Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය

බුද්ධ කාලීන භාරතයේ දෙදෙනෙකු හමුව එක් අයෙකු අසන ප්‍රශ්න කිහිපයකි මේ. දෙදෙනා කවුද ප්‍රශ්න කළ තැනැත්තා කවුද, මිනිසාට ඇති වටිනාම ධනය කුමක්ද? කුමක් මනාව ප්‍රගුණ කළ විට සැපගෙන දේද? සියලු රස අතර මිහිරිම රසය කුමක්ද? කවර ආකාරයකින් ජීවත් වීම ශ්‍රේෂ්ඨ ජීවිතයක් යැයි අගය කෙරේද? මේ ප්‍රශ්න අසන ලද තැනැත්තාට දුන් පිළිතුරු ද සඳහන් කරන්න.

පිළිතුර

බුදුරජාණන් වහන්සේ වෙතින් ආලවක විසින් අසන ලද ප්‍රශ්න වලින් එකකි මේ. බුදුරජාණන් වහන්සේ ඔහුට දුන් පිළිතුර මිනිසාට ඇති වටිනාම ධනය ශ්‍රද්ධාවයි. සැප සඳහා ධර්මයම ප්‍රගුණ කළ යුතු යි. සියලු රස අතර ධර්ම රසයම උතුම් ය. නැණවත්ව ජීවත්වීම උසස්ම ජීවත්වීමයි යනුවෙනි.


ප්‍රශ්නය

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුනාරාමයෙහි වැඩවාසය කරද්දී බමුණු පරපුරක්ම බුදුරදුන් හමුව බුදුරදුන් සරණ ගියහ. මේ බමුණු පරපුර කුමක්ද? කිහිපදෙනෙකුගෙ නම් සඳහන් කරන්න.

පිළිතුර

බුදුරදුන් සරණ ගිය එම බමුණු පරපුර නම් ‘භාරද්වාජ බ්‍රාහ්මණ පරපුරය’ අක්කෝස්ක භාරද්වාජ – ‘සුන්දරී’ භාරද්වාජ විලංගික භාරද්වාජ ඉන් කිහිපදෙනෙකි.


ප්‍රශ්නය

බුදුරජාණන් වහන්සේ විසින් ක්‍රෝධයෙන් වෙලී ගත් සිතැතියෙකුට මෙසේ වදාළහ. ශ්‍රාවකය, ක්‍රෝධය නැසීමෙන් සුවසේ කල් ගෙවිය හැකිය. ශෝකය ද ක්‍රෝධය නැසීමෙන් සිතින් පහව යයි. එසේ නම් තොප විසින් නසාලිය යුත්තේ ක්‍රෝධයයි. බුදු බණට සවන්දුන් ඔහු ශ්‍රාවක පැවිදිව රහත් බවට පත්විය. මේ ශ්‍රාවක තැනැත්තා කවරෙක්ද?

පිළිතුර

භාරද්වාජ බ්‍රාහ්මණ, නම් වූ ශ්‍රාවකයා බුදු බණ අසා මඟ ඵල පසක් කළ තැනැත්තා ය.


ප්‍රශ්නය

බුදු සිරිතට සමීපතම කාන්තාවක් පිළිබඳව මෙසේ ගුණ වාචක සටහනක් තබා ඇත. ආදරය, කරුණාව, දයාව, කැප වීම, ඉවසීම, අධිෂ්ඨානය හා ධෙර්යය වැනි ලෞකික ගුණ ධර්ම පමණක් නොව මඟ ඵල ලැබීම වැනි උසස් ආර්ය ඵලයන් කාන්තාවන්ට ප්‍රගුණ කළ හැකි බව ඇය ලොවට ආදර්ශයකි. මේ ශ්‍රේෂ්ඨ කාන්තාවගේ නම කුමක්ද?

පිළිතුර

මහා ප්‍රජාපතී ගෝතමිය


ප්‍රශ්නය

රජගහ නුවරටත් නාලන්දා නුවරටත් අතර ‘බ්‍රහ්මපුත්‍ර’ නම් නුගරුක් සෙවනේ දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයකි මේ. මේ දෙදෙනා කවුරුන්දැයි සඳහන් කර මෙම සංවාදයෙන් ඇති වූ ප්‍රතිඵලය පිළිබඳව ද සටහන් කරන්න. ඇති වූ සංවාදය මෙසේ ය.

1. ස්ථවිර, නවක, මධ්‍යම යන සියලු භික්‍ෂූන් වහන්සේ කෙරෙහි ගෞරවය හා ආචාරශීලීභාවය ඇතිව හැසිරිය යුතු ය.

2. ධර්මශ්‍රවණයෙහිදී සිත හා කය ඒ දෙසට යොමුකොට බාහිර අරමුණු වලින් ඈත්විය යුතු ය.

3. කය අනුව සිත යොමු කොට කයෙහි අනියත බවම මෙනෙහි කළ යුතු ය.

පිළිතුර

බුදුරජාණන් වහන්සේ සහ ‘පිප්ඵලී’ බ්‍රාහ්මණ කුමරු තම ජාති මානය දුරු කිරීම පිණිස පළමු කරුණ දේශනා කළහ. බහුශ්‍රැතභාවය නිසා ඇතිවන අහංකාරය දුරු කිරීම පිණිසත් ශරීර අහංකාරය දුරු කිරීම පිණිසත් ශරීර ලක්‍ෂණ නිසා ඇතිවන මමත්වය ප්‍රහාණය සඳහා තෙවැන්නද දෙසූහ.


ප්‍රශ්නය

පහත සඳහන් සංවාදය බුද්ධ කාලීන යුගයේ සුවිශේෂ අවස්ථාවක සුවිශේෂ පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු විය. මෙහි ප්‍රතිඵලය බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා බෙහෙවින් මහෝපකාරී විය. දෙදෙනා අතර වූ සංවාදය මෙයයි. රජතුමනි, මෙලොව හා පරලොව සැනසීම සඳහා ඇසුරු කළ යුතු උත්තමයාණ නමක් වන ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස සමග අඹ උයනේ වැඩ වාසය කරති. අපට බෙහෙවින් සුවදායක හමුවීමකි. අප ඉතා ඉක්මන් හමුවීමකට යමු. පැහැදිලි කරන්න.

පිළිතුර

සංවාදය කළේ ‘ජීවක’ වෛද්‍යාචාර්ය තුමා සහ අජාසත් මහරජතුමා ය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාවෙහි දායකත්වය දැරූ අජාසත් මහරජතුමා සසුන් දියුණුව සඳහා බෙහෙවින් දායක වූ අතර ජීවක වෙදැදුරු තුමා බුදු පාමොක් මහ සඟනට වෙදහෙදකමින් සමීප වූ ශ්‍රාවකයෙකි.


ප්‍රශ්නය

සිඟාලෝවාද සූත්‍ර පාඨයට අනුව පුරක්‍ෂිම දිසා මාතා පිතරො යන්නෙන් නැගෙනහිර (පූර්ව දිසාව) දෙමව්පියන් වශයෙන් හඳුන්වා දෙන ලදී. මුළු ලොව (අචේතනික සචේතනික) පුබුදුවාලන්නේ සූර්යා ය. ඔහු අවස්ථා හතකදී එනම් බිම්බෝදය, අර්කෝදය, අරුණෝදය, සර්යෝදය යනුවෙන් තම මෙහෙවර ආරම්භ කොට පස්චිම දිසාවෙන් බැසයයි. ‘පවුල’ යනු මිනිසා සතු උතුම් ඒකකයි. එහි තුන්කල් පැවැත්මට අදාළ දෙමව්පියන්, අඹුදරුවන්, දැසිදස් ආදී සාමාජිකයෝ බොහෝ ය. බෞද්ධ පෙළ දහමෙහි එන දේශනා ඇසුරු කරමින් විවරණයක් කරන්න.

පිළිතුර

අං.නි. සමචිත්ත වග්ගයේ එන පහත සඳහන් පාඨය පිළිතුර සඳහා ආලෝකයක් ලැබෙයි. ද්වින්නාහං භික්ඛවෙ න සුප්පතිකාරං වදාමි, මාතුච්ච පිතුච්ච, මහණෙනි! දෙමව්පිය පෝෂණය ප්‍රමාණයකින් සඳහන් කළ නොහැකි ය. දෙමාපිය ණය බරින් නිදහස් වනු කැමැති අයෙක්, එකෙන අංසෙන මාතරං පරිහරෙය්‍ය පිතරං පරිහරෙය්‍ය සියවසක් පියා එක් උරහිසක් මව අනෙක් උරහිසෙහි ද තබා ගනිමින් කිසි විටකත් බිම නොතබා මළ මුත්‍රා පවා පිරිසුදු කරමින් සුවඳ ගල්වා නහවා උණුපැන් සිසිල් පැන් තබා උපස්ථාන කෙරේද? දෙමව්පිය උපකාරයට ප්‍රත්‍ය කාරයක් නොවන්නේමය. බොහෝ සත්රුවන් ඇති මේ මහා පෘථිවියෙහි දෙමව්පියන් සක්විති රජ බවට පත් කළත්, දරුවන්ට ඇති ණයෙන් නිදහස් විය නොහැකි ය.තං කිස්ස හේතු, බහුපකාර භික්ඛවෙ මාතා පිතරො ප්‍රතිතා නං අපාද්කා - පොසකා එයට හේතු කවරේද? දෙමව්පියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතියහ. එසේ නම් දෙමව්පියන් උදෙසා කළ යුත්තේ කුමක්ද? සැදැහැ නැත්තෝ සැදැහැයෙහි පිහිටුවීම දුසිල්වත් දෙමව්පියන් සුසිල් වත්හි පිහිටුවීම, මසුරු දෙමව්පියන් දානපතීයන් කිරීම, නුණුවන මාපියන් නුවණැත්තන් කිරීම ආදිය දූ දරුවන් වෙතින් ඉටුවිය යුතු යුතුකම් අතර වේ.


ප්‍රශ්නය

මිනිසාගේ උන්නතිය හා අවනතිය ඔහු විසින්ම සකසා ගන්නා ආකාරය පෙළ දහමට අනුව විවරණය වී ඇත. ධර්මයෙහි සඳහන් පුද්ගල පැවැත්මෙහි උන්නතිය හා අවනතියට හේතු වන කරුණු පරීක්‍ෂා කර බලන්න.

පිළිතුර

පරාභව, මංගල, වසල, සුත්‍රාගත දේශනා අතර අං.නි. තික නිපාතයෙහි තවත් කරුණු බොහොමයක් ඇතුළත්ව ඇත.

1. තම වරද වරදක් සේ දකින්නට ශක්‍යතාවයක් නැත. (අච්චයං අච්චයතොනපස්සති)
2. වරද නිවැරැදි කර ගැනීමට උත්සාහයක් නැත. (යථා ධම්මං පටිකරොති)
3. වරද පෙන්වාදෙන අයෙකුගේ, අවවාද නො පිළිගනී. (පරස්ස ඛොපන අච්චයං දොසෙන්තස්ස යථා ධම්මං න පතිගණ්හාති)
උන්නතිකාමි තැනැත්තා කරුණු තුනකින් තම පිළිවෙත සකස් කරගනී.

1. වරද හඳුනාගනී (අච්චයං අච්යතො පස්සති)
2. වරද දැන හඳුනාගෙන ධර්මානුකූලව නිවැරැදි කර ගනී.
3. වරද පෙන්වා දෙන තැනැත්තාට ගරු කරයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.