Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බිහිසුණු ඵල දෙන මහා පාපය

ප්‍රාණඝාත කර්මයන් ගේ විපාක ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙවැදෑරුම් ය. ප්‍රතිසන්ධි, වශයෙන් මිය ගොස් නරකයෙහි උපදී. පේ‍්‍රත තිරිසන් ආත්මවල උපත ලබයි. සත්ව හිංසාව, ‘අධම්ම චරියා’ ගණයට ගැනෙන බව මජ්ඣිම නිකායේ දේශනා කර ඇත.

පරපණ නසා පණ රකිනා
පවිටු දූ දන අවියත්
ලෙව්නා වැනි දිවෙන්
කරෙහි මුව අත වක වකා මී
(ලෝකෝපකාරය)

අනුන්ගේ පණ නසා තමන්ගේ පණ රැක ගන්නා පවිටු මෝඩයෝ දැලිපිහි අග මීපැණි ගල්වා දිවෙන් ලෙවකවන්නාක් වැනි ය.

සමාජයේ යහ පැවැත්ම ට මහෝපකාරී වන්නා වූ ගිහියාගේ නිත්‍ය ශීලය ලෙස සැලකෙන පංචශීල ප්‍රතිපත්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ හුදෙක් බෞද්ධයාට පමණක් නොව සමස්ත සත්ත්ව සමාජයේ උන්නතිය අරභයා ය. පංච ශීලයේ ප්‍රථම ශික්ෂාපදය, ප්‍රාණ ඝාතයෙන් වැලකී සිටීමයි. තවත් ප්‍රාණියකුගේ ජීවිතයට අනතුරක් කිරීමෙන් වැළකී සියලු සත්ත්වයින්ගේ ආරක්ෂාව සැලසීම බුදු වදනයි. අද ලෝකයේ සෑම ආගමකම ඉගැන්වීම් අනුවත්, ලෝක නීතිය අනුවත් පර පණ නැසීම වරදක් බව පෙන්වා තිබේ. සත්ත්වයකුගේ ජීවිතය යම් උපක්‍රමයක් යොදා විනාශ කිරීම පාණාතිපාත නම් වේ. ප්‍රාණ ඝාත කර්මයට අංග පහක් ඇත.

පාණෝ භවේ පාණසඤ්ඤි
වධ කචිත්ත මුපක්කමෝ
තේන ජීවිත නාසෝ ච
අංගා පඤ්ච වධස්සීමේ

1. පණ ඇති සතෙකු වීමය, 2. පණ ඇති සතකු බව දැන ගැනීමය, 3. මරන කැමැති සිතය, 4. මරන්නට උපක්‍රම කිරීමය, 5. ඒ උපක්‍රමය නිසා මරණය සිදුවීම ය. මෙම කාරණා පංචකය සම්පූර්ණ නොවිණිනම් ප්‍රාණඝාත පාප කර්මය සිදුනොවේ.

කුඹුරු වැඩ කරන ගොවියා කුඹුර කොටන්නේ පර පණ නැසීමේ චේතනාවෙන් නොවේ. චක්ඛුපාල මහ රහතන් වහන්සේගේ සක්මන් භාවනාවේ දී කුඩා කෘමීන් නොදැක පෑගී මිය යන බව දැන්වූ පසු, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ චේතනාවක් නොමැති ව නොදැක පෑගී මිය යෑමෙන් ප්‍රාණඝාත පාපකර්මය සිදු නොවන බව ය.

මඟඵල ලබා සිටි සාමාවතීන් පන්සියයක් යෙහෙළියන් සමග ගින්නෙන් දැවී මියගියේ සිතා මතා පෙර කළ පාප කර්මයකිනි. පෙර ආත්මයක දඹදිව බ්‍රහ්මදත්ත රජුගේ අග මෙහෙසිව සිටිය දී ජල ක්‍රීඩාවට ගොස් ගත සීතලයෙන් මුදවා ගැනීම සඳහා අසල තණ බිස්සකට ගිනි තැබුවාය.

එහි සමාපත්ති සුවයෙන් වැඩ සිටි, නිතර මාළිගාවේ දන් වළඳවන පසේ බුදුවරයන් වහන්සේ නමක් තණබිස්ස තුළ වැඩ සිට ගින්නෙන් දැවිණි. මෙය දුටු සාමාවතී න් ඇතුළු පිරිස, මෙම අපරාධය රජතුමාට සැළවුවහොත් තමන්ට රාජ දඬුවම් ලැබිය හැකි යැයි සිතා, අසල දැව එකතු කර පසේ බුදුරජාණන් වහන්සේ පුළුස්සා දැමීමේ චේතනාවෙන් ම කල පාප කර්මය නිසා මෙම ආත්මයේදී යෙහෙළියන් පන්සියයක් සමග තම මාළිගයේ දී ම පිළිස්සී මිය ගියා ය.

ප්‍රාණඝාතයේ ප්‍රයෝග සයකි

1. ස්වාහස්තික ප්‍රයෝගය
2. ආඥා ප්‍රයෝගය
3. නිස්සර්ග ප්‍රයෝගය
4. ස්ථාවර ප්‍රයෝගය
5. විද්‍යාමය ප්‍රයෝගය
6. සෘද්ධිමය ප්‍රයෝගය

මෙම කවර ප්‍රයෝගයකින් වුවද, සත්වයකුගේ ජීවිතය නැති කිරීම ප්‍රාණඝාත පාප කර්මයට අයත් වෙයි. අද අප බෞද්ධ රටේ, ආහාරය පිණිසත්, ජීවිත ආරක්ෂාව උදෙසාත්, ආර්ථික සංවර්ධනය මුවාවෙනුත්, කෝපය සංසිදුවා ගැනීම පිණිසත්, ප්‍රාණය ඇති සතුන් මරති. මරවති.

ඒ කුමන ආකාරයෙන් ප්‍රාණ ඝාතනය කළත් ප්‍රාණඝාත අකුසල කර්මයට යටත් වන්නේ ය. සියලු සත්වයෝ තම ජීවිතයට ආශා කරති. මිනිසා තම ජීවිතය වෙනුවෙන් සටන් කර දිවි බේරා ගනී. නමුත් තිරිසන් සතාට සාකච්ඡා කර හෝ සටන් කර හෝ තම ජීවිතය රැක ගත නොහැකි ය.

ඒකජං වා දීජං වාපි
යෝ ධ පාණාති හිංසති
යස් ස පාණෙ දයා නත්ථි
තං පඤ්ඤා වසලෝ ඉති
(වසල සූත්‍රය

‘යමෙක් ප්‍රාණීන් ට හිංසා කැරේ ද, ප්‍රාණීන් කෙරෙහි දයානුකම්පා නැත්තේ ද හේ වසලයෙකියි’ බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණාට දේශනා කළ සේක.

පෙර බරණැස් රට එක් ගොවියෙක්, තම ගවයා සී සෑමට වියබැදිවිට නිතරම බිම වැතිරී නිදා ගන්නා නිසා එම සතාට පිදුරු දමා ගිනි තබා මැරුවේ ය. ඒ පාප කර්මය හේතුකොට ගෙන ඔහු බොහෝ කල් නිරයේ පැසී ඉන් චුතව කපුටු ආත්මයක් ලබා සියක් වාරයක් ගිනි ගන්නා නිවසකට වැටී පිළිස්සුණේය.

බුදුරජාණන් වහන්සේ හමුවීමට වැඩම කළ භික්ෂූන් වහන්සේ පිරිසකට මග දී ගල්ගුහාවක සත් දිනක් සිරවී සිටීමට සිදු වූ බව ප්‍රකාශ කළ විට උන්වහන්සේ පෙර ආත්මයක දී ගොපළු දරුවන්ව විනෝදයට මෙන් තලගොයෙක් තුඹසකට සිර කිරීමේ පාප කර්මය විපාක දුන්බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

මව හෝ පියා දැන දැනම මරණයට පත්කිරීමේ චේතනාවෙන් ඝාතන කළේ නම්, එය අනිවාර්යයෙන් ම දෙවන ජාතියේ දී විපාක ලබන්නට සිදුවන ආනන්තර්ය කර්මයකි. රහතන් වහන්සේ මැරීමද ආනන්තර්ය කර්මයට ම ගැනේ. මරන ලබන සත්ත්වයාගේ ගුණාගුණවලට අනුව ප්‍රාණඝාත කර්මය අල්ප සාවද්‍ය සහ මහා සාවද්‍ය භාවය ගනී.

ප්‍රාණඝාත කර්මයන් ගේ විපාක ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙවැදෑරුම් ය. ප්‍රතිසන්ධි, වශයෙන් මිය ගොස් නරකයෙහි උපදී. පේ‍්‍රත තිරිසන් ආත්මවල උපත ලබයි.

සැඟවුණු සුළු කුසල බලයකින් මිනිසත් බවක් ලැබුවත්, ප්‍රවෘත්ති විපාක වශයෙන්, අඩු ආයුෂයෙන් මිය යෑම, අසම්පූර්ණ අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුක්ත අයකු වීම, ලෝකයාට පි‍්‍රය නොකරන පුද්ගලයන්ව උත්පත්තිය ලැබීම, බොහෝ සතුරන් ඇතිව නිතර බියෙන් සැකයෙන් ජීවත් වන්නන් වීම,හදිසි අනතුරුවලින් මිය යෑම ආදියට ලක්වෙයි. සත්ව හිංසාව, ‘අධම්ම චරියා’ ගණයට ගැනෙන බව මජ්ඣිම නිකායේ දේශනා කර ඇත.

‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.