Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං, උපගන්තුං’ මහණනි, වැසි සමයේ වස් විසීම අනුදනිමි. ඒ බුද්ධ නියමය යි.

අප තිලෝගුරු අමා මෑණී සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම පුද්ගලයාන්තරව හඳුන්වාදීමේදී ශ්‍රාවකයන් වහන්සේගේ මනා දැනීමත්, පුද්ගලානුරූපව දේශනයත්, නිත්‍ය චාරිකා ක්‍රියාවලියත් අපේක්ෂා කළහ. ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බුදුදහම සෙසු ආගමික ඉගැන්වීම් අභිබවා තහවුරුවන විට ශ්‍රාවකයනගේ සංකීර්ණ අදහස් පාලනය කොට පෞද්ගලික ශික්ෂණය සඳහා විනය නීතිරීති පනවන ලදී.

බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දුන් නිර්වාණගාමී මඟ ගමන් කරන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේට කඨින චීවර දාන පින්කම දීප්තිපත් පහන් තරුවකි. විනය නය පරිදි දැහැමින් උපයා සපයා තෙරුවන් බැතියෙන් පුදන එකම සිවුර කඨිනය යි. එය සපයා ගැනීම, මැසීම, පිදීම, පිළිගැනීම පින් අනුමෝදනය, පැවරීම, පරිහරණය, ගෙනයෑම, තැබීම ආදී සියලු කාර්ය සිදු කැරෙන්නේ ධර්ම විනය අනුවම ය.

අප බුදුරදුන් විසින් දේශීත විනය නිසාම සසුන පවතී. භික්ෂූන් පොහෝ කරණය, ආරාධනය, වැසි සළු පිදීම, සිවුපස පූජාව වස් විසූ අයගේ පිළිපැදීම, පවාරණය, කඨින පූජාව, පූජා පෙරහැර ආදී ක්‍රියා රාශියක ඒකකයක් ලෙස ලංකාවේ පමණක් නොව බුරුම සියම් ආදී රටවලද පැවැත්වේ. මෙය ගිහි පැවිදි සැමගේ විනය ආරක්ෂාවීමේ අන්‍යෝන්‍ය ආරක්ෂා පවුරකි. සංඝ සාමගි‍්‍රයකි. උතුම් පින්කමකි. භික්ෂූන් වහන්සේ හා දායකයන් අතර සම්බන්ධීකරණයකි. සංස්කෘතික උත්සවයකි. විනය නය බණ දහම් ක්‍රියාවට නැංවීමකි.

වස් විසූ භික්ෂූන්ට කඨින චීවර සපයා ගත යුතු වන්නේ, ඉතා ධාර්මික අයුරිනි. එසේම කඨින චීවර දානයෙන් උසස් ප්‍රතිඵල ලැබීමට නම් ප්‍රධාන කරුණු 5 ක් සම්පූර්ණ විය යුතු ය. ඒවා නම්,

1. උපසපන් භික්ෂුවක් ආරාමයක වස් වසා එය ආරක්ෂා කිරීම
2. දායකයන් විසින් කඨින චීවරයට අවශ්‍ය රෙදි සැපයීම
3. එය ධාර්මිකව උපයා ගැනීම
4. කඨින චීවරයක් වශයෙන් සකස්කොට මහා සංඝරත්නයට සුදුසු කල චීවරමය පූජා කිරීම
5. මහා සංඝරත්නයට අයත් කඨින චීවරය එක භික්ෂුවකට පවරා පූජා කිරීම

කඨින චීවර පූජාවේ ආනිසංස දැක්වෙන නාගිතාපාදනයේ එයින් බුදු, පසේබුදු, මහරහත් යන උතුම් පදවි ලබා සසරින් එතෙර වීමට ද හැකි බව විස්තර වෙයි. පූජා සිදුකරන ආත්මයේදී ද යහපත් විපාක ලබා සසරදී සතර අපයාදී දුකකට පත් නොවී මැති ඇමැති රජ, මහරජ, සක්විති රජ පදවි ලබා ගැනීමටත්, විටෙක දෙව්ලොව උපන්නේ නම් දෙව් රජ පදවි ලැබීමටත්, අවසන බව කෙළවර සිව්සස්දම් නැණින් නිවන් සුව ලැබීමටත් කඨින චීවර පූජාවෙන් පුළුවන. වස් කාලය තුළම බවුන් වඩා, නිවන් ම¼ඟ පසක් කර ගැනීමට චක්ඛුපාල රහතන් වහන්සේට හැකිවිය.

නාගිත මහරහතන් වහන්සේ, පෙර විපස්සී නම් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වස් වසවා, මහා කඨින චීවර පූජාවක් සිදු කළහ. එහි භව සම්පත් ලැබීමේ මහා පිනක් ඇතුළත් විය. කඨින චීවර පූජාවේ ආනිසංස අපමණ බව එයින් පැහැදිලි වෙයි.

පඨවිරිව නස්තු කම්පෙතෙ
නවලති මෙරුරිවානිවායුනා
වජිරමිව නිභිරජතෙ ඝනං
තමිදමතො කඨිනන්ත වුච්චති’

මහා පොළොව සේ කම්පා නොවන, මහා මේරූ පව්ව මෙන් නොසැලෙන, වජ්ර පව්ව සේ නොබිඳෙන, ස්ථාවර කුසල බලයක්, කඨින පූජාවේ අන්තර්ගත වෙයි.

කඨින චීවර පූජාව ප්‍රධාන රාජකීය උත්සවයක් ලෙසද ථෙරවාදී රටවල සිදු කැරේ. ඒ අනුව ජාතික සිරිත් විරිත් රාශියක්ද මෙයට එක් වී ඇත. පෙරහැර, සැරසිලි, සංගීත යන සෞන්දර්ය විෂය හේතුවෙන් කලාත්මක අගයක්ද ඇත. විහාරවල සිදු කැරෙන වාර්ෂික මහා පින්කම් මාලා ද වෙසක් පොසොන් ඇසළ මාස වලදී ආරම්භව වප්, ඉල්, මාසයන්හි කඨින පූජා උත්සව වලින් අවසන් වේ. එසේම විහාරයක් ස්ථාවර නිවාසයක් වන්නේ ද උපසපන් භික්ෂුවක් වස් වැසීමෙනි. ගිහි පැවිදි සම්බන්ධය තහවුරු වීම විහාරයේ එක දිගට සිදු කැරෙන පින්කම් මාලාවක් ක්‍රියාත්මක වීම, දහම් දැනුම වැඩීම, භික්ෂූවට සිව්පසය සුලබවීම, මහණදම් ඉතා හොඳින් කරගෙනයෑම, ගමේ පළාතේ ප්‍රබෝදය ආදී ප්‍රයෝජන ආදී ප්‍රයෝජන රැසක්, කඨින පින්කමෙන් ලැබේ.

ශ්‍රී ලාංකීය රාජාවලියේ බොහෝ රජවරුද කඨින පින්කම් කරවා සසුන් වැඩූහ. මහා පරාක්‍රමබාහු රජතුමා, සවන පැරකුම්බා, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරු දහස් ගණන් භික්ෂූන් වහන්සේට සිවු පසෙයෙන් උපස්ථාන කොට කඨින පින්කම් කරවූ බව, ඉතිහාසගත තොරතුරුවල සඳහන් වෙයි. මෙම මාහැඟි පින්කම උදාර, ආගමික, ජාතික මෙන්ම රාජකීය උත්සවය බවට පත් වී ඇත.

කඨින පින්කමට අලුතෙන් එක් වූ අංග කිහිපයක්ද ඇත. කඨින වස්ත්‍රය ප්‍රධාන දායකයාගේ නිවසේ සිට ගම් වටා පෙරහරින් ගොස් විහාරස්ථානයට ළඟා වීම ද කඨින පූජා අවස්ථාවේ කප් රුක් පූජාව වස් විසූ භික්ෂූව පෙරහරින් පිටත වැඩමවීම, තෙමසක් මුළුල්ලේ හේවිසි නාද පැවැත්වීම ආදී සිරිත් විරිත් වර්තමානය වන විට, ඊට එක් වී ඇත.

තෙමසක් තුළ වස් සමාදන්ව, දායකයන්ගේ සිවු පසයෙන් යැපෙන භික්ෂූන් වහන්සේද ජනතාවට අර්ථයෙන්, ධර්මයෙන් විනයෙන් , සීලයෙන් අනුශාසනා කරති. ඒ අනුව ගමන්ගන්නා සැදැහැවත් බෞද්ධයෝද තව තවත් දෙලොව අභිවෘද්ධිය පිණිස පින්කම් කරති, ධර්ම මාර්ගයට ප්‍රවිශ්ඨ වෙති.

ශ්‍රී ලාංකීය බෞද්ධ ජන ජීවීතය සකස් වී ඇත්තේ, සෑම මාසයක ම එළඹෙන පෝය උත්සව ප්‍රධාන කොටගෙන ය. වැඩහිටියෝ සිල් සමාදන් වීම වැනි කාර්යවලට ද ළමා හා තරුණ පිරිස් පෙරහර උත්සව සංවිධානයට ද සංග්‍රහ සැරසිලි හා පූජා ආදී අංග වලට ද වඩාත් නැඹුරු වෙති. මේ දෙපැත්තෙන් ම සිදු වන්නේ, සසුන් කෙත සරු කිරීමකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.