Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැසි සමය ඵල දායක කළ වස් වාසය

ලක්දිව මෙන් නොව දඹදිව සෘතු භේදයෙහි පැහැදිලි වෙනසක් දක්නට ඇත. එයින් වස්සාන සෘතුව ජුලි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය අවසානය තෙක් පවතී. සිංහල මාස ක්‍රමයට අනුව නම් ඇසළ නිකිණි, බිනර සහ වප් යන මාස හතර ය.

වැහි කාලය මෙසේ පැමිණි විට දඹදිව වැසියෝ මහත් පී‍්‍රතියට පත්වූහ. ඒ ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට මහත් උපකාරයක් වන බැවිනි.

මෙම කාලයේදී ගංගා පිරී ඉතිරී යයි. පහත් බිම්, ජලයෙන් යට වෙයි. බිම නිතරම නෙත ය. ගමනාගමනය අපහසු ය. වේද යුගයේ සිටි බොහෝ තපස්වරුද මෙම වැහි සමයේදී එක් තැන්ව වාසය කළහ.

බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ දඹදිව නොයෙක් ආගමික විශ්වාස පැවතිණි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා එම අනෙකුත් ආගමික ශාස්තෘවරුන්ට මහත් හිස රදයක් විය. එබැවින් ඔවුහු බුදුරජාණන් වහන්සේගේත්, ශ්‍රාවකයන්ගේත් වරදක් සොයමින් සිටියහ. ඔවුනට අවස්ථාවක් උදා විය. ඒ වැහි සමය විය.

වැහි කාලයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේ වැහි නොතකා පිණ්ඩපාතයෙහි යෙදුණහ. ධර්ම ප්‍රචාරය සඳහා ද සංචාරය කළහ. මෙය දුටු අන්‍යාගමිකයෝ භික්ෂූන් වහන්සේට දොස් පවරන්නට පටන් ගත්හ. ගෟතමයන්ගේ ශ්‍රාවක පිරිස වැසි සමයේදීවත් එක තැන නොසිට සංචාරය කරති. ඔවුන්ගේ පා වලට දළු ලා වැඩෙන තණපත්, කුඩා කෘමිහු මිරිකෙමින් මිය යති. ඔවුහු මහා අකුසල කර්මයක් කරති. වැසි සමයේදී අපි එක්තැන්ව වාසය කරමු.

එපමණක් නොව, පක්ෂීහුද ඔවුන්ගේ ආහාර පවා සොයන්නට නොගොස් කැදලිවලට වී සිටිති’ ආදී ලෙස ඔවුහු චෝදනා නැගූ®හ.

මෙම චෝදනා ඇසූ බිම්බිසාර රජතුමා, බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්ස අපගේ භික්ෂූන් වහන්සේ වැහි සමයේදී ගම් දනව්වල, ජනපදවල හැසිරෙති. එහෙයින් තණපත්, ආදියත් කුඩා කෘමීහුත් පෑගී මියයති. එබැවින් බුදුරජාණන් වහන්ස, ඒ සඳහා යම් විනය නීතියක් පැනවීම නුසුදුසු දැ යි විමසී ය.

මෙම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මහජන මතයට ගරු කිරීමක් වශයෙනුත්, වෙනත් හේතුකාරණා ගැනත් සලකා බලා භික්ෂූන් වහන්සේට වැහි කාලයේදී වස් විසීමට අනුදැන වදාළහ.

ඒ මෙසේය.

අනුජානාමි භික්ඛවේ වස්සානේ් වස්සං උපගන්තු

මහණෙනි, ඔබට වස් කාලයෙහි, වස් සමාදන්වී වාසය කරන ලෙස අනුදැන වදාරමි යනුවෙනි.

වස් සමාදන්වීම - වස් සමාදන්වීම අවස්ථා දෙකක දී සිදු වෙයි. එය පෙර වස් සහ පසු වස් යනුවෙනි.

1. පෙර වස් විසීම - ඇසළ පසළොස්වක පොහොයට පසුදින වස් එළඹීම

2. පසු පස් විසීම - නිකිණි පසළොස්වක පොහොයට පසුදින වස් එළඹීම

මේ අනුව බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වූයේ ඇසළ අව පෑලවිය හෙවත් අසළ පසළොස්වක පෝය දිනයට පසු දින ය. ඒ ඉසිපතනාරාමයේදී පස්වග මහණුන් සමග ය.

දුක්කටාපත්ති - යම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් නියමිත දින වස් නොඑළඹියහොත් දුක්කටාපත්ති ඇවැත් සිදුවෙයි. එහෙයින් උපසම්පදා, භික්ෂුන් වහන්සේ නමකට වස් ආරාධනා කළත්, නොකළත්, අනිවාර්යයෙන්ම වස් එළඹිය යුතු ය.

වස් විසීමට සුදුසු ස්ථාන - පුරාණයේ දී වස් විසීම සඳහා ගල් ගුහා තෝරා ගෙන තිබිණි. එසේම එම ස්ථානය වහලක් සහිත ආරක්ෂිත ස්ථානයක් විය යුතුය. වර්තමානයේදී මේ සඳහා පන්සල් භාවිතා කරති.

වස් විසීමට නුසුදුසු ස්ථාන - ගස්, බෙණ, ගස් දෙබල්, ආවරණයක් නැති ස්ථාන, සුසාන බිම්, සතුරුබිය හා වග වලසුන් ඇති ස්ථාන, ස්වභාවික විපත් පැමිණෙන ස්ථාන සහ භූතදෝෂ ආදී පීඩා සහිත ස්ථාන, වස් විසීමට නුසුදුසු තැන් ය.

වස් ආරාධනය - මෙහිදී සියලු දායක දායිකාවන් වෙනුවෙන් එක් අයකු බුලත් අතක් දී ස්වාමීන් වහන්සේට වස් විසීම සඳහා ආරාධනා කරනු ලැබේ. ඒ මෙසේ ය.

ගරු ස්වාමීන් වහන්ස, මෙම වස් කාලය තුළ අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඔබ වහන්සේට සිවු පසයෙන් උපකාර කරමු. ඔබ වහන්සේ මහණ දම් පුරමින් අපට ද අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් මෙම විහාරස්ථානයේ වස් වාසය කරන සේක්වා’ යනුවෙනි.

පිළිගැනීම - වස් ආරාධනය පිළිගත් භික්ෂූන් වහන්සේ

ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසාං වස්සං උපෙමි

මේ තෙමස මෙම විහාරයෙහි වස් වසමි යන ශික්ෂා පදය තෙවරක් ප්‍රකාශ කොට වස් සමාදන් වෙති.

වැසි සළුව - මෙම අවස්ථාවේදී වැසි සළුවක් ද පූජා කරනු ලැබේ. වැසි සළුව ද, සිවුරකි. එය සඟල සිවුර, දෙපොට සිවුරට වඩා දිග පළලින් වැඩි ය. මෙය ඇඳිය හැකි වැසි සමයේ පමණකි. වැසි සළුව තමන් විසින් දායකයන්ට දන්වා පිළියෙල කර ගැනීමට පුළුවන. එය සොයාගත යුතු වන්නේ ගී‍්‍රෂ්ම සෘතුවට මසක් කලින් ය. ඊට පෙර සෙවීම හෝ පෙරවීම නො කළ යුතු ය. වැසි සළු පූජා කිරීම ආරම්භ වූයේ, බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විසාකා මහ උපාසිකාවගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ

‘අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකං වස්සානං චාතු මාසං
අට්ටිඨාතුං තතෝපරං විකප්පෙතු
යනුවෙන් එය අනුදැන වදාළහ.

සතිකරණය- වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ එම ස්ථානයෙන් බැහැර වැඩියේ නම්, දින හතක් ඇතුළත වස් සමාදන් වූ විහාරස්ථානයට නැවත පැමිණිය යුතු ය. එසේ පැමිණීමට නොහැකි වූයේ නම්, වස් කැඩීමත් සිදුවෙයි. එය කඨින චීවරය දැරීමට ද නුසුදුසු තත්ත්වයට පත්වීමකි.

වස් එළැඹි භික්ෂූන් වහන්සේ වස් කාලය තුළ විහාරස්ථානයෙන් පිටතට නො යා යුතුªය. එහෙත් භික්ෂූ භික්ෂුණී සාමනේර, සාමණේරිය, මව හෝ පියා යන මේ අය වෙනුවෙන්, ඔවුන්ගේ ආරාධනයක් ඇතිව හෝ නැතිව විහාරස්ථානයෙන් පිටතට යා හැකි ය. එය

අනුජානාමි භික්ඛවේ, සත්තාන්තං සත්තාහ කරණියේන පහිතෙ ගන්තුං’ යනුවෙන් වදාළහ.

තවද, විහාරස්ථානයේ වාසයට අපහසු බලවත් හේතුවක් ඇති වුවහොත්, එය අතහැර වෙනත් ආරාමයක් කරා යෑමට ද අවසර ඇත.

ලක්දිව වස් විසීම ආරම්භ වූයේ, මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් පසුව ය. දේවානම්පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු හැට දෙනමක් ඳහින්තලයේ වස් සමාදන් වූහ.

වස් අවසානයේදී සිදු කැරෙන කඨින චීවර පූජා පින්කම අට මහා කුසල් වලින් එකකි.

එබැවින් මෙම වස් කාලයේදී සිදු කැරෙන සියලු පින්කම් වලට ඔබත් සහභාගි වී දෙලොව සැප, ශාන්තිය උදාකර ගන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.