Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුවය වඩන මැදුම් මඟ

ත්‍රිවිධ ශික්‍ෂාවකින් යුතු මධ්‍යම ප්‍රතිපදාව, බුදු සමයෙහි ඉගැන්වෙන ප්‍රායෝගික විමුක්ති පිළිවෙතයි. එනම්, නිර්වාණය ලැබීමට ඇති එකම මඟයි. පුද්ගයාගේ කය, වචනය හා සිත හික්මවන ත්‍රිවිධ ශික්‍ෂාව, ශිෂ්ටත්වයට, සාමයට සහජීවනයට උසස් සමාජ සංස්කෘතියකට ඉඩ ප්‍රස්ථා සලසයි.

යහපත් සංස්කෘතියක් බිහි වීම සඳහා මූලිකවම වැදගත් වන්නේ, පුද්ගල මූලික හික්මීමයි. ශිෂ්ටත්වය, සාමය, සහජීවනය, අන්‍යෝන්‍ය රැකවරණය තහවුරු කරන සීලය මිනිස්කම අර්ථවත් කරමින් යහපත් සංස්කෘතියකට පදනම සපයයි. සීලයෙහි ප්‍රධාන අරමුණක් වන්නේ, පුද්ගල චරිත සංවර්ධනයයි. සීලයෙහි ප්‍රභේද දෙකක් අවධාරණය කැරෙයි. එනම්, කළ යුත්ත කිරීම (චාරිත්‍ර සීලය) හා නොකළ යුත්ත නොකිරීම (වාරිත්‍ර සීලය)යි.

ගිහියන්ගේ නිත්‍ය සීලය වන පංචශීලය ද ගිහි සමාජයේ සදාචාරාත්මක සංවර්ධනයට හේතු වෙයි. එහි පළමු ශික්‍ෂා පදය දෙස අවධානය යොමු කරමු.

“පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි”

සතුන් නොමැරීම; සතුන් මැරීමෙන් වැළකී සිටීම (විරතිය) සඳහා වූ සමාදානය, ඒ තුළ අන්තර්ගත වී ඇත. මේ ශික්‍ෂා පද පහ තුළ ම ‘වේරමණී’ සහ සමාදායාමි යන වදන් දැක්වෙයි. විරතියත් සමාදානයත් එයින් අවධාරණය වෙයි. පුද්ගලයාගේ කායික හා වාචසික චර්යාව සමතුලනය කිරීම, සංවර කිරීම, සීලයේ මුඛ්‍ය පරමාර්ථය යි. කය වචනය දෙකේ සංවරයකින් තොරව මානසික හෙවත් ආධ්‍යාත්මික සංවරයක් ඇති කරගත නොහැකි ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය - මධ්‍යම ප්‍රතිපදාව යන්නෙන් හැඳින්වීමට හේතුව, හේතුඵල දර්ශනය යි. හේතුඵල දර්ශනයට අනුකූල ප්‍රතිපදා මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව යන්නෙන් ප්‍රකාශ වෙයි. ඒ අනුව එම ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්‍ෂාවක් ලෙස අදියර තුනකින් ක්‍රියාත්මක වෙයි.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප – ප්‍රඥා
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව - සීල
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි - සමාධි

ඒ අනුව, සීල සංවරයෙහි පිහිටා සමාධිය හෙවත් සිතෙහි සංවරය; චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කළ යුතු ය. කෙසේ නමුත් සීලය, සමාජය තුළ විධිමත් පැවැත්මක් ඇති කරයි. විරතියත්, සමාදානයත් ඇති පුද්ගලයන් සන්තුට්ඨි ධනය පරම ධනය කොට ගෙන ජීවත් වන විට සහජීවනය හා සාමය තහවුරු වෙමින් ධාර්මික සමාජයක් ගොඩනැඟීම සිදු වෙයි.

ඒ ධාර්මික පැවැත්ම සමාධිය ගොඩනැඟීමට ඉවහල් වෙයි. බුද්ධ දේශනාවෙහි එම පදනම මෙසේ විවරණය වෙයි.

“සීල පරිභාවිතා සමාධි මහප්පලා හොති මහානිසංසා”

සමාධි ශික්‍ෂාවේදී සතර සතිපට්ඨානය දියුණු කළ යුතු ය. පුද්ගල ශික්‍ෂාකාමීත්වය ඒ සඳහා ඉවහල් වෙයි. සම්මා වායාමය වශයෙන් නූපන් අකුසල් නොඉපදවීමත්, උපන් අකුසල් නැති කිරීමත්, නූපන් කුසල් ඉපද වීමත්, උපන් කුසල් දියුණු කිරීමට ගන්නා වෑයමත් පෙන්වා දෙයි.

එමෙන්ම සම්මා සතිය තුළ දී ශරීරයේ පැවතුම්, වේදනා, සිතෙහි පැවතුම්, සිතිවිලි හැඟීම් ආදිය පිළිබඳ මනා සිහියක් තිබිය යුතු ය. එමෙන්ම සම්මා සමාධියේ දී කාමච්ඡන්ද, ව්‍යාපාද හෙවත් ක්‍රෝධය, ථීනමිද්ධය හෙවත් මැළි බව, කුක්කුච්චය හෙවත් තැවීම, විචිකිච්චාව හෙවත් සැකය යනාදී අකුසල් යටපත් වෙයි. එය පුද්ගලයා තුළ හික්මීමක් ඇති කරයි. මෙම බාහිර හා ආධ්‍යාත්මික සංවරය ගොඩ නැඟීමේ දී කරුණාව, මෛත්‍රිය හා මුදිතාව ද උපදියි.

“අභබිබෝ සෝ තස්ස පටිච්ඡාදාය”

යනුවෙන් බුද්ධ දේශානව තුළ විවරණය කොට ඇත. ඒ අනුව, යමෙකුගේ සිත එකඟ නම්, ඔහුගේ චරිතය ඔහුටත් නොදැනීම දියුණු තත්ත්වයට පත් වෙයි. මෙසේ ගොඩ නංවාගත්; සංවර්ධනය වූ සිතකින්, ජීවිතය දෙස යථාර්ථවාදී ලෙස අවබෝධයෙන් බැලීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් එය දැකගත හැකි ය. බාහිරින් පෙනෙන ස්වභාවය නොව ඕනෑම දෙයක ගැඹුරු ස්වභාව මතුකොට, ගෙන මනා නුවණින් හා අවබෝධයෙන් කටයුතු කළ හැකි ය. එම ස්වභාවය ප්‍රඥාව නමින් ආර්ය මාර්ගයේ දී විස්තර වෙයි.

චතුරාර්ය සත්‍ය පිළිබඳ මනා අවබෝධය නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන සංකල්පනා තුළින් ප්‍රකට වෙයි. නෙක්‍ඛම්ම යන්නෙන් සියල්ල අත්හැරිය යුතු බවත්, අව්‍යාපාද යන්නෙන් වෛරී චේතනාවෙන් තොර මෛත්‍රී සහගත කල්පනාවත්, අවිහිංසා යන්නෙන් අනූනට හිංසා කිරීමෙන් වැළකී සිටීමේ ආකල්පයක් අදහස් වෙයි.

සම්මා සතිය යනු, මනා සිහි නුවණින් කටයුතු කිරීමයි. ඒ අනුව ගමන් කරන විට දී, කන බොන විටදී, අඳින පළඳින විටදී, ආදී වූ සියලු අවස්ථාවල දී සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත. එහිදී කය පිළිබඳ මෙනෙහි කිරීම (කායානුපස්සනාව), සුඛ, දුක්‍ඛ ආදිය පිළිබඳ මෙනෙහි කිරීම (වේදනානුපස්සනාව), අනිත්‍ය, දුක්ඛ ආදී ලෝක ස්වභාව පිළිබඳ මෙනෙහි කිරීම (ධම්මානුපස්සනාව) සිදු වෙයි.

ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ යන ධ්‍යාන හා ආකාසානඤචායතන, ෂඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන යන සමාපත්තීන් කරා ළඟා වීම සම්මා සමාධිය යි. ඒ තුළින් පුද්ගල චිත්ත පාරිශුද්ධිය හා ඒකාග්‍රතාව ඇති වෙයි.

මෙසේ බලන විට සීලය මගින් පුද්ගලයාගේ චර්යා රටාව ද, සමාධිය මගින් මනස ද සංවර කර, ප්‍රඥාව මගින් ලෝකයේ අනිත්‍ය දුක්‍ඛාදී යථා තත්ත්ව අවබෝධ කොටගෙන නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික අරමුණ වන බව පෙනෙයි. එසේම, එමඟ ගමන් කරන අය, එම භවයේ දීම නිවනට පත් නොවූවත්, ඒ අයගේ සංසාරික ජීවිතය සුවපත් වීමට, ඉන් මහත් අනුබලයක් ලැබෙනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.