Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත් වන වියේ දී සෝවාන් ඵලයට පත් විශාඛා මහා උපාසිකාව

බෞද්ධ ශාසනයේ ප්‍රධානතම දායිකාව ලෙස විශාඛා මහා උපාසිකාව හැඳින්විය හැකිය. අප වත්මන් කාන්තාවන්ට ඇය ආදර්ශයකි, ආභරණයකි. බුදුන් වහන්සේට ඉමහත් ගෞරව උපහාර දැක්වූ ඇය, අප තථාගත බුදුපියාණන් වහන්සේ ගේ දුක සැප නිතර සොයා බැලුවාය. විශාඛා මහා උපාසිකාවගේ චරිතාපදානය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමෙන් අපට සිදුවන යහපත ඉමහත්ය.

ධනංජය සහ සුමනාදේවියගේ දියණිය ‘විශාඛා’ නම් වූවාය. ඇයගේ සීයාගේ තම මෙන්දකය. ඇය, උත්පත්තිය ලැබුවේ අංග රාජ්‍යයේ භද්දිය නම් ග්‍රාමයේ ය. විශාඛාවන් සත්වන වියේදී, අප තථාගත බුදුපියාණන් වහන්සේ භද්දිය ග්‍රාමයට වැඩිසේක.

අංග රාජධානියේ භද්දිය ගමට ගෞතම බුදුන් වහන්සේ වඩින බව දැන ගැනීමෙන් මෙන්දක ඉමහත් සතුටට පත්වූයේය.

“මා පි‍්‍රය දියණිය, අද ඔබටත් , මටත් ඉතාමත් පී‍්‍රතිමත් දිනයකි. ඔබේ පරිවාර කාන්තාවන් කැටුව, බුදුරජාණන් වහන්සේ පිවිසෙන මගට ගොස් බුදුපියාණන් වහන්සේ ගෞරව පුර්වකව පිළිගන්න” යයි, මෙන්දක පැවසීය. මෙන්දකගේ වදන් පිළිගත් විශාඛා, ලැදැරිය, බුදුන් වහන්සේ වෙත ගොස්, ඉතාමත් ගෞරව පූර්වකව, නමස්කාර කොට, බුදුරජාණන් වහන්සේ පිළිගත්තාය. ඇයගේ විනීත හැසිරීම ගැන පැහැදුණු ගෞතම බුදුන් වහන්සේ විශාඛාව ඇතුළු සැමට, ධර්මය දේශනා කොට වදාළ සේක. එම සුමදුර දහම් දෙසුම ‘අවසනදී වයසින් ලාබාල වුවද නුවනින් වැඩුණු විශාඛාව සොතාපත්ති ඵලයට පත්වූවාය.

බෞද්ධ සාහිත්‍ය වංශයට අනුව විශාඛාවෝ ඉතාමත් රූමත්ය. දෙවඟනක් බදුවිය. කාන්තාවකට අයත් සුකොමල සුලලිත ලක්‍ෂණවලින් යුක්ත වූ ඇයගේ කෙස් කළඹ මොණරෙකුගේ පිල් වලට සමාන ශෝභාවක් දැරීය. ඇයට, පිරිමියකු සතු ජවය හා ශක්තියද හිමිවූවාය. ඇගේ පැහැපත් දත්, මුතු පැරද වූවාය. එය සුදු දියමන්ති මෙන් දිස් වුවාය. ඇය දරුවන් කීපදෙනෙකුගේ දයාබර මෑණියන් වුවද, විශාඛාව කාන්තිමත් තරුණියක් ලෙස දිස්වූවාය. එමෙන්ම, ඇය ඉතාමත් ඥානවන්ත තැනැත්තියක් වූවාය.

එදා , උත්සව දිනයකි. අවුරුදු 16 ක් පමණ වූ විශාඛාව, තමාගේ පරිවාර මිතුරියන් කැටුව ජලස්නානය කිරීම පිණිස, අසල ඇති ගංගාවකට යමින් සිටියාය. මේ අවස්ථාවේදී, මහා වැස්සක් කඩා වැටුණි. වැස්සෙන් බේරීම සඳහා අනිකුත් කාන්තාවන් ඉතා වේගයෙන් අසල දක්නට ලැබුණු බමුණන් වසන ආශ්‍රමයකට දිව ආහ. එහෙත් ඉතාමත් සන්සුන් ලැසි ගමනින් පැමිණි විශාඛාව පිළිබඳ බමුණන් විවේචනය කළහ.

ඉතාමත් සවිස්තරව, බමුණන් අමතමින්, විශාඛාව කියා සිටියේ අනෙක් පරිවාර ස්ත්‍රීන්ට වඩා වේගයෙන් තමාට දිවීමට හැකියාව තිබුණද ඇය පෙන්නුම් කළේ ඉතාමත් ඉහළ හැසිරීම් රටාවක් බවයි. විශාඛාවගේ වියත්, උගත් දෙසුම ගැන බලවත් ලෙස පැහැදුන බමුණන්, තමාගේ නායක බමුණා වූ පුණ්ණවද්දාන ට විවාහවන්නට සුදුසුම කාන්තාව මෙම රූමත් විශාඛාව බව තීරණය කළහ. ධනවතෙකු වූ පුණ්ණවද්දන, බුදුන්වහන්සේගේ අනුගාමිකයෙකු නොවීය. විශාඛාව සහ පුණ්ණවද්දන අතර විවාහය ඉතාමත් උත්සවාකාරයෙන් පැවැත්වුණි.

විවාහ දිනයේදී ඇයට තෑගි බෝග රැසක්ද ලැබුණි. මෙයට අමතරව “ මහා ලතා පළදනාව“ ඇයට පිරිනැමුණි. මෙයට අමතරව, ඇයගේ නැණවත් පියාණන් වහන්සේ විශාඛාවට වටිනා අවවාද දහයක් ලබා දුන්නේය.

1.ඇතුලත ගිනි පිටතට ගෙනයන්න එපා 2. පිටත ගිනි ඇතුලතට ගෙනයාමෙන් වලකින්න 3.පරිත්‍යාග කරන අයට පරිත්‍යාග කරන්න 4.පරිත්‍යාග නොකරන අයට පරිත්‍යාග නොකරන්න 5.පරිත්‍යාග කරන අයටත් නොකරන අයටත් පරිත්‍යාග කරන්න 6.සතුටින් වාඩිවී සිටින්න 7.සතුටින් ආහාර අනුභව කරන්න.8. රැක බලා ගන්න 9. සතුටින් නිදාගන්න 10. ගෘහමූලිකයන්ට ගරුත්වය දක්වන්න

විශාඛාව ඉතාමත් සාර්ථක විවාහ දිවියක් ගතකළ බවත්, විශාඛාව අවුරුදු 125 ක් ආයු වැළඳ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

ධම්මපදයේ පි‍්‍රය වර්ගයේ 5 වන ගාථාව (ධම්මපදයේ 213 )

පෙමතො ජායතී සොකො - පෙමතො ජායතී භයං
පෙමතො විප්පුමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං

පේ‍්‍රමය නිසා ශෝක හටගනී. ප්‍රේමය නිසා බිය හට ගනී.පේ‍්‍රමයෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. එසේ නම් බියක් කොයින්ද? බුදු සසුනේ ප්‍රධානම දායිකාව වූ විශාඛා මහා උපාසිකාව අරභයා අප තථාගත බුදුපියාණන් වහන්සේ ඉහතින් දක්වන ලද ගාථාව දේශනාකොට වදාළ සේක. විශාඛාව , අප බුදුන් වහන්සේට පූර්වාරාමය පරිත්‍යාග කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

මෙම ගාථාව වටා ගෙතී ඇති කතාව රසවත්ය. විශාඛාව තම ගෘහයේ නොමැති අවස්ථාවන්හිදී තම නිවසට වඩින්නා වූ බුද්ධ පුත්‍රයන් හට ඇප උපස්ථාන පවරන ලද්දේ විශාඛාවන්ගේ පුතුගේ දියණියක් වූ දට්ඨා හටය.

කලකට පසුව, දට්ඨා , මියගියාය. විශාඛාවෝ විසින් දට්ඨාගේ අවසන් කටයුතු නිම කිරීමෙන් පසුව, ඉමහත් දුකට පත්ව සිටියාය. විශාඛාව මෙසේ ඉතාමත් ශෝකයෙන් සිටිය දී බුදුන්වහන්සේ හමුවන්නට ගියාය. බුදුපියාණන් ඉමහත් දුකින්, සංවේගයෙන් සිටින විශාඛාව අමතමින්, කඳුළු සලමින්, දුකින්, සිටින්නේ ඇයිදැයි විමසූ සේක.

“අනේ බුදුහිමියනි, මගේ පුතුගේ දියණිය වූ දට්ඨාට මා හරියට ආදරය කලා ඇය මගේ පණ හා සමානයි. මට හරියට හිතවත් අනේ බුදුපියාණනි, ඉතින් මට ඇය ආයිත් කෙදිනකවත් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඇගේ වියෝව මට හරිම වේදනාවක් යයි පැවසුවාය.

“විශාඛා උපාසිකාවෙනි, මේ සැවැත් නුවර ජනගහණය කොපමණද? බුදුන් වහන්සේ ප්‍රශ්න කොට වදාළහ.

“තථාගත බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ පවසා ඇති අන්දමට , සැවැත් නුවර ජනගහණය , මිලියන 70 ක් පමණ වේය’යි විශාඛාව පැවසුවාය.

“ඔබේ ආදරය දිනාගත් දට්ඨා මෙන් කීදෙනෙක් මේ සැවැත්නුවර මියයන්නේද? එය කාටවත් වැලැක්විය නොහැක. ජීවිතයේ අනිත්‍යතාව එයයි. ඔබද දිවා රාත්‍රි හඬා වැලපුණද කිසිදු ඵලක් නොවේයයි වදාළහ.

“තථාගත බුදු හිමියනි, දැන් කරුණු මම අවබෝධ කරගත්තෙමි”

“මේ අවස්ථාවේදි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “විශාඛා උපාසිකාවෙනි, දුක් නොවන්න. ශෝක නොවන්න. ශෝකය හා බිය, දෙකම හට ගන්නේ ආදරය, දයාව මුල්කොටගෙන යයි “ අප ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

විශාඛා තොමෝ, ඉතාමත් කරුණාවන්ත තැනැත්තියකි. ඇය, සතා සිව්පාවාට පවා දැක්වූයේ අසීමිත ආදරයකි. කරුණාවකි. එක්තරා දවසක තමාට අයත් වෙළඹ ක්, මැදියම් රැයේදී අශ්ව පැටියෙකු බිහි කළේය. එවේලේම ක්‍රියාත්මක වූද විශාඛාව මෙම සතුන් දෙදෙනාට අවශ්‍ය සියලුම පහසුකම් සැපවූවාය. ඇයගේ ස්වාමිපුරුෂයාගේ පියාණන් , නිඝණ්ඨනාථ පුත්ත නම් තවුසාගේ ) අනුගාමිකයෙක් විය.

නිඝණ්ඨනාථගේ ගෝලයන්හට, විශාඛාව දන් පිළිගැන්වූවාය. දනට වඩින්නේ රහත්ඵලය ලබාගත් තවුසන් යැයි ඇසීමෙන් ඇය සතුටට පත්වුවද, තවුසන්ගේ දසුන ඇයට ඉතාමත් අපි‍්‍රය දර්ශනයක් විය. එම නිසා මෙම නිඝණ්ඨ යන්ට සැලකිලි දැක්වීමෙන් විශාඛාව වැළකී සිටියාය. මේ නිසා නිඝන්ඨයන් ඇයට විරුද්ධව , ධන කුවේරයෙක් වූ ඇගේ මාමාණ්ඩියට පැමිණිලි කලේ ගෞතමයන් සරණ ගිය කාන්තාවක සිටින මැදුරකට , ඔවුන්ට ආරාධනා කිරීම පිළිබඳවය. විශාඛාව වහාම, සිටු මැදුරෙන් නෙරපන ලෙසද නිඝණ්ඨයන් ඉල්ලා සිටියහ.

තවත් දිනයක, තමාගේ ධනකුවේර මාමණ්ඩිය , ආහාර බුදින අවස්ථාවකදී එක්තරා භික්ෂුවක් ද සිටු මාලිගයට දනට වැඩිසේක. ඒ අවස්ථාවේ විශාඛාව , තම මාමණ්ඩිය ආහර ගන්නා අවස්ථාව බැවින්, එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටියාය. එහෙත් මෙම කරුණ වරදවා තේරුම්ගත් සිටුවරයා තම ලේලිය සිටුමාලිගයෙන් නෙරපාලන්නට තීරණය කළේය. සිටුවරයා අනවශ්‍යලෙස කෝපයට පත්ව වැරදි තීරණයක් ගත් බව, විශාඛාව පවසා සිටියාය.

“පියාණෙනි, මා මෙම සිටුමැදුරට පැමිණියේ වහල් ස්ත්‍රියක් ලෙස නොවේ. මගේ පියාණන් වහන්සේ මා, මෙම සිටුමැදුරට පැමිණෙන විට , මගේ දුක සැප බලාගැන්ම සඳහා මගේ ඥාතින් අට දෙනෙකු පත්කොට ඇත. එම නිසා , මගෙන් කිසියම් වරදක් සිදුවී ඇද්දැයි පරික්ෂා කිරීම සඳහා ඔවුන් කැදවිය යුතු යැයි ඉල්ලා සිටියාය. මෙම සාධාරණ ඉල්ලීමට, සිටුවරයා එකඟවුණි.

කෙසේ වුවද, විශාඛාවගේ මාමණ්ඩිය තවත් අවස්ථා දෙකකදීම විශාඛාවට චෝදනා එල්ල කළ ද , ඒ සියල්ලෙන් ඇය නිදහස් වුණි. අවසානයේදි, මෙම සිටුවරයා, සිය ලේලියගෙන් සමාව ඇයද සිටියේය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.