බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ හිමි
අහා... කිමෙක්ද..මේ අමුත්ත...? මින් පෙර කිසි දිනක නොවුණු පරිදි මහා
පෘථිවිය කම්පනයට පත් වනවා. සුරා සුර සංග්‍රාමය පටන්ගෙනද? මහා
පුදුමයක්....නැත...නැත... භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ඉසිපතනයේ මිගදායේ
දහම් සක් හඬ පතුරවති. එනිසයි මහා පෘථිවිය සැළෙන්නේ... මමද යන්නෙමි දහම්
අසනු වස් මිගදායට. සාතාගිර යක් සෙනවි අසුරු සැණින් මිගදායට ගොස් කෝටි
සංඛ්‍යාත දෙව් බඹුන් මධ්‍යයෙහි පහසු තැනකින් හුන්නේය. වළා ගැබෙන් මතු
වූ පූර්ණ චන්ද්‍රයා සේ බැබලෙමින් බුදු හිමියෝ දහම් දෙසති. එහෙත් කෙසේ
බණ අසන්නද? ඇසුවත් හිතෙහි නොරඳන හැටි.... කෝ මා මිතුරු ‘හේමවත’? වහාම
යන්නෙමි මා මිතුරු හේමවත කැඳවාගෙන එන්නෙමි. සැනෙකින් පිටත් විය. මේ
වනවිට හේමවත යක් සෙනවි හිමවත් පියසෙහි විවේක සුවයෙනි. හාත්පසම නැරඹූ
ඔහු මවිතයෙන් මවිතයට පත් විය. ‘කිමෙක්ද මේ පුදුමය...? කිසි කලෙකත්
නොදුටු විරූ නොකල් පුෂ්පයන් විකසිතවැ දසත සුවඳ විහිදුවයි. මෙය නම් මහා
පුදුමයකි. මේ මහා පුදුමය මා මිතුරු සාතාගිරට ද පෙන්වමි. මෙසේ සිතමින්
පිටත්වූ හේමවතට රජගහපුර මත්තෙහි දී සාතාගිර මුණ ගැසෙයි. මා මිතුර, අද
නම් මහා පුදුම දවසකි. මා වෙසෙන හිමවත් පියසෙහි කිසි කලෙක නොදුටු
අයුරින් නොකල්හි මල් පිපී ඇත. සාතාගිර - හේමවතයිනි, නොකල් විකසිත වෙලා
පමණක් නොව, තව මහා ප්‍රාතිහාර්යන් රැසක්. එසේ වීමට හේතු තොප දන්නෙහිද?
හේමවත- නොදනිමි මා මිතුර, මට එය පහදා දෙනු මැනවි
සාතාගිර- මා මිතුර හේමවතයිනි, නොකල් පුෂ්පයන් විකසිත වූයේ හිමවත පමණක්
නොව, සක්වල පුරා නොකල් පුෂ්පයන් විකසිත වැ සුවඳ හමයි. දස දහසක් ලෝක
ධාතුව කම්පා කරමින් සම්බුදු හිමි ලොව පහළ වූ සේක. අද උන් වහන්සේ දස
දහසක් සක්වල ආඥා චක්‍රය පතුරවමින් දම්සක් දේශනාව පවත්වති. එනිසයි මෙවන්
පෙළහරක් දැකිය හැකි වූයේ. මිතුරු හේමවතයිනි, අපි කොතරම් භාග්‍යවන්තයෝ
වන්නෙම්ද? බලනු මැන අද පුර පසළොස්වක දිනයයි. පුර සඳින් බබලන සෞම්‍ය
රාත්‍රියයි. අපි යමු, අලාමක වූ, චතුස්සත්‍යය අවබෝධ කැර ගත්, කෙළෙස්
විරහිත, භාග්‍යවත් ගෞතමයන් දකින්නෙමු, දැන්ම පිටත්වෙමි...’
හේමවත - ඉක්මන් නොවන්න සාතාගිර, එයට පෙර මට දැනගත යුතු කරුණු බොහෝ
ගණනක් තියෙනවා. කියව නොවලහා... මම අසමි තොපගෙන්. තොප වර්ණනා කරන
සාස්තෘවරයාගේ සිත මනාව පිහිටියේද එතුමන් සියලු සතුන් කෙරෙහි සම මෙත්
පතුරවත්ද?... ද්වේෂය වැනි, සිත්හි ඇතිවන කිළිටි ධර්මයන් එතුමා විසින්
පාලනය කර ඇත්ද?
සාතාගිර - ‘එසේය මා මිතුර, උන්වහන්සේ ලාභ, අලාභ නින්දා, ප්‍රසංසා, යස,
අයස, සැප, දුක කියන අටලෝ දහමින් අකම්පිතවැ, සියල් සතුනට සම මෙත්
පතුරවති. රාග, ද්වේෂ, වැනි කෙළෙස් සතුරන් පරාජය කළෙහිය.
හේමවත- ඔබගේ කරුණු පැහැදිලි කිරීම මම අගය කොටැ සලකමි, එතෙකුදු වුවත්
සෑහීමට පත් නො වෙමි. මා මිතුර, තව දැන ගත යුතු කරුණක් ඇත. කියනු මැනවි
ඔව්හු අන් සතු දෑ සොර සිතින් ගනිත්ද? සතුන් මැරීමෙන් වළකින්ද..?
බ්‍රහ්ම චරියාවෙහි යෙදෙත්ද...? ධ්‍යානයන් අත් නොහැර වෙසෙත්ද....?
සාතාගිර-’විශ්වාස කරනු මා මිතුර, බුදුරදුන් කිසි කලෙකත් අන් සතු නොදුන්
දෙය නොගනිති, පර පණ නොනසති, බ්‍රහ්මචාරීවැ වෙසෙති, ධ්‍යානයන් අත්
නොහරිති.
හේමවත - සබඳ තවදුරටත් තොප විමසමි, තොප ඔපමනට වර්ණනා කරන තොපගේ
ශාස්තෘවරයාණන් මුසා බස් පවසත්ද....? පරුෂ බස්, පිසුනු බස්, ප්‍රලාප බස්
පවසත්ද?....
සාතාගිර - මා කලණ මිතුරු හේමවතයිනි, මාගේ ශාස්තෘ වූ බුදු හිමියන් කිසි
කලෙකත් මුසා බස්, පරුෂ බස්, පිසුනු බස්, හිස් ප්‍රලාප බස් නොපවසති.
සියල් සත්හට ප්‍රයෝජනවත් කථාවක්ම උන්වහන්සේ පවසති.
හේමවත - ‘සබඳ කියනු මැනවි, උන් වහන්සේ කාම වස්තුන් කෙරෙහි
ඇලෙන්නෙහිද... එතුමාගේ සිත ව්‍යාපාදයෙන් යුක්තද....? මිථ්‍යා දෘෂ්ටියට
හේතු කාරක වූ මෝහාන්ධකාරයෙන් වෙලුනේද?.... ඥෙය්‍ය ධර්ම කෙරෙහි නොපැකිල
පවතින සමතැස් ඇත්තේද?
සාතාගිර - ‘නැත... නැත.... මා මිතුර, රූප ශබ්ද ගන්ධ ආදී පංච කාමයන්
කෙරෙහි මාගේ ශාස්තෘ භාග්‍යවතුන් වහන්සේ නොඇලෙති. ඒ සියල්ල අළුයම ලූ කෙළ
පිඩක් සේ බැහැර කළාහුය. ව්‍යාපාදය නැති කළාහුය, සියලු කෙළෙස් නැති
කළාහුය. මොහදුරට ළහිරු මඬලක් වැන්නාහ.
හේමවත - සාධු...සාධු....සොයුරු සාතාගිර, ඔබේ කරුණු පැහැදිලි කිරීම
මගින් මසිතට ඇතිවන්නා වූ පහන් සංවේගය අපමණයි. කිමෙක්ද මිතුර, තිදොර
පිරිසුදු වූ පමණින් සර්වඥ විය නොහැකි බව මගේ පිළිගැනීමයි. උන්වහන්සේ
අෂ්ඨ විද්‍යාවන්ගෙන්, චරණ ධර්මයන්ගෙන් යුක්ත වන්නා හුද? සියලු
ආශ්‍රවයන් ප්‍රහීණ කළෝද...? උන් වහන්සේට පුනර් භවයක් ඇත්ද?....
සාතාගිර - එසේය මිතුර, උන් වහන්සේ අෂ්ඨ විද්‍යා, චරණ ධර්මයන්ගෙන් යුක්ත
වන සේක. කෙසේවත් පුනර්භවයක් නම් නොමැත්තේය.
හේමවත - සාතාගිරයනි, ඔබනම් මගේ කලණ මිතුරෙකි. මසිතට දැනෙනුයේ අපමණ
සැහැල්ලුවකි. මට බොහෝ කරුණු වටහුනා. යමු මිතුර, අපි උන් වහන්සේ දකිමු.
මහා පුරිස ලක්ෂණයෙන් යුක්ත සියලු පව් බැහැර කළ උතුම් මුණි ගුණයන්ගෙන්
සමන්විත, හුදෙකලාව ධ්‍යාන වඩන්නා වූ සියලු කාමයන්ගෙන් වෙන් වූ ඒ බුදු
හිමියන් වෙත එළඹෙමු. සියලු මාර බන්ධනයන්ගෙන් මිදීමට හේතු වන නිවන
පිළිබඳ විමසමු. මිතුරන් දෙදෙන එදින රාත්‍රියේම ඉසිපතනයට ගොස් බුදුරදුන්
බැහැ දුටුවෝ ය. උන් වහන්සේට වැඳ නමස්කාර කර පිළිසඳර කථාවට එළඹුනෝය.
හේමවත- ස්වාමිනී, සියළු සත්‍යයන් බෙදා විනිශ්චය කොට දක්වන, ආර්ය සත්‍යය
අවබෝධ කොටැ ගත්, මෝහ නිද්‍රාවෙන් අවදි වූ, වෛරය, භය ඉක්මැ වූ, ඔබ
වහන්සේගෙන් විචාරමි. කුමක් උපන් කල්හි ලෝකය උපන්නේ වේද? කුමක් නිසා
සත්ත්වයා තෘෂ්ණා ද්‍රෘෂ්ඨි සංස්තවය කැරේද?.... කුමක් නිසා ‘ලොව‘ යයි
ව්‍යවහාර වේද? කවර කරුණකින් ලොව පීඩාවට පත් වේද...?
බුදුරදුන් - පින්වත, ෂඩ් ආයතනයන් උපන් කල්හි මැ ලෝකය උපදියි. ඒ ආයතනයන්
නිසාම සත්ත්ව තෙමේ තෘෂ්ණාව පවත්වා ගනියි. ඒ ෂඩ් ආයතන නිසා ම ‘ලෝකය’ ය
යි ව්‍යවහාර කරයි. ඒ ෂඩ් ආයතන ඇති කල්හිමැ ලෝකය පීඩාවට පත්වේ.
හේමවත - ස්වාමීනි, කිසියම් ධර්මතාවක් නිසා ලෝකය පෙළේද, ඒ උපදනා ධර්ම
කවරක්ද? එම ලෝකයෙන් මිදී යන මාර්ගය කෙසේද.... සත්ත්වයා කෙසේ දුකෙන්
මිදෙයිද.... මෙම කරුණු ටිකද පැහැදිලි කැර දෙනු මැනවි.
බුදුරදුන්- පින්වත් හේමවතය, සත්ත්වයා පංචකාමයන් පිළිබඳ ඇලීමෙන් යුක්ත
වන්නාහුය. ඒ තෘෂ්ණාවන් දුරු කිරීමෙන්මැ සත්ත්වයා දුකෙන් මිදෙයි.
හේමවත - පින්වත් ස්වාමිනී කාම, භව, දිට්ඨි, අවිජ්ජා ඕඝයන්ගෙන් එතෙර
වන්නේ කෙසේද? කෙසේනම් සසර සයුරෙන් එතෙර වන්නේද?
බුදුරදුන් - පින්වත, සෑම විට ශිලයෙන් යුත්, ප්‍රඥාවෙන්, සමාධියෙන්
යුත්, තිලකුණු මෙනෙහි කරන, එලඹ සිටි සිහියෙන් යුතු පුද්ගලයාට සතර ඕඝයන්
තරණය කරයි.
හේමවත - යටිකුරු කළ දෙයක් උඩුකුරු කලා සේ, අන්ධකාරයේ සිටියකුට ආලෝකයක්
ලැබුනා සේ සියල්ල වැටහුණි. ස්වාමීනි, සාධු.....සාධු.... බලනු මිතුරනි,
මහා ප්‍රඥාවෙන් සමන්විත, රාගාදි පලිබෝධ දුරුකළ, සකල විධ කාමයන් ප්‍රහීණ
කළ, සකල විධ බැඳීම් වලින් වෙන්වූ ඵල සමවත්හි නියැලී, ඒ භාග්‍යවතුන් දෙස
බලව්, සතර ඕඝයන් තරණය කළ, ආශ්‍රවයන් ප්‍රහීණ කළ, සම්‍යක් සම්බුද්ධයන්
වහන්සේ දැනගත් හෙයින් අද අපි නෙත් ලැබූ පින අත් විඳින්නෙමු. දහස් ගණන්
අපි සැවොම ඒ භාග්‍යවතුන් සරණ යන්නෙමු. සෝවාන් ඵලයට පත් හේමවත
භාග්‍යවතුන් වහන්සේට අනේක විධ ප්‍රශංසා පවත්වා සිය මිතුරු සාතාගිර
ඇතුළු යක්ෂ සේනාවන් සමග තමන්ගේ වාස භවනයට ගියේය. |