Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුරාවිද්‍යා ඇස යොමු කළ යුතු ගල්කැටිය පුරාණ රජ මහ විහාරය

දඹදෙණි යුගයේ රෝහණ දේශය පාලනය කළ ගාලු පුරවරයේ රත්ගම මැතිවරණ කොට්ඨාසයේ විසූ සේනාධිනායක දේවපතිරාජ සෙන්පතියා විසින් මුහුදුබඩ වෙහෙර විහාර ඉදිකරනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වේ.

එතුමා විසින් ඉඳිකරනු ලැබූ පන්සල් අතර බලපිටියේ මාදුගග අසබඩ තිබූ ආරාමයද තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ තොටගමු ආරාමයද , ගාල්ල අක්මීමන කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් වසමට අයත් වන දර්ශනීය කඳුමුදුනක පිහිටි යටගල පුරාණ රජමහ විහාරය සහ උණවටුනේ ගල්කැටියේ දෙබිම්අරම (ද්විභූනිකාරාමය) පුරාණ රජ මහා විහාරය හා උණවටුනේ පීල්ලේගොඩ චෛත්‍යාලංකාර පුරාණ විහාරස්ථානය යනාදී සිද්ධස්ථාන මුල් තැනක් ගනී.

ගාලු දිසාවේ තල්පේ පත්තුවට අයත් හබරාදුව උණවටුන බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි උණවටුනේ එරමුදුගහ මංසන්ධියේ සිට ගාල්ල මාතර ප්‍රධාන මහා මාර්ගයේ විහිදී ඇති අතිශයින් මනරම් උස් බිමක මහා සමුද්‍රයට පිටුපසින් ඇති රාමරාවනා යුගයට අයත් ඓතිහාසික රූමස්සල කන්දට යාබදව පිහිටි පුද බිමකි උණවටුනේ ගල්කැටිය පුරාණ රජමහාවිහාරය.

උණවටුනේ ගල්කැටිය දෙබිම්අරම පුරාණ රාජ මහා විහාරය නායයාමේ අවදානමකට ලක්වී ඇති බව පෙනේ.

එම පුරාණ විහාරස්ථානයේ විහාර මන්දිරය බිතුසිතුවම් , බුද්ධ ප්‍රතිමා, මුළුතැන්ගෙය හා දාන ශාලාව, ධර්මශාලාව ඉතා අබලන් තත්වයකට පත්ව ඇත. දඹදෙණි යුගයේ දේවපතිරාජ රජු විසින් ඉදිකරණු ලැබූ එම පැරණි විහාර ගෙය අබලන්ය. වහල දිරාපත් වී ඇත. දොර ජනෙල් කැඩී ගොසිනි. විහාර ගෙය තුල තිබෙන බුද්ධ ප්‍රතිමා අබලන් වී ඇත. බිතු සිතුවම් සායම් මැකී විනාශ වෙමින් පවතී.

ධර්මශාලාව සහ දානශාලාව භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින සංඝාවාසය , මුළුතැන්ගෙය අබලන් ය.

බිත්ති ඉරිතලා වහල දිරාපත් වී උළුකැඩී, දොර ජනෙල් කැඩී විනාශ වී ඇති අතර චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල බෝධි වලින් එක් බෝධියක් රෝපණය කරනු ලැබූ බෝධිඝරය ගරාවැටී ඇත.

එම විහාරයට යාමට ඒමට ඇති මාර්ගයද අබලන් වී ඇත. විහාරස්ථානයේ පවතින අඩුපාඩු සපුරාලීමට කටයුතු යොදන මෙන් දකුණු පළාත් සභාවෙන් හා දකුණු පළාතේ පුරා විද්‍යා කොමසාරිස් තුමා ඇතුළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා ඇත.

ගාලු පුරවරයේ උණවටුන, යද්දෙහිමුල්ල, ගල්කැටිය, දෙවට, උණවටුන, බටහිර ධීවර කර්මාන්තයෙන් ජීවත්වන ජනතාව සහ එදිනෙදා වේල සොයාගන්නා කම්කරු පන්තිය මෙම විහාරයේ දායකයින්ය. ඔවුන්ට සිය ආගම ඇදහීමට තිබූ ගල්කැටිය පුරාණ විහාරයේ තිබූ පුදබිම වනවාසයට ගොදුරු වෙමින් පවතී. මේ පුදබිම දස දහස් ගණනකගේ නමස්කාරයට පත්වූ ස්ථානයකි.

2004.12.26 දින මහ මුහුද ගොඩ ගැලීමේ ඛේදවාචකයෙන් මෙම පුරාණ විහාරය සම්බන්ධ දායක දායිකාවන් සිය ගණනකගේ ජීවිත අහිමි වී උන්හිටිතැන් අහිමිවූ අනාථයින් සඳහා ගල්කැටිය පුරාණ විහාරයේ ගරා වැටෙන ගොඩනැගිලි තුල අනාථ කඳවුරක් අහංගම සුමනවංශ නාහිමියන් සහ උණවටුනේ පීල්ලේගොඩ චෛත්‍යාලංකාර පුරාණ විහාරයේ අහංගම සිරි විජය යන හිමිවරුන් විසින් රාජ්‍ය නොවන සංවිධාන හා බහුජන සංවිධානවල ආධාරයෙන් පවත්වා ගෙන යන ලදී.

මහ මුහුද ගොඩ ගැලීමේ ඛේදවා චකයෙන් පසු ගල්කැටිය පුරාණ රජ මහා විහාරස්ථානයේ ගොඩනැගිලි ගිලා බැසීමේ අවදානමකට පත්ව ඇතැයි කියති.

මෙම ඓතිහාසික පුරාණ පුදබිම වැලලීයාමට ඉඩ නොතබා පුරා විද්‍යාත්මක ගවේෂණයක් කර සංරක්ෂණය කර ගොඩ නගන්නේ නම්, එය ඓතිහාසික උණවටුන ප්‍රදේශයේ බුදුසසුන චිරාත් කාලයක් නොනැසී පැවතීමට විශාල ආශිර්වාදයක් වනු ඇතැයි අහංගම සුමනවංශ නාහිමියේ පවසති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.