Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත්තදණ්ඩ සූත්‍රයේ විස්තර වන්නේ් මෙසේ ය. අවි ආයුධ දැරීම බිය ගෙන දෙන්නකි. මිනිස්සු මේ ආයුධ වලින් කෝලහල කරන්නේ කෙසේදැයි බලන්නා වූ මා තුළ සංවේගය ඇති විය. ජලයෙහි මසුන් දඟලන්නාක් මෙන් ඔවුනොවුන් කුලල් කා ගන්නා ජනයා මට බිය ගෙන දුන්නේ ය. ලෝකය හැම අතින්ම අසරණ යැයි මට සිතිණි.

ඇසළ සඳ පායා, සඳ රැස් දහරින් මිහිකත ආලෝකවත් වන විට බෞද්ධයාට නිතැතින්ම සිහිපත් වන කරුණු තුනක් තිබේ. සිදුහත් කුමරුගේ පිළිසිඳ ගැනීම, සිදුහත් තරුණයාගේ මහබිනික්මන හා සම්මා සම්බුදු රජුන්ගේ් ප්‍රථම ධර්ම දේශනය, ඒ මූලික සිද්ධීන් තුනයි.

අපේ ත්‍රිපිටක පොත්වල හා අටුවා කථා වල සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීමේ පුවත දක්වන්නේ, අතිශය චිත්තාකර්ශනීය ආකාරයට ය. සිදුහත් කුමරු පිළිසිඳ ගැනීමට සතියකට කලින් සිටම මහාමායා දේවිය සූදානම් වූ අයුරු පෙනෙයි. අපදාන අටුවාව එය මෙසේ විස්තර කරයි. මහාමායා දේවිය පුර මාසයේ සත් වන දිනයේ පටන් සුරා පානයෙන් හා මල් ගඳ විලවුන් දැරීමෙන් වැළකිණි. නැකැත් කෙළියෙන් සතුටු වන්නී, සත්වන දිනයේ උදයේම නැගිට සුවඳ පැනින් ස්නානය කොට, සතළිස් දහසක් වියදම් කොට මහා දන් දී, සියලු අලංකාර වලින් සැරසී සිට උදේ භෝජනය වළඳා උපෝසථ අංග අධිෂ්ඨාන කොට අලංකාරයෙන් පිළියෙළ කළ සිරි යහන් ගැබට පිවිස සිරි යහනේ හොත්තී නින්දට වැටෙද්දීම සිහිනයක් දුටුවා ය. මෙම අටුවා විස්තරයේ පැහැදිලිව කියන්නේ උදේ භෝජනය වළඳා සිරි යහන් ගැබට පිවිසි බවයි. ඒ අනුව මේ වේලාව උදේ දහයට පමණ ඇත. ඊ ළඟට සඳහන් වන්නේ නින්දට වැටෙද්දීම සිහිනය දුටු බවයි.

සිහිනය කවරේ ද? සතරවරම් මහ රජවරු සයනයත් සමගම මහාමායා දේවිය ඔසවා හිමාලයට ගෙන ගොස් හිරියල් ගල්තලාවේ මහා සල් ගසක් යට තබා එක්ත්පස්ව සිටියහ. ඉක්බිති ඔවුන් දේවිය රැගෙන අනවතප්ත විලට ගොස් නාවා දිව්‍ය වස්ත්‍ර අන්දවා සුවඳ දෑ ආලේපනය කරවා රන් විමනකට ගෙන ගොස් නැගෙනහිරට හිස ලා සයනයක් පනවා වඩා හිඳුවෝය. ඉක්බිති සුදු ඇත් පැටෙවක් රිදී පාට වූ හොඬෙන් සුදු පියුමක් ගෙන කුංචනාදය කොට, මහාමායා දේවියගේ යහන ප්‍රදක්ෂිණා කොට, දකුණු ඇලය පලා කුස ට ඇතුළු විය. මහාමායා දේවිය දුටුවේ යැයි කියන මේ සිහිනය ගැන බුද්ධ චරිතයේ බොහෝ විස්තර සඳහන් වන අච්ඡරිය අබ්භූත ධම්ම සූත්‍රයේ නැත. බුද්ධ චරිතයේ විවිධ සිදුවීම් ඇතුළත් වන අනෙක් සූත්‍ර වලද නැත.

එබැවින් මේ සිහින කථාව අටුවාචාරීන් වහන්සේ විසින් සිද්ධාර්ථ කුමාරයාගේ් පිළිසිඳ ගැනීම ආශ්චර්ය අද්භූ®ත දෙයක් වශයෙන් පෙන්වීමට හා බෞද්ධ ජනතා හදවත් තුළ ශ්‍රද්ධාව ජනිත කිරීම සඳහා ඇතුළත් කරන ලද ප්‍රවාදයක් යැයි සිතන්නට ඉඩ ඇත. වර්ධමාන මහාවීරගේ උත්පත්ති කථාවේ පිළිසිඳ ගැනීම දක්වන තැන ද මෙම ප්‍රවාදය මෙසේ සඳහන් වෙයි. එතකුදු නොව පොළොන්නරුවේ රජ කළ මහා පැරකුම්බාගේ ඉපදීම පිළිබඳ මහා වංශ කතුවරයා දක්වන විස්තර ද මෙම සිහින ප්‍රවාදයේ ම එයි. එහි වෙනසකට ඇත්තේ, සුදු ඇත්පැටවා එන බව පැරකුම්බාගේ මව පමණක් නොව, පියා ද දුටු බවයි. පැරකුම්බා ගේ මව නිදා සිටි කාමරයට මධ්‍යම රාත්‍රියේ ඇත්පැටවෙකු ඇතුළු වන බව, පැරකුම්බාගේ පියා ද සිහිනෙන් දැක ඇත. ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බිහි වන විට, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය විචිත්‍ර කිරීම සඳහා මෙවැනි ප්‍රවාද සකස් කිරීම සිදු වූ බව, මේ උදාහරණ වලින් පෙනෙයි.

ඇසළ මස පුර පසලොස්වක දා පිළිසිඳ ගත් සිදුහත් කුමරු ඊළඟ වර්ෂයේ වෙසක් පසළොස්වක දා බිහි වූයේ ය. මහා පදාන සූත්‍රයේ ද ජාතක නිදානයේ ද තවත් සූත්‍ර කීපයකද බෝසතුන් මව් කුස පිළිසිඳ ගත් දා සිට ඉපදීම දක්වා කාලය තුළ ආශ්චර්යජනක කරුණු දහයක් සිදුවන බව දන්වා තිබේ. මේ දහය අතරින් නවවැන්න, බෝසත් මව දස මසක් සම්පූර්ණ වූ විටම බෝසතුන් බිහි කරන බවයි. අට වැන්න ලෙස සඳහන් වන්නේ, බෝසතුන් ඉපදී දවස් හතෙන් මව මිය යන බවයි. ආශ්චර්ය ජනක සිද්ධීන් බොහෝමයක් ලොව තුළ උදා කරමින් බිහි වූ සිදුහත් කුමරු, වයස අවුරුදු දහසයේ දී විවාහ වී, වයස විසි නවයේ දී මහබිනික්මන් කළ බව, ථෙරවාදී ත්‍රිපිටකයේ සඳහන් වෙයි. එහෙත් මේ අවුරුදු විසි නවය තුළ ඔහු ගෙවූ ජීවිතය පිළිබඳ විස්තර ත්‍රිපිටකයේ ඉතා අල්ප ය. එහි ඇත්තේ තුන් සෘතුවට සුදුසු සේ පිය රජු විසින් තනන ලද ප්‍රාසාද තුනක, නිළියන් පිරිවරාගෙන ජීවත් වූ බවයි. ඉඳහිට රාජකීය උයනට ගොස් ඇත. අපේ බෞද්ධ පොත්වල එන විස්තර අනුව, සිදුහත් කුමරු ජීවත් වූයේ ශුද්ධෝදන රජුගේ සිරකරුවකු වශයෙනි. ගිහි ගෙයින් නික්මී යෑම වළක්වන්නට රටේ හැමතැනම මුරකාවල් යොදා තිබිණි. පිය රජු සමග වප් මඟුලට ගිය ගමන හැර, වෙනත් ගමනක් ගිය බවක් වත් සඳහන් නොවෙයි.

බෝසත්වරුන්ගේ විවිධතා වර්ග කිරීම අනුව, සිද්ධාර්ථ බෝධි සත්වයෝ ප්‍රඥාධික බෝධිසත්වරයෙකි. සිදුහත් කුමරු තව්තිසා දෙව්ලොව සිට දෙවිවරුන්ගේ ආරාධනාවෙන් මෙලොව බිහිවූයේ බුදුවන්නට මිස, සක්විති රජ වන්නට නොවේ. සිදුහත් කුමරු රජ කරවීමේ උවමනාව තිබුණේ ශුද්ධෝදන රජුට ය. සිදුහත් කුමරුන්ට නම් තබන දිනයේදී ඔහු ඒකාන්තයෙන්ම බුදුවන බව බමුණු පඬිවරු ප්‍රකාශ කළහ. ඔහු සතර පෙර නිමිති දැක ගිහි ගෙයින් නික්ම යන බව කීවේත්, ඒ බමුණු ප¼ඩිවරුම ය. ප්‍රඥාධික බෝසත්වරයකු වන සිදුහත් කුමරුට තමාගේත්, තම පියාගේත් අසිත තවුසාගේත් ස්වරූපය දුටු විට සත්ත්වයා මහලු වන බව, රජාවට පත්වන බව වටහා ගැනීමට වෙනත් අයකුගේ මෙහෙයවීමක් අවශ්‍ය ද? සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක්මෙන් ගිහි ගෙයින් නික්ම ගියේය යන ඉගැන්වීම, ඉතා ලාමක ඉගැන්වීමකි. සිදුහත් කුමරු ගිහි ගෙය හැර ගියේ ඊට වඩා බැරැරුම් වැදගත් සිද්ධාන්ත හා හේතුන් නිසා ය. ඒ හේතුන් කවරේදැයි බුදුරදුන් විසින්ම දේශිත සූත්‍ර වල ඇතුළත්ව ඇත.

දීඝ නිකායේ එන මහා පරිනිබ්බාන සූත්‍රයේ බුද්ධ චරිතයේ බොහෝ කරුණු සඳහන් වුවත්, සතර පෙර නිමිති දැක ගිහි ගෙයින් නික්මුණු බව එහි සඳහන් නොවෙයි. බොහෝ තැන්වල කියැවෙන්නේ සතර පෙර නිමිති දෙවියන් විසින් මවා පෙන්වන ලද බවයි. මේ සතර පෙර නිමිති එක දිනයක දී දුටු බව සමහර තැනක කියැවෙන අතර, සමහර තැන්වල කියැවෙන්නේ දවස් හතරකදී දුටු බව සඳහන් වෙයි. සමහර විටක සිදුහත් කුමරු වරින් වර සතර පෙර නිමිති දකින්නට ඇත. එහෙත් එය ගිහිගෙයින් යන්නට එකම හේතුව වශයෙන් අවබෝධ කිරීම වැරැදි සහගත ය. සිදුහත් කුමරු ගිහිගෙයින් යන්නට එකම හේතුව වශයෙන් අවබෝධ කිරීම වැරැදි සහගත ය. සිදුහත් කුමරු ගිහි ගෙය හැර මහබිනික්මන් කළේ ඇයි ද යන්නට පිළිතුරු ලැබෙන්නේ, අත්ත දණ්ඩ සූත්‍රය, අරිය පරියේසන සුත්‍රය, මහාසච්චක සූත්‍රය වැනි සූත්‍ර වල ය.

අත්තදණ්ඩ සූත්‍රයේ විස්තර වන්නේ් මෙසේ ය. අවි ආයුධ දැරීම බිය ගෙන දෙන්නකි. මිනිස්සු මේ ආයුධ වලින් කෝලහල කරන්නේ කෙසේදැයි බලන්නා වූ මා තුළ සංවේගය ඇති විය. ජලයෙහි මසුන් දඟලන්නාක් මෙන් ඔවුනොවුන් කුලල් කා ගන්නා ජනයා මට බිය ගෙන දුන්නේ ය. ලෝකය හැම අතින්ම අසරණ යැයි මට සිතිණි. සුත්ත නිපාතයේ පබ්බජ්ජා සූත්‍රයේ එන්නේ මෙසේ ය. ගෘහ වාසය කරදර මෙන්ම කෙලෙස් කුණු කසළ වලට තෝ තැන්නකි. පැවිද්ද පිරිසුදු අහස වැනි ය. මේ අදහස් මහා සච්චක බමුණා වෙත පැහැදිලිව කියා ඇති හැටි මහා සච්චක සූත්‍රයේ සඳහන් වෙයි. එම්බා අග්ගි වෙස්සනය, සම්බෝධි ඤාණ ලැබීමට පෙර බෝධිසත්ව අවස්ථාවේදීම ගිහි ගිය ගෙය කරදර සහිත බවත් කෙලෙස් කුණු කසළ වලට තැනක් බවත් අවබෝධ විය. පැවිද්ද පිරිසුදු අහස හා සමාන බව මට අවබෝධ විය. එහෙයින් හිස මුඩු කොට කසාවත් දරා ගිහි ගෙය හැර ගොස් පැවිදි වීම යෝග්‍ය යැයි මට සිතිණි යන මේ අදහස පාසරාසි සූත්‍රයේ ද සඳහන් වෙයි.

තව දුරටත් අත්තදණ්ඩ සූත්‍රයේ විස්තර කරන්නේ මෙසේ ය. අවි ආයුධ දැරීම බිය ගෙන දෙන්නකි. මිනිස්සු මේ අවි ආයුධ වලින් කෝලාහල කරන්නේ කෙසේදැයි සිතන විට මා තුළ සංවේගය ඇති විය. ජලයෙහි මසුන් දගලන්නක් සේ මිනිසුන් ඔවුනොවුන් කුලල් කා ගැනීම මට බිය ගෙන දුන්නේ ය. ලෝකය හැම අතින්ම අසරණ යැයි මට සිතිණි.

මේ තත්ත්වය වර්ධනය වූයේ කෙසේද? ශාක්‍ය - කෝලිය දෙවංශිකයෝ ගොවිතැන් කළේ,රෝහිණී නදියේ ජලයෙනි. මේ රෝහිණි නදියේ ජලය බෙදා ගැනීම ගැන මේ දෙවංශිකයන් අතර වරින් වර කෝලාහල ඇතිවිය.

බුදුරදුන් විසින් මේ යුද්ධය නවත්වන ලදී. ඊට පෙරත් මේ සටන වරින් වර ඇවිළිණි.

සිදුහත් කුමරුගේ තරුණ කාලයේදීම ශාක්‍යයන් රැස් වී, රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම සඳහා කෝලියයන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට ශාක්‍යයන්ගේ සේනාපති විසින් යෝජනා කරන ලදී. මහලු ශාක්‍යයෝ මේ යෝජනවාට පක්‍ෂ වූ අතර, තරුණ සිද්ධාර්ථ කුමරු එයට විරුද්ධ විය. එය සිදුහත් කුමරුගේ සිතට වධ දෙන්නක් විය.

දෙවැනිව, මගධ - කෝසල අධිරාජ්‍ය ශාක්‍යයන්ගේ රාජ්‍යය යටත් කර ගැනීම සඳහා යුද්ධ කළහ. ඉන්දියා ඉතිහාසය දෙස බලන විට, සියලු ගණ සංඝ රාජ්‍ය දිය කර, අධිරාජ්‍ය පුළුල් වූ සැටි අපට වටහා ගත හැකි ය. මෙම යුද්ධත්, අවි ගැනීමත්, සිදුහත් කුමරු නොරිස්සුවේ ය, සිදුහත් කුමරුගේ මතය වූයේ, යුද්ධය කිසිම ප්‍රශ්නයකට විසඳුම නොවේය යන්නයි. මැරිල්ල, තවත් මැරිල්ලකට අත වනයි, යන්නයි. කෝලියයෝ අපේ ඇවැස්ස නෑදෑයෝ ය. ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීමට යෑම වැරැදිය. ශාක්‍යයන්ගෙන් දෙදෙනෙක් ද, කෝලියයන්ගෙන් දෙනෙක් ද, ඔවුන් විසින් තෝරා ගන්නා තවත් කෙනකුගෙන් ද, යුක්ත වූ සමථ මණ්ඩලයකින් මෙය විසඳාගත යුතු බව, සිදුහත් කුමරුගේ මතය විය. අධිරාජ්‍ය විසින් ගණ සංඝ යටත් කර ගැනීමට ද, ඔහු විරුද්ධ විය. සිදුහත් කුමරු බුදුවීමෙන් පසුව මෙය ජනතාවට ඉගැන්වුවේ

ජයං වේරං පසවති
දුක්‍ඛං සේති පරාජයො
උප සන්තො සුඛං සේති
හින්‍වා ජය පරාජයං

සහ

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

අදී බණ පද වලිනි.

ගණ සංඝයේ ඇති වූ විවාදයේ දී සේනාපතිගේ මතය වූයේ යාග කිරීම බ්‍රාහ්මණයන්ගේ කාර්යය බවත්, යුද්ධ කිරීම ශාක්‍යයන් ගේ කාර්යය බවත් ය.

සිදුහත් කුමරු මහබිනික්මන් කළ අවස්ථාවේ දී සිදු වූ දේ අරියපරියේසන සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි.

මහණෙනි, මෙසේ සිතමින් සිටි මම, ටික කලකට පසුව එකම කෙසක්වත් නොපැසුණු භද්‍ර යෞවන අවස්ථාවේදීම, ඇස්වලින් පෙරුණු කඳුළු ධාරාවන්ගෙන් තෙමුණු මවුපියන් ඉදිරියේදීම ගිහිගෙයින් නික්ම ගියෙමි. මෙම ප්‍රකාශය මේ අයුරින්ම මහා සච්චක සූත්‍රයේ ද සඳහන් වෙයි.

මෙසේ තරුණ වියේදීම ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතයකට ඇතුළත් වී සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට, සම්මා සම්බුද්ධත්වයට පත් විය. ඒ වෙසක් මස පුර පසළොස්වක දා ය. බුදු වීමෙන් සති අටකට පසු ධර්මය දේශනා කිරීම සඳහා සුදුස්සන් කවුරුන්දැ යි සොයා බැලූහ.ඒ, තමන් අවබෝධ කරගත් ධර්මය ප්‍රඥාවන්තයන් විසින්ම අවබෝධ කරගත යුතු බව, උන්වහන්සේ දත් නිසා ය. ඒ නිසා එයට සුදුස්සන් සොයා බැලීම, අත්‍යවශ්‍ය විය. මේ සොයා බැලීම, ධර්ම දේශනා කිරීමට පසුබට වූ බවක් ලෙස බෞද්ධයන් ගේ සිත් තුළට කා වද්දා ඇත.

සත්‍ය වශයෙන්ම එවැන්නක් සිදු නොවිණි. මෙහිදී අපේ බොහෝ පොත්වල ඇත්තේ බ්‍රහ්ම ශක්‍ර වැනි අය අවුත් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසීමට පෙළඹවූ බවයි. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පුරා, බුදුවරුන් විසි හතර නමකගෙන් විවරණ ලබා, සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්නට ශක්‍ර බ්‍රහ්ම ආදීන්ගේ ඇවටිල්ල අවශ්‍ය දැයි සිතිය යුතු ය. ශක්‍ර බ්‍රහ්ම පැමිණ කර ඇත්තේ කුමක් ද? බුදුරදුන් ලොව පහළ වූ බවත්, උන්වහන්සේගේ ධර්මය ඇසීමට සූදානම් වන ලෙසත් ලෝකයාට මහා බ්‍රහ්මයා විසින් දන්වා ඇත. ශක්‍රය විසින් සර්වඥයන් වහන්සේට කියා ඇත්තේ, ඔබ වහන්සේ දහම් දෙසන්න. මගේ ආඥා චක්‍රය, අණසක පවත්වන්නෙමි යනුවෙනි. ඔබ වහන්සේගේ ධර්ම චක්‍රයයි. මාගේ ආඥා චක්‍රය යි, යනුවෙනි.

ස දෙසව් ලොවේම දෙවිවරුන් හා බ්‍රහ්මයන් දම්සක් පැවතුම් සූත්‍රය අසන්නට රොද බැඳගෙන උරෙනුර පැහැර පැමිණියේ, මේ මැදිහත්වීම නිසා ය.

මෙසේ ඇති වූ වටපිටාව, පරිසරය යටතේ, තථාගතයෝ ඇසළ පුන් පොහෝ දින බරණැස ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සුතුර දෙසූහ. එය අසන්නට සිටි මිනිසුන් පස් දෙනා අතරින් කොණ්ඩඤ්ඤ තවුසා බුදුවරයකුගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව ඇසීමට ප්‍රාර්ථනානුකූලව පෙරුම් පුරාගෙන ආ අයෙකි. අනෙක් සිව්දෙනා ද එවැනිම කරන ලද පින් ඇත්තෝ වූහ. එහෙත් මේ පස් දෙනාටම ධම්මචක්කපවත්තන සූත්‍රය අසා රහත් වීමට නුපුළුවන් විය. එයට හේතු තිබිණි. බුදුන් වහන්සේගේ දේශනය තුළ අඩංගු වූයේ හේතු ඵල දර්ශනයයි. “යේ ධම්මා හේතුප්පභවා” කොණ්ඩඤ්ඤ ඇතුළු පස්දෙනාම පිළිගෙන සිටියේ, නිර්මාණ වාදය යි. බුද්ධ දේශනාව වූයේ, අනාත්ම දර්ශනයයි. පස්වග තවුසෝ ආත්ම වාදී වූහ. මේ අනුව තථාගතයන් වහන්සේ දෙසූ දහමත්, පස්වග මහණුන් පිළිගෙන සිටි දහමත් එකිනෙකට පරස්පර විය. සිය කුල වාදය නිසා මානාධිකව සිටින බැවින් ශාක්‍යයන් ද, කුලය හා උගත්කම නිසා ඇති මානාධීක බව හේතුවෙන් බමුණන් ද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ප්‍රමාද වූ බව තථාගතයන් වහන්සේ දෙසූ බව, දීඝ නිකාය අටුවාවේ සඳහන් වෙයි.

බමුණන් වූ පස්වග මහණුන් තුළ ද රහත් වන තෙක් ඒ මානය පැවතිණි. එබැවින් පස්වග මහණුන්ට මේ දර්ශනය අවබෝධ කරවන්නට තථාගතයෝ සතියක් වෙහෙසුණහ. අවසානයේ අනාත්ම ලක්‍ෂණ සූත්‍රය අසා රහත් වූහ. දහම් දෙසන්නට ඤාණවන්ත සුදුස්සන් සෙවීම ඒ අනුව කොතරම් අපහසු වී දැයි මේ අනුව සිතාගැනීමට හැකි ය. ධම්මචක්ක සූත්‍රය, ඉතා කෙටි සූත්‍රයකි. එය, බෞද්ධ දර්ශනයේ සාරයයි. මෙයින් කලකට පසුව සැරියුත් තෙරුන් වහන්සේ වෙනම, ධම්මචක්ක සූත්‍රය සවිස්තරව දැක්වූහ.

සච්චවිභංග සූත්‍රය (සත්‍යය බෙදා විස්තර කර දැක්වීම) යනු, එහි නාමය යි. මෙතෙක් දැක් වූ කරුණු වලින් උත්සාහ කළේ, බුද්ධ චරිතය ගැන අප තුළ ඇති කර ඇති ප්‍රවාද පිළිබඳ අට්ඨකථා අනුසාරයෙන් කරුණු හෙළිදරව් කරගැනීමට ය. තථාගතයන් වහන්සේ කාලාම සූත්‍රයේ උගන්වා ඇත්තේ සියල්ල විමසිලි බුද්ධියෙන් යුතු බවයි. බෞද්ධයාගේ ලක්‍ෂණය එයයි. මේ කරුණු හෙළිදරව් කිරීමෙන්, යමෙක් බුදු සිරිත පිළිබඳ නිවැරැදිව, යථාර්ථවාදීව සිතන්නට පුරුදු වන්නේ නම්, එයම ප්‍රමාණවත් ය.

රන්, ගින්නෙන් පරීක්‍ෂා කරන්නාක් මෙන්, මාගේ වචනය ගෞරවයෙන් පමණක් පිළිනොගෙන, විවේචන බුද්ධියෙන් පරීක්‍ෂා කොට පිළිගත යුතු ය.” යනු, බුද්ධ වචනය යි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.