Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධිකරණ තීන්දු තීරණ ගැනීම එක් පුද්ගලයෙකුට වඩා පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය. එකී පුද්ගල සමූහය “සභා” නමින් හැඳින්විණි. එසේම කුල ගෝත්‍රබද්ධ විනිශ්චය සභාව “ පරිසා” නමින් ද, ඥාතීන් මැද විමසීම “ ඤාතිමජ්ඣෙ “ නමින් ද, අවසානයේ රජගෙදර දී විමසීම “රාජකුල මජ්ෙක්‍ධ” නමින් ද හැඳින්විණි. අර්බුදයක් ඇති වූ විට දෛනික ජීවිතයේ දී මෙම සභා මහත් සේ උපකාරී වූ බව සිතිය හැකි ය.

කිසියම් රටක පැවති හෝ පවතින අපරාධ දඬුවම් හා අපරාධ වැළැක්වීම සඳහා ගන්නා ලද ක්‍රියාකාරකම් වූ කලී එරට ජන ජීවිතයේ ඇතුළාන්තය පිළිබිඹු කරවන කැඩපතක් බඳුය. සැබැවින්ම යම් රටක අපරාධ හා දඬුවම් අඩුවීම එම රට උත්තුංග ගුණාංගවලින් යුතු රටක් බව තීරණය කිරීමේ නීර්ණායකයක් නොවේ. එහෙත් එය එරට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සුරක්ෂිත හා යහපත් බව පෙන්නුම් කරන්නකි. එසේම අපරාධ අඩුවීමට නම් එරට ආචාර ධර්ම විෂයෙහි උද්‍යෝගයක් හා ශක්තිමත් නීතියක් ද ක්‍රියාත්මක විය යුතුය. නීතිය පිළිබද නිර්වචනයක් කිරීම අතිශය අපහසු කරුණක් වන අතර එය ප්‍රජාවක් පාලනය කරන රීති පද්ධතියක් යැයි කිවහොත් බොහෝ දෙනෙකු එයට එකඟ වනු ඇත. සමාජගත සෑම කෙනෙකුම නීතියෙන් බැඳී සිටින අතර කිසිවෙකුටත් නීතියෙන් බැහැරවීමට තීරණයක් ගැනීමට හැකියාවක් නැත. අපරාධයක් කරන ඕනෑම කෙනකු අපරාධකරුවකු වන අතර ඒ තැනැත්තාට එරෙහිව නීතියට අනුව කටයුතු කළ හැකියාවක් ඇත. දේපළ නීතිය, ගිවිසුම් නීතිය, වාණිජ නීතිය, දිලික්ක නීතිය (සිවිල් වරද) පවුල් නීතිය, කම්කරු නීතිය යනාදී නීතියේ පැතිකඩ සෑදී ඇත්තේ මෙම හේතුව නිසාය. මෙම ලිපියේ අරමුණ වන්නේ අපරාධ දඬුවම් හා නීතිය පිළිබඳ යම් විවරණයක් කිරීම නොව බෞද්ධ මූලාශ්‍රවල අනාවරණය වන පරිදි අපරාධ දඬුවම් හා නීතිමය ක්‍රියාමාර්ග භාරතීය සමාජ සංස්ථාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සමාලෝචනයක් කිරීමයි.

අපරාධවල සම්භවය

නීතියේ ආරම්භය කවදා කෙසේ සිදු වුවද මුල්ම වකවානුවේ මිනිසුන් තුළ ඒ පිළිබඳ ඔවුන්ටම ආවේණික වූ සංකල්ප පැවතුණි. සැබැවින්ම යම් තැනැත්තෙකුගේ දේපළවලට හෝ යම් තැනැත්තෙකුට යම් ආකාරයක පහරදීමක් සිදු කිරීම අපරාධයක් වේ. අපරාධ නීතියේ අරමුණ එබඳු වැරැදි කරන අයට දඬුවම් දීමයි. අපරාධ අතර බරපතල අපරාධ වූ මිනීමැරුම, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම වැනි ඒවාට සොරකම හා අඩන්තේට්ටම් කිරීම වැනි ඒවා ද වේ. මෙවැනි අපරාධවලට බලපෑ හේතුව වෙන වෙනම ගෙන විශ්ලේෂණය කිරීම අධිකරණ ක්‍රියාවක් වන අතර බුදුන් වහන්සේ දක්වන පරිදි ලෝකයේ අපරාධ ඇති වීමට බලපෑ ප්‍රධානතම කරුණ තණ්හාවයි. සත්ත්ව ප්‍රජාව ලෝකයේ ඇති දළ ආහාර පරිභෝජනය ආරම්භ වීමෙන් පසුව ඔවුන් තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගත් තෘෂ්ණාව හේතුවෙන් ඔවුහු කුඹුරු බෙදා වෙන් කර ගැනීමටත් තමන් වටා සීමා පවුරු ශක්තිමත් කර ගැනීමටත් උත්සුක වූහ. මෙහිදී එක් තැනැත්තෙක් තම කොටස තර කර ගැනීම පිණිස අනෙකකුගේ ශස්‍ය භාගය සොරකම් කළේය. එවිට රාජපුරුෂයන් විසින් ඔහු අල්වාගෙන නැවත එබඳු ක්‍රියාවක් නොකරන ලෙස අවවාද කරන ලද නමුත් ඔහු එය දිගටම කරගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් හැටියට සෙසු අය ඔහුට අතින් පයින් හා දඬු මුගුරුවලින් පහර දුන්හ. සොරකම නම් අපරාධය ආරම්භ වූයේ එලෙසිනි. එසේම බොරුකීම හා දඬුවම ප්‍රකාශ විය. මෙබඳු පසුබිමක් තුළ ජනතාව ඒකරාශි වී මෙම තත්ත්වය නිර්දය ලෙස විවේචනය කොට සොරකම, ගර්හාකිරීම, බොරුකීම, දඬුවම් කිරීම හා නගරයෙන් හෝ රටින් පිටමන් කිරීම වැනි නොපණත්කම් බිහිවී ඇති බවත් එවා පිටු දැකීමට ප්‍රතිබල සම්පන්න පුද්ගලයෙකු රජු වශයෙන් තෝරා පත් කර ගත්තේ ය. නින්දා කළ යුත්තාට නින්දා කිරීම, ගැරහිය යුත්තාට ගර්හා කිරීම, රටින් පිටුවහල් කළ යුත්තා පිටුවහල් කිරීම, ඔහුගේ කාර්යභාරය විය. ඒ කාර්ය විෂයෙහි හැල් කොටසක් දුන්හ. මෙයින් තහවුරු වන්නේ අපරාධ මර්දනය කිරීම විෂයෙහි ක්‍රියාත්මක වීම සංවිධිත සමාජ සන්දර්භය තුළ නායකයාගෙන් ජන සමාජය අපේක්ෂා කළ බවයි.

පොදු අපරාධ

බෞද්ධ මූලාශ්‍රවලින් අනාවරණය වන පරිදි ඉපැරණි ඉන්දියානු සමාජයෙහි වඩාත් පොදු අපරාධ වූයේ ගෙවල් බිඳීම (සන්ධි ජිනෙද්ය්‍ය) ගෙවල්වල සියලු වස්තුව පැහැර ගැනීම (නිල්ලොපං හරෙය්‍ය) එක ගෙයක් වටලා සොරකම් කිරීම (එකගාරික) මං පැහැරීම (පරිපෙන්‍ථ තිට්ඨෙය්‍ය) සහ පරදාර සේවනය (පරදාරං ගච්ඡෙය්‍ය) යන ඒවාය. මේ සියලු අපරාධවලට මරණ දඬුවම, දේපළ රාජ සන්නත කිරීම හෝ රටින් පිටිවහල් කිරීම දඬුවම වශයෙන් ක්‍රියාත්මක විය. මෙම අපරාධ සමාජ සංස්ථාව තුළ කෙතරම් බැරූරුම් කොට සලකනු ලැබුවේද යන්න ඊට ක්‍රියාත්මක වූ දඬුවම්වලින් අනාවරණය වන අතර නීතිය ක්‍රියාත්මක කළ ආයතන මුහුණ දුන් ප්‍රබල වගකීම ද හෙළි කරයි.

පුරාණ ඉන්දියාවේ සොරකම ප්‍රබල අපරාධයකි. බෞද්ධ මූලාශ්‍රයන්හි සොරා හැඳින්වීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා වූයේ ‘චොර’ යන වචනයයි. එහෙත් සොරකමේ නියතු වූවන් විවිධ වූ හෙයින් ඔවුනොවුන් වෙන වෙනම හඳුනා ගැනීම සඳහා යෙදුණු පාරිභාෂික පද කිහිපයක් ද වේ. සමහර අපරාධකරුවෝ ගම් දනව් ව්‍යාපාරික ස්ථාන නගර ආදියෙහි සොරකම් කිරීමෙහි යෙදී සිටියහ. එසේම සංචාරකයින්ට හිරිහැර කොට ඔවුන් සතු දේ ගැනීම මං පැහැරීම වැනි කි‍්‍රයා ද කළහ. මොවුන් පන්‍ථදූහක නමින් හැඳින්විණි. ප්‍රධාන මාර්ගවල වහා ක්‍රියාත්මක වෙමින් ගම් දනව් පැහැරගැනීම් හා බලාත්කාරයෙන් ගැනීම වැනි සහාසික සොරමැරකම්වල (ආලොප සහසාකාර) යෙදුණහු ද වූහ. සමහරු තම සැහැසිකම් සංකේතවත් කිරීමට යම් යම් දේ පැළඳගෙන සිටියහ. (ධජබද්ධො) අංගුලිමාල එවැන්නෙකි. මිනිසුන් මරා ඇඟිලි මාලාවක් දැරූ අංගුලිමාල පෙළෙහි දක්වා ඇත්තේ චොරො අංගුලිමාලො යනුවෙනි. සාමුහිකව සොරකම් කළ සංවිධානවල නායකයා ‘ගාමණික’ යන පදයෙන් හැඳින්විණ. තම ජීවිතය වැරැදිි ලෙස පෝෂණය කරන මොවුහු අනුන්ගේ ගෙවල්වල ලගිමින් නොපණත්කම් කරමින් කා බී නිදාගන්නා පිරිසක් ලෙස පෙනේ. තවද මෙම අපරාධකරුවන් හැඳින්වීම සඳහා ‘දස්සු’ හා කුම්භට්ඨක යන නම් ද භාවිත විය. මේ හැරුණු විට සංවිධානගතව මහාපරිමාණ සොරකම් සැලසුම් කළ ඉහළ පෙළේ ස්ත්‍රී පුරුෂ වෞරයන් ‘මහාචොර’ යනුවෙන් දක්වා ඇත. චෞර ස්ත්‍රීන් පිළිබඳ බොහෝ පුවත් පෙළ සහ අටුවාවන්හී දක්නා ලැබේ. ථුල්ලනන්දා භික්ෂුණිය චෞර ස්ත්‍රියක පැවිදි කළ කල්හී මහජනයා විසින් කරන ලද ප්‍රබල උද්ඝෝෂණයකට ඇයට මුහුණ දීමට සිදු වූ බව දැක්වේ. මොවුන් වැටලීම සඳහා සමහර විට රජු විශේෂ බලසේනා යෙදවීය. අනුන් සතු සියලු දේපල පැහැර ගැනීම, තරුණ ස්ත්‍රින්ට හිරිහැර කිරීම, රජුගේ භාණ්ඩාගාරය මංකොල්ලකෑම යනාදිය පමණක් නොව තම කායික ශක්තිය හා අල්ලස් දීම වැනි ක්‍රියාවලින් සූක්ෂම වංචනික ක්‍රියාවන්හි නිරතවීමට ද සමහර ප්‍රාන්ත රජවරුන් තම අත්අඩංගුවේ තබා ගැනීමට ද මොවුහු සමර්ථ වූහ. ප්‍රාන්ත රජවරුන් හා නිලධාරීන් පැහැරගෙන යාමෙන් සමාජයම බියපත් කළ මොවුහු තමාට අවශ්‍ය පරිදි දේපල හිමිකර ගත්හ. මොවුන්ගෙන් බේරීමට ජනතාව තම යාන වාහන දේපල රැගෙන වෙනත් ප්‍රදේශවලට ගිය බවද වාර්තා වේ. මෙබඳු පුද්ගලයන්ගේ අපරාධවලින් ගම් දනව් ආරක්ෂා කර ගැනීම සඳහා නගරගුත්තික නමින් ආරක්ෂකයන් රජු විසින් පත් කොට තිබුණි. කුණ්ඩලකේසී නම් ප්‍රසිද්ධ සිටු කුමරිය විවාහ කර ගත්තේ දරුණු සොරෙකුව සිට නගර ගුත්තිකයන් විසින් වටලනු ලැබ රජු විසින් මරණ දඬුවම පණවන ලද පුද්ගලයෙකි. ප්‍රසිද්ධ අංගුලිමාල ගැන සඳහන් වන තැන්වල ඇත් අස් රිය ආදිය හඹා ගොස් ඔවුන් අල්වා ගැනීමට තරම් වේගයෙන් දිව යාමට ඔහුට හැකි වූ බවත් ඔහු පිවිසි බව දැනගත් ගම් දනව් ජන ශූන්‍ය වූ බවත් කියැවේ. පසේනදී කොසොල් රජු ඔහු ඇල්ලීම සඳහා යාමේදී පන්සියයකින් සමන්විත අශ්ව සේනාවක් සූදානම් කළේය. අංගුලිමාලගේ නම ඇසූ සැනින් සේනාව හිස් ලූ ලූ අත දිවගොස් හති දැමූ අයුරු පාලි මූලාශ්‍රවල දක්වා ඇත. අත්පා සිදීම දඟගෙහි ලෑම, ඇස් ගලවා දැමීම, කසපහර දීම, බන්ධනාගාර ගත කිරීම, මරණීය දණ්ඩනය වැනි දඬුවම් වරදේ ස්වභාවය අනුව තීරණය විය.

ස්ත්‍රී දූෂණ හැඳින්වීම සඳහා පාලි මූලාශ්‍රය භාවිත කරන අනෙක් පදය වන්නේ අතිචරිය යන්නයි. මව්පියන් (මාතුපිතුරක්ඛිතා) සහෝදර සහෝදරියන් (භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා) හෝ ඥාතීන්ගේ භාරකාරත්වය යටතේ හැදෙන වැඩෙන ගැහැණු ළමයකු (ඤාතිරක්ඛිතා) හෝ නීතිමය වශයෙන් රැකවරණ ලබන කෙනෙකු හෝ එසේත් නැතිනම් පිරිමියෙකු වෙනුවෙන් ගර්භාෂයේ සිට ගිවිසුමෙන් බැඳී සිටින ගැහැණු ළමයෙකු (සාරක්ඛා) සමඟ ලිංගිකව හැසිරීම ද අපරාධ ගණයට අයත් වේ. එසේම ‘සපරිදණ්ඩා’ නමින් පෙළෙහි සඳහන් වන පුරුෂයන් විසින් ඇසුරු නොකළ යුතුයැයි ද ස්ත්‍රියකට කෙරෙන දඬුවමක් වශයෙන් සම්මත කරන ලද ස්ත්‍රීහු ද වූහ. තවද මැය මාගේ් බිරිඳ යැයි හගවනු පිණිස මල්දමක් පළදවා සුරකින ලද කාන්තාව ‘මාලාගුණපරික්ඛිත්තා’ නම් වේ. මෙකී ස්ත්‍රීන් සමග ලිංගික සබඳතා පැවැත්වීම අපරාධ සංඛ්‍යාවෙහි ලා සලකන ලදී. විවාහක ස්ත්‍රීන් සමග කෙරෙන අනිසි ලිංගික සබඳතා ද නීතිමය වශයෙන් සැලකී ඇත්තේ ඉහත කී පරිදිමය. රාජ නියමයෙන් හිස ගසා දැමීම වැනි බරපතල දඬුවම් මෙකී අපරාධ සඳහා ක්‍රියාත්මක වී ඇත.

මෙම දඬුවම් පුරුෂ පක්ෂයට පමණක් සීමා වූවක් නොවේ. වරද ස්ත්‍රීයගේ නම් ඇය විසින් දඬුවම් ලැබිය යුතු විය. වරක් ලිච්ඡවී භාර්යාවක් පරපුරුෂ සේවනයෙහි යෙදී ඇත. එහිදී ස්වාමි පුරුෂයා අවවාද කළත් ඇය එය සැලකිල්ලට නොගෙන ක්‍රියා කළාය. එවිට ස්වාමිපුරුෂයා ලිච්ඡවීන්ගේ සභාවට ගොස් ස්ත්‍රීය කෙරෙහි තම බලය ක්‍රියාත්මක කිරීමට හා ඇය මරා දැමීමට බලය ඉල්ලා සිටියේ ය. සභාවේ ඉල්ලීම පරිදි කරන ලද කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුට එකී බලතල දීමට සභාව විසින් තීරණය කරන ලදී. මෙයින් තැතිගත් ස්ත්‍රීය වස්තුවද පැහැරගෙන ශ්‍රාවස්තියට පලා ගොස් මහත් පරිශ්‍රමයකින් පසු පැවිදි වූවාය. ස්වාමි පුරුෂයා කොසොල් රජු වෙත ගොස් සියලු අපරාධ ගැන සැලකොට ඇයට මරණීය දණ්ඩනය පණවන ලෙස ඉල්ලීය. එහෙත් ඇය බෞද්ධ භික්‍ෂුණියක වී ඇති බව දැනගත් පසු රජු ඊට එකඟ නොවු බව ද සඳහන් වේ. මෙයින් තහවුරු වන්නේ ලිංගික අනාචාරය ප්‍රධාන අපරාධයක් ලෙස සැලකී ඇති බව හා එහි වැරදිකරු ස්ත්‍රිය නම් ඇය මැරීමේ අයිතිය පවා ස්වාමියා සතු වූ බවයි. එකල පැවති නීතිමය රාමුවේ ප්‍රමාණාතික්‍රාන්ත බවක් ගම්‍යමාන වේ. කෙසේ වුවත් එකී අපරාධ කිහිපය පිළිබඳව වැඩි වශයෙන් බෞද්ධ මූලාශ්‍ර වල සඳහන් වේ. බරපතළ අපරාධ ලෙස එකල සමාජය විසින් ඒවා සලකන ලද හෙයින් ඒවා ගැන වැඩි අවධානයක් යොමු වී ඇති බව සිතිය හැකිය. මිනීමැරුම ද එකල පැවති අපරාධයක් වුවත් සොරකම් ස්ත්‍රී දූෂණ තරම් ව්‍යාප්තව තිබූ බවක් නොපෙනේ. මිනිස් ඝාතනය සිදු වී ඇත්තේ සොරකම් කිරීම වැනි අපරාධයක් පසුබිම් කොට ගෙනය. පාලි මූලාශ්‍රයන්හි අංගුලිමාල වැනි අපරාධකරුවන් විසින් කරන ලද අතිවිශාල මිනිස් සංහාරයන් ගැන කියවෙතත් වැඩි වශයෙන් කියැවෙන්නේ දඬුවම් වශයෙන් කරන ලද මිනීමැරුම් ගැනය. සුරාපානය කළ කෙනෙකු මිනීමැරුමක් සොරකමක් ස්ත්‍රී දූෂණයක් වැනි වරදක් සිදු කළ විට රජු ඔහුට දඬුවම් වශයෙන් මරණීය දණ්ඩනය සිරගත කිරීම හෝ රටින් පිටුවහල් කිරීම වැනි දඬුවමක් හෝ ඊට අනුරූප වන වෙනත් දඬුවමක් පණවන බව (යථාපච්චයං ) කියැවේ. මෙයින් පැහැදිලි වන්නේ මිනීමැරුමට දඬුවම මරණීය දණ්ඩනය වූ බව නොව එය විමසා බැලීමෙන් අනතුරුව සුදුසු පරිදි දඬුවම් නියම කළ බවයි. බොරුකීම, වංචනික ක්‍රියා, තුලා කූට, මානකූ®ට , යනාදිය සුළු අපරාධ සංඛ්‍යාවෙහිලා ගිණිය යුතු වැරදි ගැන ද පාලි මූලාශ්‍රයන්හි කරුණු අනාවරණය වේ.

මොවුන් විෂයෙහි දෙන ලද දඬුවම් පිළිබඳ ව ද දැනුවත් වීම අපගේ විමසුම් බුද්ධිය පුළුල් වීමට තුඩු දේ. පිටකාගත මූලාශ්‍රයන්හි නමාමාත්‍රිකව සඳහන් වන දඬුවම් ගැන විස්තර දක්වා ඇත්තේ අටුවාවල බව ද සිහි තබා ගත යුතුය. විවිධ වධ දීම් අතර එකක්” බිළඩ්ගථාලික “ නමින් දැක්වේ. හිස් කබල සිදුරු කොට ගිනියම් යකඩ ගුලියක් එහි දැමීමෙන් එයින් මොළය උණු වී කැඳ මෙන් පිටාර ගැලීමට සැලැස්වීම මෙයින් අදහස් වේ. “රාහුමුඛ” නමින් තවත් දණ්ඩන ක්‍රමයක් වේ. හුලකින් මුව විවර කොට මුඛය තුළ පහණක් දල්වා ලෙයින් මුව පිරෙන්නට සැලැස්වීම මෙහි අරමුණය. කණ දක්වා මුඛය ඉරා දැමීමක්ද මෙහිදී සිදුවේ. අපරාධකරුගේ

දණ්ඩන ක්‍රම

මුළු සිරුරම තෙල් සහිත රෙදිවලින් ඔතා ගිනි දැල්වීම “ ජොතිකාමාලික “ නම් දණ්ඩන ක්‍රමයයි. අත පමණක් එසේ ඔතා දැල්වීම “ හත්‍ථපජ්ජොතික “ නම් වේ. හිස වටා හම කපා කෙස්වැටිය ඇද ගලවා හිස් කබල රළු ගල්වල අතුල්ලා වධ දීම “ සංඛමුණ්ඩක “ යන නමින් හැඳින්විණ .ශරීරයෙහි තෙල් විශේෂයක් ගල්වා ගිනිමාලාවක් දැල්වීම “ ජොතිමාලිකා “ යන්නෙන් හඳුන්වනු ලැබීය. තවද ශරීරයේ අවයවවල හම කපා ඇද වැටීමට සැලැස්වීම “එරකචත්තික ‘ , ‘චිරකවාසි’ යනාදී නම්වලින් දක්වා ඇත. හම ගලවා තියුණු උල්වලින් විවිධ අයුරින් වධ දීමේ ක්‍රම රාශියක් ද බළිසමංසික, කහාපණික, ඛාරාපාතච්ඡික , පලිඝපරිවත්තික, පලාලපීඨක ආදි නම් රාශියකින් දක්වා ඇති අතර අටුවාකරු ඒවා සවිස්තරව දක්වයි. දෙතිස් වධ පිළිබඳ අදහස සමාජගතව ඇත්තේ මෙකී වධ හිංසා ක්‍රමවල අනේකවිධභාවය හේතු කොට ගෙනය. අතිශය අමානුෂික ස්වරූපයක් පෙන්නුම් කරන ඇතැම් හිංසන ක්‍රම එනම් ගිනියම් යකඩ තහඩුවක හොවා රත් වූ යකඩ අඬුවකින් මුව විවර කොට ගිනියම් යකඩ ගුලි මුවට දැමීමෙන් තොල් දිව උගුර කුස පිළිස්සවීම යනාදිය ක්‍රියාත්මක කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කරනු පිණිසය. පණ පිටින් හුල තැබීම මෙන්ම එක් පුරුෂයෙකු විසින් හුල් එකකින් හෝ දෙකකින් අපරාධකරුට ඇණ මැරීම ද අත් පා නාසා දිව ආදි අවයව කපා දැමීම ද මේ දඩුවම් අතර විය. කසය (කසා) වේවැල (වෙත්ත ) දෙරියන් පමණ මුගුර (අඩ්ඪදණ්ඩ) කැට කැබිලිති (ලෙඩ්ඩු) මෝල්ගස (මූසල) පොලු (ලගුඩ) රැහැන් (රජ්ජු) තියුණු ආයුධ (තිඛිණෙහි ආවුධෙහි) යකඩ හූල් (සූල) මහත් යදම් (අÁදු) මාංචු (සංඛලිකා) අකුස්ස (අංකුස) සැත් (සත්‍ථානි) ආදි උපකරණ රාශියක් මේ සඳහා භාවිතා කොට ඇත. ඇඟ හණ (සලකුණු) තබා අපරාධකරුවෙකු ලෙස සම්මත කිරීම ද වූ අතර එබඳු පුද්ගලයන් සමාජය විසින් පිළිකුල් කරන ලදී. එහෙයින්ම ඔවුන් පැවිදි කිරීම බුදුන් වහන්සේ විසින් ද තහනම් කරන ලදී.

අපරාධකරුවකු පිටුවහල් කිරීමේදි ඔහුගේ හිස බූ ගා ඇඟ අලු ගා වදමල් පළදවා නගරයෙන් නගරයට හෝ රටෙන් පිටුවහල් කොට ඇත. සොරුන්ට දඬුවම වශයෙන් මරණ තැන හෙවත් වධකාගාරය චොරඝාතන, අධිකුට්ටන , ආඝාතක යනාදී නම්වලින් ද වර්තමාන අලුගෝසුවාගේ තනතුර “ චොරඝාතක “ නමිනුදු වැහැරිණි.

පාලි මූලාශ්‍ර තුළින් එකල පැවති අපරාධ නීතිය පිළිබඳ සුළු අවබෝධයක් ලබා ගත හැකිය. සමාජයක් පාලනය වන්නේ නීතියෙන් මිස පාලකයන්ගේ අභිරුචියට හෝ සිතැඟිවලට අනුව නොවන බව සමාජයක නීතියක් පැවතීමෙන්ම අදහස් වේ. අතීතයේ භාරතයේ රජෙකු යටතේ පැවති ආණ්ඩුවලට ද මෙම සංසිද්ධිය වලංගුය. නීතිය යනු එක් පුද්ගලයෙකුගේ රුචිකත්වයක් නොවන අතර නීති සම්පාදකයන් එකල ද වූ අතර ඔවුන්ගේ නිගමන රජු ද පිළිගත් හෙයින් එය ද වර්තමාන නීති සම්පාදකයන්ගේ නීති රීති ජනතාව විසින් පත් කර ගන්නා ලද පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් රජය විසින් පිළි ගැනීමක් බඳුය. නිදසුනක් ලෙස ණයකරුවෙකු නියමිත දිනය වන විට ණය පියවා ගත නොහැකි වුවහොත් ඔහු හෝ ඇය ප්‍රසිද්ධියේ අපහාසයට බඳුන් කරන ලදී. එසේ නැතහොත් සිරගත කරන ලදී. වරක් එබඳු ණයකරුවෙකු විසින් ණයක් නැති බව කියමින් ණය නොගෙවා හරින ලදී. මෙබඳු වංචනිකයන් වසල ගණයට ලා සැලකුණි. මෙම ගණදෙනුවේදී පැවති කිසිදු ලිඛිත ප්‍රකාශයක් ගැන දක්නට නැත. සමහර ණයකරුවන් ඉන් ගැලවීම පිණිස පැවිදි වූ අවස්ථා ගැන ද කියවේ. බිම්බිසාර රජු පැවිදි වූ එබඳු ණයකරුවෙකුට දඬුවම් දීම මග හැර ඇත. මෙය අප්‍රසන්න ක්‍රියාවක් වූ හෙයින් එබඳු අය උපසපන් කිරීම බුදුරදුන් විසින් තහනම් කරන ලදී.

අපරාධ නීතිය

ඉබාගාතේ යන ගවයන් විසින් මනාව වැඩෙන ශස්‍යවලට හානියක් සිදු කරන ලදහොත් එහි වගකීම ගව හිමිකරුවා විසින් දැරිය යුතුය. එය මග හළහොත් ගර්හාවට ලක්වීම හා සිරගතවීම ද දඬුවම් වශයෙන් ලැබුණි.

ප්‍රවේණිගත දේපල අයිතිය නීත්‍යනුකූලව සහෝදරයන් අනුව සමසේ බෙදී ගියේය. සහෝදරියට උරුමයක් නොවුණු අතර පියාගේ කැමැත්ත අනුව සොහොයුරියගේ පුත්‍රයාට හෝ වෙනත් කෙනෙකුට පැවැරිය හැකි විය. මෙහිදී පුත්‍රයාට ඒ සම්බන්ධ විරුද්ධත්වයද පළ කළ හැකිව තිබුණි. අන්තිම කැමති පත්‍රයක් ලියා නොමැති පුද්ගලයාගේ දේපල රාජසන්තක විය.

සැවැත්නුවර ධනවත් සිටුවරයෙකු සතුව තිබූ එබඳු දේපළක් කොසොල් රජතුමා විසින් ගන්නා ලද අවස්ථාවක් ගැන පාලි මූලාශ්‍රයවල එයි. එසේම ධනවත් පවුලක එකම පුතු පැවිදි වූ පසු ඔහුගේ මව ඔහුට උපැවිදි වන ලෙසද අයැද සිටිනුයේ මේ වස්තුවේ උරුමය ලිච්ඡවීන්ට ගෙන යාමට ඉඩ නොතබන ලෙස පවසමිනි.

පුද්ගලයන් දෙදෙනෙකු හෝ සමූහයක් අතර සිදුවන ගිවිසුම නීතිය ගැන ද යමක් කිව හැකිව තිබේ. අනාථපිණ්ඩික සැවැත්නුවර ධනවත් ව්‍යාපාරිකයෙකි. බුදුන් වහන්සේ ප්‍රමුඛ සඟනට ආරාමයක් ඉදි කිරීමට ඉඩමක් සෙවු ඔහුට ජේත නම් කුමරුගේ උයන ඒ සඳහා සුදුසු බව හැඟුණි. සිටුවරයා උයන හිමි ජේත කුමරු වෙත පැමිණ මාගෙන් මිල ගෙන උයන මට දෙන්නැයි ඉල්ලීය.

එය නොදෙනු කැමැති කුමරු එම ඉඩම මුදලින් ඇතිරුවත් පිට නොදෙන බව ප්‍රකාශ කළේය. එපමණකින්ම එය විකුණා ඇති බව කී සිටුතුමා ධනයෙන් උයන අතුරා එහි හිමිකම් නිශ්චය කර ගැනීමට අධිකරණයට (වොහාරික මහාමත්තා) ගියේය. උයන හිමිකරු වටිනාකමට වැඩි මිලක් නියම කොට ඇති නිසාත් එකී මුදල ගැනුම්කරු විසින් ගෙවා ඇති නිසාත් තීරණය වුයේ කුමරුගේ තක්සේරුවට අනුව ඉඩම විකුණා ඇත යන්නයි.

තවත් සිදුවීමකට අනුව එක්තරා අනුගාමිකයෙක් භික්‍ෂූණී ආරාමයකට ගබඩා කාමරයක් පරිත්‍යාග කළේය. ඔහුගේ අභාවයෙන් පසු දරුවන් දෙදෙනාගෙන් අන්‍යලබ්ධික එක් දරුවෙක් අනෙක් දරුවා අකැමැත්ත පළ කරද්දී තමාට හිමි කොටස ලබා දෙන ලෙස ඉල්ලීය. එම ගබඩා කාමරය නිදහස් කොට තමාට දෙන ලෙස අන්‍යලබ්ධික දරුවා බලකරන විට භික්‍ෂුණීහු එය තමා සතු බව කියා සිටියහ. මෙහිදී අරගලයක් ඇති වූ නිසා අධිකරණය වෙත යාමට ඔවුහු තීරණය කළහ. එහිදී එක් විනිශ්චකරුවෙක් එය භික්‍ෂුණී ආරාමය පූජා කළ බව කවුරුන් දනීදැයි විමසීය. ඊට පිළිතුරු වශයෙන් එක් භික්‍ෂුණීයක් ප්‍රකාශ කළේ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් ඇති බවය. ඒ අනුව එම ගබඩා කාමරය භික්‍ෂූණී ආරාමය සතු බව අධිකරණය තීන්දු කළේය. පරාජිත චෝදකයා විසින් භික්‍ෂුණීයගේ ක්‍රියා කලාපය විවේචනය කරන ලදින් අධිකරණය ඔහුට දඬුවම් නියම කළේය. එවිට ඔහු භික්‍ෂුණීන් පිළිබඳ කටකතා පැතිරවීමට ආජීවකයන් පෙළඹ වූ විට අධිකරණය ඔහු සිරගත කළේය.

අධිකරණ තීන්දු තීරණ ගැනීම එක් පුද්ගලයෙකුට වඩා පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය. එකී පුද්ගල සමූහය “සභා” නමින් හැඳින්විණි. එසේම කුල ගෝත්‍රබද්ධ විනිශ්චය සභාව “ පරිසා” නමින් ද, ඥාතීන් මැද විමසීම “ ඤාතිමජ්ඣෙ “ නමින් ද, අවසානයේ රජගෙදර දී විමසීම “රාජකුල මජ්ෙක්‍ධ” නමින් ද හැඳින්විණි. අර්බුදයක් ඇති වූ විට දෛනික ජීවිතයේ දී මෙම සභා මහත් සේ උපකාරී වූ බව සිතිය හැකි ය.

අධිකරණ උපදේශකයන් පාලි මූලාශ්‍රවල “ වොහාරිකමහාමත්තා “ යන නමින් හැඳින්වුණි. නීතිය පිළිබඳ විශාරදයන් වූ මොවුහු පාණිනී විසින් “ ව්‍යවහාරිකා “ නමින් හඳුන්වනු ලැබූහ. සභා, පරිසා යනාදී මණ්ඩල විසින් ද ඇතැම් විට රාජසභාව විසින් ද අවශ්‍ය වූ විට මොවුන්ගෙන් නීති උපදේශ ලබා ගන්නා ලදී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.