බුදු සමය හෙළි කළ
ආර්ථික දර්ශනය
බිංගිරිය
වයඹ ජාතික අධ්‍යාපන
විද්‍යා පීඨයේ
උප පීඨාධිපති
ඩී.එස්.සැම්සන් සුගතදාස
ධනය ඉපයීමේදී ධාර්මික පදනමක තමා සිටිය යුතු වූවාක් මෙන්ම
සාර්ථක ආර්ථික ජීවිතයක් සඳහා නිර්දේශකර ඇති, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ
සඳහන් සම්පදා හතරද, සමාජ ආර්ථික ස්ථාවරත්වය
සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ආර්ථික විශේෂඥයකු මගින් පෙන්වා නොදුන් අකාලික
උපදේශයකි. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යන
මෙම ආර්ථික සුරක්‍ෂිත බව පිළිබඳ කැරුණු, ශ්‍රමාභිමානය සහිත පුද්ගල
සංවර්ධනයට මහත්
අනුබලයක් ලබාදෙන්නකි.
නිරතුරුව බුදු දහම පෙන්වා දෙනු ලබන්නේ ආර්ථික-සාමාජික-මානසික වශයෙන්
සැනසුම්දායක සමාජයක් බිහිකිරීමේ අවශ්‍යතාවයි.
විශේෂයෙන් ආර්ථිකයත් සමඟ පුද්ගලයා තෘෂ්ණා සහගතව, අසහනකාරී ලෙස ගමන්
අරඹන අයුරු දීඝනිකායේ අගඤ්ඤ සූත්‍රයෙන් පෙන්නුම් කෙරේ. එමගින් පෙනී
යන්නේ මිනිසාගේ තෘෂ්ණාව වැඩීමත් සමඟ ආර්ථිකය සම්බන්ධයෙන් යම් යම් නීති
රීතිවලට සමාජය යටපත් වීමයි.
භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බුදුන්වහන්සේ පෙන්වා වදාළේ අල්පේච්ඡතාවයේ
වැදගත්කමයි. ඒ අනුව භික්ෂුවක් අටපිරිකරකින් පමණක් සෑහීමට පත්විය යුතු
බවත්, බහු භාණ්ඩික වීමේදී තෘෂ්ණාව ඇතිවන බවත් එම බහුභාණ්ඩික බව, නොයෙක්
පළිබෝධවලට හේතුවන බවත් වදාළසේක. (මහාවග්ගපාලිය,චීවර ඛන්ධකය)
භික්ෂූන් වහන්සේට පෙන්වාදුන් මෙම පිළිවෙත ගිහි ජීවිතයේ ලෞකික ලෝකෝත්තර
අර්ථ සිද්ධිය සාධනය කර ගැනීමටද ඉවහල් වන බව පෙනේ.
ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයකුගේ ද ජීවිතය සැපවත් වන්නේ කෙනෙකුට ණය
නොවී සිටිනවිටය. මෙම තත්ත්වය බුදුදහමෙහි හඳුන්වනු ලබන්නේ අණන සුඛය
වශයෙනි. (අංගුත්තර නිකාය අණන සූත්‍රය)
ජීවිතයක අණන සුඛය විඳින්නා තුළ ජීවිතය පිළිබඳ අභිමානයක් මෙන්ම
සතුටුදායී සාමකාමී වාතාවරණයක් ඇති කරවයි. මෙම ස්වරූපය පුද්ගලයකුට පමණක්
සීමානොකොට පවුලක්, ගමක්, පළාතක් රටක් වශයෙන් ඇති කරගතහොත් එම සමාජය, රට
කෙතෙරම් අභිමානවත් සමාජයක් වන්නේදැයි සිතා බැලිය යුතුය.
විශේෂයෙන් අද සමාජයේ පුද්ගලයන් තම විවිධ භෞතික අපේක්ෂා ඉටුකර ගැනීම්
වස් ණයට ගැනීම සිදු කරයි. එහෙත් බොහෝ විට එහි ප්‍රතිඵලයක් වශයෙන්
සිදුවන්නේ තමා අත තිබූ සම්පත්ද අහිමි කරගෙන පසුතැවීමට ලක්වීමයි.
විශේෂයෙන් මෙම අණන සුඛය ඇතිවීම නම් අත්ථිසුඛයද (තමාට ජීවත්වීමට
ප්‍රමාණවත් ධනයක් තිබීමේ සුවය ද ) තිබිය යුතුය.
එහෙත් බුදු දහමට අනුව මෙම සැප දෙකම ඇති කරගත යුත්තේ ධාර්මික ලෙසයි.
එනම් දහඩිය මහන්සියෙන් ස්ව ශක්තිය යොදා ගැනීමෙනි. (අංගුත්තර
නිකාය-පත්තකම්ම සූත්‍රය)
ඒ අනුව පස්පවින් වැළැකී, සතුන්, අවිආයුධ, මස්මාංශ, මත්ද්‍රව්‍ය, හා
වසවිස ආදී වෙළඳාම්වලින් වැළැකී යහපත් කර්මාන්තයක යෙදී ධනය උපයාගත
යුතුය. මෙසේ ධාර්මිකවම ධනය උපයා ගැනීමට බුදුන්වහන්සේ උපදෙස් දෙනු
ලබන්නේ, ආශාව, බඩගින්න, හා වයස්ගත වීම පමණක් රෝග ලෙස උරුමකරගෙන සිටි
මිනිසාට සත්ව ඝාතනය ආරම්භ කිරීමත් සමඟ රෝග අනූ අටකින් (98) පෙළීමට
සිදුව ඇති බැවිනි. ගුණගරුකබව, අමතක කර දමා මුදල් පසුපසම තෘෂ්ණාවෙන්
දිවයන මිනිසා වර්තමානයේ ප්‍රතිකාර සොයා ගැනීමට පවා අසීරු රෝගාබාධ වලින්
පෙළීම, මේ සම්බන්ධයෙන් හොඳම නිදසුන වෙයි.
ධනය ඉපයීමේදී ධාර්මික පදනමක තමා සිටිය යුතු වූවාක් මෙන්ම සාර්ථක ආර්ථික
ජීවිතයක් සඳහා නිර්දේශකර ඇති, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් සම්පදා හතරද,
සමාජ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ආර්ථික විශේෂඥයකු
මගින් පෙන්වා නොදුන් අකාලික උපදේශයකි.
උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යන මෙම
ආර්ථික සුරක්‍ෂිත බව පිළිබඳ කැරුණු, ශ්‍රමාභිමානය සහිත පුද්ගල
සංවර්ධනයට මහත් අනුබලයක් ලබාදෙන්නකි.
සිගාලෝවාද සූත්‍රයේ සඳහන් භෝග විනාශ මුඛ වන
සුරාපානය හා මත්ද්‍රව්‍ය භාවිතය,
අවේලාවේ වීදි සංචාරය,
ගී නැටුම් දැකීමෙහි ඇලීම,
දූ කෙළියෙහි යෙදීම, පාපමිත්‍ර සේවනය, අලසකම යන කරුණු දෙස බැලීමෙන් පෙනී
යන්නේ, බුදු දහම ධන සංරක්ෂණයෙහි යෙදීමට උපදෙස් දෙනු ලබන්නේ සදාචාර
වර්ධනයටද මගපාදා දෙමිනි. ඉහත සඳහන් කැරණු පුද්ගලයාගේ ආර්ථික පදනම බිඳ
දැමීමට කෙතරම් ඉවහල්වන්නේද යන්න සුරාපානය හා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ
පමණක් වුවද විමසීමෙන් අවබෝධ කරගත හැකිය.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වෙන අයවැය නිසිපරිදි පවත්වාගෙන යෑමද
(සමජීවිකතාව) ජීවිතයේ සුරක්ෂිතතාව, ධනය වඩාත් නිවැරැදිව පාරිභෝජනය
කිරීමේ ක්‍රම විද්‍යාව උගන්වනු ලබන්නෙකි. ඒ අනුව ධනය උපයාගනු ලබන්නේ
තෘෂ්ණාවේ වෙලී සිටීමට නොව, තම මූලික අවශ්‍යතා ඉටුකර ගනිමින් ධාර්මිකව
සතුටින් දිවි ගෙවීමටය. මෙසේ තම ආර්ථිකයේ සමතුලිත බවක් නොමැති නම්
වැඩියෙන් මුදල් පරිහරණය කරන්නෝ කාමසුඛානුයෝගයට වැටෙන්නාහ.
එසේ අධික පාරිභෝජනයට නතුවීමෙන් පුද්ගලයා කායික-මානසික වශයෙන් පිරිහීමට
ලක්වේ. බුදුදහම පෙන්වා දෙනු ලබන්නේ බෙදාහදාගෙන, (දත්වාච,භුත්වාච) අධික
පරිභොජනයෙන් තොරව ජීවත්වීමේ වැදගත්කමයි.
”සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා” යන බුදුදහමේ (කරණීය මෙත්ත සූත්‍රය)
සඳහන් මෛත්‍රී චින්තනය අනුවද “සුඛකාමානි භූතානි...(සැප බලාපොරොත්තුවන
යමෙක් සැප කැමැති සතුන් පෙළානම් ඔහු සැප නොලබන්නෙකි) යන ධම්මපදයේ මානව
හිතවාදී අදහස අනුවද පැහැදිලි වන්නේ බුදු දහම සියලු සත්වයින්ගේම සුඛිත
මුදිත බව අපේක්ෂාකළ බවයි.
ඒ අනුව රටේ ආර්ථික සුරක්‍ෂිතතාව අපේක්ෂා කිරීමේදී පුද්ගල තරාතිරමක්
නොබලා සමාජයේ සියලුම කොටස් කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතුය. ඒ බව
චක්කවත්තී සීහනාද සූත්‍රයෙන් මෙන්ම කූ®ටදන්ත සූත්‍රයෙන් ද මනාව
පැහැදිලිවේ. එම සූත්‍රවලින් පැහැදිලිවම කියනු ලබන්නේ පාලකයා ජනතාවගේ
අවශ්‍යතා සම්පූර්ණකර ඔවුන්ට සියලුම ආකාරයෙන් ආරක්ෂාව සපයා දිය යුතු
බවයි.
මෙම කරුණු වලින් බුදුදහම මානව හිතවාදීව අවධාරණය කරනු ලබන්නේ, සමාජයක්
ගොඩනැංවෙන ආර්ථික පදනම මෙන්ම, සමාජයක ආර්ථිකය මෙහෙයවන පාලකයාද, සදාචාර
සම්පන්න ධාර්මික පදනමකින් යුක්ත විය යුතු බවයි.
මේ අයුරින් ධාර්මික ආර්ථික පදනමක් ඇතිකර ගත යුත්තේ “සතුට උතුම්ම ධනයවේ”
යන ජීවිතයේ යථාර්ථවාදී අදහස (ධම්මපදය) පසක්කර ගැනීම වඩාත් සමාජයට
වැඩදායීවන හෙයිනි.
|