‘සඤ්ඤං ච දිට්ඨිං ච යෝ අග්ගහේසුං තේ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ’ අදහස්, මතවාද දැඩි ව අල්ලාගත් අය හැමදාමත් ගැටෙමින් එහාට මෙහාට යනව. අපි මේ ධර්ම කරුණු පාඩම් කරල මතක තියාගෙන, ලබන අත්දැකීම් එක්ක නොබිය ව සසඳමින්, එළඹෙන අවස්ථාවන්ට සන්සුන් ව මුහුණ දිය යුතුයි. ඒ සඳහා මේ සූත්‍රයෙන් ලබා ගත හැකි මග පෙන්වීම විශිෂ්ඨයි.

ඉතින්, මේ කාරණා හය තමන් ඉන්න සැබෑ මානසික වාතාවරණය දකින්න තරම් නිහතමානී, අවංක ව ම ගැටළුවලින් නිදහස්ව සංසිඳුණ ජීවිතයක් ගත කිරීමට කැමති ඕනෑ ම කෙනෙකුට හරිම වැදගත්. කෙසේ වුවත් දැක්ක යුතු වැදගත් ම දෙය තමයි, මිනිසුන් අතර ඇතිවන ඕනෑ ම ගැටළුවක් මතුවන්නෙ කවර හෝ පාර්ශ්වයක, එහෙම නැත්නම් හැම පාර්ශ්වයක ම මනස්වල මේ කියන ස්වභාවයන්ගෙන් එකක් හෝ කීපයක් බලවත් වීම නිසයි කියන බව.

ඉතින් මේ විදිහට ඇතිවෙන ප්‍රශ්න වර්ග හතරයි. එකක් තමයි පිරිස් භේදභින්න වෙලා ඔවුනොවුන්ට එරෙහි ව කෑගහගන්න, වාද විවාද කරන, එහාට මෙහාට අරව මේව කියව ගන්න ප්‍රශ්න. ඒවට කියනව විවාදාධිකරණ කියල. ඊළඟට ඔවුනොවුන්ට චෝදනා කරගන්න ප්‍රශ්න. ඒව අනුවාදාධිකරණ. තෙවැන්න නම් ආපත්‍යාධිකරණ. ඒ කියන්නෙ ආපත්තියකට පැමිණීමෙන් එහෙම නැත්නම් ශික්ෂාපද කඩ කිරීමෙන් පැන නගින ප්‍රශ්න. හතර වැන්න කිච්චාධිකරණ නැත්නම්, කරන කියන කටයුතු පදනම් කරගෙන ඇතිවන ප්‍රශ්න. අපට ඇස් අරල වටපිට බැලුවහම, නැත්නම් මොහොතකට සංසිඳිල තමන්ගෙ ම හිත දිහා හැරිල බැලුවම දැකගන්නට පුළුවන්. තියෙන ප්‍රශ්න මේ වර්ග හතරින් කොයි ගොඩට ද දැමෙන්නෙ කියල.

දැන් අපි විවාද හේතු දන්නව. ඇතිවිය හැකි විවාද ජාති දන්නව.

ඊළගට බුුදුරජාණන් වහන්සේ පෙන්නුව මේ විවාද සංසිඳවන පිළිවෙළත්. කොහොම ඇති වුනත්, මොන ජාතියෙ ඒව වුනත්, විසඳන්න පුළුවන් ආකාර හතක් මේ සූත්‍රයේ නිර්දේශ කරල තියෙනව. සම්මුඛා විනය, සති විනය, අමූල්හ විනය යේභුය්‍යසිකා විනය, පාපෙය්‍යසිකා විනය කිණවත්ථාරක විනය, ආදී වශයෙන් එය විස්තර කැරෙනවා.

ඉතින් මෙන්න මේ විදිහට ගැටළු විසඳගෙන සූදානම් වන්නෙ මොනවටද? විදර්ශනා භාවනාවටයි. විදර්ශනාවෙදී අපි අරමුණක් නොයෙක් පැතිවලින් විනිවිද දකිනව. ඒ සඳහා හොඳ සන්සුන්, එකඟ වූ සිතක් අවශ්‍යයි. ඒ නොවිසුරුණ, දැනුවත් භාවයෙන් යුතු ව අවදියෙන් සහ සෝදිසියෙන් ඉන්න හිතක් නඩත්තු කරගන්න, මේ කාරණා දැන සිටීමත්, ඒ වගේ ම, ඒවා භාවිතා කරමින් ගැටළු නැති වටපිටාවක් හදා ගැනීමත් වැදගත් වෙනවා. මේ කාරණා ටික පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ වදාළ සාරාණීය ධර්ම හයක්. ඒ ටික වැදගත් වන්නේ, පි‍්‍රයශීලි ඔවුනොවුන් කෙරෙහි ගෞරව සම්පන්න, සංග්‍රහශීලි, ගැටීම් නැති සමඟි සම්පන්න එක වගේ අය වාසය කරන සමාජ වාතාවරණයක් ගොඩනගන්නයි. සාරාණීය කියල කියන්නෙ මෙනෙහි කළයුතු, එහෙම නැත්නම් සිහිකර කර සිටිය යුතු කියන එකයි. ඒ කාරණා හය තමයි, ළඟ හිටියත් නැතත් සිතින් කයින් වචනයෙන් මෛත්‍රී සහගත වීම, සහ ලැබෙන ප්‍රත්‍ය මොනව වුනත් අනෙක් අය සමග බෙදාහදා ගැනීම, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සිල්වත් වීම සහ හැමවිට ම එක් ව වාසය කරන්නන් සමග පිළිගැනීම්, මතවාද වශයෙන් සමානව සිටීම, වෙනස් වන මැරෙන ජීවිතය, කෙළවරක් නැති බොරු දේවල්වලින් නොසන්සුන්, නොඉවසිලිවන්ත, නොසංසිඳුණ, නොනිමෙන අරගලයක් වෙලා තියෙන බොහෝ දෙනෙකුට ඇස් අරවන කාරණා සමූහයකුයි අද ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කෙරුණේ. මේ කාරණා ටික සංසිඳුණ, නිවුණ ජීවිතයක් කැමති ඕනෑ ම කෙනකුට ප්‍රයෝජනවත් වේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.