Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින යන්නෙහි අර්ථය ‘ස්ථිර’ වෙනස් නොවන යන්නයි.එනම්, ලැබෙන කුසල ආනිශංස අන්‍ය අකුසල කර්මයකින් යටපත් නොවන බව ය. මෙහි කුසල ශක්තිය විපාක දීමට සමත් නොවන්නේ පංචානන්තරිය අකුසල කර්මයකදී පමණකි. අට මහ කුසල කර්මයන්ගෙන් ප්‍රමුඛ ස්ථානය ලබන කඨින පූජාව ඉතාම දුර්ලභ පින්කමක් බවට පත්වී ඇත.

සම්බුදු රජාණන් වහන්සේ ධරමාන කාලයේදීම භික්‍ෂූන් වහන්සේ අරඹයා අනුදැන වදාළ වස් එළඹීමේ මහඟු පුණ්‍ය කර්මය අඡින්නව සිදුවෙමින් පවතින මහ කුසලයන්ගෙන් එකකි.

උභය පාර්ශ්වයටම ශ්‍රේෂ්ඨ පුණ්‍ය ප්‍රාර්ථනා තැබිය හැකි වසරකට වරක් උදාවන ඒ දුර්ලභ පුණ්‍ය කාලය, මෙවරත් සුපුරුදු ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භවෙයි.

“චරථ භික්‍ඛවේ, චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානු කම්පාය අත්ථායා හිතාය සුඛාය දේව මනුස්සානං”

මහණෙනි, බොහෝ ජනයාට, දෙවි මිනිසුන්ට හිත සුව පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස චාරිකාවේ හැසිරෙවු. ලෝකයේ පහළ වූ ප්‍රථම රහතන් වහන්සේ සැට නම උදෙසා බුදුරජාණන් වහන්සේගේ පළමු අවවාදය වූයේ එයයි. ඊට අනුගත වූ සියලු භික්‍ෂූන් වහන්සේ එදින සිට වැසි කාලද නොතකා, ලෝකයාට අනුකම්පාවෙන් චාරිකාවේ නිරත වූහ. බුදු සමය විවිධ ජන කොටස් අතර ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමටත්, විශාල පිරිසක් බුදු සසුනෙහි පැවිද්ද ලබා ගැනීමටත්, එය එක් ප්‍රධාන හේතුවක් විය.

එකල දෘෂ්ටි ජාලාවක්ව පැවැති දඹදිව් තලයේ ජෛනාදී ශ්‍රාවකයෝ වැසි කාලයේ චාරිකාවන්හි නිරත නොවී, තම ආරාම වලට වී ව්‍රත ආදිය සමාදන් වෙමින් කාලය ගත කළෝ ය. ඊට ප්‍රධාන හේතුව වූයේ වැසි සමයේ හටගන්නා නිල් තණ ආදී ඒකීන්ද්‍රිය ජීවීන් පෑගී විනාශ වීම, ඔවුන් පාපයක් කොට සැළකීමයි. එවැනි අන්තගාමී බවක් නොමැති බෞද්ධ භික්‍ෂූන් වහන්සේගේ, වැසි කාලයේ චාරිකා, තත් කී අන්‍ය භක්තිකයන්ගේ දෝෂ දර්ශනයට ලක්විය. එම සිදුවීම හේතුකොට ගෙන වඩා අර්ථවත් යමක් සඳහා බුදුන් වහන්සේ භික්‍ෂු සංඝයාගේ වස් එළඹීම අනුදැන වදාළහ. වස් තුන්මාසය තුළ බවුන් වඩා තම අධ්‍යාත්මය දියුණු කරගන්නට බුදුරජාණන් වහන්සේ කර්මස්ථානදී වදාළ සේක. ඒ අනුව කටයුතු කළ බොහෝ පින්වත් භික්‍ෂූන් වහන්සේ නිවන සාක්ෂාත් කරගත්හ. උන්වහන්සේට ප්‍රත්‍ය පහසුකම් සපයන ලද ගිහි පිරිස් ද සසර කතරින් මිදීම සඳහා බොහෝ කුසල් සිදු කර ගත්හ.

මෙම ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්තව්‍ය සඳහා උපසම්පදාවලත් භික්‍ෂූන් වහන්සේගේ පෙළගැසීම වස් විසීම නම්වේ. ඒ සඳහා භික්‍ෂූන් වහන්සේ ඇසළ පුන්පොහොය දිනයේ උපෝසථ විනය කර්මය සිදුකොට පසුදිනයේ එනම් ඇසළ අව පෑළවිය දින වත නිමකොට බුදුරදුන් පුදා වස් සමාදන්වෙති. එය පෙර වස් සමාදානය යි. එදින සමාදන් වීමට යම් හෙයකින් නොහැකි වුවහොත්, උන්වහන්සේ මතු යෙදෙන නිකිණි පුරපසළොස්වක පොහොය දින උපෝසථය කොට, පසු දිනයේ වස් සමාදන්වීම, පසු වස් සමාදානයයි. වැසි සළු පූජා කර, ගිහි පින්වතුන්ගේ වස් ආරාධනාවෙන් පසු, භික්‍ෂූන් වහන්සේ වස් එළඹෙන අවස්ථාවේදී අදාළ ස්ථානයේ වස් එළඹ තුන්මාසය ගත කරමි යන අධිෂ්ඨානය සහිත අදහස ඇති ‘ඉමස්මිං විහාරේ ඉමං තේ මාසං වස්සං උපේමි’ යන වාක්‍ය තෙවරක් ප්‍රකාශ කරති.

එසේ වස් එළඹුණු භික්‍ෂුවට ශාසනික හෝ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ස්ථානයෙන් බැහැර යෑමට අවසර ඇත. සත් දිනක් ඇතුළත නැවත පැමිණෙමි යන සිහිය සහ අධිෂ්ඨානය ඇතිවම පිටත යෑම කළ යුතු ය. ඒ සඳහා විනයේ සඳහන් වන ‘සචේ මේ අන්තරායෝ න භවිස්ස සත්තාහබිභන්තරේ පටිනිවන්තිස්සාමි’ යන වැකිය භාවිතා කළ යුතු ය. එසේ පිළිනොපැදීමෙන් වස් කැඩෙන අතර, එවන් භික්‍ෂුව කඨින චීවරය ලැබීමට නුසුදුස්සකු බවට පත් වෙයි.

ඒ සඳහා සිව්පසය මනාකොට ලැබෙන සුදුසු උපස්ථායකයන් සිටින, සංඝරත්නය සමගියෙන් පසු වන තමන් වහන්සේගේ බ්‍රහ්මචර්යාවට බාධාවක් නොවන ස්ථානයක් භික්‍ෂූන් වහන්සේ පූර්වයෙන්ම සකසා ගනිති.

වස් කාල පරිච්ඡේදය වෙනදා මෙන් ශබ්ද සහිතව ආමිස පූජාවන්හි නිරත වන කාලයක් නොවෙයි. එය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී කටයුතු කළ යුතු වකවානුවකි. ඒ පිළිබඳ ගිහි පින්වතුන් දැනුවත් වීම, ඔවුන්ගේ පුණ්‍යවන්ත වගකීමකි.

බුදුරජාණන් වහන්සේ මගධයේ වැඩ වසන සමයේ එක් වැසි කාලයකදී සිදුවීමක් ධම්මදිට්ඨ කථාවේ ප්‍රවෘත්තියකින් හෙළිදරව් වෙයි. එකළ භික්‍ෂූන් වහන්සේ සැට නමක් බුදුන් වහන්සේගෙන් කර්මස්ථාන ලැබ වස් විසීමට ස්ථානයක් සොයා ගියහ. මාතික මාතා නම් උවැසියකගේ දායකත්වයෙන් ඒ අරමෙහි වස් කාලය ගතකොට ගෙන් තුන් මාසය නිම වන විට සියලු දෙනා වහන්සේ රහත් භාවයට පත් වූහ. භාවනා උපදෙස් ලැබ භික්‍ෂූන්හට සිවුපසයෙන් සැලකූ මාතිකා මාතාවද භාවනා වඩා අනාගාමී ඵලයට පත් වූවා ය. අභිඤ්ඤා ද ලැබුවා ය. වස් නිම වී බුදුන් වහන්සේ බැහැදුටු භික්‍ෂූන් වහන්සේ පිරිස සියලු පුවත් උන්වහන්සේට සැළ කළහ. එම කතා ප්‍රවෘත්තිය අසා සිටි තවත් එක් භික්‍ෂුවක් බුදුන් වහන්සේගෙන් අවසර ලැබ, බවුන් වැඩීම සඳහා එම අරමටම වැඩම කළහ.

උන්වහන්සේ තමන් පිළිබඳ නො සොයා, තම සිත වැඩීම පසෙකලා අනාගාමී ඵලයට පත්ව සිටි මාතික මාතවගේ චිත්ත බලය පිළිබඳ වෙහෙසෙන්නට විය. ඇති වූ මහත් බාධා හේතු කොටගෙන එම ආරාමයේ භාවනා වැඩීම ප්‍රතික්‍ෂේප කොට, බුදුන් වහන්සේ හමුවට පැමිණියහ. සියලු කරුණු දත් බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ කරුණු අවබෝධ කර දී, නැවත එම අරමටම යෑමට දුන් අවවාදය, ධම්ම පදයේ චිත්ත වග්ගයේ සඳහන් වෙයි.

දුන්නිගහ හස්ස ලහුනො
යත්ථ කාමනිපාතිනො
චිත්තස්ස දමථො සාධු
චිත්තං දන්තං සුඛාවහං

“එක අරමුණක නොපිහිටා, කැමැති විවිධ අරමුණු ලුහුබඳින සිත, දමනය කිරීම අපහසු ය. එහෙත් දමනය කරගත් සිත තමන්ට සැපතක්ම ලබා දෙන්නේ ය.” බුදුන් වහන්සේගේ අවාදයට අනුව කටයුතු කළ එම භික්‍ෂූන් වහන්සේ මාතික මාතා අරමේදීම සියලු කෙලෙස් නසා රහත්භාවයට පත් වූහ.

එසමයෙහි වස් කාල පරිච්ඡේදයේ පැවතුණු නිවැරැදි ගිහි පැවිදි සාමුහිකත්වය, භික්‍ෂුවට සේම අවශ්‍ය නම් ගිහියාටත්, සසර දුකින් එතෙර වීමට මග පාදා ගැනීම පිණිස ආසිරි ඇදහැලුණු පුණ්‍ය ක්‍ෂේත්‍රයක් වූ බව පෙනෙයි.

අකාලික වූ බුද්ධ දේශනාවට අනුව නිවැරැදි ප්‍රතිපදාව හේතු කොටගෙන ඵලය ළඟා කර ගැනීම වර්තමානයට ද වලංගු ය.

කඨින යන්නෙහි අර්ථය ‘ස්ථිර’ වෙනස් නොවන යන්නයි.එනම්, ලැබෙන කුසල ආනිශංස අන්‍ය අකුසල කර්මයකින් යටපත් නොවන බව ය. මෙහි කුසල ශක්තිය විපාක දීමට සමත් නොවන්නේ පංචානන්තරිය අකුසල කර්මයකදී පමණකි. අට මහ කුසල කර්මයන්ගෙන් ප්‍රමුඛ ස්ථානය ලබන කඨින පූජාව ඉතාම දුර්ලභ පින්කමක් බවට පත්වී ඇත. ඊට හේතු වන්නේ වසරකට වරක් පමණක් යෙදීම, උපසම්පදා භික්‍ෂූන් වහන්සේ පෙර වස් සමාදන්වීම, වස් කැඩීමක් සිදු නොවීමට වග බලාගැනීම, වප් පොහොය දිනට පසු හා ඉල් පොහොය දිනට පෙර යන ස්ථිර කාලයක් තිබීම, දායක පින්වතුන් පූජා කරන චීවරය දෙවනුව සතර නමකට නොඅඩු සංඝරත්නය ඉදිරියේ සංඝයා විසින්ම තෝරා ගත් භික්‍ෂූන් වහන්සේට පූජා කිරීම යන කරුණු ය.

මෙම සියලු කටයුතු පිළිබඳ වගකිව යුත්තෝ, භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කොට සිවුපසයෙන් උපකාර කළ දායක පින්වතුන්මය.

ඒ සඳහා යම් අනුශාසනාවක් ලබාගත හැකි වන්නේ භික්‍ෂූන් වහන්සේ වස් එළඹීමට මත්තෙන්ම ය.

මෙහිදී ඔබ ඇති හැකි පමණට විවිධ දෑ මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරමින් පින් සිදුකරගන්නට පෙළගැසෙන්නෙහිය. ඒ සියල්ල ඔබට කඨින ආනිසංස පිණිසම හේතු වෙයි.

එහෙත් අවශ්‍යතා විමසා බලා කටයුතු කිරීමටත්, මිලදී ගන්නා පූජා වස්තූන් භාවිතයට සුදුසු දැයි පරීක්‍ෂාකාරී වීමටත් සිදුව ඇත.

විශේෂයෙන්ම විනයානුකූල නොවන ඇලුමිනියම් හට්ටි වැනි දෑ පාත්තර ලෙස හඟවා අලෙවි කරන අටපිරිකර පාර්සල් මිලට නොගැනීමට ඔබ ඥානාන්විත සැබෑ බෞද්ධයෙකු වශයෙන් කටයුතු කළ යුතුව ඇත.

එසේම මෙම පින්කමේ මුල, මැද, අග යන අවස්ථා තුනම ශ්‍රද්ධාව වැඩෙන සැමට නිරාමිස සතුට ගෙනෙන ලෙස සංවිධානය වීම කාලෝචිත ය.

ඒ වගේම කඨින පෙරහර පවත්වා අප ලෝකයට ලබාදෙන පණිවිඩය පිළිබඳ අවධානය යොමුකිරීමද වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. පෙරහරේ මූලික පරමාර්ථය වන්නේ කඨින චීවරය වැඩම වීමයි. එය එසේ නිර්මාණය වූයේ අධ්‍යාත්මය දියුණු කරගන්නට ප්‍රයත්න දැරූ, භික්‍ෂූන් වහන්සේට කරන ගෞරවයක් වශයෙනි. ඒ සඳහා ඇතිකරගත් ශ්‍රද්ධාව, භක්තිය, ආශිර්වාදය පෙරහරේ සියලු අංගයන්ගෙන් පිළිබිඹු විය යුතු ය. ඒ නිසා මෙම කඨින පෙරහර සංස්කෘතික පෙරහරක් බවට පත් කර ගැනීම සුදුසු නොවන්නේම ය.

ඒ පිළිබඳ සිතීමට මේ ඔබට කාලයයි. සමහර කඨින පෙරහරවල රූකඩ, යකුන් ප්‍රේතයන්, ඔලු බක්කන් නටවති. කාවඩි ද නටති, අවසානයට බාලයන් ද නටමින් යති. අප රටේ දැන උගත් අන්‍ය ආගමික පින්වතුන්ටද මේවා නැරඹීමට අවස්ථාව උදා වෙයි. බෞද්ධ පින්කම් හරහා සිත් පහන් කර ගැනීමට සැමටම අයිතියක් ඇති බව අප අමතක නොකළ යුතු ය. එම නිසා බුද්ධිමත් බෞද්ධ පින්වතුන් ලෙස වස් විසීමේ පින්කමට අනුගතව අපෙන් සිදුවිය යුත්තේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය සතුට ඇති කරවන ආකර්ෂනීය පණිවිඩයක් බාහිර ලෝකයට ලැබෙන ලෙසට බොදු ක්‍රියාකාරකම් නිර්මාණය කිරීමයි.

එසේ නම් කඨින පෙරහර කෙසේ විය යුතුදැයි? ඔබ ඉදිරියේ ඇති ප්‍රශ්නය වියහැකි ය. පෙරහරේ අංග බොදු හැඟීම් ගෙනදෙන සිත් පහන් බවක් ඇති වන ලෙස සකස් කරගත යුතු ය. ඒ සඳහා බොදු බැති ගී, බුදු ගුණ, සඟ ගුණ, ථෙර -ථෙරී ගාථා, සුවිසි ගුණ, පට්ඨාන අභිධර්මය, ආකර්ශනීයව සජ්ඣායනා කරවිය හැකි ය. අලංකාරව සරසාගත් විවෘත රථ භාවිතා කළ හැකි ය. සාමණේරයන් වහන්සේ වඩා හිඳුවා රතන සූත්‍රය සජ්ඣායනා කරවීමක් පෙරහරට එකතු කරගත හැකි ය. කොඩි සේසත් සහිතව සාදු හඬ නංවමින් ඉතා ශාන්තව, අලංකාර පෙරහරකින්, කඨින චීවරය, වඩමවා ගත හැකි ය. එය බුදු දහම පිළිබඳ හා බෞද්ධ ක්‍රියාකාරකම් වල වටිනාකම් පිළිබඳ අන්‍යයන් දැනුවත් කිරීමක් වනු නොඅනුමානය ය. මේ ආකාරයට මුල සිට අග දක්වා දැහැමින් නිම කරගන්නා වස් පින්කමක විපාක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සසර වසනතුරු උභය පාර්ශ්වයට කඨින ආනිසංසව වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.