Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා ප්‍රජාපතී අපදානයේ කාව්‍යමය අගය

මහා ප්‍රජාපතී අපදානය, ගාථා 190 කින් සමන්විත පද්‍ය කාව්‍යයකි. අපදාන පාලියේ දක්නට ලැබෙන ථෙරී අපදාන අතර රසවත් පද්‍ය කාව්‍යයක් ලෙස අගය කළ හැකි එය විශිෂ්ඨ රචනාවකි. මෙහි මුල සිට අග දක්වාම දක්නට ලැබෙන්නේ කාව්‍යමය ස්වරූපයකි. සංස්කෘත අපදාන සාහිත්‍යයෙහි සුලභව දක්නට ලැබෙන පරිදි බුද්ධ චරිතයට සම්බන්ධ කර මහා ප්‍රජාපතී අපදානය ආරම්භ කර ඇත.

මෙහි සඳහන් එක් පද්‍යයක එන අර්ථයට අනුව ‘ලොවට පහනක් වූ; මිනිසුන් දමනය කරන බුදුරජාණන් වහන්සේ, එක්තරා කාලයක විශාලා මහනුවර මහ වනයෙහි කූ®ටාගාර ශාලාවෙහි වැඩ වාසය කරන සේක’ යැයි සඳහන් වෙයි. ඒ අනුව පැහැදිලි වන්නේ එය උගත් කවියකු විසින් කරන ලද රචනාවක් වැනි බව යි.

මෙම අපදානය, මහා ප්‍රජාපතී ගෝතමියගේ පිරිනිවන් පෑම වටා ගෙතුණු රචනාවකි. ඇය වයස අවුරුදු 120 දී පිරිනිවන් පෑමට සුදුසු කාලය ලෙස අදහස් කළාය. එවිටම මහ පොළොව කම්පා විය. මෙය දුටු සෙසු භික්‍ෂුණීන් 500 දෙනා පොළව කම්පාවට හේතුව ඇයගෙන් විමසූහ.

ඉන් පසු, ඒ සියලු දෙනාම පිරිනිවන් පෑමට අදහස් කරමින් පිරිනිවීමට පෙර බුදුරාජණන් වහන්සේ දැකීමට පිටත්ව ගියහ. මෙම අවස්ථාව උපමා රූපක යොදමින් රසවත් කාව්‍යමය රචනාවක් ලෙස සකස් කර ඇත.

ත්‍රිපිටක සාහිත්‍ය යේ දක්නට ලැබෙන දුර්ලභ කාව්‍යමය වූ රසයක් වන කරුණා රසය, මෙහි දක්නට ලැබේ.මහා ප්‍රජාපතී ගෝතමී අපදානයේ එන ගාථාවක් වන

නිබ්බාණං ගොතමී යාතී –
සතෙහි සහ පඤ්චහි
නදීස ස තෙ හි ව සහ ග_ගා පඤචහි සාගරං

යන ගාථාවට අනුව භික්‍ෂුණීන්ගේ පිරිනිවීමේ පුවත සැළවීමෙන් වැළපෙන්නට වූ ජනයා සනසාලන්නට මහා ප්‍රජාපතීය අවවාදාත්මක අනුශාසනාවක් කරති. හඬන ස්ත්‍රීන්ට ඇය කියා සිටියේ ස්ත්‍රීන්ට පැවිද්ද ලබාදීමට තමා වෙහෙසුණු බවත්, එය තමා කළ වැදගත් ක්‍රියාවක් බවත්, තමන්ට කරන සැලකීම නම්, එයින් ප්‍රයෝජන ගැනීම බවත් ය.

ථීනං ධම්මාභිසමයෙ යෙ බාලා විමතිං ගතා
තෙසං දිට්ඨිපහානත්‍ථං ඉද්ධිං
දස්සෙසි ගොතමී

මෙහි එන ප්‍රකාශය ථෙරවාදී ත්‍රිපිටකයට අනුව ප්‍රාතිහාර්ය පෑම ගැන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය සමඟ නොගැලපෙනු ඇත. ඒ කෙසේ වුවත් ප්‍රජාපතිය විසින් කරන ලද ප්‍රාතිහාර්ය පිළිබඳ ගාථා 11 කින් විස්තර කර ඇත. එසේම මෙහි ඇති සමහර ගාථාවල කීමට ඇති සෑම අද්භූ®ත දෙයක්ම ඇතුළත් කොට ඇත . එම ප්‍රාතිහාර්ය දැක විශ්මයට පත් ජනතාව මේ හැකියාව ඔබතුමියට ලැබුණේ කෙසේදැ’යි විමසති.

එවිට එතුමිය තම අතීත චරිතය ද විස්තර කරති. එම අතීත කථාවට අනුව පියමතුරා බුදුරජාණන් වහන්සේ දවස සිට ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා සසර ජීවිත තොරතුරු දැක්වෙයි. එම විස්තරය අවසානයේ දී සෑම කෙනෙක්ම බුදුන් වහන්සේගෙන් සමුගත්හ. මෙහි දක්නට ඇති තවත් විශේෂ ලක්‍ෂණයක් නම් පිරිනිවන් පෑමට යන ප්‍රජාපතිය පසුපස දොරටුව දක්වාම බුදුරජාණන් වහන්සේ ද ගමන් කිරීමය. භික්‍ෂුණී අසපුවට ගිය එතුමිය පිරිනිවන් පෑවා ය.මේ පිරිනිවීම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමට වඩා උසස් කොට සලකමින් මෙය රචනා කොට ඇත. ඉන් පසු ආනන්ද තෙරුන් භික්‍ෂූන් වහන්සේ රැස්කර ගැනීමට කටයුතු කර ඇත.

ආනන්ද හාමුදරුවන් වහන්සේ අඬමින් භික්‍ෂුන් වහන්සේ රැස්කළ අතර,සියලු ආදාහන කටයුතු නිමවා එතුමියගේ ශාරීරික ධාතූ®න් පාත්‍රයට ගෙන බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූහ. එහිදී බුදුරජාණන් වහන්සේ ධර්මය දෙසීමෙන් පසු මෙම කථාව නිම වෙයි. මෙම චරිත කාව්‍යය රචනා ශක්තිය අතින් සලකන විට ඉතා දියුණු තත්ත්වයේ කාව්‍යයක් බව පෙනෙයි.

ක්‍රි.ව.1 වන සියවසේ අශ්වඝෝෂ යුගයේ භාරතයේ කාශ්මීරයේ උසස් මට්ටමේ බහුශ්‍රැත සංස්කෘත කවීහු කීප දෙනෙක් සිටි අතර, ඔවුන්ගේ කෘතීන්ට ආසන්න කවිත්වයක් මෙහි දක්නට ලැබෙයි. බොහෝ අවස්ථාවල දී වචන හැසිරවීමේ දී කමල කෝමලයෙන් අවස්ථාවෝචිත වචන යොදාගෙන ඇති බව පෙනෙයි. කාය¸ශූරපාදයන් විසින් රචිත ජාතකමාලාවේ වෙස්සන්තර ජාතකයේ දක්නට ලැබෙන ශ්ලෝකයක්, මෙයට ආසන්න තත්ත්වයෙන් දැකිය හැකි ය. කාය¸ශූරීන්ගේ ජීවන සමය ක්‍රි.ව.200 සිට 400 අතර කාලයකි.

අධර්මෙ මත ජාගර්තේ,
ධර්ම:ශෘත වාමුතං
යත්තෘ විශ්වන්තරො රාජා -
අශ්මාන් රාජ්‍යාන් තිරස්තෘතෙ

මෙම ශ්ලෝකයට සමාන ගාථාවක් මහා ප්‍රජාපතී අපදානයේ දක්නට ලැබෙයි.

යත්‍ථ නාම ජිනස්සා යං
මාතුච්ඡා බුද්ධ පෝසිකා
ගොතමී නිධනං යාතී-
අනිච්චං සබ්බ සංඛතං

මෙම සමානත්වය තුළින් පෙනී යන්නේ, අපදාන පාලියේ දී නව රචනා ශෛලියක් අනුගමනය කර ඇති බවත් ය. අපදාන පාලියේ භික්ඛුණී අපදානයේ දක්නට ලැබෙන මහා ප්‍රජාපතී ගෝතමී අපදානය නූතන කාව්‍ය ලක්‍ෂණයන්ගෙන් සම්පූර්ණ වූවා පමණක් නොව, සංස්කෘත ආභාෂය නොඅඩුව දක්නට ලැබෙන්නක්ද වෙයි. සංස්කෘත භාෂාවේ දක්නට ලැබෙන වචන මෙන්ම, මෙහි දක්නට ලැබෙයි. පාලියට සම්බන්ධ වන වෙනත් ලේඛනවල එනම් අශෝක ලිපි හෝ අර්ධ මාගධයේ හමු නොවන වචනද ඇත.

මේ අනුව සලකා බලන විට මහා ප්‍රජාපතී අපදානය බෞද්ධ සංස්කෘත රචනාවක් ඇසුරෙන් සකස් වුවක් බව පෙනෙයි. එඩ්වඩ් මුලර්ගේ අදහස නම් කල්පනා මණ්ඩිතිකාවේ 68 වන අපදානය කියවූ තැනැත්තකු විසින් මහා ප්‍රජාපතී ගෝතමී අපදානය රචනා කළ බව යි. ඔහු මේ අදහස ඉදිරිපත් කර ඇත්තේ මෙහි අන්තර්ගත කරුණු අනුව යි. කල්පනා මණ්ඩිතිකාවේ ටිබැට් අනුවාදය පමණක් දැනට සොයාගෙන ඇති නිසා එහි භාෂාව සමඟ සැසඳීමට ඉඩක් නැත.

මෙහි අන්තර්ගත කරුණු අනුව තම අදහස් දක්වන වින්ටර් නීඩ්ස් පඬිවරයා, මහා ප්‍රජාපතී අපදානය, කල්ර්නා මණ්ඩිතිකාවේ 68 වන අපදානයෙන් කරුණු ගෙන රචනා කළා හෝ විය හැකි බව පෙන්වා දෙයි.

එකම පුවත අපදාන පාලියේ අඩු ප්‍රමාණයකින් ද, කල්පනා මණ්ඩිතිකාවේ කාව්‍යාලංකාරයන්ගෙන්ද සරු කොට විස්තරාත්මකව රචනා කොට ඇත. ඒ නිසා ඇතුළත් කරුණු සැලකීමේදී ඉහත සඳහන් දෙදෙනාටම කරුණු දැක්වීමට අවස්ථාව තිබේ. මෙහි එක් ගාථාවක “පේමසා” යනුවෙන් පේම ශබ්දයේ තතියා විභක්ති රූපයක් දක්වා ඇත. පසාරෙහි පණමන්තෙ කරිස්සං වුත්ත පෙමසා, එසේම තවත් ගාථාවක සඳහන් පරිදි “අනින්දියෝ ධම්ම වුත්ත කායො මම සංවඩ්ඪිතො තයා - මෙම වචන මාලාවේ දක්නට ලැබෙන ධම්මකාය යන්න මහායානයේ පමණක් හමුවන ඉගැන්වීමකි.

මහායාන දර්ශනයට අනුව බුද්ධත්වයට පත් වන පුද්ගලයකුට ‘ත්‍රි කාය සම්පත්තියක්’ ඇත. එනම් ධර්ම කාය, සම්භෝග කාය හා නිර්මාණ කාය යනුවෙනි. සත්‍ය වූ බුද්ධත්වය නම්, ධර්ම කාය යි. සදාකල්හිම පවතින බුද්ධත්වය මෙයින් අදහස් කැරේ. සෑම බුදුවරයෙක්ම පාරමිතා සම්පූර්ණ කොට පරම පාරිශුද්ධත්වය ලබා මෙම ධර්මකායට එකතු වී අවසන් වෙයි. නිර්මාණ කාය වශයෙන් දක්වන්නේ බුද්ධත්වයට පත් යම් කෙනකුගේ ජීවිතයයි. බුද්ධත්වයේ ස්වරූපය ලෝකයාට දැන ගැනීමට හැකි වන්නේ නිර්මාණ කායෙනි.

යම් කෙනකු බුදුවීම සඳහා බෝධි චිත්තය උපදවාගත් විට එතුමා ඉදිරියෙහි මැවී පෙනෙන්නේ බුද්ධ ආකෘතිය යි. බෝසතුන් සම්භෝගයට පැමිණි හෙයින් සම්භෝග කාය නම් වෙයි. මහායානිකයන් ගේ නිර්මාණයකි,මේ ත්‍රිකාය සම්පත්තිය. ක්‍රි.ව. 01, 02 කාලයේදී බිහි වූ එකකි. මේ අනුව අපට පෙනී යන්නේ මහා ප්‍රජාපතී අපදානය එම කාලයට පසුව රචනා වූ බවකි.

පාලි රචකයන් තුළ දක්නට නොලැබුණු; එහෙත් සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ රචනා කළ ථෙරවාදී නොවන අශ්වඝෝෂ, ආය¸සූර්ය, වැනි මහායානික පඬිවරු තුළ සුලබව දක්නට ලැබුණු කාව්‍යමය හැකියා මේ රචනාවේ දක්නට ලැබෙයි.

මහා ප්‍රජාපතී අපදානයේ ප්‍රාතිහාර්ය වර්ණනා; බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් කෙරෙහි බැතිමතුන් තුළ ශ්‍රද්ධාව භක්තිය ඇති කිරීම සඳහා රචනා කරන්නට ඇත.

භක්තිවාදය මුල්කොටගත් ජනප්‍රිය ආගමක් වශයෙන් බුදුසමය ජනතාව අතර පතුරුවා හැරීමට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ගෙන ගිය උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් අපදාන පාලිය රචනා කරන්නට ඇත.

පුබ්බේනිවාසානුස්සති ඤාණයෙන් පූර්ව කර්ම විභාගයෙන් උදාර චරිත, පිළිබඳ විස්තර දැනගෙන ප්‍රකාශ කිරීම, ‘අපදාන’ යන්නෙන් ප්‍රකාශ වෙයි.

මහා ප්‍රජාපතී ගෝතමිය අතීතයේ කරන ලද කුසල කර්‍ම විපාක තමා විසින්ම පැහැදිලි කළාය. දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේට සිව් පසයෙන් උවටැන් කොට, එම කුසල කර්මයාගේ විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව සියලු පංච කාම සම්පත්තියෙන් අනූනව අන් දෙවියන් අභිබවා විසූ බව පෙනෙයි.

අපදාන පාලියේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ කුසල කර්මවල විපාක වශයෙන් ලැබූ සැප සම්පත් නිරූපණය කිරීමකි. සිත පිරිසුදුව කරන යහපත් ක්‍රියා මගින් යහපත් ප්‍රතිඵල උදාවන බව බුදු දහමේ එන ඉතා වැදගත් ඉගැන්වීමකි. සත්වයා විඳින සැප, අතීත කුසල ධර්‍මවල විපාක වශයෙන් ලැබෙන්නේ ය. අපදානය රචනා කර තිබෙන්නේ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතීත කුසල කර්ම වල විපාක වින්ද අයුරු පවසමිනි. සැදැහැති මහජනතාව කුසල කර්මවල නිරත කරවීමේ අරමුණෙනි.

මහා ප්‍රජාපතිය පිරිනිවන් පාන්නට පෙර, බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව අහසට නැගී බොහෝ සෘද්ධි පෙළහර පා ඇත. ඒ දැක විශ්මයට පත් ජනතාව එබඳු අසිරිමත් කුසළතාවක් ලැබුණේ කෙසේදැ’යි ප්‍රශ්ණ කරති. එවිට එතුමිය තමා අතීතයේ කළ පින්කම් විස්තර කරති. පියමතුරා බුදු රදුන් දවස එතුමිය තම සුළු මවට අග තනතුරු දෙනු දැක, භික්‍ෂු සංඝයාට දන්දී ඒ තනතුර පැතූ බවත්, ආරාම 500 ක් තනා පූජා කොට සිවු මසක් මුළුල්ලේ සිවුපසයෙන් සංග්‍රහ කළ බවත් පවසති. එම පිනෙන් මේ සම්පත් ලබාගත් බවත්, තව්තිසාවේ බොහෝ කලක් දිව්‍ය සම්පත් ලැබූ බවත් විස්තර කරති. මේ අනුව අතීත කුසල කර්මවල විපාක දැක්වීම, අපදාන පාලියේ වස්තු විෂය වී ඇතිබව, කිව හැකි ය


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.