දෙලොව තවන
පාපයේ කිළුට
හබරණ වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර
සමණධම්ම හිමි
චුන්දසූකරික වාසය කළේ
ජේතවනාරාමය අසල පැල්පතක ය. ඔහුගේ ජීවිකා වෘත්තිය වූයේ ඌරන් මරා මස් කා
විකිණීමයි. පරලොවක් ගැන ඔහුට
අවබෝධයක් තිබුණේ නැහැ. ඌරන්ට අනන්ත වධ දී මරණයට පත් කළා. පසු කලෙක
බලගතු ලෙස චූන්දසූකරික අසනීප වුණා. මොහුට කළ කම් මෙලොවදීම පල දෙන්නට
පටන් ගත්තා. ඌරකු සේ දන ගහගෙන ඇවිදිනව, හතරගාතෙන්. ඌරකු වගේ
කෑගහන්නට ද පටන් ගත්තා.
භික්ෂූන් වහන්සේටත් මේ ශබ්දය ඇසුණා. මෙය බුදුන් වහන්සේටත් සැල කළා.
චූන්දසූකරික කළ පව් කොටසක් මෙලොවදීම ගෙවන බවත්, බුදුපියාණන් වහන්සේ එම
භික්ෂූන්ට වදාළහ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බූද්ධස්ස
ඉධ සෝචති පෙච්ච සෝචති
පාප කාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝ
පින්වත්නි,
මාතෘකා කරන ලද ගාථාව අයත් වන්නේ ධම්මපදයේ යමක වග්ගයටය. එහි සාමාන්‍ය
අදහස වන්නේ පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. පරලොවත් ශෝක කරයි. දෙලොවම ශෝක
කරයි.
ඔහු තමාගේ කිළිටි කර්මය දැක ශෝකකර වැනසෙයි යන්නයි. බුදුපියාණන් වහන්සේ
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන අවස්ථාවේ චුන්ද සූකරික ඌරුවැද්දා අරභයා
මෙම දේශනාව සිදුකරන ලදී. චුන්දසූකරික වාසය කළේ ජේතවනාරාමය අසල පැල්පතක
ය.
ඔහුගේ ජීවිකා වෘත්තිය වූයේ ඌරන් මරා මස් කා විකිණීමයි. ජේතවනාරාමය පෙනි
පෙනී ඒ අසල ජීවත්ව සිටියත්, බුදුපියාණන් වහන්සේ නිතර දකින්නට ලැබුණත්
රහතන් වහන්සේ නිතර හමු වී මුණ ගැසුණත් ඔහුට සිතුනේ නැහැ බුදුදහම ගැන
හිතන්න. පරලොවක් ගැන ඔහුට අවබෝධයක් තිබුණේ නැහැ.
ඌරන්ට අනන්ත වධ දී මරණයට පත්කළා. වයස අවුරුදු පනස්පහ වනතුරුම මේ
චූන්දසූකරික කළේ ඌරන් මරන ක්‍රියාවයි පසු කලෙක බලගතු ලෙස චූන්දසූකරික
අසනීප වුණා. මොහුට කළකම් මෙලොවදීම පල දෙන්නට පටන් ගත්තා. ඌරකුමෙන් ගෙය
තුල බඩගානවා. ඌරකු සේ දන ගහගෙන ඇවිදිනව. හතරගාතෙන් ඌරකු වගේ කෑගහන්නට
ද පටන් ගත්තා.
සතියක් මුලුල්ලේම මෙසේ දිවා රෑ නැතිව කෑ ගහනව. භික්ෂූන් වහන්සේටත් මේ
ශබ්දය ඇසුණා. භික්ෂූන් වහන්සේ හිතුවේ චුන්ද සූකරිකගේ් ගෙදර උත්සවයකට
දිනපතා ඌරෝ මරනව කියල. මෙය බුදුන් වහන්සේටත් සැල කළා. චුන්දසූකරිකගේ
ගෙදර උත්සවයක් නොවන බවත් චූන්දසූකරික කළ පව් කොටසක් මෙලොවදීම ගෙවන
බවත්, බුදුපියාණන් වහන්සේ එම භික්ෂූන්ට වදාළහ. චූන්දසූකරික අවීචිමහා
නරකාදියේ උපදින බව දේශනා කළ බුදුපියාණන් වහන්සේ ඉහත මාතෘකා කළ ගාථාව
දේශනා කර වදාළහ.
පින්වත්නි
පව් කරන්නාට තමාකළ අකුසල කර්ම නිමිති මරණ මොහොතේ සිහියට එනවා. කම්ම,
කම්ම නිමිත්ත, ගති නිමිත්ත වශයෙන් මරණ මංචකයේ සිටින අයකුහට එම නිමිති
පහළවේ. සවස හිරු බසින විට යම් දෙයක සෙවණැල්ල පෙරදිගින් පෙනෙන්නා සේ ඔහු
කළ පාප කර්ම ඔහු ඉදිරියේ දිස් වේ.
සත්ත්වයා උපදින්නේ තමා කරන ලද පින් පව් දායාද කරගෙනයි. ඔහු කරන ලද කර්ම
මරණ මොහොතේ ඔහු ළඟට පැමිණෙනවා. එය සිිහිපත් වන ඔහුට ඒ අවස්ථාවේදී සිතේ
දුක හට ගනී. මරණ මොහොතේ ඒ දුක ඔහු විඳින අතරම මරණින් මතු අපාගත වීමටද
ඉඩ ඇත.
අකුසල කර්ම කරන පුද්ගලයාට එම අකුසල කර්ම කිරීමට යම් උපකරණයක් භාවිත කළේ
නම් එය ඔහුට පෙනෙනවා. එය කම්ම නිමිත්ත ලෙස දැක්වේ.
නිරය, ගිනිදැල්, භයානක සතුන් ඔහුට පෙනෙනවා. මෙම ගති නිමිති දකින ඔහු
මෙලොවදීම තැති ගැනීමට පත්වේ. (ඉධ සෝචති) මෙසේ ඔහු මෙලොවදීම දුකට පත්වේ.
එම පව් කළ පුද්ගලයා මියගොස් ඒකාන්තයෙන් අපාගත වේ. (පෙච්ච සෝචති)
ඒ අපාගත වීමේ සලකුණු මරණ මොහොතේ පෙන්නුම් කැරේ.
සිත කය, වචනය, යන තිදොරින්ම මෙසේ අකුසල කර්ම සිදු වේ. මෙසේ කය වචන සිත
යන තිදොර සංවර කරගන්න, හික්මවා ගන්න පුළුවන්නම් අපෙන් අකුසල් සිදුවන්නේ
නැහැ.
ප්‍රාණඝාත කිරීමේ ක්‍රම කීපයක්සඳහන් වේ. ඊට පයෝග යනුවෙන් ද දැක්වේ.
1. සාහත්ථික පයෝගය
2. ආනත්ථික පයෝගය
3. නිස්සග්ගික පයෝගය
4. ස්ථාවර පයෝගය
5. විජ්ජාමය පයෝගය
6. ඉද්ධිමය පයෝගය
ප්‍රාණඝාතය අංග සම්පූර්ණවීමටත් කරුණු පහක් අවශ්‍යය.
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතකුබව දැනීම
3. වධක චිත්තය
4. මැරීමේ උපක්‍රමය
5. මරණයට පත්කිරීම යනුවෙනි.
මෙම අකුසල කර්මයන් කිරීමට ලෝභය, ද්වේෂය හෙවත් තරහව හා මෝහය මුල්වනවා.
මස් අනුභව කිරීමත් මස් විකුණා මුදල් ඉපයීමත් ආදී වශයෙන් සතුන් මරන්නාට
ලෝභය උපදිනව. මොහු මට විපතක් කළැයි හෝ කරතියි සිතා මැරීමෙන් ද්වේශයක්
හටගනී. සතුන් මරා දන්දීම්, යාගකිරීම් වරදක් නැතැයි සිතා සතුන් මැරීමෙන්
මෝහය උපදිනව.
සසර වසන සත්ත්වයාට සතර අපාය තම මහගෙදර වැනිය කවර තැනකට ගියත් නිතර එම
මහගෙදරට එනවා. අකුසල කර්ම කළොත් එම සතර අපාය නමැති මහ ගෙදර නිතර ඉන්න
වෙනවා. ඒ නිසා මේ දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ආත්මයෙන් අපි ප්‍රයෝජන ගනිමු.
මේ වස්සාන සමයේ කුසල ධර්මයන්හි යෙදී සසරින් මිදිමට අධිෂ්ඨාන කර ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!
|