බුදු සසුන තහවුරු කළ
උපෝසථය යි - වස් විසීම යි
අස්ගිරි මහා විහාර මහෝපාධ්‍යාය, ශාස්ත්‍රවේදී,
පණ්ඩිත අමුණුපුර පියරතන
හිමි
බුද්ධ ශ්‍රාවකයන්
වහන්සේගේ ශික්‍ෂණය සඳහා උන් වහන්සේ සංකීර්ණ සමාජය සමග පැවැත්මේ දී
මතුවන ප්‍රශ්න වලට පිළියම් වශයෙන් දේශනා කළ ප්‍රඥප්ති වශයෙන් නියම කළ
නීති රීති , විනය පිටකයට ඇතුළත් වෙයි.
නිර්වාණගාමී
පිළිවෙතට සරිලන පරිදි ශ්‍රාවක ශික්‍ෂණය අත්‍යාවශ්‍ය වුව ද,
බුදුරදුන් විසින් භික්‍ෂු විනය පනවා වදාළේ සමාජ විද්‍යාව ද
අනුව ය.
අනුජානාමි භික්ඛවේ චාතුද්දසේ , පණ්ණරසේ අට්ඨමිසාච පක්ඛස්ස සන්නිපතිත්වා
පාතිමොක්ඛං උද්දිසිතුං මනුස්සා උජ්ක්‍ධායන්ති, ඛීයන්ති , විපාචෙන්ති
කථංහි නාම සමණා සක්‍ය පුත්තියා හේමන්තම්පි, ගිම්හම්පි වස්සම්පි, චාරිකං
චරිස්සන්ති, හරිතානි තිණානි සම්මදන්තා ඒකින්ද්‍රියං ජීවං විහේඨෙන්තා
බහුඛුද්දකේ පාණේ සංඝාතං ආපාදෙන්තා .
අථ ඛෝ භගවා ඒතස්මිං නිදානේ ඒතස්මිං පකරණේ ධම්මං කථං කත්වා භික්ඛු
ආමන්තේසි .
අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං
සත වෙත පතළ මහා කරුණා දයා ඇති අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු බව
ලැබීමේ පටන් පිරිනිවන් පෑම දක්වා පන්සාළිස් වසක් පුරා දෙසූ උතුම් සඳහම්
සම්මුති පරමාර්ථ වශයෙන් ද , සූත්‍ර විනය අභිධර්ම යන ත්‍රිපිටක වශයෙන්ද
, නවාංග වශයෙන් ද, සූවාසු දහසක් ස්කන්ධ වශයෙන් ද වෙන් වන්නේ ය.
බුද්ධ ශ්‍රාවකයන් වහන්සේගේ ශික්‍ෂණය සඳහා උන් වහන්සේ සංකීර්ණ සමාජය
සමග පැවැත්මේදී මතුවන ප්‍රශ්න වලට පිළියම් වශයෙන් දේශනා කළ; ප්‍රඥප්ති
වශයෙන් නියම කළ නීති රීති , විනය පිටකයට ඇතුළත් වෙයි. ලෝකයේ පවතින
සංකීර්ණ අදහස් යථා පරිදි හඳුනා ගැනීමට ලොව්තුරා බුදු කෙනෙක් පහළ විය
යුතුය.
නිර්වාණගාමී පිළිවෙතට සරිලන පරිදි ශ්‍රාවක ශික්‍ෂණය අත්‍යාවශ්‍ය වුව ද
බුදුරදුන් විසින් භික්‍ෂු විනය පනවා වදාළේ සමාජ විද්‍යාව ද අනුව ය.
විනය නීති පැනවීමේදී බුදුරදුන් විසින් සලකා බැලූ කරුණු කීපයක් විය.
01.යම් කිසි හේතුවක් තිබීම
02.පුද්ගල නිදහසට බාධා නොවීම
03.කාලය දේශය හා පුද්ගලයන් අනුව වෙනස් වීම
4.පිළියම් යෙදීමෙන් නිවැරැදි කර ගැනීමේ අවස්ථාව ලබා දීම
05.එම විනය ශික්ෂණය සඳහා අවශ්‍ය ධර්මාවවාද ද ලබාදීම
සෑම විනය නීතියක්ම පනවා ඇත්තේ සමාජමය කාරණයක් නිසාය. විනය පිටකයෙන් ද
හේතුඵල දර්ශනයට අනුකූල බවක්, ලෞකික ලෝකෝත්තර කුසලා කුසල න්‍යායයත් මනාව
ප්‍රකට වෙයි.වස් විසීමට හේතුවත්, එයින් ක්‍රීයාත්මක වන කුසල මාර්ගයත්
ප්‍රකට වන, මහාවග්ග පාලියේ වස්සූපනායි කක්ඛන්ධකයේ හා උපෝසථ ඛන්ධකයේ
විස්තර විවරණ, සිය දහස් ගණන් විනය ප්‍රඥප්ති දේශනා අවවාද , සාකච්ඡා
ආදිය දක්නට ඇත.
බුද්ධ කාලීන අන්‍ය ආගමික පූජ්‍ය පක්‍ෂය චාතුද්දසී, පණ්ණරසී ආදී වශයෙන්
මාසයේ දින ගණන් වෙන් කරගෙන තම තමන්ගේ ආගමික වතාවත් ධර්ම දේශනා සිදු කරන
නමුත්, බුද්ධ ශ්‍රාවකයන්ගේ එවන් පිළිවෙතක් නොමැති වූ නිසා ජනතාව
භික්‍ෂූන්ට දොස් පවරන්නට නින්දා කරන්නට වූහ. මේ කාරණයේ දී බුදු හිමියෝ
භික්‍ෂූන් රැස් කරවා ධර්මාවාද දී එවන් දිනවල රැස් වී සමඟිව ධර්ම
සාකච්ඡා පවත්වා, ප්‍රාතිමෝක්‍ෂය දෙසීමාදී වත්පිළිවෙත් සිදුකොට තම
පරමාර්ථයට සරිලන පරිදි මහණ දම් පුරන්නට නියම කළහ. එදවස පටන් ක්‍රමයෙන්
උපෝසථාගාර වතාවත් විකාශනය වීමෙන්, සංඝශාසනේ පැවැත්මට වර්තමානය දක්වා
සිදු වූ සිදුවන්නා වූ මහෝපකාරී සේවාව, සම්බුද්ධ ශාසනාන්තර්ධානය දක්වා
පවතින්නේය.
චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය යනුවෙන් උරුවේල ජනපදයේ දී
බුදුරදුන් විසින් දේශිත නියමයට අනුවම භික්‍ෂූන් වහන්සේ චාරිකාවේ යමින්
තමන්ට කැමැති ක්‍රමයට මහණදම් පිරූහ. අතීත භවයේ දී කළ කුසල දම් මහිමයෙන්
ඇතැම් ශ්‍රාවකයන් වහන්සේ බුදුරදුන්ගෙන් ලැබූ කමටහන් හා ධර්මාවවාද අනුව
ශ්‍රමණ ජීවිතයේ පරමාර්ථ සාක්‍ෂාත්කර ගත්හ. එහෙත් ඇතැම් භික්‍ෂූන් තුළ
පැවිදි පරමාර්ථ වලට වඩා සිව්පසය පිළිබඳ ආශාව පැවැතීම නිසා විවිධ
ප්‍රශ්න ඇති කරගැනීම නිසා, ඒවාට පිළියම් වශයෙන් විනය නීති වරින් වර
පැවීමට සිදු විය.
වස් විසීමේ ශාසනික පිළිවෙත ඇතිවීමට ප්‍රධාන කාරණා කීපයක් හේතු විය.
01. අන්‍යතීර්ථකයන් වස්සාන සෘතුවේ ඒකස්ථානවීම
02. පරිසරය ආරක්‍ෂා කිරීම.
03. භික්‍ෂු විනය ආරක්‍ෂා කළ යුතු වීම.
04. ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධාදී කුසල් වර්ධනය සඳහා සම්මතයට අනුකූ®ලවීමේ
අවශ්‍යතාව.
මෙවන් හේතූන් මත පැනවූ මෙම විනය නීතිය. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
ප්‍රධාන ආර්ය උතුමන්ගේ චාරිත්‍රයක් වශයෙන් ද විමුක්ති මාර්ගය සඳහන් වූ
විනය නීතියක් වශයෙන් ද, ගිහි පැවිදි දෙපක්‍ෂයේම ශ්‍රද්ධාදී කුසල
ධර්මයන්ගේ වර්ධනයට හේතුවක් මෙන්ම සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්මට
උපකාරයක් වශයෙන් ද වසර දෙදහස් පන්සිය ගණනක් තුළ පවත්වාගෙන එනු ලැබේ.
ඇසළ මස පුර පසළොස්වක් පෝදින පටන් වප් මස පුර පසළොස්වක් පෝ දින පවාරණය
වන තෙක් සහ ඉල් පුර පෝය අවසන් දින දක්වා කඨින පින්කම් ආදී වශයෙන් මෙම
කාලය පුරා සිදු කරන පින්කම් අපමණ ය. ගිම්හානය නිසා ගිනියම් වූ පරිසරය
වෙනස්කොට ඈත ආකාශ තලයේ දිස්වෙන කළු වළා එක් වී මඳ මඳ සුළඟේ ක්‍රමයෙන්
වේගවත්ව ගස්වැල් කඳු හෙල් මතට වැටෙන ජලධාරා ගලාගොස් ගඟා ඇළදොළ
පිරෙන්නේ, වස්සාන සෘතුවේ සාරත්වය ප්‍රකට කරමිනි.
වස්සාන සමයට සරිලන සේ ජනතා ජීවනය සැකසෙන විට ආගමික පූජ්‍ය පක්‍ෂය ද තම
තමන්ගේ ආරාමවල නේවාසිකව බණ භාවනාදී පිළිවෙත් පිරීම, උතුම් ගුණාංගයක්
මෙන්ම ආදර්ශවත් ජීවන රටාවක් විය. මෙවන් පරිසරයකින් බිහි වූ බෞද්ධ
භික්‍ෂූන් පමණක් දේශාටනයේ යෙදීම සාව්‍යද පිළිවෙතක් බව තේරුම් ගත්
සමකාලීන ජනතාව දොස් පැවරූහ.
මේ කාරණයෙහිලා බුදුරජාණන් වහන්සේ වස්සාන සෘතුවේ වස් වසන්නට නියම කළහ.
වස් කාලය තුළ පන්සල් ආරාම තුළ ක්‍රියාත්මක වන ආගමික කාර්යය.
01. ඇසළ මස පුන් පෝ දින දිවා භාගයේ භික්‍ෂූන් රැස් වී සමඟි සම්පන්නව
පෝය කිරීම, පාමොක් දෙසීම.
02. ඇසළ පෝ දිනට, පසු දා, වස් ආරාධනය හා වස් සමාදානය.
03. වප් පුර පසළොස්වක් පෝය දින දක්වා වත් පිළිවෙත් පිරීම.
04. වප් පෝ දින වස් පවාරණය.
05. ඉල් පුර පසළොස්වක් පෝ දින තෙක් කඨින පින්කම් උත්සව.
ථෙරවාදී බුදුදහම පවත්නා ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජාදී
රටවල දේශය අනුව සුළු සුළු වෙනස්කම් පැවතිය ද එකම පරමාර්ථයකින් මෙන්ම
ධර්ම විනයානුකූල පිළිවෙතින් වස් පින්කම් සිදු කැරෙයි.
වස් සමාදානය නිසා ආගමික වශයෙන් ගමක, පළාතක, රටක ක්‍රියාත්මක වන
පිළිවෙත්, පුද්ගලාන්තර සමඟිය, ප්‍රසන්නතාව, විශ්වාසය, අභිමානය ජනිත
කිරීමට, ශිෂ්ටාචාරය හැඟීම් උද්දීපනය වීමට, භෞතික සම්පත් ආරක්‍ෂා පෝෂණය
වීමට, පරලොව සුගතියට හා විමුක්ති මාර්ගය ද මූලාධාර වෙයි.
වස් වසන තෙමස තුළ මෙන්ම කඨිනචීවර මාසය තුළ ලංකාවේ ක්‍රියාත්මක වන ධර්ම
දේශනා, පරිත්‍රාණ දේශනා ආදී වූ පින්කම් සහ සිරිත් විරිත් සියල්ල, එකම
පරමාර්ථයක් අරමුණු කරගෙන සිදුවීම. අපේ රටට, ජාතියට, ශිෂ්ටාචාරයට ජන
ජීවිතයේ ප්‍රාණ වායුවට ශාන්තියකි, ආශිර්වාදයකි.
කඨින චීවරයක් අතුරන්නා වූ භික්‍ෂුවට මෙන්ම එයට සහභාගී වන සෙසු
භික්‍ෂූන් වහන්සේට ද දායක කාරකාදීන්ට ද ලැබෙන ආනිශංස අපමණ ය. කඨින
චීවරයේ නූල් පොටක් පාසා, පූජා කරන අවස්ථාවේ කරන සාධු නාදයක් පාසා, ඒ
ගැන සිතන චිත්තක්‍ෂ්ණයක් පාසා ශ්‍රද්ධාව, ප්‍රසන්නතාව, සිහි බුද්ධිය,
වර්ධනය වී, ඉහාත්මයේදීම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච සම්පත්තීන්
ද, භවයක් පාසා දේව මානුෂිකා දී සම්පත් මෙන්ම සදාකාලික විමුක්ති
සංඛ්‍යාත උත්තමතම නිවන් සම්පත්තිය ද ලැබීමට හේතු වෙයි.
පඨවිරිව නජාතුකම්පතේ
න චලති මේරු රිවාති වායුනා
වජිරම්ව න භිජ්ජතේ ඝණං
තමිදමතෝ කඨිනත්ති වුච්චති
ඔබ සැමට
තෙරුවන් සරණයි.
|