සමාජය සුවපත් කළ
ලෝක ධර්මතා විග්‍රහය
අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ
ප්‍රජා පාදක විශෝධන ඒකකයේ, ශාස්ත්‍රපති
උඩුබද්දාවේ අස්සජී හිමි
සමාජ සහනශීලිත්වය පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුවන්නේ අසහනයක් සමාජය
තුළ පවතින විට ය. මේ නිසා මූලිකව සමාජ අසහනයක් ඇතිවන්නේ කවරාකාරයෙන්ද
යන්න පිළිබඳ විමසා බැලිය යුතු වෙයි. ලෝකයේ ජීවත්වන සෑම සත්ත්වයෙක් ම
දුක් කම්කටොලු වලින් තොරව සුවසේ ජීවත් වීමට කැමැතියි. (සුඛ කාමානි
භූතානි දුක්ඛ පටික්කුලා) මේ නිසා ජීවිතය තුළ ඇති දේ පි‍්‍රය කරන
පුද්ගලයාගේ ඉලක්කය සැප ලබා ගැනීම වුවද, තම අභිමතය පරිදි එය සාධනය කර
ගැනීමට ඔහු සමත් නොවෙයි. එයට හේතු වන්නේ විවිධාකාර (අනේක විධ)
අතෘප්තිකර ආශා පුද්ගලයා තුළ තිබීමයි. පුහුදුන් පුද්ගලයා තෘෂ්ණාවේ
දාසයකු බවත් (තණ්හාදාසො) එහෙයින්ම ඔහු සන්තර්පණය කිරීම දුෂ්කර බවත්
(ඌනොලොකෝ අතිත්තො) යනු බුද්ධ වචනය යි.
තම අපේක්ෂාව යථා පරිදි ඉටු නොවූ විට, පුද්ගල මනස තුළ හටගන්නේ අසහනය යි.
අසහනකාරී මනසින් යුතු පුද්ගලයා සමාජයට වෛර කරයි තම අපේක්ෂා මුදුන්පත්
කරවා ගැනීමට නොහැකිවන්නේ , පවතින සමාජ ක්‍රමයේ දුර්වලතාවයකින් හෝ එම
ක්‍රමය පවත්වාගෙන යන අයගේ වරදින් බව කල්පනා කරන ඔහු ඊට එරෙහිව තම
විරුද්ධත්වය ප්‍රකාශ කරයි. එසේ නොමැති නම් සමාජය තුළින් වියුක්ත වන
ඔහු, පරත්වාරෝපණයට ( Alienation ) පත් වෙයි. මෙවැනි වාතාවරණයක් සමාජයේ
පවතින විට එය නිරන්තරයෙන් ම ගැටුම් ( Conflicts )
වලින් යුක්ත වේ.
ගැටුම් සමාජ ප්‍රගමනයට ( Social Progression
) ප්‍රවර්ධනයට බාධකාරී
දෙයකි. ඒ හේතු කොටගෙන සමාජය තුළ සන්තුෂ්ටියෙන් යුතුව හා සහනශීලි ලෙස
ජීවත්වීමේ අයිතිය මිනිසාට අහිමි වෙයි. වර්තමානය වනවිට මුළු ලෝකය විශ්ව
ගම්මානයක් ( Universal Village ) වී තිබේ. ඒ නිසා ලොව වසන සෑම
සාමාජිකයෙක් ම විශ්ව සාමාජිකයෙකු ( Universal
Member ) බවට පත් වී ඇත.
සෑම පුද්ගලයකුගේ ම සමාජ සම්බන්ධතා, සංකීර්ණ (
Complex ) වී කාර්යක්ෂම
ඒවා බවට පත් වී ඇත.
දියුණු තාක්ෂණය පුද්ගලාන්තර සම්බන්ධතාව (
Personal Inter Relationship ) ආක්‍රමණය කර ඇති අතර, පුද්ගල අරමුණු
( Perosnal Objectives ) පෘථුල වී ඉහළ අපේක්ෂා බවට නිතැතින්ම පරිවර්තවය වී ඇත.
මේ නිසා පුද්ගලයා සාධනය කරගත යුතු දේ පිළිබඳ අරමුණු රාශියකින් පුද්ගල
මනස පිරී තිබේ. සාධනය කරගත යුතු දේ බහුල වනවිට, පුද්ගල ක්‍රියාකාරී බව
ද අතිශය සංකීර්ණ වීම, අසාමාන්‍ය දෙයක් නොවේ. සබඳතා බහුල, අරමුණු බහුල,
ඉලක්ක ( Target ) බහුල සමාජයක, සහනශීලි බවක් ප්‍රාර්ථනා කිරීම, අතිශය
දුෂ්කර ය.
එසේ වුවත්, කවරම හෝ සංකීර්ණ සමාජයක් යථාර්ථවත් මගක ගමන් කරවීමට අවශ්‍ය
නිවැරැදි මඟ පෙන්වීමත් බුදු දහම තුළින් සිදු කරයි. ඒ බුදුන් වහන්සේගේ
ශ්‍රී සද්ධර්මය අකාලික වන හෙයිනි. සහනශීලී සමාජයක් නිර්මාණය වීමට
අවශ්‍ය ධර්ම කරුණු රාශියක් බුදුන් වහන්සේ දේශනා කර ඇති අතර, අෂ්ට ලෝක
ධර්ම ඒ අතරින් එක් මඟ පෙන්වාදීමක් පමණි.
සමාජය සහනශීලී ලෙස පැවැතීමට අවශ්‍ය බෞද්ධ ප්‍රතිපත්තියක් අටලෝ දහම
පිළිබඳ දෙසුම තුළ අන්තර්ගතව ඇත. අටලෝ දහම තුළින් බුදුන් වහන්සේ අවධාරණය
කිරීමට උත්සුක වන්නේ සමාජ යථාර්ථ යි. එම යථාර්ථය පුද්ගලයා අවබෝධ කරගත්
විට පුද්ගලයා තුළ ඇතිවන අසහනකාරී මානසික වාතාවරණය වෙනස් කර ගැනීමට ඔහු
සමත් වෙයි. අසහනයේ මූලික හේතුව කුමක් ද? යන්න හා ඒ සඳහා අනුගමනය කළ
යුතු ක්‍රියා මාර්ග කවරේ ද? යන්න පිළිබඳ එයින් පුද්ගල මනස තුළ මෙනෙහි
කරවීමක් සිදු වෙයි.
සාමාන්‍ය පුද්ගලයා ලාභයක් ලැබීමේදී යස ඉසුරු සම්පත් ලැබීමේදී ආදියේදී
හා සැප ලැබීමේ දී ඉතා සන්තුෂ්ටියට පත් වෙයි. එයින් උද්දාමයට හා
ප්‍රබෝධයට පත්වෙයි. ඒ පිළිබඳ හඬ ගා ප්‍රකාශ කරයි. එසේම එම යස ඉසුරු,
ප්‍රශංසා නැවත නැවත ප්‍රාර්ථනා කරයි. නමුත් අලාභයේ දී යස ඉසුරු පිරිහී
යන විට සහ නින්දා තමන් වෙත එල්ල වනවිට, දුක් වලින් තම ජීවිතය අඩාල
වනවිට ඔහු දුර්මුඛ වෙයි. එවැනි දේ දැකීම කෙසේ වෙතත්, ඇසීමට පවා පි‍්‍රය
නො කරයි. ඒ පිළිබඳ ලෝකයාගෙන් සඟවයි. එවිට ඔහු සමාජයට බියෙන් හැකිලෙයි.
ඒ නිසාම සමාජ සබඳතා වලින් දුරස් වී එයින් පලා යෑමට තැත් කරයි. හඬා
වැළෙපෙමින් තමා ගත කළ සුවදායි ජීවිතය පිළිබඳ නැවත නැවත ශෝක වෙයි. තමා
මේ තත්ත්වයට පත්වීම පිළිබඳ මුළු මහත් සමාජයටම ද්වේෂ කරයි.
මේ අනුව ලෝකයේ පුද්ගලයා සතුටු කරන කාරණා 4 ක් (ලාභ, යස, ප්‍රශංසා සහ
සැප) හා ඔහු අසතුට පත් කරන කරුණු 4 ක් (අලාභ, අයස, නින්දා සහ දුක්)
පවතින බව බුදුන් වහන්සේ අවධාරණය කරන සේක. ඒතුළින් සෑම දෙයකම සුවදායි
ස්වරූපයක් හා එහි ප්‍රතිවිරුද්ධතාවයක් ඇති බවත් එය අමතක කර කටයුතු
කරන්නට යෑම තුළින් පුද්ගල අසහනය ජනිත වන බවත් එහෙයින් යථාර්ථයට එකඟ ලෙස
කටයුතු කළ යුතු බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක.
එසේම මෙලෙස ආශාවෙන් හා ගැටුම්කාරී ලෙස ක්‍රියාකිරීම අන්තගාමී බව පෙන්වා
දෙන බුදුන් වහන්සේ ඥානවත්ත පුද්ගලයා මෙයින් බැහැරව සමබරව ජීවිතයට මුහුණ
දෙන බව අවධාරණය කරති. මෙකී ලෝක ස්වභාව දෙකෙහි අන්තවාදී ලෙස ප්‍රතිචාර
දක්වන්නේ, බුද්ධියෙන් හීන, ඇතුළාන්තය හිස් වූ මෝඝ පුරුෂයන් බව සඳහන්
කරති. යම් සේ ගල් පර්වතයක් වාතයෙන් කම්පා නොවේද, එමෙන්ම පණ්ඩිතයෝ ලාභ,
අලාභ, නින්දා, ප්‍රශංසා ආදියෙහි කම්පා නොවන බවත් පෙන්වා දෙන සේක.
ජීවිතය තුළ ‘සදාකල් සැප’ හෝ සදාකල් දුක’ යන්න ඇතුලත් නොවෙයි. මේ දෙකෙහි
ම සම්මිශ්‍රණයක් එහිදී දැකගත හැකිය. පරමාර්ථ වශයෙන් විග්‍රහ කළහොත් එය
ද මිථ්‍යාවක් පමණකි. ඒ ‘සියල්ල අනිත්‍ය සංකල්පයෙහි’ අන්තර්ගත වන
හෙයිනි. නමුත් ජීවිතය පිළිබඳ විමසීමේදී සැප, දුක්, පිළිබඳ අවධානය යොමු
කිරීම, අනිවාර්ය ලක්ෂණයකි.
දිවිය සාර්ථක ලෙස ගත කිරීමට නම් ලාභ - අලාභ ආදී කරුණු අට පිළිබද
පැහැදිලි වැටහීමක් තිබිය යුතුම ය. මේ සම්බන්ධව අන්තවාදී ලෙස ප්‍රතිචාර
දක්වන පුද්ගලයකුට ජීවත්වීමේ දී මුහුණ පෑමට සිදුවන ගැටලු වලට නිවැරැදි
විසඳුම් සොයා ගත නොහැකි වේ. අලාභයකදී ද්වේෂයෙන් හා අතෘප්තියෙන් ක්‍රියා
කරන ඔහු, ලාභයකදී ලෝභයෙන් නැතිනම් ආශාවෙන් කටයුතු කරයි. රාගයෙන් මුසපත්
වන ඔහු ඒ සැපය යළි යළි ප්‍රාර්ථනා කරයි. ඒ නිසා නැවතත් ඔහු අසහනයට හා
කනස්සලල්ට පත්වෙයි. අලාභයේ දී ඇතිවන ද්වේෂයත්, ලාභායේදී ඇති වන ලෝභයත්
අකුසල මූලය. අකුසල මූලික සිත් වලින් ක්‍රියාත්මක වන්නා, සෑම විටම
ජීවත්වන්නේ, අතෘප්තියෙනි. අසහනයෙනි. මේ නිසා ලෝකය පිළිබඳ යථාර්ථයවත්
දැක්මක් ඇති කර ගැනීමට, කුසල මූලික සිත් ඇති කරගත යුතුය. එවිට සෑම
දෙයක්ම පිළිබඳ සමබරව සිතීමට හැකි උපේක්ෂා සහගත සිතක් නිර්මාණය කරගත
හැකි ය. ඒ සිත සන්සුන්ය. සමාහිතය ය. සැහැල්ලු ය. ප්‍රඥාවන්ත ය. බොහෝ
අයට ජීවිතය සුව සේ ගත කිරීමට නොහැකි වන්නේ, මේ සමාහිත සිත ඔවුන්ගෙන්
බොහෝ දුරස් වන හෙයිනි. ඔවුන් මානසික ආතතියෙන් (
Mental Stress)
පෙළෙන්නේ එහෙයිනි.
තමාට සිදු වූ අලාභයත්, නින්දාවත්, තමාගේ කීර්තියට සිදු වූ හානියත් අමතක
කරගත නොහැකිව ඒවා පිළිබඳ නැවත නැවත සිතමින්, ද්වේෂයෙන්, භයෙන්,
මෝහයෙන් අගතියට පත්වන්නේ, මේ නිසා ය. ඒ වගේම නොලැබූ සැප, නොලැබූ
ප්‍රශංසා වෙනුවෙන් දහසක් බලාපොරාත්තු පොදි බැඳගෙන ජීවිතය අවුලක්කර
ගන්නේද තමා අවට සිටින්නවූන් ද අවුලෙන් අවුලට පත්කරවන්නේ ද සමාහිත සිත
ගොඩ නගා ගත නොහැකි හෙයිනි.
මනා සේ පිහිටුවා ගත් අකම්පිත සිතකින් යුත් පුද්ගලයා සැබෑ ප්‍රඥාවන්තයකු
වෙයි. එබන්දකුට මොහොතින් මොහොත වෙනස් වන අට ලෝ දහමෙහි අන්තර්ගත ලාභ
අලාභ ආදී සිදුවීම් වලින් නොසැලී සෑම මොහොතේම පී‍්‍රතිමත්ව විසීමට හැකි
ශක්තිමත් පෞරුෂයක් නිර්මාණය කරගත හැකි ය.
මේ අනුව ජීවිතයේ සහනය උදාකර ගැනීමට කැමැති අට ලෝ දහම ඉදිරියේ පුද්ගලයා
නොසැලී සිටිය යුතු බවත්, ඒවා සියල්ලම මධ්‍යස්ථව ඉවසිය යුතු බවත් බුදුන්
වහන්සේ විසින් පෙන්වා දී තිබේ. බුදුන් වහන්සේගේ ධර්මය තුළ දක්නට ලැබෙන
විශිෂ්ඨත්වය වන්නේ, පෙන්වා දෙන කරුණු දණ්ඩනය තුළින් ක්‍රියාත්මක කිරීමට
උත්සාහ නොකිරීමයි. යම් ධර්මයක් දණ්ඩනයෙන් ක්‍රියාත්මක කළ යුතු නම් ඒවා
සමාජය තුළ ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීමට පුද්ගලයා පසුපස තව කෙනකු
සිටිය යුතු වෙයි. නමුදු බුදු දහමේ පෙන්වා දෙන්නේ ධර්මය පුද්ගල
අභ්‍යන්තරගත කරගත යුතු බව යි. අභ්‍යන්තරගත කර ගැනීමෙන් පසුව පුද්ගලයා
මෙහෙයවිය යුතු තවත් කෙනකු අවැසි නොවෙයි. සියල්ල නුවණින් වටහාගෙන කටයුතු
කළ යුතු බවයි බුදුදහමෙන් නිර්දේශ කැරෙන්නේ. මේ නිසා අට ලෝ දහම ගැන
අවබෝධය ඇතිකර ගැනීමෙන් සමාජ අසහනයේ යථා තත්ත්වය පුද්ගලයා අවබෝධ කර
ගන්නා අතර අසහනයේ මගට ඔහු මෙහෙයවන්නේ, ඔහුගේ ම සිත බවත් ප්‍රත්‍යක්ෂ කර
ගනී. එසේම එම තත්ත්වයෙන් මිදීමේ ශක්‍යතාව ඔහු තුළම සැඟව ඇති බවත්, ඔහු
වටහා ගනියි.
බුදුදහමේ එන ඇතැම් කරුණු පවතින සමාජ තත්ත්වය සාධාරණ කරනවා මිස එම
තත්ත්වයෙන් මිදීමේ අවශ්‍යතාව ප්‍රකාශ නොකරන බව, ඇතැම් විශේෂඥයන්ගේ මතය
යි. නමුත් මෙවැනි සමාජ ධර්ම අවධාරණය කිරීම මගින් බුදුන් වහන්සේ පවතින
තත්ත්වය එසේම පැවැතීමට මාර්ගයක් සලසා දුන් බවක් පෙනී නො යයි. මේ තුළින්
පෙන්වා දීමට ප්‍රයත්න දරන්නේ, සමාජ යථාර්ථය හා එය අමතක කර ජීවත් වන්නාට
ශෝක කිරීමට සිදුවන බවයි. එය වටහා ගැනීම තුළින් අසීමිත ඉලක්ක කරා
පුද්ගලයා ගමන් නොකරන බවත්, තමාට සාධනය කරගත හැක්කේ කවරාකාර අපේක්ෂාද
යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔහු ලබා ගන්නා බවත් බුදු දහම පවසයි.
මේ නිසා සහනශීලි සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මාවතක් අටලෝ දහම
පිළිබඳ දෙසුම තුළින් උදාකර දෙන බව පැහැදිලි වෙයි. පුද්ගල අසහනය සමාජය
පීඩනයට පත් කරනවා සේ ම පුද්ගල සහනය මුළු සමාජය පුරාම පැතිර යාම තුළින්
සමාජය තුළ සාමය හා සහජීවනය ඇති කැරෙයි. ඉවසිලිවන්තකම මුල් කරගෙන ජීවිතය
තුළ ඇති වන සන්තුෂ්ටිය නිසා සමස්ත සමාජය තුළම සැපවත් භාවයක් උදාවෙයි.
එය සමාජයේ සහනශීලිත්වයට හේතු පාදක වන්නකි.
|