Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ගැටලුවට විසඳුම ඇත්තේ ඔබ තුළ යි’

ආගන්තුකව පැමිණෙන දේ කවරේ ද? පංච කාම සම්පත්තීන් ය. (රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය) මේවාට ගොදුරුවන චක්ඛු (ඇස), සෝත (කණ) ඝාණ (නාසය), ජිව්හා (දිව), කාය, ශරීරය) යන මේ ඉඳුරන් මගින් ලබාගන්නා යම් යම් අරමුණු නිසා, පවිත්‍ර සිත අපවිත්‍රතාවයට පත් වෙයි. තවදුරටත් එය විස්තර කරන්නේ නම්, පංච කාම, සම්පත්තීන් මගින් පුද්ගලයා ළාමක හැඟීම් කෙරෙහි යොමු කරවයි.

මානවීය සතතාව යම් විටක අසරණය, අහිංසක ය. මිනිස්සු තම තමන්ට ඇති වන යම් ගැටලු, තමාගේ වුවමනාවෙන් හෝ අනුන්ගේ වුවමනාවෙන් ඇති වුවත්, ඒ සියල්ලට හොඳින් හෝ නරකින් මුහුණ දීමට පුරුදුව සිටිති. ඇතැම් ඒවා නොදැනුවත්කම නිසා ද, ඇතැම් ඒවා හැඟීම් උත්සන්නවීමෙන් ද ආදී වශයෙන් මතු වන බව පෙනෙයි. සිතේ පහළවන කරුණාව, දයාව, මෛත්‍රීය, තරහව, නපුරුකම, බද්ධ වෛරය, ආදී විවිධ සිතිවිලි පොදුවේ සැළකිල්ලට ගත් කල චිත්ත ආවේග යන නමින් හැඳින්වීම නිවැරැදිය.

චිත්ත ආවේග හඳුනාගැනීමට පළමු, සිතෙහි ස්වභාවය තේරුම්ගැනීම වැදගත් වෙයි. බොහෝ දාර්ශනිකයන්, ආගමික ශාස්තෘවරුන් සිතෙහි ස්වරූපය විස්තර කර තිබේ, සිත විස්තර කිරීමට බොහෝ පර්යාය පද භාවිතා කොට තිබේ.චිත්ත, මන, මනෝකාය, චෛතසික, මනෝභාව ආදී විවිධ වචන මගින් ප්‍රකාශ කිරීමට අදහස් කොට ඇත්තේ ‘චිත්ත’ සංකල්පය යි. නිරවුල්ව සිත පිළිබඳ විමසීමක යෙදෙන විට, එහි කිසිවක් තිබේදැයි කිව නොහැකි ය. කිසිවක් එහි නැතිනම් එය කවර ආකාර ගනීද? දිග ද, පළල ද, උස ද, මිටි ද, හතරැස් ද, ත්‍රිකෝණාකාර ද ආදී වශයෙන් විවිධ ප්‍රශ්න මතුවෙයි.

එබැවින් සිතෙහි යථා ස්වභාවය කුමක්දැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීම ගැටලු සහගත ය. විවිධ ශාස්තෘවරුන් බුද්ධකාලීන භාරතයෙහි සැරිසරමින් ගවේශණය කරන්නට උත්සාහ කළේ මේ හෘදය අභ්‍යන්තරයෙහි සැරිසරන්නා වූ චිත්ත ප්‍රවාහය කුමක්ද? යන්නයි. ඒ අතර ගෞතම බුදුන් වහන්සේ දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කොට, සිත පිළිබඳ අපූර්ව අදහස් සමුදායක් ඉදිරිපත් කොට තිබේ.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා.....

සිත, සියලු කි‍්‍රයාවන් හි මූලිකත්වය ගන්නා බවත්, සියලු ක්‍රියාවලට එය ප්‍රධානත්වය දෙන බවත්, පැහැදිලි කොට තිබේ. සිතේ ස්වභාවය කවරක්ද යන්න පහත දැක්වෙන බුද්ධ දේශනාවට අනුව වටහාගත හැකිය.

දුරංගමං ඒක චරං
අසරිරං ඥානහාසයං
යෙ චිත්තං සඤ්ඤ මෙස්සන්ති....’

දුර ගමන් කරන බවත්, හුදකලාව හැසිරෙන බවත්, ශරීරයක් නොමැති බවත් ය. මෙම මූලික ලක්ෂණ තුන සිතට අයත් බව තේරුම් ගත යුතු ය. ධම්මපදයෙහි චිත්ත වර්ගය දෙසට අවධානය යොමු කිරීමේදී

වාරිජෝව ථලෙ ඛිත්තො
ඕකමොකත උච්භතො
පරිඑන්ද තිදං චිත්තං...

ජලයෙන් ගොඩ දැමූ මාළුවකු මෙන් මේ සිත හැම දිසාවන්හිම අරමුණු සොයමින් සැලෙයි. දඟලයි. දුවයි එහෙයින් සිත දඟලන පෙරළෙන, ස්වභාවයෙන් යුක්ත බව කියැවෙයි. සිතෙහි පහළවන සිතිවිල්ලක වේගය, සියලු වේග පරදවයි. ආලෝකයෙහි වේගය ගණනය කර තිබුණ ද මිනිස් සිතෙහි වේගය ගණනය කිරිම ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නොවෙයි. තමා සිටින ස්ථානයේ සිට, ලෝකයේ කුමන කෙළවරකට හෝ සිතිවිල්ලක් යැවීමට ගතවන කාලය, මිනිය නොහැකි ය.

අභ්‍යාවකාශය පිළිබඳ විශ්ලේෂණය කරන්නේ ද ගණිත, තාරකා ආදී විද්‍යා පිළිබඳ පර්යේෂණ කරන්නේ ද සිතිනි. පෘථිවියේ පමණක් නොව මුළු මහත් විශ්වය පුරාම සැරිසරන්නේ චිත්ත බලය හෙවත් සිතිවිලි පරම්පරාව යි.

බුදුදහමේ තවත් තැනක සඳහන් වන්නේ ‘පභස්සර මිදං භික්ඛවේ චිත්තං...’ යනුවෙනි. ‘මහණෙනි, මේ සිත ප්‍රභාස්වර යි. ඉතා පිරිසුදු යි. ආදී යන්නයි. මෙයින් ගම්‍ය වන්නේ, මිනිසා ගේ උත්පත්තියේ දී සිත ඉතාම පිරිසුදු බව යි. එසේ නම් මෙතරම් පිරිසුදු සිත අපිරිසුදු වන්නේ කෙසේ ද? ආගන්තුකව පැමිණෙන උපක්ලේශ මාර්ගයෙන් සිත අපිරිසුදු වෙයි.

ආගනතුකව පැමිණෙන දේ කවරේ ද? පංච කාම සම්පත්තීන් ය. (රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය) මේවාට ගොදුරුවන චක්ඛු (ඇස), සෝත (කණ) ඝාණ (නාසය), ජිව්හා (දිව), කාය (ශරීරය) යන මේ ඉඳුරන් මගින් ලබාගන්නා යම් යම් අරමුණු නිසා, පවිත්‍ර සිත අපවිත්‍රතාවයට පත් වෙයි. තවදුරටත් එය විස්තර කරන්නේ නම්, පංච කාම, සම්පත්තීන් මගින් පුද්ගලයා ළාමක හැඟීම් කෙරෙහි යොමු කරවයි. රූපයෙන් ඇස රවටා, ළාමක හැඟීමක් සිතෙහි ජනිත කරවයි. ශබ්දයෙන්, කණ රවටයි. සුගන්ධයෙන්, නාසය රවටයි. මෙසේ පංච ඉන්ද්‍රියයන්ම මේ රැවටීම හේතු කොටගෙන මුලාවට පත් වෙයි.

සිත තවදුරටත් විග්‍රහ කිරීමේදී සිතෙහි ප්‍රකෘති ස්වභාවය හා විකෘති ස්වභාවය යැයි අංශ දෙකක් විද්‍යාමාන ය. ප්‍රකෘති සිත යනු පවිත්‍ර සිත වන අතර, එය සුදු පිරුවටයක් හා සමාන ය. ස්ථාවරත්වයෙන් යුක්ත ය. දුකක් පැමිණි විට ද සැපක් පැමිණි විට ද මධ්‍යස්ථ ස්වභාවයෙන් උපේක්ෂාවෙන් නොසැලී සිටීම, ප්‍රකෘති සිතේ ලක්ෂණයයි. අට ලෝ දහමින් කම්පා නොවීම වශයෙන් විස්තර වන්නේ එයම යි.

විකෘති සිතක් ඇති වූ කල පුද්ගලයා කරන කියන දේ හා අදහස් උදහස්, සාමාන්‍ය ස්වභාවයට වඩා වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරයි.

විකෘති, ප්‍රකෘති යන ඕනෑම සිතක නපුරු ගති ලක්ෂණ විද්‍යාමාන විය හැකි ය. එය අපි චිත්ත ආවේග ලෙස හඳුන්වමු. ආවේගයක් යනු ක්‍ෂණිකව ඉපදී, ක්‍ෂණිකව බිඳී යන්නකි. මනුෂ්‍ය සංහතියේ ඕනෑම අයෙකුට අවේග ඇති වී නැතැයි කිව නොහැකි ය.

සිත විකෘති කරන අවේග අතර ප්‍රසිද්ධ ආවේගයකි ‘තරහව‘ මිනිස් සමාජයේ ජීවත්වන කවරකුට වුවද කවර අවස්ථාවකදී හෝ ‘තරහව‘ නමැති ආවේගය ඇති නොවුණයැයි කිව නොහැකි ය.

ආවේගවල ද කොටස් දෙකක් හඳුන්වාදිය හැකි ය. එනම් සෘණ ආවේග හා ධන ආවේගය යි. තරහව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, නපුරුකම ආදිය සෘණ ආවේග ලෙස සැලකෙන අතර, කරුණාව, මෛත්‍රීය, දයාව අනුකම්පාව, ධනාවේග ලෙස හැඳින්විය හැකි ය. මජ්ක්‍ධිම නිකායෙහි සාලෙය්‍යක සූත්‍රයේ දී අපගේ සිතෙහි හටගන්නා සෘණ සිතිවිලි කවරේ දැයි පැහැදිලි කිරීමක් කර ඇත. ඒ අනුව

1. අනුන්ට හිංසා කිරීමේ කැමැත්ත
2. අනුන්ගේ ජීවිත නැති කිරීමේ කැමැත්ත
3. අනුන් සතු දේ පැහැර ගැනීමේ කැමැත්ත
4. අනුන් සතු ස්ත්‍රීන් සේවනය කිරීමේ කැමැත්ත, පංච ඉන්ද්‍රිය අයුතු ලෙස පිනවීමේ කැමැත්ත
5. බොරුවෙන්, වංචාවෙන් අනුන් මුළා කිරීමේ කැමැත්ත
6. කේලාම් කියා එකිනෙකා කෙටවීමේ කැමැත්ත
7. අනුන්ට රළු වචනයෙන් අපහාස කිරීමේ කැමැත්ත (පරුෂාවාචා)
8. අනුන්ටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති හිස් වචන කතා කිරීමට ඇති කැමැත්ත (සම්ඵප්ප්‍රලාපා)
9 . දැඩි ආශාව (අභිජ්ඣා)
10. අනුන්ට ක්‍රෝධ කිරීම
11. ඇත්ත නැත්ත ලෙසත්, නැතත් ඇත්ත ලෙසත් වරදවා පිළිගැනීම
12. නොකළ යුතු දේ කළ යුතු දේ ලෙසත්, කළ යුතු දේ නොකළ යුතු දේ ලෙසත් වරදවා කල්පනා කිරීම
13. වැරැදි අදහසක්ම කල්පනා කොට වැරැදි ලෙස අනුන්ට කීම (මිච්ඡා වාචා)
14. වැරැදි ලෙස කියන අතර තමාද වැරැදි ලෙස ක්‍රියා කිරීම
15. වැරැදි ලෙස ජීවත් වීමට ඇති කැමැත්ත
16. වැරැදි ලෙස සිත ක්‍රියා කිරීම නිසා වැරැදි අදහස් ඇතිවීම

මෙවැනි නරක, නපුරු අදහස් යම් සිතක පහළ වූ කල්හි ඔහු කරනුයේ එම අදහස් කුමන ආකාරයකින් හෝ සඵල කර ගැනීමට උත්සාහ කිරිමය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.