Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ අනුසස් ඇති කඨින පූජා පිළිවෙත

වස්විසීම ආරම්භ වනනේ, ඇසළ පසළොස්වක පෝය දිනයන් පසු දින සිට ය. පසුවස් එළැඹෙන්නේ නිකිණි මස පසළොස්වක පෝය දිනට පසු දින ය. වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට වස් පවාරණය කරන දින හෝ ඊට පසු උතුම් කඨින සිවුරක් පූජා කරනු ලැබේ. මෙම කඨින පූජාව සිදුවන්නේ වප් පසළොස්වක අවසානයේ සිට ඉල්පුර පසළොස්වක පොහොය දින දක්වා ය.

බොහෝ අය මෙම සිවු මාසයේ දී වස් පින්කම්වලටත් කඨින පූජාවටත් සම්බන්ධ වන නමුත් ‘කඨින’ යන්නෙහි තේරුම පිළිබඳ නිසි අවබෝධයක් නැති බව පෙනෙයි.

කඨිනය යනු කුමක් ද?

කඨින යන වචනයෙන් අදහස් වන්නේ ‘තද’ ‘දැඩි’ යන තේරුමකි. තවද, ස්ථිර අකම්ප්‍ය යන වචනය ද එයට ගැලපෙයි. නො සැලෙන නො බිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකට ද ව්‍යවහාර කරන නමකි. මෙය දෙපොට සිවුර ය, තනිපට සිවුර ය, අඳින සිවුර ය යන තුන් සිවුරෙන් එක් සිවුරක් අරමුණු කොට ගෙන සෙවිය යුතු හෙයින් කඨිනය යන නම ලබයි. පුණ්‍ය කර්මය ද කඨින නම් වෙයි. කඨිනය නො සැලෙන, නොබිඳෙන, ස්ථිර වූ එමෙන් ම ප්‍රශංසා කටයුතු, ඒක ඝන වූ ආනිශංස ඇති පින්කමකි.

පෘථිවිය මෙන් අකමප්‍ය, මහා මේරු පර්වතය මෙන් නිශ්චල, වජ්ර පර්වතය මෙන් බිඳිය නො හැකි, ඝන වූ යන අර්ථයෙන්, ‘කඨිනය’ නම් වෙයි. එය අතිශයින් ස්ථිර වූ කුසල කර්මයකි.

නාගිතාපදානයෙහි එය මෙසේ දක්වා ඇත.

පඨවිර්ව න ජාතු කම්පතෙ
න චලති මෙරු රිවාති වායුනා
වජිරම් ව න භිජ්ජතෙ ඝනං
තම්දමතො කඨිනන්ති වච්චති.

කඨිනය යනු, සිවුරක් නිමිති කරගෙන පනවා ගත් ප්‍රඥප්ති මාත්‍රයකි. එය සම්මුති වශයෙන් සිවුරක් වුව ද එහි ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා සංඛ්‍යාත ශුද්ධාෂ්ටක ධර්මයකි. ‘කඨින’ ශබ්දයේ නිෂ්පත්තිය සිදුවී ඇත්තේ මෙසේ ය. ස්ථිර අර්ථ ඇති කථ ධාතුවෙන් ඉන ප්‍රත්‍ය වී කථ ධාතුවෙහි ‘ථ’ කාරයට ‘ඨ’ ආදේශ වීමෙන් ‘කඨින’ ශබ්දය විය. සමහර බලවත් අකුසල කර්ම නිසා කුසල කර්ම යටපත් වන අවස්ථා ඇත. එහෙත් කඨින පූජාවෙන් ලබන ආනිශංස වෙන කිසිම අකුසල කර්මයකින් යටපත්කිරීමට නොහැකි වෙයි. මෙම අරුත අනුවද ‘කඨින’ යන නම භාවිත වෙයි.

පාංශුකූලික සිවුර - ආරම්භයේදී බුදුරජාණන් වහන්සේගේත් සංඝයා වහන්සේගේත් සිවුරු, පාංශුකූ®ලික විය.

භගවා භන්තෙ පාංශුකූලිකෙ, භික්ඛු සංඝො’ යන්නෙන් එය පැහැදිලි ය.

එකල, චීවර සඳහා සුදුසු පාංශුකූලික වස්ත්‍ර සොයමින් භික්ෂුන් වහන්සේ ඇවිද ගියහ. මෙසේ ඇවිද ගිය පළමු අයට, සුදුසු වස්ත්‍ර ලැබිණ. පසු අයට නොලැබිණි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පළමුව පාංශුකූලික වස්ත්‍රයක් ලැබුණු භික්ෂුවක් වස්ත්‍රයක් නොලද භික්ෂුවකට එයින් අඩක් අකමැත්තෙන් වුවද දිය යතු යැයි නියමයක් කළහ. මෙම කාලයේ දී ගිහියන් විසින් වස්ත්‍ර පූජා නොකරන ලදී.

ගහපති චීවරය - ජීවක රාජවෙද ඇදුරන්ට ඉතා වටිනා සීවෙය්‍යක වස්ත්‍ර යුගලක් ලැබිණි. එතුමා එය බුදුරජාණන් වහන්සේට පූජා කොට, මෙවැනි ඉල්ලීමක් කළහ. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේත් ශ්‍රාවකයෝත් පාංශුකූලික වෙති. මෙම සීවෙය්‍යක වස්ත්‍ර යුගල මට චණ්ඩ පජ්ජෝති රජතුමාගෙන් ලැබිණි. මෙය ඉතා වටින්නේ ය. ඒ නිසා ඔබ වහන්සේ මෙය පිළිගනු ලබත්වා! භික්ෂු සංඝයාටද ගිහියන්ගෙන් චීවර ලබා ගැනීමට අනුදැන වදාරන සේක්වා! යනුවෙනි. ඒ අනුව, බුදුරජාණන් වහන්සේ එතෙක් පාංශුකූලක ව සිටි භික්ෂූන්ට ගෘහපතියන්ගෙන් චීවර පිළිගැනීම මෙසේ අනුදැන වදාළහ.

‘අනුජානාමි භික්ඛවෙ ගහපති චීවරං යො ඉච්ඡති ගහපති සාදියිතුං ඉතරිතරෙන පනභික්ඛවෙ සන්තුට්ඨිං වණෙණමිති’

මහණෙනි, ගෲහපති චීවරය ඉවසන්නාහු විසින් පාංශුකූල චීවරයද ඉවසන්නට අනුදනිමි. මහණනි, මම ඒ දෙකින්ම සතුටු වීම වර්ණනා කරමි.

සුදුසු වස්ත්‍ර

මුලදී තුන් සිවුරු පාංශුකූල වස්ත්‍රයෙන්ම කළයුතු විය. නමුත් පසුව කොමු, කපු, කෝසෙය්‍ය, කම්බිලි සහ සහ මිශ්‍ර පිළි යන මේවායින් කළ රෙදි වර්ග පිළිගැනිණ.

නුසුදුසු වස්ත්‍ර - කුසවීර, වාකවීර, ඵලකවීර, කේශ කම්බල, සිවුරු රෙදි සඳහා ගැනීමෙන් ථුලසි ඇවැත් සිදුවන බව දක්වා ඇත.

සිවුරු වර්ග - ප්‍රධාන වශයෙන් සිවුරු වර්ග තුනකි. ඒවා නම් සඟල සිවුර, තනිපට හා දෙපොට සිවුර සහ අඳන සිවුර ය.

එහෙත් ඒ සමග විනයෙහි, සංඝාටිය, උත්තරා සංඝය, අන්තරාවාසකය, වස්සාටිකය, කණ්ඩුපටිවිජාදනය, නිසීදනය, පච්චත්ථරණය, මුඛපුඤ්ජන චෝළය, පරික්ඛාර චෝලය යනුවෙන් සිවුරු නවයක් නියම කර ඇත. භික්ෂූන් වහන්සේට දෙපොට සිවුර ය. තනිපට සිවුර ය අඳින සිවුරු ය යන තුන් සිවුරු අධිෂ්ඨාන කොට පරිභෝග කරන්නට සිදුව තිබිණ. එම තුන් සිවුරු වලින් වෙන්ව එක් රාත්‍රියක් හෝ ගත කිරීම, ඇවතට හේතු විය.

භික්ෂූන් වහන්සේ යන සෑම තැනකම මෙම සිවුරු රැගෙන යා යුතු විය. එය භික්ෂූන් වහන්සේට කරදරයක් වී තිබිණි.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයේ උන්වහන්සේ දැක ගැනීමට කැමැත්තෙන් කොසොල් රට පාවා නුවර සිට භික්ෂූන් වහන්සේ තිස්නමක් එහි වැඩම කළහ. මේ අතර උන්වහනසේ මහා වර්ෂාවට ද තෙමිණි. තෙත බරිත විය. සිවුරුවල මඩ තැවරිණි. එම භික්ෂූන් වහන්සේ පත්ව සිටි කරදරය දුටු බුදුරජාණන් වහන්සේ තුළ මහත් අනුකම්පාවක් ඇතිවිය. මේ අයට තවත් සිවුරක් තිබුණේ්නම් මඩ තැවරී ගිය තෙත් සිවුරු සෝදා වියළා ගන්නට හැකිවන බවත්, යම් කාලයකට හෝ තුන් සිවුරෙන් වෙන්ව සිටීමේ ආනිශංස ආදියන් සලකාගෙන වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේට කඨිනයක් ඇතිරීමට මෙසේ අනුදැන වදාළහ.

‘අනුජානාමි භික්ඛවෙ වස්සංවුත්තානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං’ යනුවෙනි.

කඨින වස්ත්‍රය - කඨින වස්ත්‍රය පිළියෙළ කළ යුතු වන්නේ,, එකම දිනයක් තුළදී ය. ඒ අනුව මුල් කාලයේදී එදින ම කපු නෙළා පීරා නූල් කොටා වස්ත්‍රයක් නිමවා පසුදින හිරු නැගෙන්නට පෙර ගෙන ගොස් එම වස්ත්‍රය මෙසේ මහත් ගෞරවයෙන් සංඝයා වහන්සේට පිළිගැන්විය යුතු විය.

‘ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම’ යනුවෙනි.

කඨින චීවරය- කඨින චීවරය සඳහා පිරිසුදු නො ඉරුණු වස්ත්‍රයක්, අහසින් වැටුණාක් මෙන් ගෙන පූජා කළ යුතු ය. අද මෙය සියලු දෙනාගෙන් සම්මාදන් කළ මුදලින් ලබා ගනිති. නිමකල සිවුරක්ම ගැනීම, අද පිළිවෙත ය.

කඨින වස්ත්‍රය පූජා කළ අය, ඒ සමග කතුරු ඉඳිකටු නූල්, පඬු හා පඬු හැලියක් සපයා දුන්හ. එම කාලය තුළ දී භික්ෂූන් වහන්සේට දානය ද පිළිගන්වති.

කඨින සිවුර මසා පඬු පොවා සකස් කරනු ලබන්නේ, භික්ෂූන් වහන්සේ විසින්ම ය. කඨින වස්ත්‍රය වියත් 5 1/2 x 4 1/2 කඩවලට කපා, කඩ මසා නිමවති. මෙම සිවුර මගධ දේශයේ කෙතකට සමාන විය යුතු බව, බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට වදාළහ.

සිවුර ලැබිය යුතු අය - නොකඩවා වස් ආරක්ෂා කළ භික්ෂූන් වහන්සේ නමකට කඨින සිවුර පිළිගැනිමට හැකිය. ඒ අතරින් වැඩිමහලු භික්ෂූන් වහන්සේ සුදුසු වෙයි. වැඩිමහලු භික්ෂූන් වහන්සේ වැඩි ගණනක් සිටිත්නම්, පිරිවර වැඩි භික්ෂූන් වහන්සේට දිය යුතු ය. වැඩිමල් භභික්ෂුවකට එය නිර්මාණය කර ගැනීමට අපොහොසත් නම් සෙසු භික්ෂූන් වහන්සේ විසින් අපි ඔබ වහන්සේ වෙනුවෙන් සිවුර පිළියෙළ කර දෙමු යැයි ප්‍රකාශ කොට, සිවුර සකස් කර දිය යුතු ය.

නාගිතාපදානය

කඨින සිවුරක් පූජා කිරීමට ලැබෙන්නේ වසරකට එක් වතාවක් පමණකි. එය අට මහ කුසල් වලින් ප්‍රමුඛ ය. ඒ අනුව කඨින සිවුරක් පූජා කිරීමෙන් ලැබෙන මහානිශංසය නාගිතාපදනයෙහි මෙසේ සඳහන් වෙයි.

යාවතා සබ්බ පරික්ඛාරේ
සංඝස්ස සත්තං දදෙ
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං
සංඝදෙති තිච්චරං
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං

භික්ෂූන් වහන්සේට නිරන්තරයෙන් පූජා කරන සියලු පිරිකරට වඩා එක් කඨින දානයකින් ලැබෙන පින විශාල ය. මහාමේරු පර්වතය තරම් උසට තුන් සිවුරු ගොඩගසා, සංඝයාට පූජා කළත්, ඊට වඩා ආනිශංසයක් එක කඨින පූජාවකින් ලැබෙයි. එබැවින් වස්සාන සමය අවසානයේ උතුම් වු කඨින සිවුරක් පූජා කොට එම පින් බලයෙන් සසර දුකින් මිදීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගනිත්වා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.