උත්තරීතර දිවියේ අවසාන මාස කිහිපය
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඩී.එස්. සැම්සන් සුගතදාස වෙසක් මස පුර පසළොස්වක පොහෝ දින අප සිහිගන්වන බුදුන්වහන්සේගේ උපත
බුදුවීම. පිරිනිවන්පෑම යන තෙමඟුල් දිනයන්ගෙන් වඩාත් සංවේදී බවකින්
යුක්තවන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමේ සිද්ධියයි.
බුදු උපත මෙන්ම අසිරිමත් බුදුවීමද බැතිබර බෞද්ධයාතුළ ඇතිවන්නේ සතුටක්
වූවද, උන්වහන්සේගේ පිරිනිවන්පෑම පුහුදුන් අප තුළ ඇතිවන්නේ සංවේගයකි.
මෙම කරුණ වඩාත් පසක්වන්නේ බුද්ධපරිනිර්වාණය අසා, එකළ පෘතග්ජන
භික්‍ෂූන්වහන්සේලා තුළ ඇති වූ කම්පාවයි. රහත් භික්‍ෂූන් වහන්සේ පවා
එහිදී ධර්ම සංවේගය පළකළ බව මහාපරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වේ.
තමා ලොව්තුරා බුදුබවට පත්ව ආරම්භ කළ, සදහම්චාරිකාව තම මහළුවිය තෙක්ම
ලෝකයාගේ හිතසුව පිණිස වීර්යයෙන් යුතුව කටයුතු කළ බවද, මෙම අවසාන
කාලපරිච්ඡේදයේදී මනාව ප්‍රකට වේ. උන්වහන්සේ දෙව්මිනිසුන්ගේ හිතසුව
පිණිස කෙතරම් වෙහෙසුනේ ද යන්න මෙයින් පැහැදිලි වේ.
“තමන් වහන්සේ ගුරු මුෂ්ටියක් නොතබා සියල්ල දේශනාකොට ඇති බවත්. තමාට
තමාගේ පිහිටලෙස සලකා ධර්මය තමාගේ පිහිට ලෙස සලකාගෙන වාසය කරන ලෙසත්
අන්‍ය පිහිටක් නොබලා වාසය කරන ලෙසත්.”
“තස්මාහි ආන්න්ද අත්තදීපා විහාරථ, අත්ත සරණා අනඤ්ඤ සරණා, ධම්මදීපා ධම්ම
සරණා අනඤ්ඤ සරණා....” දී.නි. මහාවග්ග, පරිනිබ්බාණ සූත්‍රය)
දක්වන අවස්ථාවද උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් බව මනාව වටහා ගැනීමට ඇති
අවස්ථාවකි.
මෙම අවවාදයෙන් පසුව උන්වහන්සේ බුදුන්ට අවශ්‍යනම් කල්පයක් හෝ ඉන්යම්
ප්‍රමාණයක් ජීවත්විය හැකි බව පැවැසීමද, එම කරුණ සම්බන්ධයෙන් ආනන්ද
හිමියන්ගේ අවධානයක් යොමුනොවීමද අපතුළ සංවේගයක් උපදවයි. (මේ නිසාම ආනන්ද
හිමියන්ට පළමු සංගායනාවේදී භික්‍ෂූන්වහන්සේලාට උත්තරදීමටද සිදුවිය.)
මෙම අවස්ථාවෙන් පසුව භික්‍ෂූන්වහන්සේලාට ලබාදෙන අවවාදය තම ධර්මය ඉතා
සැකවින් මතක්රදීමක් වැනි ය.
“හන්දානි භික්‍ඛවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදෙන
සම්පාදේථ...” ඉතො තිණ්ණංමාසානං අච්චයේන තථාගතො පරිනිබ්බායිස්සානි....”
දී.නි. මහාවග්ග - මහාපරිනිබ්බාණ සූත්‍රය.
විශාලා මහනුවරින් පසුව අම්බගම, ජම්බුගාම, භෝගනගරය පසුකොට පාවානුවරට
වැඩිය බුදුන්වහන්සේ චුන්දකර්මාරපුත්‍රයාගේ සූකරමද්දවය නම් ආහාරය
පිළිගැනීමද, ඒනිසාම උන්වහන්සේට උදරාබාධයක් ඇතිවීමද, පාවානුවරින්
කුසිනාරාව බලා වඩින උන්වහන්සේට ඇතිවන පිපාසාව සංසිඳවා ගැනීමේ සිද්ධියද
සංවේගය උපදවන සුළු ය. චුන්දකර්මාර පුත්‍රයාගේ දානය නිසා උන්වහන්සේ
පිරිනිවන් පෑවේය යන අදහස නිසා බුදුන්වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ
වදාරති. “ආනන්දය, මට දන්දීමෙන් මා රෝගීවීම ගැන චුන්දයන් ශෝක නොවිය යුතු
ය. එම දානය සම්බෝධිය ලබාදීමට පෙර ලබාගත් දානයට සමාන ය.”
මෙම සිද්ධියෙන්ද පෙනීයන්නේ උන්වහන්සේ නිරතුරු පුද්ගලයා කෙරෙහි මහා
කරුණාවකින් වැඩසිටිය බවයි. මෙම සාකච්ඡාවෙන් පසුව උන්වහන්සේ හිරඤ්ඤවතී
ගංගාවෙන් එගොඩවී කුසිනාරාවේ මල්ල රජවරුන්ගේ උපවර්තන සල්උයනට පිවිසෙති.
එහිදී සල්ගස්දෙකක් අතර උතුරටහිස තබා දකුණැලයෙන් සිංහසෙය්‍යාවෙන්
සැතපුණුසේක. මෙහිදී ආනන්ද හිමියන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන
බුදුන්වහන්සේ ශ්‍රද්ධාවත් කුලපුත්‍රයකු විසින් දැකීමට සුදුසු වූ, දැක
සංවේග ඉපදවිය යුතු ස්ථාන සතරක් දක්වති. බුදුන් වහන්සේ නොමැති වූ විට
සිව්වනක් පිරිස් එම ස්ථාන නැරැඹීමට පැමිණෙන බවත්, යම් අයෙක් මෙම ස්ථාන
පැහැදුන සිතකින් නරඹමින් සිට මැරුණහොත් දෙව්ලොව ඉපදෙන බවත් වදාළහ. එම
සංවේග ඉපවිය යුතු ස්ථාන 4 නම්,
1. තථාගතයන් වහන්සේ මෙලොව උපන් ස්ථානය.
2. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය.
3. උන්වහන්සේගේ පළමු දහම් දෙසූ ස්ථානය.
4. උන්වහන්සේ පිරිනිවන් පාවදාළ ස්ථානය.
බුදුන්වහන්සේ නොමැති අවස්ථාවකදී සිව්වනක් පිරිස හැසිරිය යුතු අයුරු,
මනාව මඟපාදා, තිබෙන අයුරු මෙයින් මනාව පැහැදිලි වේ.
මෙහිදී ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු දැයි, ආනන්ද හිමියන්
බුදුරදුන්ගෙන් ඇසූ ප්‍රශ්නයට දෙනලද පිළිතුරද සමාජයක් යහ අන්දමින්
පවත්වාගෙන යෑමේ මනා උපදේශයක් සපයයි.
ඒ අනුව ඇයගේ වයස අනුව ඇය මවක්, සොහොයුරියක් දුවක් යැයි සිතා කටයුතු
කිරීමේ වගකීම පුද්ගලයාට මතක්කර දෙයි. ස්ත්‍රිය සම්බන්ධයෙන් මෙම උපදේශය
පුද්ගලයා සිහිකරන්නේ නම් වර්තමානයේ කාන්තාව පිළිබඳව සිදුවන විවිධ
අකටයුතු සිදුනොවන බවද ඉතාම පැහැදිලි කරුණකි.
මෙම අවසාන මොහොතේ බුද්ධ ශරීරය සම්බන්ධයෙන් කෙසේ පිළිපැදිය යුතු දැයි
ඇසූ ප්‍රශ්නයට උන්වහන්සේගේ පිළිතුර වූයේ සක්විති රජෙකුගේ මෘත ශරීරයකට
දක්වන ගෞරවයක් තමාට දැක්විය යුතු බවත් ථූපාර්හ පුද්ගලයින් සතරදෙනෙක්
ඇති බවත් (බුදු – පසේබුදු - සර්වඥශ්‍රාවක - සක්විතිරජ)එසේ ථූප තැනීම
වැදගත්වන්නේ ඒවා දැක පුද්ගලයා සිත්පහදවාගෙන දෙව්ලොව ඉපදීමට හේතුවන බවත්
ය.
මෙම සිද්ධියෙන් පසුව ආනන්ද හිමියන් ඇතුල් විහාරයේ හඬමින් සිටින
අවස්ථාවකදී ඒ හිමියන් නැවැත තමාවෙත කැඳවා ‘උපන්දෙයක විනාශ වීමද එහි
ස්වභාවයක් බවත්, තම ශරීරයද එසේ නොවීමට හේතුවක් නොවන බවත්, තමා කෙරෙහි
මෛත්‍රියෙන් උපස්ථාන කළ අවස්ථාවද සිහියට නගමින් නොබෝ දිනකින්
උන්වහන්සේට රහත්වීමේ වාසනාගුණය ඇති බවත් වදාරති. මෙයින් පුද්ගලයාට
ජීවිතයේ යථාර්ථය දැකීමට මඟපාදන අයුරු අතිශයින්ම වැදගත් වේ.
මෙම අවස්ථාවේ දී ආනන්ද හිමියන් කුඩා නගරයක් වූ මෙම කුසිනාරාවේ
පිරිනිවන් පෑමට නොසුදුසුබවත් මහනගරයක පිරිනිවන් පෑමට ඉල්ලා සිටියද එම
අදහස ප්‍රතික්‍ෂේප කරන උන්වහන්සේ එය කුඩා නගරයක් ලෙස සිතීම නුසුදුසු
බවත් මෙම නගරය පෙර මහා සුදර්ශන නම් සක්විති රජුගේ කුසාවතී රාජධානිය බවද
පැවැසූහ. බැලූබැල්මට කෙනෙකුට කුඩා නගරයක් බඳුවූවද පිරිනිවන් පෑමට
සනිටුහන් කළ එම ස්ථානය බුද්ධඥානය අනුව ඉතාම සුදුසු අයුරින් තෝරාගත්
ස්ථානයක් බවද මෙයින් පෙනී යයි.
බුද්ධ පරිනිර්වාණය සිදුවන අවස්ථාවේ සිද්ධවන තවත් විශේෂ සිද්ධියක් නම්
‘සුභද්‍ර’ නම් පිරිවැජියා, බුදුන් දැකීමට පැමිණීමයි. බුදුන්වහන්සේ පත්ව
සිටින අවස්ථාව ගැන අවධානය යොමුකළ ආනන්ද හිමියෝ සුභද්‍රගේ පැමිණීම
වැළැක්වූහ. එහෙත් එම සාකච්ඡාව අසාසිටි බුදුන්වහන්සේ සුභද්‍රට තමා
හමුවීමට අවස්ථාවක් ලබාදුන්හ. එහිදී සුභද්‍ර බුදුරදුන්ගෙන් ඇසූ
ප්‍රශ්නයට බුදුන් වහන්සේ ලබාදුන් පිළිතුර ශාසනික වශයෙන් අතිශයින්ම
වැදගත් වෙයි. “සුභද්‍රය මාගේ ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇත. එහි
සෝවාන් නැමැති පළමුවන ශ්‍රමණයකුත්, සකෘදගාමි නමැති, දෙවැනි
ශ්‍රමණයකුත්, අනාගාමී නමැති තුන්වෙනි ශ්‍රමණයකුත්, අර්හත් නමැති සතරවන
ශ්‍රමණයකුත් දක්නට ලැබේ. අන්‍ය ධර්මයන්හි මේ කියන ශ්‍රමණයන් දක්නට
නොලැබේ. සුභද්‍රය, මාගේ ශාසනයේ භික්‍ෂූන් මනාකොට පිළිපඳින්නේනම් ලෝකය
රහතුන්ගෙන් හිස් නොවනු ඇත....” අප වෙනත් දහමක් ගැන හෝ බුද්ධ ධර්මය
පිළිබඳව හෝ කුමන මතවාද තිබුණ ද එයින් වැඩක් නොවේ. තමාට අර්ථයක් වනුයේ
ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසිපරිදි පිළිපැදීමයි.
සුභද්‍ර භික්‍ෂුව, බුදුන් දෙසූ එම දහම අසා රහත් භාවයට පත්වූ අතර,
උනවහන්සේ බුදුන්වහන්සේගේ අවසන් ශ්‍රාවකයා බවට ද පත් වූහ. ඉක්බිතිව
බුදුන්වහන්සේ භික්‍ෂූන්ට ලබාදෙන අවවාදයද මතු ශාසනයේ චිර ජීවනය සඳහා
හේතුවන්නෙකි. එනම් තමාගෙන් පසුව භික්‍ෂූන්ගේ ගුරුවරයා වන්නේ තමන්වහන්සේ
දෙසූ ධර්ම විනය බවය.
විවිධ කරුණු ගැන අවධාරණය කළ බුදුන්වහන්සේ ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇතොත්
අසාදැන ගන්නා ලෙස තෙවරක්ම ඇසූවද කිසිවෙක් ප්‍රශ්නනොකළහ.
භික්‍ෂූන්ට කිසිදු විමතියක් හෝ සැකයක් හෝ නැතැයි ආනන්ද හිමියන්ගේ
පැවැසීමෙන් අනතුරුව බුදුන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, දැන් තොප
අමතමි. සංස්කාරයෝ නැසෙනසුළු ය. එබැවින් රහත් බව පිණිස කළයුතු දෙය
සම්පූර්ණ කරන්න. යනුවෙන් අවසන් අවවාදය දී, ප්‍රථමධ්‍යානාදියට
පිළිවෙළින් සමවැදී පරිනිර්වාණයට පත්වූහ.
|