Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සමය සහ භාරත නිදහස් ව්‍යාපාරය

අප අපේ ජාතික සලකුණ සොයා ගැනීමෙන් පසු හැරුණේ කවර දිසාවකට ද? අපි යළිත් අශෝකයන් විසින් නගා සිටුවන ලද කුලුණ දෙස හැරී බලමු. අපි එයින් සිංහයන් හතරදෙනා උපුටා ගනිමු. ඒ අශෝකයන් විසින් සාරානාත්හි කුලුණු හිසට නංවන ලද සිංහයෝ ය. දැන් ඒ සිංහයෝ සෘජුව ධර්ම චක්‍රයේ ආරක්ෂකයන් ලෙස සිටින්නාහු පමණක් නොවෙති. ලෝක ගෝලයේ හැම දිසාවකින්ම කඩා වදින ආක්‍රමණිකයනට එරෙහිව අපේ නිදහස ආරක්ෂා කර ගන්නට අපට හැකි බව ද කියාපාති. බුදු දහමත්, අශෝකයෝත් අපේ ජාතික ජන ජීවිතයේ අධ්‍යාත්මික විශ්‍රාමය තුළ අරක්ගෙන සිටින්නෝ ය.

Mahabodhi Centenary Commemorative Volume - SAMBHASHA කලාපයේ පළ කරන ලද ආචාර්ය කෛලාශ් නාත් කත්ජුගේ Freedom Movement and Buddhism in India නිබන්ධනයේ පරිවර්තනයකි. ඒ නිබන්ධනය එතුමා විසින් ඉන්දියා මහබෝධි සමාගමේ අනුග්‍රහය යටතේ කල්කටාවේ පැවති ධම්මචක්ක උත්සව සභාවේ සභාපති ලෙස පැවැත් වූ දේශනයකි

මේ නිදහස් දින සංවත්සරයේදී අපේ සිතිවිලි නිතැතින් ම, මෙයින් සිවු වසරකට පෙර එනම් 1947 අගෝස්තු 15 වැනිදා මුදුන්පත් ස්වාධීනත්වය පිණිසවූ දිගු කලක් ඇදී ගිය අරගලය වෙත යොමුවනු ඇත. දැවැන්ත වනස්පති වෘක්ෂයක බිජුවටක් ලෙස එය අංකුර ඇද්දේ යන්තමිනි. මෙයින් වසර 125 කට පෙර බෙංගාලයේදී මේ බිජුවට රෝපණය කරන ලද්දේ රාජාරාම් මෝහන් රායි විසිනි. එතැන් පටන් ඉදිරියට අපේ අරගලය සාර්ථකව එකදිගට ඇදී ගියේ ය. හැම විට ම අපේ නායකයන්ගේ් අරමුණ ශ්‍රේෂ්ඨ එකක් විය. ඒ අතර ම ඔවුන්ගේ පදනම ස්ථාවර වූයේ ය. එය මුළුමනින් ම පරමාදර්ශී සහ ප්‍රායෝගික සාමූහිකත්වයේ මහා සන්දර්ශනයකි.

1884 සිට වඩාත් වැදගත් වන්නේ ඉන්දියානු ජාතික කොන්ග්‍රසය ගොඩනැඟීම යි. එතැන් පටන් මහජන අවධානය කාර්යශීලී සහ ධෛර්ය සම්පන්න වන්නට පටන් ගැනිණ. නිර්මාණාත්මක චින්තනයෙන් මහජනතාව ආකර්ෂණය කර ගන්නා ලද්දේ ය. කෙසේ වෙතත් අද මම පසුගිය සියවස පුරා ඉන්දියාව තුළ ව්‍යාපාර දෙකක සංවර්ධනය පිළිබඳ තොරතුරු සිහිපත් කරන්නට කැමැත්තෙමි. ඒ අතර මට පෙනෙන හැටියට එකකට එකක් එතරම් සම්බන්ධයක් නැති කුඩා පරිමාණ ව්‍යාපාර ජාලයක් ද ඇත. එහෙත් ඒවා අවසානයේදී අපූර්වත්වයෙන් එකකට එකක් ආකර්ෂණය කැරෙන දුර දැක්මකින් සංවිධිත විය. මා මෙසේ අවධාරණය කරන්නේ ඉන්දියාවේ බෞද්ධ පුනර්ජීවනය යි.

මේ මහා අර්ධද්වීපයේ පොදු ජනතාව විසින් මූලික වශයෙන් බුදු දහම පිළිගැනීමත් සමඟ එකට ගැළපුණු මේ දේශයේ කීර්තිමත් වකවානුව අමතක කළ නොහැකි ය. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවත් වූයේ ක්‍රි.පූ. පස්වැනි සියවසේ ය. ඉන් වසර 205කට පසු අශෝක අධිරාජ්‍යයා විසින් බුදු දහම පිළිගැනීමෙන් අනතුරුව එය ප්‍රධාන ආගම බවට පත් විය. එතැන් සිට ඉදිරියට, ක්‍රි.ව. හත්වැනි සියවස තුළ කෙළින් ම ශිලාදිත්‍ය හර්ෂ වර්ධනයන්ගේ සමය තෙක් වසර දහසක කාලයක් බුදු දහම සහ භෞතික සමෘද්ධියත්, දේශපාලන නිදහසත් මල්ඵල ගැන්විණ. තවද පොදු සම්මුතියෙන් ගුප්ත අධිරාජවරුන්ගේ යුගයේදී ජාතික පොදුජන ජීවිතයේ හැම අංශයක ම අසමසම සමෘද්ධියක් දක්නට ලැබිණ. ඉක්බිති බුදුදහම කෙමෙන බහුජන ප්‍රසාදයෙන් ගිලිහෙන්නට පටන් ගන්නවාත් එක්ක ම අපේ දේශපාලන බිඳ වැටීම ද ඇරැඹිණි. මුල සිට අගට අතීතාවර්ජනයක යෙදෙන්නකුට එය අත්දකින්නට නොහැකි නොවේ.

ක්‍රි.ව. 630 - 645 අතර චීන වන්දනාකාර හියුං සාං භික්ෂූන් වහන්සේ ඉන්දියාවට එන විට බුදුදහම අනතුරුදායක තත්ත්වයට පත්ව වේගයෙන් පරිහානියට මුහුණපා ඇති බව දකින්නට ලැබිණ. සියවස් දෙකක් තුළ දී බුදුදහම මුළුමනින් ම ඉන්දියාවෙන් මියැදී ගියේ ය. ඒ වනවිට එය චීනය හා ජපානය ආදී මහා දේශයන්ටත්, අග්නිදිග ආසියාව හා දකුණින් ශ්‍රී ලංකාවටත් ව්‍යාප්තව තිබිණ. ඉන්දියාව තුළ බුදුපා පහසින් පවිත්‍රත්වයට පත් හැම තැනක්ම අමතකව මිහිදන්ව හෝ මහ වන මැද අදිසිව, හඳුනාගත නොහැකිව ගියා පමණක් නොව ඒවා පිළිබඳ මතකය පවා ගිලිහී ගියේ විය. අශෝක අධිරාජයයන් සහ සැදැහැවත් ජනපරම්පරා විසින් ගොඩනඟන ලද ස්තූපයෝ ද, ස්තම්භයෝ ද නොමතකව ගියාහු, සුනුවිසුනුව මුළුමනින්ම නොපෙනි ගියෝ ය. එහි පර්වත සහ ස්තම්භයන්හි නොයෙක් ලේඛනයෝ වූහ. එහෙත් ඒවා කිසිවකුටත් කියනු නොහැකි වුණා පමණක් නොව ඒ ගැන ගණනකට ගත් කෙනෙක් පවා නොවූහ. බුදුදහම නපුරු සිහිනයක් තරමින්වත් කිසිවකුගේ මතකයේ නොරැඳිණ.

බුදුදහම දේශයෙන් අදිසිව ගිය කල්හි දේශයේ ස්වාධීනත්වයට ද එකී ඉරණම අත්විය. ජනතාව විදේශීය පාලනයට යටත් කරනු ලැබූහ. සියවසකට පසු සියවසක් ගණනේ මේ ඉරණම දිගින් දිගට ගියේ ය. බෞද්ධාගමික සාහිත්‍යය ආගමික සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු වලින් පිරී ඉතිරී තිබිණ. ඒ අතර බුදුන් වහන්සේ උපත ලද ලුම්බිණි ද, බුද්ධත්වයට පත් බුද්ධගයා ද, මිගෝද්‍යානය සහ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වුණු කාශි දේශයේ බරණැස ද, පිරිනිවන් පෑ කුසිනාරා ද සුවිශේෂිත ය. තවද බලසම්පන්න අශෝක අධිරාජ්‍යයා බුදුදහම පිළිගෙන දේශය පුරා ධාර්මික පාලනයක් සංස්ථාපනය කරන්නට ඇපකැප වූයේ කෙසේ දැ යි පාලි ග්‍රන්ථයන්හි සවිස්තරව දක්වා තිබිණි. ඒ කෙසේ වෙතත් ඉන්දියාව තුළ බුද්ධගයා සහ මිගෝද්‍යානය පිළිබඳ යශෝරාවය මතකයෙන් ගිලිහී ගොසිනි. ලුම්බිණිත්, කුසිනාරාත් ගැන කිසිවක් දන්නා කිසිවෙක් නොවූහ. අශෝක යනු කවරෙක් ද? ඔහුගේ් පාලනය කෙතරම් බලපසම්පන්න වී ද? ඒ එක්ක ම ඔහු කෙතරම් නිවරද්‍ය ලෙස මානව සංහතියේ සර්වකාලීන විමුක්තිය පිණිස මාර්ගය පෙන්වා දුන්නේ ද? ආදි කිසිවක් ගැන අපි නොදැන සිටියෙමු.

ඇදහිය නොහැකි වූ මේ කාර්ය තත්ත්වය 18 වැනි සියවසේ අවසානය තෙක් එක දිගට ඇදී ගියේ ය. මා කලින් සඳහන් කළ පරිදි 19 වැනි සියවස පටන් ගත් මුලදී උරෙනුර ගැටී ඉන්දියාවේ නිදහස් අරගලය ඇරඹිණ. ඒ එක්ක ම ඉංගිරිසි සහ වෙනත් යුරෝපීය උගතුන්ගේ දායකත්වයෙන් ද බුදුදහම විෂයයෙහි අපේ අවධානය සහ අභිමානය නැගී සිටියේ ය. ඒ අතර පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රාමාණික නිගමන පිළිබඳ ප්‍රබල වාදවිවාද හා විරෝධතා වලින් ද පසුව, සුරාංගනා කතා වලින් කියවෙන්නාක් බඳුව නැගෙනහිර උත්තර් ප්‍රදේශ හා බිහාර් ප්‍රදේශ යන බෞද්ධ රාජ්‍යයන්හි පූජනීය බෞද්ධ සිද්ධස්ථාන සොයාගනු ලැබිණ. කැණීම් වලදී එක් එක් පුරාවස්තුවක් පිළිබඳ තොරතුරු එළිදරවු වූයේ මවිතය දනවමිනි. පර්වත හා ස්තම්භයන්හි කොටවන ලද අශෝක ලේඛන බෙහෙවින් විචිත්‍ර ය. මෙසේ සොයා ගන්නා ලද ලිපි එක එකක් කියවා තේරුම් ගැනීම චිත්තාකර්ෂණීය වෘත්තාන්තයකි.

යම් කිසිවකු විසින්, වසර 2200කට පෙර මයිසෝරයේ දකුණු දිග අශෝක යන නම අමරණීය ලේඛනයක සටහන් කිරීමෙන් කරන ලද එඩිතරකාරියට අප කෙතරම් ණයගැතිද? එයින් තහවුරු කරන ලද්දේ හැම තැනක ම ඇති ලේඛනවල සඳහන් අධිරාජ පියදසී යනු අන් කිසිවකු නොව දෙවියනට පිය හෙවත් දෙවනපිය අශෝක වන බව යි. එකකට පසු එකක්, එක දිගට මේ පූජ්‍යස්ථාන සොයා ගැනීමේ වෘත්තාන්තය මවිතය දනවන්නකි. උදාහරණයක් ලෙස ගතහොත් ලුම්බිණි අසල මහවන මැද කැඩි බිඳී ගිය අශෝකස්තම්භය අඩි ගණනාවක පොළොව යටින් මතුකර ගන්නා ලදී. ඒ එක්ක ම හාරා ගන්නා ලද ශිලා ලේඛනය පෙරදින කැටයම් කරන ලද පරිදි පැහැදිලි ද, සම්පූර්ණ ද, නොකඩ ද වූයේ විය. එහි සඳහන් වන්නේ බුද්ධෝත්පත්තිය සිදුවූයේ එතැන බව යි. ඒ සමඟ වූ ස්තම්භය පිහිටුවීමට නියම කර ඇත්තේ දෙවන පියදසුන් (අශෝක) විසිනැ යි ද සඳහනි.

පුරාවිද්‍යාව පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බ්‍රිතාන්‍ය වන නිලධරයෙක් කාශියා යනු බෞද්ධ ආගමික සාහිත්‍යයේ සඳහන් කුසිනාරා ලෙස හඳුනා ගත්තේ ය. බොහෝ දුරට එතැන ඒ වනවිට බුදුන් වහන්සේ පිරිනිවන් පෑ තැන ලෙස තිර ලෙස නිගමනය කර නොතිබිණි. එසේ ම කාශි දේශයේ සාරානාත් හා භව හෙවත් උපත පිළිබඳ ගැටලුව විසඳා මිස නොනැඟිටිමි යි අදිටන් කර පලක් බැඳ වැඩහුන් තැන ම වෙතියි සැලකෙන පූජනීය බෝධිය මෙතෙකුත් නැඟී සිිටින, බුද්ධගයා වැනි වෙනත් තැන් ද හඳුනා ගනු ලැබ ඇත. සමස්ත 19 වැනි සියවස ම අපේ දේශපාලන ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා වූ අරගලයට සූදානම් වීමට කැප කරන ලදී. එසේ ම එය බෞද්ධ ඉතිහාසය හා පුරාවෘත්තය විසින් පූජනීයත්වයට පත් සියලු දේ මතකයෙන් ගිලිහී යෑමෙන් මුදාගෙන ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට කරන ලද අරගලයක් ද විය.

ශ්‍රාවස්ති, කෞශාම්බි, අමතකව ගිය රජගහ නාලන්දා සහ දුසිම් ගණනින් වූ තවත් එබඳු තැන් හඳුනා ගන්නා ලදී. උත්තර් ප්‍රදේශ්හි කොණ්ඩා දිස්ත්‍රික්කයේ එදා පිහිටි ශ්‍රාවස්ති අද හැඳින්වෙන්නේ සහෙත් මහෙත් නමිනි. එදා කෞශාම්බි වූයේ අද අලාහබාද් දිස්ත්‍රික්කයේ කෝසම් ය. එසේ ම ඈත පිටිසර විසිර ගිය, දෙහ්රා දුන් දිස්තිරික්කයේ කල්සි, ජගන්නාත්පුරී අසල ඈත නැගෙනහිර ධෞලී සහ මයිසෝරයේ දකුණු දිග තවත් එකක් ද විසින් ශිලා ලේඛන සොයා ගන්නා ලදී. මේ යුගයේ පර්යේෂණාත්මක සොයා ගැනීම් ඔස්සේ බුදුදහමේ පුනර්ජීවනයක් උදා වූ අතර ඉන්දීය ජනතාවගේ හදවත් තුළ ඒ ශ්‍රේෂ්ඨ ධර්මය විෂයයෙහි වූ කරුණාවේ පුනරාගමනයක් ද ජනිත විය. ඉන්දීය ජනතාව වඩවඩාත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයත්, මානව සංහතියේ සෞභග්‍යය පිණිස අදාළ උන්වහන්සේගේ ඉගැන්වීම්හි විශිෂ්ටත්වයත්, කරුණාවේ පණිවිඩයත්, සහජීවනයත් හඳුනා ගන්නට වන්හ.

ඒ අතර ශ්‍රී ලංකාව ද තමන්ගේ ඓතිහාසික කෘතවේදී ණයක් පියවාලී ය. අශෝක අධිරාජ්‍යා පළමුවෙන් තමාගේ පුතාත්, ඉක්බිති බුද්ධගයාවේ පූජනීය බෝධිරාජයාගේ අංකුරයක් සමඟ දියණියත් ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටියේ ය. ඒ ශ්‍රද්ධා සම්පන්න දෝතින් හිඳුවන ලද අංකුරය අද මහා බෝධිරාජයෙක්ව අනුරාධපුරයේ වැජඹෙමින් සිටී. ඒ අතර 1891 දී අනගාරික ධර්මපාල නම් බෞද්ධ ධර්මදූතයාණෝ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සැපත් වූහ. ඒ ගමනේදී බුද්ධගයාවේ බෞද්ධ සිද්ධස්ථානවල හද සසල කරවන තත්ත්වය දුටු එතුමන්ගේ සිත දොම්නසින් පිරී ගියේ ය. එහි ප්‍රතිඵලය වූයේ ඉන්දියාවේ මහාබෝධි සාමගම ආරම්භ කිරීම යි. එතැන් සිට බෞද්ධ පාලනය යටතේ ඓතිහාසික බුද්ධගයා විහාරයට පුනර්ජීවනය දීමේ මහා ව්‍යාපාරය ඇරැඹිණ. එහෙත් එතුමන් 1933.04.29 වැනිදා අපවත් වූයෙන් තමාගේ ව්‍යාපාරයේ මල්පල දකින්නට නොහැකි වුවත්, ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කර ගත් බව පෙනේ. එතුමෝ ඉන්දියාවේ බුදුදහමට නවපණක් දුන් අතර යශෝරාවයක් ද පැතිර වූහ. එමඟින් බුදුදහමේ ශ්‍රේෂ්ඨත්වය ඉන්දියාව පුරා හඳුනා ගන්නා ලදී. එතුමන් ලද ජයග්‍රහණය කුමක් දැයි ඕනෑ ම කෙනෙකුට ඇස්පනා පිට දැක ගන්නට සාරානාත් වෙත යෑම පමණක් වුවත් සෑහෙයි.

එහිදී නූතන විහාරය පසෙකින් සාමයේ සම්භාව්‍ය ක්ෂේමස්ථානය ද, සැනසීම ද වන පූජනීය බෝධිරාජයණෝ නැඟී සිටිති. එය අශෝක අධිරාජයා විසින් බුද්ධාගයාවේ සිට ශ්‍රී ලංකාවට එවන ලද බෝධි අංකරයෙන් මූකුරා ගිය බෝධිරාජයාගෙන් 1933 දී ලබා ගත් අංකුරයක් රෝපණයෙන් නැඟී සිටින බෝධිරාජයා යි.

විසිවැනි සියවස තුළ අපේ නිදහස් අරගලය කඩිනම් පියවරක් ගත්තේ ය. එසේ ම මට හිතෙන හැටියට ඉන්දියාවේ පොදු ජනතාව අතර බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි දැඩි ආකර්ශණයක් ද දක්නට ලැබිණ. ඉන්දියානුවා කිසි විටෙකත් ස්ථාවර බෞද්ධයකු බවට පත් නොවන්නකු විය හැකි ය. වෙසෙසින් ම ඉන්දියාවේ හින්දුන් අතර එය බලාපොරොත්තු නොවිය හැක්කේ ය. ඔවුහු ඒ හැටියෙන් සිය ඇදහිල්ලෙන් ඒ මේ අතට මාරු වන්නෝ නොවෙති. ඔවුහු සිය ගුරුවරයාට බෙහෙවින් ගරු කරති. එක හිතින් ගුරුවරයාගේ ඉගැන්වීම් පිළිගනිති. එය නිරායාසයෙන් සිය ජීවිතයත් සමඟ එකට යන්නට ඉඩ හරිති. හුදෙක් විසිවැනි සියවසේ මුල් බුදුදහම පිළිබඳව ප්‍රකාශයට පත්ව ඇති ලොකු හා කුඩා පොත් සංඛ්‍යාව විශාල ය. හැම නිවසක් පාසා ම බුදුන් වහන්සේගේ පණිවිඩය විනිවිද ගොස් ඇත.

ඉක්බිති පැමිණි මහත්මා ගාන්ධිතුමා කරුණාව සහ සහජීවනය ගැන අනුශාසනා කරමින් නපුරට එරෙහිව තරයේ නැගී සිිනා ලෙස අපට ඉගැන්වී ය. එය යළිත් බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි සජීව සර්වාර්ථය විය. මෙසේ සියලු සාරාර්ථයන්ගේ කූට ප්‍රාප්තිය අත්‍යන්තයෙන් මවිතකර ය. මේ කූ®ට ප්‍රාප්තියේදී අපි අප විසින් ම බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ අත්‍යන්තයෙන් කීර්තිමත් ශ්‍රාවක අශෝක අධිරාජ්‍යයා සමඟත් සදහට ම එකමුතුව බැඳී සිටිමු.

අප අපේ නිදහස ලබා ගැනීමෙන් පසු ප්‍රශ්නයක් පැන නැංගේ ය. එනම් අප දිරි ගන්වන, අපට මඟ පෙන්වන සහ සදහට ම අප ආරක්ෂා කරන අපේ ජාතික කොඩිය කුමක් විය යුතු ද යනු යි. අපි එය තෝරා ගනිමු. අපි ඒ මත චක්‍රය සිත්තම් කෙළෙමු. එනම් ධර්මය නම් වූ මහා චක්‍රය යි. ඒ වනාහී ගෞතම බුදුන් වහන්සේ විසින් සාරානාත්හි කරකැවූ චක්‍රය වෙයි. අප ආරක්ෂාව ලද්දේ ඒ චක්‍ර සෙවණේ ය. ඒ සෙවණේ සිට සෙසු ජාත්‍යන්තර මානව සංහතිය සමඟ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වන්නට අපට වුවමනා ය. එය පාරිශුද්ධියේත්, ආධ්‍යාත්මික විශ්‍රාමයේත්, විමුක්තියේත් ගමන්මඟ යි. මේ ධර්ම චක්‍රය හෙවත් යුක්ති ධර්මය, දැහැමි මඟෙහි පිය නඟන්නට අපට එක දිගට ආරාධනය කරයි.

අප අපේ ජාතික සලකුණ සොයා ගැනීමෙන් පසු හැරුණේ කවර දිසාවකට ද? අපි යළිත් අශෝකයන් විසින් නගා සිටුවන ලද කුලන දෙස හැරී බැලමු. අපි එයින් සිංහයන් හතරදෙනා උපුටා ගතිමු. ඒ අශෝකයන් විසින් සාරානාත්හි කුලුණු හිසට නංවන ලද සිංහයෝ ය. දැන් ඒ සිංහයෝ සෘජුව ධර්ම චක්‍රයේ ආරක්ෂකයන් ලෙස සිටින්නාහු පමණක් නොවෙති. ලෝක ගෝලයේ හැම දිසාවකින්ම කඩා වදින ආක්‍රමණිකයනට එරෙහිව අපේ නිදහස ආරක්ෂා කර ගන්නට අපට හැකි බව ද කියාපාති. බුදුදහමත්, අශෝකයෝත් අපේ ජාතික ජන ජීවිතයේ අධ්‍යාත්මික විශ්‍රාමය තුළ අරක්ගෙන සිටින්නෝ ය.

දැන් අපි තවදුරටත් මෙසේ සිතමු. මේ මහා අර්ධ ද්වීපය නන්විධ විශ්වාස, ආගම් හා නිකාය වලින් සමන්විත ජනතාවකින් සැදුණේ ය. හුදෙක් ලෞකික පදනමින් ගත් කළ හැම පුරවැසියකුගෙන්ම සදාචාරාත්මක චර්යාවක් ඉල්ලා සිටිනු ලැබේ. ඒ ඔස්සේ හැම කෙනෙකුට ම ස්වීයත්වයේ සහ ආරක්ෂාවේ ගුණාත්මකත්වය සහතික කරන්නට වගබලා ගනිමු. යළිත් එය වනාහි බුදුදහමේ සාරාර්ථය යි. ගෞතම බුදුහු තමන් වහන්සේගේ යුගයේ හැම ඉන්දියානුවකුට පමණක් නොව, අනාගත පරම්පරා වලටත් ඇමතූ®හ. උන්වහන්සේ ගේ මැදුම් පිළිවෙත හැම කෙනෙකුටම එක සේ නිර්දිෂ්ට ය. එය ධර්මිෂ්ඨත්වයේ මාවත යි. බුදුන් වහන්සේ කිසිදු භේදයකින් තොරව හැම කෙනෙකුට ම සෙවණක්ව ආරක්ෂාව සැලසූහ.

බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණය විසින් අපි දිගින් දිගට දිරි ගන්වනු ලබමු. මහා පරිමාණ මංමුළා වීමකින් පසුත්, දහස් ගණනක් ඉක්ම යෑමෙන් අනතුරුවත් අපි යළිත් බුදුන් වහන්සේ මතකයට නංවා ගෙන සිටිමු. අපි බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමේ පිහිට පතා සිටිමු. අප බුදුන් වහන්සේ අමතක නොකරන තාක් අපේ ස්වාධීනත්වය නොනැසී පවතිනු සහ අපේ සෞභාග්‍යය ප්‍රගුණ වනු ඇති බව මම තරයේ විශ්වාස කරමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.